සිංදු සහ ගීත

සිංදු සහ ගීත

ඉස්සර අපේ හැම පන්සලකම පොත්ගුල් තිබුණා. පෙරදිග අධ්‍යාපනයේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි පඨනය කියන දෙය. දෙවැනි එක තමයි පාඨනය කියන දෙය. පඨන කියලා කියන්නේ කියවීම. පාඨනය කියලා කියන්නේ කියවූ දෙය ධාරණය කරගැනීම. අද බොහෝ අය ඩිජිටල් ලෝකයක වල්මත් වෙලා. ඒ නිසා ධාරණය කියන දෙය සිදු වන්නේ නැහැ. ධාරණය ඉතා වැදගත් දෙයක්. ධාරණය කියන්නෙ උගත් දේ මතකයේ තබාගැනීමයි. එය අපේ අධ්‍යපාන ක්‍රමය තුළ තිබුණු විශේෂ ලක්ෂණයක්. ගීත සාහිත්‍යය ඔස්සේ ඊළඟ පරම්පරාව අතරට නැවත එවැනි විශේෂ දේවල් ගෙන යා හැකියි. නව පරපුර සුභාවිත ගීතය වෙත තව තවත් ළං කරගත යුතුයි. ඔවුන් අතරින් හොඳ නිර්මාණකරුවන් බිහි කරගන්නත් අපට පුළුවන්. නව පරපුරේ හොඳ දක්ෂතා ඇති, උසස් රුචිකත්වයක් ඇති බොහෝ අය ඉන්නවා. ඔවුන් අතර හොඳ ගීත රචකයින් ඉන්නවා. ප්‍රතිභාව වැඩිදියුණු කරගනිමින් ගීත රචකයින් ලෙස ඉදිරියට යන්න නම් ඔවුන් පෙර පරපුරේ හොඳ ගීත ඇසුරු කරන්න ඕන.

හොඳ කවියක් තුළ ගීතයක් තියෙන්න පුළුවන්. ගීතයට කාලයේ මාධ්‍ය තුළ සීමාවක් පැනවෙනවා. ගීතයකදී මූලිකම ගැටලුව තියෙන්නෙ කාලය පිළිබඳවයි. පද්‍ය සාහිත්‍යයේ ධ්වනියක් හෙවත් සංගීතයක් තියෙනවා. ඡන්දස කියලා කියන්නේ සංගීතයේ මුල් අවස්ථාවයි. ගීතයේදී හෝ කවියේදී භාෂාව පාවිච්චි කරන කෙනෙකුට මේ සංගීතමය ස්වරූපය ගැන යම් අවබෝධයක් තිබිය යුතුයි. පද්‍ය සාහිත්‍ය හදාරපු නෛකුට එය ඉබේම ඇවිල්ලා පැලපදියම් වෙනවා. ඇසූ පිරූ තැන් ඇති කෙනෙකුට අමුතු ආයාසයක් නැතිව අවිඥානිකව ඇවිල්ලා වචන ගැළපෙනවා. බොහෝ විට අපේ කවිමනෙ ගීත බවට පත් වෙලා තියෙන්නෙ. අපේ ජනගී ගායනා කරනවනෙ. පද්‍යයම ගීයක් බවට පත් වෙන්න පුළුවන්. මේක පද්‍ය සාහිත්‍යයයි, මේක ගීත සාහිත්‍යයයි කියලා තනි ඉරක් ගහලා පෙන්නන්න බැහැ.

බොනට් එක උඩ තියාගෙනත් ගීත ලියන්න පුළුවන්. හැබැයි එසේ කළ හැක්කේ එහි මූල බීජය කලින් සිතේ තැන්පත් වෙලා පෝෂණය වී තිබෙනවා නම් පමණයි. එවැනි මූල බීජයක් කාලයක් තිස්සේ හිතේ තිබිලා එක මොහොතකින් නිර්මාණයක් විදියට එන්න පුළුවන්. මමත් එහෙම ගීත ලියලා තියෙනවා. මම ‘එරන්දතිය එනවා’ කියන ගීතය ලිව්වේ බස් ටිකට් එකේ. එහෙත් ඒකෙ මුල තිබුණෙ ඊට කලින් මට ලැබුණු අත්දැකීමක් අනුවයි. ඇසූපිරූ බව තියෙනවා නම් කෙනෙකුට අවස්ථානුකූලව මොහොතකින් ගීතයක් ලියන්න පුළුවන්. අද අපේ ගීත සාහිත්‍යය නැති වෙලා තියෙන්නේ ඇසූපිරූ බව නැතිව, සිද්ධාන්තමය කරුණු අනවශ්‍ය පරිදි ගුරු කොට ගැනීමට යෑම නිසයි. නිර්මාණකරණය කියන්නේ සිද්ධාන්ත මත කළ හැකි දෙයක් නෙවෙයි. අතිපුද්ගල අපෙක්ෂාවන් ළඟ තබාගෙන ගීත ලිවීමත් නොකළ යුතුයි.

අද සුභාවිත ගීතය නැත්තෙ නැහැ. ඒවාට ප්‍රමාණවත් අවධානයක් යොමු වෙන්නෙ නැතිකමයි තියෙන්නෙ. අලුත් පරපුරේ හොඳ ගීත ලියන තරුණ පිරිසකුත් ඉන්නවා. ඔවුන්ගේ හොඳ නිර්මාණවලට නිසි අවධානයක් යොමු වෙන්නෙ නැහැ. අද මාධ්‍ය හැසිරෙන ආකාරය තුළ සුභාවිත ගීතය ජනතාව අතරට යෑමේ අඩුවක් තියෙනවා. ගීතය කියන මාධ්‍යය නැවත නැවත වාදනය වෙමින් කනට වැටෙන්න ඕන. ගීත ජනප්‍රිය වෙන්නම ඕන නැහැ. ඒවා හොඳ නිර්මාණ හැටියට පැවතීම වුණත් ප්‍රමාණවත්. අද බොහෝ අය කියන්නේ ජනප්‍රිය ගීත නැහැ කියන එක. ගීත ජනප්‍රිය වෙන්න සෑහෙන කලක් යනවා. ජනප්‍රිය නොවුණත් ගීත සාහිත්‍යයට යමක් එකතු කරලා තියෙන එක වැදගත් වෙනවා. කවදා හරි දවසක හොඳ නිර්මාණ රසික හදවත්වලට සමීප වෙනවා.

අපි ගීත රචකයො වුණේ විචාර සිද්ධාන්තවලට අනුව නෙවෙයි. විචාරකයො අපිට මඟ පෙන්නුවෙත් නැහැ. එහෙම මඟ පෙන්නුවෙ නැති එකත් හොඳයි. අද විශ්වවිද්‍යාල පාඩම්වලටත් ගීත විචාරය දාලා කරන්නෙ වැඩකට ඇති දෙයක් නෙවෙයි. ඒ විචාර ක්‍රමය නැත්නම් වඩා හොඳයි. ගීත විචාරය හරියට කරනවා නම් ඒක හරි වැදගත් දෙයක්. අපි ඉගෙන ගත්තෙ මානවසිංහ වැනි අයගේ නිර්මාණ කියවලා ස්වයං අධ්‍යයනයක් ඔස්සේ නිර්මාණ දියුණු කරගනිමින්. විචාරවලට ඇහුම්කන් දෙනවට වඩා ඒ ක්‍රමය හොඳයි. මම ඊළඟ පරම්පරාවට කියන්නෙ මගේවත් පණ්ඩිත වාක්‍ය අහන්නෙ නැතුව අපි කරපු දේවල් අධ්‍යයනය කරලා තමන්ගෙ ගමන්මඟ සකස් කරගන්න කියලයි. සාහිත්‍යයට පිවිසෙන කෙනෙක් කළ යුත්තේ එයයි. නූතන විචාරකයින්ගේ අපභ්‍රංසවලට ඇහුම්කන් දීලා තමන් මොට වෙන්නෙ නැතුව වින්දන ශක්තිය ඇති කරගන්න ඔවුන් උත්සාහ ගන්න ඕන.

 

(සුනිල් සරත් පෙරේරා සමඟ කළ සංවාදයකිනි)

සටහන [අජිත් නිශාන්ත]

මාතෘකා