බුකර් ජාත්‍යන්තර ත්‍යාගය සඳහා කෙටි නිර්දේශ ලැයිස්තුව ප්‍රකාශ වේ

 ඡායාරූපය:

බුකර් ජාත්‍යන්තර ත්‍යාගය සඳහා කෙටි නිර්දේශ ලැයිස්තුව ප්‍රකාශ වේ

ලොව පුරා විවිධ රටවල විවිධ භාෂාවලින් පළ වූ කෘතීන්වල ඉංග්‍රීසි පරිවර්තන අගයමින් පිරිනැමෙන ලොව ඉහළම සාහිත්‍ය සම්මානයක් වන බුකර් ජාත්‍යන්තර ත්‍යාගය සඳහා 2019 වසරට අදාළ කෙටි නිර්දේශ ලැයිස්තුව පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණා. මෙවර කෙටි ලැයිස්තුවට ලේඛිකාවන් වැඩි පිරිසක් ඇතුළත්ව තිබීම විශේෂ කරුණක්. විවිධ භාෂා 25කින් කෘතීන් 108ක් අතරින් කෘතීන් හයක් මේ කෙටි ලැයිස්තුව සඳහා තෝරාගෙන ඇති අතර එයින් කෘතීන් පහක්ම රචනා කරනු ලැබ ඇත්තේ ලේඛිකාවන් විසින්. මෙයට පෙර මේ ත්‍යාගය හිමිකර ගත් පෝලන්ත ලේඛිකා ඔල්ගා ටොකාක්සුක් විසින් රචනා කරනු ලැබ, ඇන්ටෝනියා ලොයිඩ්-ජෝන්ස් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘ඩ්‍රයිව් යුවර් ප්ලෝ ඕවර් ද බෝන්ස් ඔෆ් ද ඩෙඩ්’ (Drive Your Plow Over the Bones of the Dead) නමැති කෘතියද මේ අතර තිබෙනවා. ඒ හැරුණු විට ප්‍රංශ ජාතික ලේඛිකාවක වන ඇනී අරනොක්ස් විසින් රචනා කරන ලදුව, ඇලිසන් එල්. ස්ට්‍රේයර් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘ද ඉයර්ස්’ (The Years) නමැති ස්වයංලිඛිත චරිතාපදානයත්, චිලියානු ලේඛිකා ආලියා ට්‍රෑබුකෝ සෙරාන් විසින් රචනා කරන ලදුව සොෆී හියුස් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘ද රිමේන්ඩර්’ (The Remainder) නමැති ප්‍රථම කෘතියත්, ඕමානි ලේඛිකා ජෝඛා අල්හාර්ති විසින් රචනා කරන ලදුව මැරිලින් බූත් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘සෙලෙස්ටියල් බොඩීස්’ (Celestial Bodies) සහ ජර්මානු ලේඛිකා මැරියොන් පොෂ්මාන් විසින් රචනා කරන ලදුව ජෙන් කැලේජා විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘ද පයින් අයිලන්ඩ්ස්’ (The Pine Islands) නමැති කෘතියත් වශයෙන් ලේඛිකාවන් විසින් රචනා කරන ලද කෘති පහක් සමඟ කොල‍ොම්බියානු ලේඛක ජුවාන් ගබ්‍රියෙල් වාස්ක්වේස් නමැති ලේඛකයා විසින් රචනා කරන ලදුව ඈන් මැක්ලීන් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද ‘ද ෂේප් ඔෆ් ද රුයින්ස් (The Shape of the Ruins) නමැති කෘතියත් මෙවර කෙටි නිර්දේශ අතරට ඇතුළත්ව තිබෙනවා.

----------------

කියුබාවේ හවානාහි හෙමිංවේ නිර්මාණ සංරක්ෂණය ඇරඹේ

ප්‍රකට ඇමෙරිකානු ලේඛක අර්නස්ට් හෙමිංවේ මියගොස් වසර 60කට ආසන්න කාලයකට පසු ඔහු කලක් වාසය කළ කියාබුවේ හවානා නුවර පිහිටි ‘ෆින්කෝ විගියා’ (Finca Vigia) නමැති නිවෙස ඔහුගේ නිර්මාණ සඳහා සංරක්ෂණාගාර මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙනවා. කියුබාවේ ජීවත් වූ වසර 21ක පමණ කාලය පුරා හෙමිංවේ ජීවත්ව සිට ඇත්තේ මේ නිවෙසේයි. ඔහු ‘දි ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී’ (The Old Man and the Sea) නමැති සිය සුප්‍රකට නවකතාව රචනා කර ඇත්තේද මේ නිවෙසේදීයි. කියුබානු විප්ලවය ඇරඹී වසරකට පසු, 1960 වසරේදී ඇමෙරිකානු තානාපති කාර්යාලයේ උපදෙස් පරිදි හෙමිංවේ ආපසු ඇමෙරිකාවට ගොස් ඇති අතර, එයින් වසරකට පසුව ඔහු සියදිවි හානිකරගෙන තිබෙනවා. ඒ වන විට ආසන්න වශයෙන් ඔහුගේ ඡායාරූප 5,000ක්, ලියුම් 10,000ක් සහ ඔහුගේ සටහන් සහිත පොත් 9,000ක් පමණ හවානා නුවර පිහිටි නිවසේ තැන්පත් කර තිබී ඇතැයි සඳහන් වෙනවා. හෙමිංවේ චරිතාපදාන රචක ඒ. ස්කොට්බර්ග් පවසන ආකාරයට ඒ ලිපිලේඛන මඟින් හෙමිංවේ සිතූපැතූ ආකාරය ගැන වඩාත් අවබෝධයක් ලබාගත හැකියි. හෙමිංවේ විසින් තැනින් තැන සටහන් තැබූ ‘දි ඕල්ඩ් මෑන් ඇන්ඩ් ද සී’ සිනමා තිරනාටක පිටපතක් සහ ඔහු විසින් නවකතාවක් සඳහා යොදා ගැනීමට අදහස් කරගෙන සිට පසුව අත්හැර දමන ලද, දෙවැනි ලෝක යුද්ධය ආශ්‍රිත සංවාදාත්මක සටහන් සහිත කඩදාසි කිහිපයක්ද මේ ලිපිලේඛන අතර තිබෙනවා. එසේම සිය ‘ෆෝ හූම් ද බෙල් ටෝල්ස්’ (For Whom the Bell Tolls) නමැති නවකතාව සඳහා පසුවදනක් ලිවීම සඳහා ආරම්භක වැකි කිහිපයක් පමණක් ලියා අත්හැර දමන ලද කුඩා සටහනක්ද ඔහුගේ මේ ලිපිලේඛන අතරට ඇතුළත් වෙනවා.

------------------

ජේ. කේ. රෝලින් රවටා මුදල් වංචා කළ පුද්ගලික සහකාරවරියට දඩ

සිය හිටපු පෞද්ගලික සහකාරවරියක වූ අමන්දා ඩොනල්ඩ්සන් විසින් කරන ලද මුදල් වංචාවක් සම්බන්ධයෙන් ජනප්‍රිය නවකතා රචිකා ජේ. කේ. රෝලින් ගොනු කර තිබූ නඩු විභාගයක් පසුගියදා නිමාවට පත් වුණා. වටිනා තෑගි සහ ආහාර වර්ග මිලදී ගැනීම සඳහා මේ සහකාරවරිය විසින් වරින් වර අයථා ලෙස මුදල් පරිහරණය කර ඇති බව හෙළිදරව් වීමෙන් පසුව රෝලින් විසින් ගොනු කරන ලද මේ නඩුව අවසන් වුණේ සහකාරවරිය විසින් ස්ටර්ලිං පවුම් 19,000ක මුදලක් රෝලින්ට ආපසු ගෙවිය යුතු බව තීන්දු කරමින්. විවිධ පෞද්ගලික අවශ්‍යතා සඳහා රෝලින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත සහ වෙනත් ගෙවීම් ක්‍රම යොදාගනිමින් අමන්දා විසින් අයථා මුදල් ගනුදෙනු රැසක් කර ඇති බව නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි මඟින් තහවුරු වුණා. ඇය වරින්වර ස්ටර්ලිං පවුම් 9,832ක මුදලක් අයථා ගනුදෙනු සඳහා වැය කර ඇති බව එහිදී හෙළිදරව් වුණා.

රෝලින්ගේ කාර්ය මණ්ඩල සාමාජිකාවක ලෙස 2014 වසරේදී සේවයට බැඳී ඇති ඇය එයින් වසරක් ගතවීමට පෙර අයථා මුදල් ගනුදෙනු කිරීමට පටන්ගෙන ඇති බව නඩු විභාගයේදී අනාවරණය වී තිබෙනවා. ඇය විසින් කරන ලද අයථා ගනුදෙනු පිළිබඳව සොයාබැලීම ආරම්භ කෙරුණේ 2017 වසරේ පෙබරවාරි මාසයේදීයි. රෝලින්ගේ අනුදැනුමකින් තොරව සිය අභිමතය පරිදි ඇය විසින් මේ අයථා ගනුදෙනු සියල්ල සිදු කර ඇත්තේ පෞද්ගලික පරිහරණය සඳහා විවිධ නිෂ්පාදන සහ සේවාවන් ලබාගැනීමට මෙන්ම සිය හිතවත් පිරිස් සඳහා මිල අධික ත්‍යාග මිලදී ගැනීම සඳහායි. ඒ සියලු ගනුදෙනු කරනු ලැබුවේ රෝලින්ගේ අනුමැතිය සහිතව බව ඇය නඩු විභාගයේදී පවසා සිටි නමුත් එය එසේ යැයි සනාථ කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමට ඇය සමත් වුණේ නැහැ.

මාතෘකා