පරිවර්තනයේදී විය යුත්තේ පරිකථනයක්

 ඡායාරූපය:

පරිවර්තනයේදී විය යුත්තේ පරිකථනයක්

ප්‍රවීණ පරිවර්තක පියසිරි විජය සේකර

පියසිරි විජේසේකර ප්‍රවීණ පරිවර්තකයෙකි. හිටපු තානාපති සේවා නිලධාරියෙකි. බටහිර දර්ශනය හදාළ අධ්‍යාපනඥයෙකි. පළ කළ ග්‍රන්ථවලට වඩා නොපළ ග්‍රන්ථ රැසක් කර ඇති ඔහු ඇල්බෙයා කැමූගේ Outsider නවකතාවෙන් ‘අමුතුම මිනිෙහක්’ නමින් මුල් ප්‍රංශ බසින්ම කළ පරිවර්තනයට ස්වාධීන සාහිත්‍ය සම්මාන උලෙළේදී හොඳම පරිවර්තන සම්මානයද හිමි විය. සියල්ලටත් වඩා පරිවර්තනවේදය ගැඹුරින් හදාරන ඔහු ඒ පිළිබඳ ශාස්ත්‍රීය ලිපි රැසක් සම්පාදනය කර තිබේ. මේ, ඒ පිළිබඳව අප ඔහු සමඟ නොබෝදා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

· ඔබ කළ ‘අමුතුම මිනිහෙක්’ පරිවර්තන කෘතිය 1993 වසරේ විභවි ආයතනයෙන් පැවැත්වූ ස්වාධීන සාහිත්‍ය උලෙළේදී හොඳම පරිවර්තනයට හිමි සම්මානය දිනා ගන්නවා. ඒ පිළිබඳව අප කථා කළොත්?

එය පළ වුණේ 1992 වසරේ. ඊට කලින් මම ‘බක්කර බිරිය හෙවත් බබී’ කියල කෘතියක් පරිවර්තනය කරලාත් තිබුණා. එය මම ප්‍රංශ භාෂාවෙන් කළ පළමු සාහිත්‍ය පරිවර්තනය. ඒ කෘතිය ප්‍රංශ සිනමාකරුවකු බවට පත් වූ නාට්‍යකරුවෙක් ලියූ තිරනාටක පිටපතක්. ‘අමුතුම මිනිසෙක්’ කෘතිය මම කළේ ඇල්බෙයා කැමූගේ ‘ලෙත්රොන්ජර්’ කියන ප්‍රංශ බසින් වූ නවකතාවෙන්. ප්‍රංශ ලේඛකයන්ගේ පොත්වල විශේෂත්වය තමයි ඒ පොත්වල නමේ ඉඳලාම කිසියම් Enigma එකක් තිබීම. ඒ කිව්වෙ යටිපෙළක්, රහසක් තිබීම. ‘ලෙත්රෝන්ජර්’ ‘පිටස්තරයා’ ලෙස පරිවර්තනය කළොත් එහි අර යටිපෙළ මතු වෙන්නෙ නෑ කියල මම කල්පනා කළා. ඒ අනුව තමයි එය ‘අමුතුම මිනිහෙක්’ විධියට එන්නෙ. අපි දන්නවා මහාචාර්ය සෝමරත්න බාලසූරියත් ‘ලෙත්රෝන්ජර්’ කෘතිය සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒ, ‘පිටස්තරයා’ නමින්. මම මගේ පරිවර්තනය කරද්දි මේ බවක් දැනගෙන සිටියේ නෑ. ඒත් ඊට ‘පිටස්තරයා’ නම ගැළපෙනවාද? මං හිතන්නෙ නම් නෑ. ‘ලෙත්රෝන්ජර්’ වලින් ඉංග්‍රීසියට නැඟූ පොත තමයි Outsider. ඒ අනුව ‘ලෙත්රෝන්ජර්’ සිංහලට නඟද්දි ‘පිටස්තරයා’ ලෙස නම යොදන්න ඇත්තේ එහි මේ ඉංග්‍රීසි නම බලාගෙනද කියල මම දන්නෙ නෑ. ඒත් ‘පිටස්තරයා’ ලෙස එය කළොත් එහි අර එනිග්මා එක නැහැ. ඒ නිසා තමයි මම මගේ පරිවර්තනය ‘අමුතුම මිනිහෙක්’ ලෙස නම් කළේ.

ඔබ මුලින්ම කළ පරිවර්තනය ගැන කීවොත්?

මම 1975 වසරේ ප්‍රංශයේ පදිංචියට යන්නෙ. මම එහි අවුරුදු 25ක් ජීවත් වෙනවා. මම පරිවර්තනයට යොමු වුණේ එහි සිටි කාලයේදීයි. ඒත් මගේ මුල්ම පරිවර්තනය මැලේ ජාතික කවියකු ලියූ කවි එකතුවක්. එය එම කවියා හිරේ සිටියදී ලියූ කාව්‍ය කෘතියක්. මම එය කරන්නේ ඉංග්‍රීසි බසින් සිංහලට. එය මැලේ බසින් ලියා ඉංග්‍රීසියට නැඟූ කෘතියක්. මම ඒ පොත කියවන්න යොමු වුණේ මා විවාහ වී ඉන්නේ මැලේ ජාතික කාන්තාවක් සමඟ නිසා.

· ඔබ ඔබේ චරිත කතාව Temple Rebel නමින් පළ කරනවා.

ඔව්. එය මං ලිව්වේ ඉංග්‍රීසියෙන්. එය මා ‘71 කැරලිකරුවකු ලෙස හසු වී සිරගෙදර ගෙවූ වසර දෙකක කාලය පිළිබඳව ලියූ කෘතියක්. එය මගේ අත්දැකීම් රැගත් කෘතියක්. පසුව එහි පළමු කොටස (මුල් පොත කොටස් තුනකින් යුතුයි) මමම ‘ආරාමයේ කැරලිකරු’ නමින් සිංහලට නැඟුවා.

· ඔබ පරිවර්තනවේදය විශේෂයෙන් හදාරනවා?

ඔව්. මම ඒ ගැන හුඟක් ශාස්ත්‍රීය ලෙස හදාරනවා. මා දුටු විධියට මෙරට මුල්ම පරිවර්තන කෘතිය කරන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ දකුණු ඉන්දියාවෙන් මෙහි ආ දෙමළ හාමුදුරුනමක්. උන් වහන්සේ එතෙක් මෙරට හෙළ බසින් තිබූ ත්‍රිපිටකය පාලි බසට නඟලා මෙහි තිබූ හෙළටුවා ග්‍රන්ථ පුච්චා දමනවා. ඒ කාලෙ අද වගේ ජාති භේද තිබුණා කියල මං හිතන්නෙ නෑ. ඒත් එහිදී උන් වහන්සේ හිතලා තියෙනවා අනාගතයට ඉතිරි විය යුත්තේ පාලි බසින් වූ ත්‍රිපිටකය පමණයි කියල. කොහොම හරි බුද්ධඝෝෂ හාමුදුරුවෝ මෙහිදී කරලා තියෙන්නෙ පරිවර්තනයක්. එක් බසකින් තිබූ දෙයක් තව බසකින් කීමක්.

· ඔබ කියනවා දැනට අපේ සිංහලෙන් ඇති ත්‍රිපිටකයේ දෝෂ තිබෙනවා කියල.

මගේ ළඟ තියෙනවා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් තුන්දෙනෙක් එකතු වෙලා ඉංග්‍රීසියට නැඟූ පන්සියපනස් ජාතක පොත. එය පාලි ජාතකට්ඨ කතාවෙන් කළ පරිවර්තනයක්. ඇත්තටම එය පරණ ඉංග්‍රීසියෙන් ඉතාම කාව්‍යාත්මකව උසස් ලෙස කරලා තියෙනවා. එය සිංහල පන්සියපනස් ජාතක පොතට වඩා ඉහළයි. එය යුනෙස්කෝවේ අනුග්‍රාහයෙන් කළ කෘතියක්. මෙහිදී මා ත්‍රිපිටකයේ අඩුපාඩු සඳහන් කරන්නේ නෑ. ඒක දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් වේවි. මම මෙහිදී කියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවන් ත්‍රිපිටකය පාලි බසට නඟලා ජාත්‍යන්තරකරණය කළාට එය කළේ හානිකර විධියට කියලයි. ඒ කියන්නෙ උන් වහන්සේ මුල් හෙළටුවා පුලුස්සා දමනවා. එය තිබුණා නම් උන් වහන්සේගේ පරිවර්තනවේදය කෙබඳු එකක්ද කියල අපට මුල් කෘතිය හා සන්සන්දනය කරමින් තක්සේරු කරන්න තිබුණා.

ඔබ පරිවර්තනය පරිකථනය ලෙස හඳුන්වන්නේ ඇයි?

ඉතාලි බසින් කියනවා “ඇද්‍රතෝරේ ත්‍රෙතෝරේ” කියල. එනම් “ට්‍රාන්ස්ලේටර් ඉස් අ ට්‍රේටර්” කියල. සිංහලෙන් කීවොත් “පරිවර්තකයා ද්‍රෝහියෙකි” කියල. මෙහිදී පරිවර්තකයා කාටද ද්‍රෝහිකම් කරන්නේ? ඒ, මුල් ලේඛකයාටයි. ඒත් මම කියන්නෙ අපි පාඨකයාට සමීප වෙනවා නම් මුල් ලේඛකයාට ද්‍රෝහීකම් කළාට කමක් නෑ කියල. අපි මෙහිදී පරිවර්තනය කරන්නෙ සංස්කෘතීන් දෙකක්. දැන් ප්‍රංශ භාෂාවයි, වෙනත් යුරෝපීය භාෂාවනුයි අතර සමීප බවක් තියෙනවා. ඒත් ප්‍රංශයි, සිංහලයි අතර ඉතා දුරස් බවක් තියෙනවා. එතකොට පරිවර්තනයේදී කරන්නෙ කිසියම් නිර්මාණයක්. එය මුල් බස හා වූ නිර්ව්‍යාජ ස්වයංනිර්මාණයක්. අන්න ඒ නිසයි එය පරිකථනයක් වෙන්නෙ.

පරිවර්තනය නිකන්ම නිකන් වචන ටිකක් කීමක් නෙවෙයි. එය මුල් වැකිය පරිවර්තනය කරමින් එය අර්ථකථනයකට ලක් කිරීමක්. එහිදී ඇතැම් විට ශබ්ද කථනයකුත් විය හැකියි. සමහර විට රස නිෂ්පත්තියේලා මුල් කෘතියේ එන උපමා, රූපක වලට අනුරූපව අපේ ජනවහරේ උපමා, රූපක එකතු කරන්නත් සිදු වෙනවා. මේ දේවල් අපි කරන්නේ ඇයි? පරිවර්තනය පාඨකයා සඳහා නිසයි. ඒ අනුව පරිවර්තකයා මුල් ලේඛකයාට ද්‍රෝහීකම් කළාට කමක් නෑ. හැබැයි පාඨකයාට ද්‍රෝහීකම් කරන්න බැහැ.

මෙහිදී ඉතාම හොඳ කෘති දෙකක් ගැන මම මතක් කරන්න කැමතියි. එකක් තමයි රෝලන්ඩ් බාත්ගේ Death of the Author කියන පොත. අනෙක තමයි මිෂෙල් ෆූකෝ බාත්ට පිළිතුරක් දෙමින් ලියූ What is an Author? කියන පොත. මේ කෘති දෙකම මම ප්‍රංශ බසින් සිංහලට නඟා තියෙනවා. අභාග්‍යයකට මට ඊට ප්‍රකාශකයකු සොයාගන්න බැරි වෙලා තිබෙනවා. ඔබට පුළුවන් නම් මට ඊට ප්‍රකාශකයකු සොයා දෙන්න. දැන් අපි Death of the Author කියන වැකිය සිංහලට නැඟුවොත් කොහොමද ඒක? එහෙනම් අපි කියන්නෙ ‘කර්තෘගේ මියයෑම’, නැත්නම් ‘කර්තෘගේ අභාවය’ කියල. ඒත් ඒක නිවැරදිද? මම හිතන්නෙ එහෙම සිංහලට නැඟුවොත් එය හරි ලඝු වෙනවා. මම එය පරිවර්තනය කළේ ‘කර්තෘන් වහන්සේ ස්වර්ගස්ථ වූ සේක’ විධියට. එයට මම කියන්නෙ පරිකථනය කියල. එනම් පරිවර්තනයේදී අර්ථකථනයක් දීමයි. ඇයි මම මෙහිදී ‘කර්තෘන් වහන්සේ ස්වර්ගස්ථ වූ සේක’ කියල කියන්නෙ? අපි දන්නවා කර්තෘලා ඉන්නෙ බොහොම ඉහළින් බව. එනිසා ඔවුන්ට කර්තෘන් වහන්සේ කියල ගෞරව නාමයක් දිය යුතුයි. එතකොට එහෙම කෙනෙක් වියෝ වීම අපට මියයෑම කියල කියන්න බෑ. ඔවුන් ස්වර්ගස්ථ වෙනවා. ඇත්තටම රෝලන්ඩ් බාත් මේ සිද්ධාන්තය ඉදිරිපත් කරන්නේ ඔහුගේ දේශනයකදී. Death of the Author කියන්නෙ ඒ දේශනයේ මාතෘකාව. එහිදී ඔහු කියන්නෙ ලේඛකයකු පොතක් ලියලා ඉවර වුණාම ඒ ලේඛකයා මැරුණා හා සමානයි කියල. මොකද ඔහුට පොත ගැන කථා කරන්න බෑ. එතකොට පොත ජීවත් කරන්නෙ කවුද? ඒ, පාඨකයායි.

රෝලන්ඩ් බාත්ගේ Death of the Author කෘතිය පළ වෙන්නෙ 1969 අවුරුද්දෙ. ෆූකෝගේ පිළිතුරු කෘතිය එන්නෙ 1970 දි. මේ කෘති දෙක විශාල නැහැ. මොකද ඒවා නිබන්ධන දෙකක්. ඒත් ප්‍රබන්ධය පිළිබඳ කර්තෘගේ චින්තනය මේ කෘති දෙකෙන් උඩු යටිකුරු කරනවා. ඒ නිසා මේ කෘති සිංහලට ඒම ඉතා වැදගත්.

· ඔබට ඔබ ලියන කෘති සඳහා ප්‍රකාශකයන් සොයාගැනීමේ ගැටලුවක් තියෙනවා?

ඔව්. මම ප්‍රකාශකයන් නිසා හුඟක් පීඩා විඳනවා. මම වරක් ලංකා කලා මණ්ඩලයේ සාමාජිකයකු වෙලා සිටියා. එවෙලාවේ කලා මණ්ඩලයෙන් තෝරාගත් අත්පිටපත් රැසක් ප්‍රකාශනය කරන්න ගියා. ඒ කෘති රැස අතර මගේ පොත් හතකුත් තිබුණා. ඒ හතෙන් දෙකක් පෙර කී විචාර පරිවර්තන දෙක. අනෙක් පොත් පහ නොබෙල් ත්‍යාග දිනූ ලේඛකයන් හතර දෙනෙකුගේ කෘති පහක්. ඇත්තටම ඒ කෘති පහ මම විවිධ සාහිත්‍ය ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි හරි පරෙස්සමින් තෝරාබේරාගෙන කළ පරිවර්තන. ඒත් මම කලා මණ්ඩලයේ සාමාජිකයකු වෙලා සිටියදී ඔවුන් මගේ පොත් පළ කිරීම හරි නැහැ කියල මට හිතුණා. ඒ නිසා මම ඉවත් වුණා. ඉවත් වුණේ කලා මණ්ඩලය එක්ක ගැටලුවකට නෙවෙයි, මම අයින් වුණාට පසු ඒවා ඔවුන් පළ කරයි කියල විශ්වාසයෙන්. ඒත් අවසානයේ වුණේ මම ඉන් අයින් වුණාම ඔවුන් මගේ පොත් ප්‍රකාශනය නොකර ඉඳීම. ඉතින් අදටත් ඒ පොත් හත මා ගාව තියෙනවා කිසිම ප්‍රකාශකයකු භාර නොගෙන.

ඒ විතරක් නෙවෙයි, මේ වන විට මම ෂන් පෝල් සාර්ත්‍රගේ නවකතාවක් ‘අපායේ පාපොච්චාරණය’ නමින් සිංහලට නඟලා තියෙනවා. ඒකටත් මට ප්‍රකාශකයකු සොයාගන්න බැරි වෙලා තියෙනවා. වරක් එක් ප්‍රකාශකයෙක් පරිවර්තකයාගේ නම, ඒ කිව්වෙ මගේ නම පරිවර්තන පොතේ කවරයට දාන්න බෑ කියල මගේ පොත පළ කිරීම ප්‍රතික්ෂේප කළා. පරිවර්තකයකු නැත්නම් පොතක් තියෙනවාද? මම දන්නෙ නෑ ඇයි අපේ ප්‍රකාශකයන් පරිවර්තකයන් පහතට දාන්නෙ කියල.

ඔබ පරිවර්තනය කළ නොබෙල් ත්‍යාග දිනූ ලේඛකයන් හතර දෙනාගේ කෘති පහ මොනවාද?

ඒ සියල්ල නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ප්‍රංශ ලේඛකයන් හතර දෙනෙකුගේ ප්‍රබන්ධ. ඉන් පොත් දෙකක් කැමූගේ. එකක් සාර්ත්‍රගේ. තව පොතක් පැට්‍රික් මොඩියානෝගේ. අනෙක ට්‍රෙසියාගේ යොවුන් කෙටිකතා කෘතියක්. ඇත්තටම දැනට ප්‍රංශ ලේඛකයන් තමයි ලෝකයේ වැඩිම වතාවක් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනා තියෙන්නෙ. ඒ, දහසය වතාවක්. එංගලන්ත ලේඛකයන් දහ වතාවක් එය දිනා තිබෙනවා.

ඔබේ පරිවර්තන කෘතිවල දීර්ඝ පාද සටහන් තිබෙනවා?

ඔව්. මම මගේ සෑම කෘතියක් සමඟම පරිවර්තනවේදය පිළිබඳ හැඳින්වීමක් කරනවා. විශේෂයෙන් අදාළ කෘතිය පරිවර්තනයේදී මතු වන ගැටලු, සංදිග්ධතා සහිත වචන මම පැහැදිලි කරනවා. එහිදී මට පාද සටහන් යොදන්න සිදු වෙනවා. එහෙම නොකළොත් මුල් කෘතියේ වචන ගැන පාඨකයාට වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්.

මා ඉහත කී මගේ ප්‍රබන්ධ පරිවර්තන කෘති පහේදිත් මම පාද සටහන්, සූචීන් එකතු කළා. ඊට හේතුවක් තියෙනවා. කෘතියක කර්තෘගේ උද්ධෘත පාඨ තියෙන්න පුළුවන්. ඒවගේම කෘතියක මුල් බසට සරිලන වචනම අපට පරිවර්තන බසේ නොතිබෙන්න පුළුවන්. එහිදී ඇතැම් විට පරිවර්තකයාගෙන් අලුතින් එකතු කිරීම් හෝ අඩු කිරීම් වෙන්න පුළුවන්. මෙවැනි තැන්වලදි මෙන්න මුල් වැකිය, මෙන්න එහි ඉංග්‍රීසි පරිවර්තනය, මෙන්න එහි සිංහල පරිවර්තනය කියල විස්තර කිරීම පාඨකයාට අත්වැලක්. මම ඒ දේ ටිකක් ශාස්ත්‍රීය විධියට සන්සන්දනාත්මක විග්‍රහයක් ලෙස මේ කෘතිවලට ඇතුළත් කළා. සමහරු මීට කැමති නැතිව ඇති. මොකද ප්‍රබන්ධයක් ශාස්ත්‍රීය කෘතියක් නොවන නිසා. ඒත් මම ඒ දේ නොකළොත් එය මුල් කතුවරයාට කළ හානි කිරීමක්.

ඔබේ පරිවර්තන ක්‍රමවේදය කුමක්ද?

ඇත්තටම පරිවර්තනවේදය කියන වචනය පවා මමයි සිංහලට ගෙනාවේ. පරිවර්තනවේදය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Translation Studies කියල. ප්‍රංශ භාෂාවෙන් ඊට කියන්නෙ ට්‍රැජික්ටලොජි කියල. ඒ කියන්නෙ ට්‍රාන්ස්ලේට්ලොජි. අපි දන්නවා සෑම බසක්ම උපදින්නේ එම බස වහරන ජනතාවගේ සංස්කෘතිය මතින්. එතකොට එක් බසක වචන කීපයකින් තියෙන වචනයක් අනෙක් බසින් තනි වචනයකින් කියන්න පුළුවන්. හැබැයි එහිදී මුල් වචනයේ ධ්වනිය ආරක්ෂා වෙන්න ඕන. ඒවගේම මුල් ධ්වනිය අභිභවා යන්න පුළුවන් තැනුත් තියෙනවා. එතකොට පරිවර්තනය වඩා ලස්සන වෙනවා. මං හිතනවා පරිවර්තනයේදී ජනවහරෙන් අපි ප්‍රයෝජන ගත යුතුයි. මම ‘ලෙත්රෝන්ජර්’ පරිවර්තනයේදී ජනවහර හුඟක් පාවිච්චි කළා. උදාහරණයකට ‘ලෙත්රෝන්ජර්’ හි ආරම්භක වැකිය මම මුලින් පරිවර්තනය කළේ, ඒ කිව්වේ ‘අමුතුම මිනි‍ෙහක්’ හි මුල් මුද්‍රණයේදී පරිවර්තනය කළේ “අද අම්මා මළා” කියල. ඒත් පසුව කළ මුද්‍රණයේදී මම එය “අද අම්මා අන්ත්‍රා වුණා” කියල සංශෝධනය කළා. මොකද අම්මා කෙනෙක් මළා කියන්නෙ නෑනෙ. හුඟක් දෙනා ඒ කෘතියට ප්‍රිය කරන්නෙත් ඒ නිසා කියල මට හිතෙනවා. ඇත්තටම ප්‍රබන්ධ කෘතියක පළවෙනි වාක්‍යය පිළිබඳව ඉතා ඉහළ සංවාදයක් ජාත්‍යන්තර වශයෙන් තියෙනවා. කෘතියක අනන්‍යතාවත් පළමු වැකියෙන් හෙළිදරව් වෙනවා. ඒ නිසා පරිවර්තනයේදී පළමු වැකිය ඉතා පරෙස්සමින් පරිවර්තනය කළ යුතුයි.

·මට හිතෙන ලෙස නම් ‘ලෙත්රෝන්ජර්’ හි මුල් වැකිය “අම්මා මළා” විය යුතුයි. මොකද එය ප්‍රකාශ කරන මර්සෝ චරිතය සමාජ පිටස්තර, නස්තික වූ චරිතයක්. ඔහුට ‘ආන්ත්‍රා වුණා’ වගේ සම්මත ශාස්ත්‍රීය බසක් පාවිච්චි කළ නොහැකියි.

ඔව්. ඒක හරි. ඒත් ඒ වැකිය මර්සෝ කියනවාද, වෙන කෙනෙක් කියනවාද කියන ප්‍රශ්නය තියෙනවා. මොකද එය ඔහුට මඩමෙන් එන විදුලි පණිවුඩයක්. එහි කියන්නේ මෙහෙම: “මව ආන්ත්‍රා විය. භූමිදානය හෙට. සාතිශය සංවේගය...” කියල. එතකොට එහිදී ඊට උචිත බසක් පාවිච්චි කරන්න වෙනවා. මම දෙවන මුද්‍රණයේදී කළ සම්පූර්ණ පරිවර්තනය මෙහෙමයි:

“අද අම්මා මළා. මන්දා. බාගදා ඊයේත් දන්නෙත් නෑ. මඩමෙන් මට ටෙලිග්‍රෑම් එකක් එවලා තිබුණා. ‘මව ආන්ත්‍රා වුණා. භූමදානය හෙට. අපේ සාතිශය සංවේගය’ කියල. ඒකවත් මොන සම්මජ්ජාතිවත් තේරෙන්නෙ නෑ. බාගදා ඊයේ වෙන්න ඇති....”

මෙහිදී ඔහු තේරුම් ගන්න වෑයම් කරන්නෙ අම්මා මැරුණා කියන එක නෙවෙයි, අම්මා කවදාද මැරුණේ කියන එකයි.

මහාචාර්ය සෝමරත්න බාලසූරිය ඔහුගේ ‘පිටස්තරයා’ පරිවර්තනයට ෂන් පෝල් සාර්ත්‍ර ‘ලෙත්රෝන්ජර්’ ගැන ලියූ අගනා විචාර ලිපියක් එකතු කරලා තියෙනවා. එහිදී සාර්ත්‍ර කියනවා ‘පිටස්තරයා’ බස වැකි එකිනෙක ගැළපිය නොහැකි වෙන වෙනම දූපත් වගේ කියල. යුද්ධය හා සමාජ දේශපාලනය විසින් ඇති කරන ලද කම්පනය තුළ මර්සෝට ජීවිතය පිළිවෙළකට ගැටගසා නොහැකි බවත් ඒ තුළ ඔහුගේ වැකි අතර නොගැළපීමක් ඇති බවත් වැකි අතර ඇත්තේ හිස්තැනක්, ශුන්‍යයක් බවත් ඔහු කියනවා. ඔබේ පරිවර්තනය තුළ ඒ ශුන්‍යය නැතැයි මට හැඟෙනවා?

ඔබ ‘ලෙත්රොන්ජර්’ ගැන කී දේ මම ඒ විධියටම පිළිගන්නවා. ඒත් ඒ පිළිගන්නෙ යුරෝපීය පදනමේ සිටගෙනයි. මං පෙර කී මගේ පොත් පහම ඉදිරිපත් කරන්නේ පශ්චාත් යුද සාහිත්‍යයක් විධියට. ඒ කියන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ සමාජ දේශපාලන පසුබිම කියාපාන කෘති විධියට. අපිත් ඉන්නේ පශ්චාත් යුද සමයක නිසාත් පශ්චාත් පාස්කු සමයක නිසාත් මේ කෘති අපට ඉතාම අවශ්‍යයි. ඇත්තටම අපි පසුගියදා එල්ල වූ පාස්කු ප්‍රහාරය ගැන හොඳ කවි ලියමු, ප්‍රබන්ධ ලියමු. හැබැයි ස්වාධීනව ඒ දේ කරමු. මොකද එයින් අපට පිටතට නොපෙනෙන පැතිකඩවල් එයින් අනාවරණය වෙනවා. මං කියන්නෙ මේ ලේඛකයන් හතර දෙනාත් ලියලා තියෙන්නෙ ඒ පැතිකඩවල් ගැන. ඉතින් යුරෝපීය සන්දර්භයේදී ඒ නිශ්ක්‍රීය බව, ඛණ්ඩනීය බව තියෙනවා වගේම අපි පරිවර්තනයේදීත් ඒ දේ ගෙන ආ යුතුයි. ඒත් ප්‍රශ්නය අපි එය යුරෝපීය බසේ තිබුණ විධියටම ගේනවාද කියන එකයි. ඇත්තටම යුරෝපීය බසේ කාංසාව ඇති වන විධියට වෙනස් ලෙසයි අපේ කාංසාව ඇති වෙන්නෙ. ඒක අපිම ඇති කරගන්න ඕන. ඒක තමයි මම ජනවහර උපයෝගී කරගෙන කළේ.

මාතෘකා