මොකක්ද මේ 'ICCPR' පනත?

 ඡායාරූපය:

මොකක්ද මේ 'ICCPR' පනත?

"සිදුහත් කුමාරයාගේ චරිතය මාර්ටින් වික්‍රමසිංහයන් 'බව තරණය' ලෙස එළිදක්වනවා. ඒ වගේම නීති ශිෂ්‍යයෙක් ලියපු තවත් පොතක සිදුහත් කුමාරයා 'දඩබ්බරයා' ලෙස හඳුන්වා තිබෙනවා...මේ සෑම පොතකම ආශ්චර්යවත් සිදුහත් කුමාරයෙක් ගැන වෙනුවට බොහොම සාමාන්‍ය කුමාරයෙක් ගැනයි කියවෙන්නේ. සමහරුන්ට මෙයින් සිත් රිදීමක් ඇතිවෙන්න පුළුවන්. 'ICCPR' පනත ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගැනීමක් සිදුකරන්න නම් ඊට එහා ගිය වෛරයක් නැත්නම් භීෂණයක් ආගම ගැන ඇතිවෙන්න අවශ්‍යයි. මිනිස් අයිතිවාසිකම් ගැන අපි සාපේක්ෂව බලන්න ඕනේ. ඕනෑම පුද්ගලයකුට තිබෙනවා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය"

එසේ පවසන්නේ ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතාය. ඔහුගේ අදහස් දැක්වීමට පාදක වූ 'ICCPR' පනත කුමක්ද? මේ ඒ පිළිබඳ කරන විමසීමකි.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) සිවිල් යුද සමයේ මෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ප්‍රබල සංවාදයට ලක්වූ පනතකි. මෙම පනතේ පූර්විකාවේ සඳහන් වන්නේ "සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ ව්‍යවස්ථාමය පියවර මඟින් පිළිගැනීමක් ලබාදී නැති මානව හිමිකම්වලට අදාළ ඇතැම් ව්‍යවස්ථා බලාත්මක කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනතකි" යනුවෙනි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හිමිවන මූලික අයිතිවාසිකම් පිළිබඳව සඳහන් කර තිබේ.

තිස් වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධමය වාතාවරණය තුළ ඇතැම් මූලික අයිතිවාසිකම් සීමා වූ බවට එල්ල වූ චෝදනා හමුවේ යුද්ධ ගැටුම්වලින් අනතුරුව එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීම සඳහා නීති සම්පාදනය කරමින් පිළිගත් ජාත්‍යන්තර සම්මුති හා සමගාමීව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අඩංගු නොවුණු ඇතැම් මානව හිමිකම් තහවුරු කිරීම එමඟින් අපේක්ෂා කෙරේ.

1966 දෙසැම්බර් මස 16 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ 1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාවද පාර්ශ්වයක් ලෙස එක්විණ.

1980 ජුනි මස 11 වැනි දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලටද ව්‍යවස්ථාමය පිළිගැනීක් ලබා දීම සිදුවිය.

මින් පෙර ප්‍රමාණවත් ලෙස ව්‍යවස්ථාමය පිළිගැනීමක් ලබා නොදුන් ඉහත කී සම්මුතියේ සඳහන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට සරිලන නීති සම්පාදනය කිරීම සඳහා රජයට මතු වූ අවශ්‍යතාව ICCPR පනතේ ආරම්භය ලෙස දැක්විය හැකිය.

ජාත්‍යන්තර සම්මුති අනුව පිළිගැණුනු ඇතැම් අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ලබා දීම මෙන්ම එකී අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම පනතෙන් සිදුවිය.

මෙම පනතෙන් ජනතාව පීඩනයට පත් කළ හැකිද යන්න මෙහිදී මතුවන තවත් කරුණකි.

පසුගියදා පොල්ගහවෙල ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් සිදුකළ පැමිණිල්ලකට අනුව ලේඛකයකු වන ශක්තික සත්කුමාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැලඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

ඒ අතර ෆාතිමා නුශ්රා සාරූක් නම් කාන්තාවක ඇඟලා සිටි දිගු ගවුමේ පිටුපස 'ධර්ම චක්‍රයක හැඩයේ' සලකුණක් තිබීම හේතුවෙන් හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ අඩංගු වගන්තිවලින් බලාත්මක වන නීතිය අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවිය.

මේ හේතුවෙන් බොහෝ පිරිසක් අදාළ පනත 'ජනතාව මර්දනය' කිරීම සඳහා ක්‍රියාත්මක වන්නක් ලෙස හඳුන්වා තිබිණි. එමෙන්ම අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීමේ හැකියාවද මෙම පනතෙන් ලැබෙන බවට සමහරු මත පළ කර තිබිණ.

පනතේ 3 (1) වගන්තියේ අන්තර්ගතය බොහෝ විට මෙම මතවාදවලට තුඩුදුනි. ඉහත සඳහන් අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබන්නේද මෙම වගන්තිය යටතේ සැපයෙන නීති අර්ථකථනය කිරීමෙන්ය.

3 (1) වගන්තිය අනුව "කිසිම තැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම් නොකළ යුතුය."

එමෙන්ම 3 වැනි වගන්තියේ (4) වැනි උප වගන්තිය ප්‍රකාරව "මේ වගන්තිය යටතේ වූ වරදක් සංඥෙය සහ ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසිම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතුය" යනුවෙන් සඳහන් වී තිබේ.

ඒ අනුව 3 (1) වගන්තියේ සඳහන් ආකාරයේ වරදක් සිදුකළ තැනැත්තකුට ඇප ලබා ගැනීමේ මුල් අවස්ථා අධිකරණය වන්නේ මහාධිකරණයයි. එහි අරුත වන්නේ මහාධිකරණයකට වඩා පහළ අධිකරණයකින් ඇප ලබා ගැනීමට නොහැකිය යන්නයි.

ඒ අනුව 1997 අංක 30 දරන ඇප පනත මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක නොවේ.

"මෙවැනි වගන්තියක් යටතේ පුද්ගලයකුට නඩු පවරද්දී පොලිසිය ඉතා පරිස්සම් වෙන්න ඕනේ. මෙය අධිකරණයට වුණත් යම් සීමා පනවන පනතක්. මේ වගන්තියට පුළුල් සහ පටු අර්ථ විවරණ දෙකක් දෙන්න පුළුවන්. එසේ අර්ථ විවරණය කරන කොට පනතේ තිබෙන අනෙක් දේ සමඟ කියවා බැලීම අවශ්‍යයි. මෙහි පළමු වගන්තියේ තිබෙන්නේ 'යුද්ධය පැතිරවීම'. නමුත් ඉන්පසු සඳහන් වෙන එදිරිවාදිකම් සහ වෛරය ඇති කිරීම යන දේවල්ද අර යුද්ධයක් ඇති කිරීමේ මට්ටමට ළඟා වන තරමේ ක්‍රියාකාරකම් වෙන්න ඕනේ. උදාහරණයකට, මම කිව්වොත් මගේ බුදු දහම තමයි ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨතම ධර්මය කියලා, පනත අනුව ඒකත් වරදක් විදියට යම් කෙනෙක් සිතන්න පුළුවන්. නමුත් එය 'වෛරය පැතිරවීම' මට්ටමට ළඟා වෙන්නේ නැහැ" යනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් ඒ පිළිබඳ වැඩිදුරටත් පවසයි. පනත පුළුල් ලෙස විග්‍රහ කළ විට එහි අරමුණ අයිතීන් මර්දනය කිරීම නොව අයිතීන් වඩාත් තහවුරු කිරීම යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

ෆාතිමා නුශ්රා සාරූක්ගේ ඇඳුමේ තිබූ රූපයක් නිසා අත්අඩංගුවට ගැනීම ගැන ඔහුගේ අදහස වන්නේ, "බෞද්ධයෙක් වශයෙනුත් මම මේ සිද්ධිය දැඩි කනගාටුවෙන් හෙළා දකිනවා. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. මුලින්ම මේ ඇඳුමේ තිබෙන්නේ ධර්ම චක්‍රයක් නෙමෙයි, පැහැදිලිව පෙනෙනවා ඒක නැවක සුක්කානම කියලා," යනුවෙනි.

හිටපු ජනාධිපති බැරක් ඔබාමා සිය කලිසම් සාක්කුව තුළ බුදු රුවක් තබාගෙන සිටින අතර මාධ්‍ය සාකච්ඡාවකදී එය පෙන්වා සිටියේය.

"මම දැක්කා බෞද්ධ කොඩිය මහපු කමිස වෙළෙඳපොළෙහි විකුණන්න තිබෙනවා. කොඩිය වෙනුවට ධර්ම චක්‍රය දැම්මා නම් ඒකත් වැරද්දක් වෙන්න ඕනේ. නමුත් කාන්තාව මුස්ලිම් වීම මත අත්අඩංගුවට අරගෙන රඳවා ගත්තා. මිනිස්සු ධර්ම චක්‍රය කමිසවල වගේම පලඳනාවක් විදියටත් භාවිත කරනවා. එහෙම බැලුවොත් ඒ සියලු දෙනා වගේම ඒවා විකුණන අයත් වැරදිකාරයෝ වෙන්න ඕනේ."

'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතට අදහස් දක්වමින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ පවසා ඇත්තේ පුද්ගල අයිතීන් සුරැකීම සඳහා හඳුන්වා දුන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය සිවිල් නිදහස සීමා කිරීමට යොදාගෙන ඇති බවය.

ශක්තික අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස සීමා කිරීමක් වන අතර ෆාතිමා නුශ්රා සාරූක්ගේ සිද්ධිය පනතේ කරුණු අනිසි ලෙස යෙදවීමක් ලෙස ඔහු තවදුරටත් සඳහන් කර තිබිණි.

'ICCPR' ක්‍රියාත්මක වූ විශේෂ අවස්ථා මොනවාද යන්න විමසීමේදී පෙනී යන්නේ 2018 මාර්තු මස දිගන සිදු වූ කලහකාරී සිදුවීම්වලින් පසු මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ සහ තවත් පුද්ගලයන් දිගු කලක් බන්ධනාගාරගත වීමද මෙම පනත සහ හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන් සිදුවූ බවය.

හදිසි නීති මෙන්ම මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජන කොටස්වලට අයත් පිරිස වරින් වර ඇති වූ යුද්ධමය තත්ත්වයන් සහ කලහකාරී සිදුවීම් යටතේ අත්අඩංගුවට පත්වී තිබේ.

කෙසේ වෙතත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතින් විවිධ ආකාරයේ අයිතිවාසිකම් ආවරණය කර ඇති අතර 4 (1) වගන්තියෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයාගේ අයිතිවාසිකම් ගැන පවා සඳහන් කර තිබේ.

නෙළුම් මලක වැඩ සිටින බුදුරුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන් 2014 වර්ෂයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ එම පච්චය මහජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් පසු ඇය මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කර ඉන් ලද නියෝගයක් අනුව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට කටයුතු ක‍ළේය. නමුත් මානව හිමිකම් කඩවීම යටතේ ඇය ගොනු කළ නඩුව අවසානයේදී එම බ්‍රිතාන්‍ය කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් වශයෙන් රුපියල් අට ලක්ෂයක් ගෙවිය යුතු යැයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඒ වනවිට කිහිප වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබූ නයෝමි පැවසුවේ සැදැහැවත් බෞද්ධයකු වන තමා සිය බාහුවේ බුදුරුවක් පච්චා කොටා ගන්නා ලද්දේ "බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා" යනුවෙනි.

"කොහොම වුණත් මෙවැනි වගන්තියක් යටතේ පුද්ගලයකුට නඩු පවරද්දී පොලිසිය ඉතා පරිස්සම් වෙන්න ඕනේ. මෙය අධිකරණයට වුණත් යම් සීමා පනවන පනතක්" යැයි ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් පැවසීය.

3(1) වගන්තිය යටතේ නඩු පැවරූ විට මහාධිකරණයෙන් ඇප ඉල්ලීමේදී 'විශේෂ කරුණු' ඉදිරිපත් කළ යුතුය. නමුත් එම විශේෂ කරුණු මොනවාද යන්න නීතිය තුළ අර්ථ නිරූපණය කර නොමැත. මේ අනුව නඩුවලදී විනිසුරුවරුන්ට අතිවිශේෂ කරුණු යන්න විග්‍රහ කිරීමට පුළුල් නිදහසක් හිමි වේ.

ශක්තික සත්කුමාර මෙන්ම ෆාතිමා නුශ්රා සාරූක්ද මේ වන විට සිය මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ. 1978 ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේද පුරවැසියන්ට හිමිවන මූලික අයිතිවාසිකම් ගැන දක්වා තිබේ.

"ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවලද ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් බිහි කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා ඒ පරම්පරා විසින් දරනු ලබන්නා වූ ප්‍රයත්නයේදී සහාය වීමට පැමිණෙන සකල ලෝක වාසීන්ගේද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරෙන අස්පර්ෂණීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධීනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා…"

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) මූලික අයිතිවාසිකම් පිළිබඳ මෙසේ සඳහන් කර තිබේ.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය. ආරක්ෂා කරනු ලැබිය යුත්තේය. වර්ධනය කරනු ලැබිය යුත්තේය. තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය යටතේ ඕනෑම පුද්ගලයකුට භාෂණයේ නිදහස, නැතහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිමි වේ.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තිය යටතේ ඕනෑම පුද්ගලයකු‍ට තමන්ගේ කැමැත්ත අනුව ඕනෑම ආගමක් වැලඳ ගැනීමේ නිදහසද විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද හිමිවේ. හෘද සාක්ෂියේ නිදහස තුළින් පුද්ගලයකුට තමන්ට රිසි දෙයක් සිතීමේ සහ ඕනෑම ආගමක් හෝ සදාචාරාත්මක කාරණාවක් ගැන තමන් කැමති මතයක් දැරීමේ අයිතිය හිමි වේ.

කෙසේ නමුත් මේ සියලු අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ අන් අයගේ පෞද්ගලිකත්වයට හානි නොකර, ආත්ම ගරුත්වයට හානි නොකර, ඔවුන්ගේ අයිතිවාසිකම්ද සුරැකෙන ආකාරයෙනි. පුද්ගල අයිතිවාසිකම් සීමාව ඉක්මවා භාවිත කිරීමට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විවිධ පනත් සහ නීතිවලින් නොයකුත් සීමා පනවා තිබේ.

ස්තූතිය : බීබීසී සිංහල

ඡායාරූපය[අන්තර්ජාලයෙනි]

[දැහැමි රණවීර]

මාතෘකා