කවුළුව

 ඡායාරූපය:

කවුළුව

ස්ටෑන් ලීගේ ප්‍රථම වැඩිහිටි නවකතාව සැප්තැම්බරයේ පළ වෙයි

සපයිඩර්-මෑන්, එක්ස්-මෙන් සහ අයන් මෑන් වැනි අතිශය ජනප්‍රිය කාටූන් චරිත රැසක් නිර්මාණය කළ ස්ටෑන් ලී මියයෑමට පෙර වැඩිහිටියන් වෙනුවෙන් රචනා කළ ප්‍රථම නවකතාව ළඟදීම පළ වීමට නියමිතයි. ඔහුගේ අවසන් කෘතිය ලෙස සැලකෙන මේ නවකතාවෙන් කියැවෙන්නේ අසාමාන්‍ය බලයක් ඇති තරුණයන් දෙදෙනෙකු එක්ව ලෝකය විනාශ වීමට නොදී රැකගන්නා ආකාරය ගැනයි. ‘එ ට්‍රික් ඔෆ් ලයිට්’ (A Trick of Light) යනුවෙන් නම් කර ඇති මේ කෘතිය ඔහු රචනා කර ඇත්තේ කැට් රොසෙන්ෆීල්ඩ් නමැති තවත් ලේඛකයෙකුගේද සහාය ඇතිවයි. හවුටන් මිෆ්ලින් හාකෝර්ට් නමැති ප්‍රකාශන සමාගමක් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මේ කෘතිය වසර ගණනාවක් තිස්සේ වරින් වර සකසමින් ලියන ලද්දක්. මේ නවකතාවේ ශ්‍රව්‍ය පිටපතක්ද මේ සතිය ඇතුළත නිකුත් වීමට නියමිත බව සඳහන් වෙනවා. ඔඩිබල් නමැති ශ්‍රව්‍ය නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ඒ ශ්‍රව්‍ය කෘතිය සඳහා හඬ සපයා ඇත්තේ යාරා ෂාහිඩි නමැති රංගන ශිල්පියා විසින්. එහි ලී විසින් හඬ ඉදිරිපත් කරන ලද කොටස්ද ඇතුළත්ව තිබෙන බවයි සඳහන් වන්නේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මියයන විට 95 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ හඬ මඟින් මේ ශ්‍රව්‍ය කෘතියේ අගය වඩාත් වැඩි වන බවයි බොහෝ අයගේ අදහස.

----------------

ටෝනි මොරිසන් චරිතය රැගත් චිත්‍රපටයක් අද ප්‍රදර්ශනයට

නොබෙල් සහ පුලිට්සර් ත්‍යාගලාභී ඇමෙරිකානු නවකතාකාරිනි ටෝනි මොරිසන්ගේ චරිතය පාදක කරගනිමින් නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටයක් අද (ජූනි 21 වැනිදා) සිට ඇමෙරිකාවේ නිව්යෝක් සහ ලොස්ඇන්ජලීස් ඇතුළු නගර කිහිපයක සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරෙනවා. ටෝනි මොරිසන්ගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන ටිමති ග්‍රීන්ෆීල්ඩ් - සෑන්ඩර්ස් විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ චිත්‍රපටය නම් කර ඇත්තේ ‘ටෝනි මොරිසන්: ද පීසස් අයි ඈම්’ (Toni Morrison: The Pieces I Am) යන නමින්. ටෝනි මොරිසන්ගේ අපූරු කතා කලාව සඳහා අවශ්‍ය වටාපිටාව නිර්මාණය වූ ආකාරය පැහැදිලිව විස්තර කෙරෙන පරිදි ඇගේ ජීවිත කතාවෙන් බිඳක් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට මේ චිත්‍රපටය සමත්ව තිබෙනවා. වර්ෂ 1931 දී ඔහියෝ ප්‍රාන්තයේ ලොරේන් නමැති නගරයේ ව්ලෝ ඇන්තනි වොෆොර්ඩ් යන නමින් උපත ලද දැරියක් විවිධ සාහිත්‍ය සම්මාන සහ ගෞරව ප්‍රණාම රැසක් හිමිකර ගත් ටෝනි මොරිසන් නමැති ලේඛිකාව බවට පත්වූ ආකාරය මේ චිත්‍රපටයෙන් ඉතා විචිත්‍රවත් ආකාරයකින් ඉදිරිපත් කෙරෙනවා.

මාතෘකා

ජනප්‍රිය ලිපි