වැලිකඩ බන්ධනාගාරයේ ඇසින් දුටු සාක්ෂි අභියස රංගජීවලාගේ නාටක

 ඡායාරූපය:

වැලිකඩ බන්ධනාගාරයේ ඇසින් දුටු සාක්ෂි අභියස රංගජීවලාගේ නාටක

2012 නොවැම්බර් 9 වැනිදා දහවල් සිට ආරම්භව ඊට පසුදින අලුයම වනතුරු වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ ලැයිස්තුගත සිරකරු ඝාතනයට මේ වන විට වසර පහකුත් මාස හතරක් ගතව තිබේ. එවකදී රාජපක්ෂ පාලනය එම ඝාතනය සාධාරණීයකරණය කරමින් එහි වූ සමස්ත සිදුවීම හෝ එහි ආරම්භය මෙන්ම, අවසානය රටට හෙළි නොකළේය. ඒ වෙනුවට රාජ්‍ය බලය යටතේ මෙරට සිදුවූ අපරාධ ගණනාවකට චෝදනා ලබා සිටින කුප්‍රකට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ලවා මාධ්‍යයට ප්‍රකාශ කළේ සිරකරුවන් කැරැල්ලක් ඇති කළ බවත්, ඔවුන් අවි ගබඩාව බිඳ පළා යන්න උත්සාහ කළ බවත්, එහිදී වෙඩි වැදී දරුණු අපරාධකරුවන් 27ක් මියගිය බවත්ය. එවක සිටි බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මීට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර, ඊට අමතරව බන්ධනාගාර අධිකාරීවරයා විසින් කමිටුවක් පත් කර වාර්තා ලබා ගන්නා ලදී. පොලිස් දෙපාර්තුමේන්තුව විසින්ද පරීක්ෂණ පවත්වන ලදී. ඒවායේ සඳහන් තොරතුරු මොනවාද, ඒවාට කුමක් වීද යන්න මේ වන තුරුත් කිසිවෙකුත් නොදනී. මේ අතර යහපාලන රජයද මේ පිළිබඳව සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. එම කමිටු වාර්තාව බාර දී මේ වන විට වසර තුනක් ගතව තිබේ. එහෙත් ඊට තවම ගන්නා ලද පැහැදිලි පියවරක් නොමැත. නීතිය ඉටු කිරීම සහ ඉටු වන බව මහජනයාට පෙනෙන්ට තිබිය යුතුය යන නීතියේ සඳහන් මූලික පිළිගැනීම පවා කඩ කරමින් මෙරට පාලකයන් හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන තවදුරටත් කටයුතු සිදු කරමින් සිටීම කණගාටුදායකය. වසර පහකට පසුව වැලිකඩ බන්ධනාගාර ඝාතනයට අදාළව එක් පුද්ගලයකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.  


 පොදු ගැටලුව   
අනෙක් අතට මෙම අපරාධ සිදු වූ සමයේ රාජ්‍ය නිල බලය සහ එහි අණ නිකුත් කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැනි බලාධිකාරීහු යුක්තිය පසිඳලනු ලබන උත්තරීතර යැයි පුන පුනා කියන අධිකරණයෙන්ම මෙම ඝාතනවලටත්, අනෙකුත් චෝදනාවලටත් තමන්ව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් සිටිති. අනෙක් අතට බල දේශපාලන සංස්කෘතිය හොඳින් හසුවරුවන ඔවුහු මාධ්‍ය වෙත පැමිණ සිනාමුසු මුහුණින් තමන්ව ප්‍රශ්න කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් කළ නොහැකි බව ප්‍රකාශ කරමින් නීතිය එවකදී සේම හෑල්ලු කරමින් සිටිති. මෙම අපරාධ සම්බන්ධව යුක්තිය අපේක්ෂා කරන මාධ්‍යකරුවන්ට හෝ සිවිල් පුරවැසියන්ට හුදු පුද්ගල චරිත සමග පමණක් ආරෝවක් නොමැත. ඇත්තේ අපරාධ වරදක් යනු රාජ්‍යයට හා සමස්ත සමාජයට එරෙහි වරදක් වන බැවින් ඒවාට යුක්තිය ඉටු නොවීම පිළිබඳව ඉතිහාසයේ සිටම පවතින පොදු ගැටලුවකි.   


රංගජීවගෙන් පෙත්සමක්   
ඉහළ නිලධාරියාගේ අණ කිරීම මත යම් අපරාධයක් හෝ නීතියට පිටින් ගොස් මනුෂ්‍ය ඝාතන සිදු කරයි නම් ඒ කිසිවෙකුටත් නීතිය ඉදිරියේදී විනිර්මුක්තියක් හිමි නොවේ. 2012 නොවැම්බර් 9 වැනිදා වැලිකඩ බන්ධනාගාර සිදුවීම සන්සුන් වූ පසුව සිවිල් ඇඳුමින් සැරසී බන්ධනාගාරය තුළට නම් ලැයිස්තුවක් අතැතිව පැමිණ සිරකරුවන් දණගස්වා ඝාතනය කළ බවට ඇසින් දුටු සාක්ෂි ගනාවක් ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියොමාල් රංගජීවද පසුගිය සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය. ඒ අනුව 22 වැනිදා රංගජීව විසින් තමන්ව අත් අඩංගුවට පත්වීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා අංක 101/18 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි. එම ඉල්ලීම විභාග නොකරම ශ්‍රේශ්ඨාධිකරණය ඊයේ (28) නිෂ්ප්‍රභ කර තිබේ. ඔහු වෙනුවෙන් කිසිඳු නීතිඥයෙකුද පෙනී නොසිට තිබේ. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඔහුව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.   


වැලිකඩ සිදුවීමේ අනෙක් පැත්ත   
එම සමස්ත සිදුවීමේ ආරම්භය ලෝක සම්මත බන්ධනාගාර නීති හා අප රටක් ලෙස අත්සන් කර ඇති ලෝක මානව ප්‍රඥප්තීන් කඩ කරමින් සහ බන්ධනාගාර අධිකාරීන්ගේ කිසිදු අවසරයකින් තොරව ආයුධ සන්නද්ධ
පැරා මිලිටරි ඒකකයක් වන පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් 798 දෙනෙක් බලහත්කාරයෙන් බන්ධනාගාරයට ඇතුල්වීමය. එම නීතිවිරෝධී ඇතුල්වීමෙන් අනතුරුව සිරකරුවන්ට ලෝකයේ කිසිදු බන්ධනාගාරයක සිදු නොකරන අන්දමට සිරකරුවන්ට මාංචු දමමින්, දණ ගස්වා පහර දෙමින් සෝදිසි කරන ලදී. සැකකරුවන් වූ පූර්ණ නිර්දෝශී බවට පිළිගැනෙන මිනිසුන්ටද, සමාජයේම වරදකින් වැරදිකරුවන්ව නීතියේ සඳහන් පටිපාටිය මගින් නීත්‍යානුකූල දඬුවම් ලැබ සිටි මනුෂ්‍යන් වන සිරකරුවන්ද එයින් පීඩාවට පත් විය. එලෙසින් කුපිත වූ මනුෂ්‍යන් සිර මැදිරි තුළට දමා එක දිගට කඳුළු ගෑස් එල්ල කළ පසුව ඔවුන්ගේ පීඩනය පුපුරා ගිය බව එකල පාලනය හෝ මාධ්‍ය මහජනතාවට හෙළිදරව් නොකළේය. මහජනතාවද විචාර බුද්ධියකින් එහි මුළ අග නොවිමසන ලදී. බන්ධනාගාර වහලය උඩට නැගි සිරකරුවන් ගිනි අවි කීපයක් අතැතිව කෑකෝ ගසන ජායාරූප සහ වීඩියෝ දර්ශන කීපයක් පමණක් එවකදී මාධ්‍ය වෙත මුදා හරින ලදී. එය පමණක් පෙන්වමින් එවක පාලකයන් ඔවුන් මරා දැමීම සාධාරණය කළේ ඔවුන් දරුණු ගණයේ අපරාධකරුවන් බවට සමාජ මතයක් සකස් කරමිනි. එමෙන්ම එහි භායානකම සිදුවීම සිදු වූවේ බන්ධනාගාර නොසන්සුන්තාව පාලනය කිරීමෙන් අනතුරුව මධ්‍යම රාත්‍රියේදී සිවිල් ඇඳුමින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් නම් ලැයිස්තුවක් ගෙන තෝරගෙන රැඳවියන් ඝාතනය කිරීමය. බන්ධනාගාර පුහුණු නිලධාරීන්ගේ සහාය ලබා නොගෙන, බන්ධනාගාර දෙපාර්තුමේන්තුව දැනුවත් නොකර සහ ඔවුන්ගේ ඉල්ලීමකින් තොරව බන්ධනාගාරය තුළට නීතිවිරෝධීව පැමිණ කළ සෝදිසියේ වන්ඳිය ගෙවන ලද්දේ නිරායුධ සිරකරුවන් සහ නිශ්චිත නඩු විභාග කීපයකට සාක්ෂි දීමට සිටි රිමාන්ඩ් සැකකරුවන්ය.   


දෙවන කමිටු වාර්තාව   
මෙම ඝාතනයෙන් මාස 22කට පසුව එනම්, 2015 ජනවාරි 22 වැනිදා එම සිදුවීම පිළිබඳව සොයා බැලීමට එවකට නීතිය හා බන්ධනාගාර අමාත්‍යවරයාව සිටි විජේදාස රාජපක්ෂ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. හිටපු මහාධිකරණ විනිසුරු බන්ධුල අතපත්තුගේ ප්‍රධානත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේගුණතිලක, ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.කේ ලියනගේ කටයුතු කළහ. කමිටුවේ සාක්ෂි මෙහෙයවීම සහ සටහන් කිරීම සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බන්ඩාර කටයුතු කළ අතර එහි අවසන් වාර්තාව 2015 ජුනි 9 වැනිදා රජයට බාර දී තිබිණි. එම කමිටුව හමුවේ ඇසින් දුටු සාක්ෂිකරුවන් වූ සිරකරුවන් 15දෙනෙකු සාක්ෂි ලබා දී තිබිණි. හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, සිරකරුවන් තෝරගෙන යෑම හා මියගිය සිරකරුවන් අසලට ගිනි අවි දැමූ බවට චෝදනා ලැබ සිටින වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් එමිල් රංජන් ලමාහේවගේ ඇතුළු නිලධාරීන් 20 දෙනෙකුද, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ ඝාතන නම් ලැයිස්තුවක් රැගෙන සිවිල් ඇඳුමෙන් ආ බවට චෝදනා ලබා සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ මොසෙස් රංගජීව නියෝමාල් ඇතුළු නිලධාරීන් 16 දෙනෙකුද සාක්ෂි ලබා දී තිබිණි. ඊට අමතරව බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යංශයේ එවක සිටි ලේකම්වරු දෙදෙනාද, ආරක්ෂක අමාත්‍යංශ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, රාජ්‍ය බුද්ධි ප්‍රධානීව සිටි මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ, යුද හමුදාව වෙනුවෙන් ජගත් අල්විස්, බ්‍රිගේඩියර් තනුජ ගොඩේවත්ත ඇතුළු 5 දෙනෙකුද, මහජන සාක්ෂිකරුවන් 7ක්ද සාක්ෂි ලබා දී තිබිණි. රජයේ ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් සේනක කළුආරච්චි සහ ජයන්ත දිසානායක සමරවික්‍රම විසින් ඇඟිලි සලකුණු වාර්තා ලබා දී තිබේ. එම සාක්ෂි හා ලැබී තිබූ තොරතුරු විශ්ලේෂණය කර රාජ්‍ය ගිනි අවි විශේෂඥයන් හා රජයේ රසපරීක්ෂක නිලධාරීන් වන ඩබ්ලිව්. ඩී.ජී.එස් ගුණතිලක, පී.ජී මඩවෙල, ඩබ්ලිව්.එම්.එස්.ආර් රත්නායක සාක්ෂි ලබා දී තිබිණි. මෙම ඝාතන පිළිබඳව අධිකරණ වෛද්‍ය විශේෂඥ මතයන් ලබා දෙමින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක්ද සාක්ෂි ලබා දී තිබේ.   


කමිටුවේ නිර්දේශ   
එම කමිටු වාර්තාව පිටු 272කින් සහ අනෙකුත් ඇමුණුම් සහිතව සිය සාක්ෂි සම්පිණ්ඩනයන්, නිරීක්ෂණයන්, නිගමනයන් හා නිර්දේශයන් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙම සෝදිසි මෙහෙයුම නීත්‍යානුකූල නොවන්නක් බවත්, අනවසර ඇතුළු වීමක් බවත්, බන්ධනාගාර ආඥාපනත
කඩ කිරීමක් බවත්, එමෙන්ම තෝරාගත් සිරකරුවන් පිරිසක් නම් ලැයිස්තුවකට අනුව ඝාතනය කර ඇති බවත් ඇතුළු නිරීක්ශන හා නිගමන ගණනාවක් ඉදිරිපත් කර තිබේ. රජයේ ගිනි අවි විශේෂඥයන් හා රස පරීක්ෂකවරුන්ට අනුව ත්‍රස්තවාදී කඳවුරකට එල්ල කරන ආකාරයේ අනවශ්‍ය ගිනි අවි බලයක් බන්ධනාගාරයට යොදවා ඇති බවත් එම වාර්තාවේ නිරීක්ෂණ හා නිගමනයන් වේ. තෝරාගෙන ඝාතනය කළ බවට චෝදනා එල්ලවන සිරකරුවන් අසළ තිබූ ගිනි අවිවල එම සිරකරුවන්ගේ ඇඟිලි සලකුණු හෝ පුලුන් කැටිති පරීක්ෂාවන් අනුව ඔවුන් ගිනි අවි භාවිත නොකළ පුද්ගලයන් බවද රජයේ රස පරීක්ෂකවරු තහවුරු කර තිබේ. එම ගිනි අවි පසුව එමිල් රංජන් ළමාහේවගේ විසින් 10 වැනිදා උදෑසන මළ සිරුරු අසළට ගෙනවිත් දැමූ බවටද සාක්ෂි ගණනාවක් ඉදිරිපත්ව ඇත.   


පැනයෑමට උත්සාහ කළ බවට හෙළි වූ සිරකරුවන් එකොළොස්දෙනෙකුට වන්දි ලබා නොදීමටත් අනෙකුත් මියගිය සිරකරුවන්ට සහ නිලධාරීන්ට වන්දි ලබා දීමටත් කමිටුව නිර්දේශ කර ඇත. පොලිස්පති නියමයෙන් එම කමිටු වාර්තාව පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් පරීක්ෂණ පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවට නිගමනය කර ඇත. කෙසේවෙතත් පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව කැඳවීමට අණ දුන්නේ කවුද යන්න පිළිබඳව කමිටුව විමසීමේදී එවක එම බලකායේ ප්‍රධානීව සිටි නියෝජ්‍ය පොලිස්පති
ආර්.ඩබ්.එම්.සී රණවන හෝ යුද හමුදා ප්‍රධානීන් ඊට පිළිතුරු දීමට අපොහොසත්ව තිබේ. එවක පොලිස්පති එන්.කේ ඉලංගකෝන් එම විමසීමට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය තිබුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ බවයි.


රංගජීවගේ නාටකය   
බන්ධනාගාරයේ සිදු වූ නොසන්සුන්තාවයෙන් පසුව 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ කහ පැහැති ටී ෂර්ටයක් හැද පැමිණ, නම් ලැයිස්තුවක් අතැතිව සිරකරුවන් තෝරාගෙන ගිය බවට ඇසින් දුටු සාක්ෂිකරුවන් ගණනාවක් සිය සාක්ෂි ත්‍රිපුද්ගල කමිටුවව හමුවේත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේත් ලබා දී තිබේ. නීති ක්ෂේත්‍රයේ නිතර කියැවෙන ලතින් කියමනක් තිබේ. 'Testie de visu praeponderast aliis' යන එයින් කියැවෙන්නේ ' ඇස දුටු සාක්ෂිකරුවෙකු අන් පුද්ගලයන්ට වඩා වැදගත් වේ.' යන්නයි. ඒ අනුව දැන් තමන් අත්අඩංගුවට නොගන්නයි ඉල්ලන රංගජීව එදා තම පෞද්ගලික කෝන්තර පිරිමසා ගන්නත්, ඉහළ නියෝග පිළිපදීමේ කොන්ත්‍රාත්තුවටත් අනුව බන්ධනාගාරයට පැමිණ පුද්ගලයින් දණ ගස්වා ඝාතනය කළ බවට ඇසින් දුටු සාක්ෂි ලබා දී ඇත්තේ සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්ය. එම වාර්තාව අනුව සිරකරුවන් 8දෙනෙකු විසින් රංගජීව එදින පැමිණ සිරකරුවන් තෝරාගෙන ගිය බවට සාක්ෂි ලබා දී තිබේ. කමිටු වාර්තාවේ පිටු අංක 11 සිට 34 දක්වා එම සාක්ෂි සටහන් තිබේ. එවක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වූ චන්ද්‍රරත්න පල්ලේගම සිය සාක්ෂිය මඟින්ද ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය සමථයට පත් වූ පසුව සිවිල් ඇඳුමින් යම් පුද්ගලයෙකු සමඟ කණ්ඩායමක් පැමිණ ඇති බවයි. ඔහුට අමතරව තවත් බන්ධනාගාර නිලධාරීන් 4දෙනෙකු ඍජුවම රංගජීව එදින සිවිල් ඇඳුමින් පැමිණ සිරකරුවන් කීපදෙනෙකු තෝරගෙන ගිය බවට සාක්ෂි ලබා දී තිබේ. එම සාක්ෂි සටහන් පිටු අංක 34 සිට 100 දක්වා සටහන්ව තිබේ. මේ සියල්ලට අමතරව අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ලබා දුන් වාර්තාව අනුව දණගස්වා ඝාතනය කර ඇති බවට සැක කරන සිරකරුවන්ගේ වෙඩි ප්‍රහාර හිස අසලම සිට තැබූ වෙඩි උණ්ඩ මගින් වූ ඒවා බවට සාක්ෂි ලබාදී තිබේ. මෙතරම් සාක්ෂි තිබෙන රංගජීව තමන්ව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලන්නේ කවර පදමකින්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය පළමුව සොයා බැලිය යුතුය.   


තෝරාගත් සිරකරුවන්   
මෙලෙස රංගජීව විසින් පළමුව තෝරාගෙන ගොස් පසුව ඝාතනය වී සිටි සිරකරුවන් වන්නේ සිර අංක 119844 යටතේ සිටි මාලන් හෙවත් මලින්ද නිලේන්ද්‍ර පැල්පොල, සිර අංක L17877 යටතේ සිටි කපිල හෙවත් අසරප්පුලිගේ ජෝතිපාල සහ කෝට්ටේ රජමහා විහාරයේ තිබූ පෞරාණික කඩුවක් ගැනීමට ගොස් එහි හිමිවරුන් දෙනමක් ඝාතනය කළ බවට සැකකරු වූ හර්ෂ මංජු ශ්‍රී මනිකීර්තිය. මෙම පුද්ගලයන් තිදෙනා අතරින් කපිල සමඟ ආරෝවක් රංගජීවට ඊට පෙර සිටම තිබී ඇති බව කියැවේ. සැකැකාර මංජු ශ්‍රීද ඊළඟ නඩු වාරයේදී තමන් කඩුව සොරකම් කිරීමට ගියේ කාගේ වුවමනාවටද යන්න පාපොච්චාරණ කිරීමට සිටියෙකු බව කියැවේ.   


විජය රෝහණ   
ඉන් පසුව තෝරගෙන ගොස් ඝාතනය කළ බව කියැවෙන්නේ සිර අංක 014427 යටතේ ජීවිතාන්ත සිර දඬුවම් විඳි සහ එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ ගුන්ඩු හෙවත් විජය රෝහණය. ඔහු 1997 වසරේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව යටතේ අංක 0885 දරණ ලියාපදිංචි හැඳුනුම්පත හිමිව තිබූ විජය රෝහණ එවකදී ජනහඬ පුවත්පතේ ජායාරූප මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහුගේ මව වන මොහොමඩ් සිරියාවතී සහ පියා වන සැම්සන් අල්විස් සාමිට අනුව රංගජීව සමග ඇති කරගත් කෝන්තරයක් හේතුවෙන් හෙරොයින් අතින් දමා විජය රෝහණ බන්ධනාගාරගත කර තිබී ඇත. එමෙන්ම පසු කළෙක විජය රෝහණගේ නිවස පිටුපසදී තරුණයෙකුට රංගජීව පහරදී ඝාතනය කිරීමක් සම්බන්ධව සිරියාවතී ඇසින් දුටු සාක්ෂි අධිකරණය හමුවේ ලබාදී තිබේ. එය නතර කරන ලෙස බන්ධනාගාරයේ සිටි විජය රෝහණ හරහා රංගජීව නිතර තර්ජනය කළ බව එම දෙමපියන් ගෙවුණු කාලය පුරාම මාධ්‍යට ප්‍රකාශ කරන ලදි. විජය රෝහණගේ මරණයෙන් පසුව ඔහුගේ නිවසේ හත්දවසේ බණ දින රාත්‍රියේදී එහි පැමිණි රංගජීව 'මම උඹේ පුතාව යම ලෝකෙට ඇරියා. මාව එල්ලුම් ගස් යවන්න නේද උඹලා බලන් හිටියේ.?' යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බව ඔහුගේ දෙමව්පියන් මීට කළට පෙර සිටම මාධ්‍යයට ප්‍රකාශ කරන ලදී.   


නිර්මල අතපත්තු සහ කළු තුෂාර   
ගුන්ඩු සමග YO සිර වාට්ටුවෙන් පිටතට ගෙන ඝාතනය කර තිබූ අනෙකුත් සිරකරුවා නිර්මල අතපත්තුය. 2009 ජුනි 25 වැනිදා මත්ද්‍රව්‍ය ළඟ තබාගත් බවට චෝදනා එල්ල කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියොමාල් රංගජීව විසින් අත්අඩංගුවට ගෙන වසර 3ක කාලයක් පුරා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි අයෙකි. අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැනීමත්, ඉන් පසුව කීපවරක් නිරුවත් කර පහර දීමටත් විරුද්ධව නිර්මල සහ ඔහුගේ මව එස්.කේ මාලිනී රංගජීවට විරුද්ධව ආයතන ගණනාවකට පැමිණිලි කර තිබී ඇත. කමිටු වාර්තාව සහ ඇසින් දුටු සාක්ෂි අනුව ඊළඟට නම් ලැයිස්තුව අනුව රැගෙන ගොස් පසුව ඝාතනය කර තිබී ඇත්තේ සැක අංක 4230 යටතේ රඳවා සිටි කළු තුෂාර හෙවත් ඒ.තුෂාර නන්දනය. ඔහු හෝ ඉහත සඳහන් කිසිවෙකුත් බන්ධනාගාර නොසන්සුන්තාවයට කිසිඳු දායකත්වයක් සපයා නොතිබූ අතර, තුෂාරට පහර දෙමින් රැගෙන ගොස් තිබුණේ බන්ධනාගාර සුබසාධන ගොඩනැගිල්ලේ කන්තෝරු කාමරය තුළ රඳී සිටියදීය. එම අවස්ථාවේ එහි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කොඩිප්පිලි, මැගසින් බන්ධනාගාර ප්‍රධානී එමිල් රංජන් හා වැලිකඩ බන්ධනාගාර ප්‍රධානීව සිටි ගාමිණී ජයසිංහ ඇතුළු සිරකරුවන්ද සිට ඇත. 'රංගජීව මහත්තයෝ මාව මරන්න එපා' යැයි එහිදී ඔහු කෑ ගසා ඉල්ලා ඇති නමුත් එම ගොඩනැගිල්ලෙන් පිටත ඇති කර්මාන්ත අංශය වෙත ගෙනගොස් නිල් පැහැති ලණුවකින් අත් පිටුපසට කර ගැට ගසා ඝාතනය කර ඇති බව ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව සාක්ෂි දරති. කළු තුෂාරද රංගජීවට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොණු කර තිබූ අයෙකු බව කියවේ.


රංගජීව කියන්නේ කුමක්ද?   
රංගජීව මෙරට මත්ද්‍රව්‍ය ඇල්ලූ නිලධාරියෙකු බව පිළිගනිමු. එහෙත් නොඅල්ලා අතෑරි අය ගැනද ඇත්තේ වෙනම කතාවකි. පසුගියදා පිළියන්දලදී තම පුද්ගලික මෝටර් රථයෙන් ගොස් වෙඩි වැදීම සම්බන්ධවද පොලිස් දෙපාර්තුමේන්තුවට රංගජීව සම්බන්ධව ඇත්තේ වෙනස් කතාවකි. ඒවා කතා කිරීමට පසුව තබා වැලිකඩ ඝාතන ගැන කතා කළහොත් මේ වන විට ඔහුට එරෙහිව රාජ්‍ය සේවකයන්ම ඇසින් දුටු සාක්ෂි ලබා දී තිබේ. එමෙන්ම කමිටුව හමුවේ රංගජීව 2015 අප්‍රේල් 1 වැනිදා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ වැලිකඩ සිදුවීම වූ දින තමන් හලාවත වැටලීමක් සඳහා ගොස් සිටි බවය. නමුත් කමිටුව ඔහුගේ නිල සටහන් පොත් පරීක්ෂා කර එම සාක්ෂිය අසත්‍යයක් බව නිගමනය කර අවසන්ය. දැන් රංගජීව තම මූලික අයිතිවාසිකම් කඩවන බව කියවමින් තමන් මෙතරම් කුඩු ඇල්ලූ බවද එතරම් පිරිසක් එල්ලුම් ගස් යැවූ බවද අධිකරණ හමුවේ ප්‍රකාශ කරමින් සිටී.එමෙන්ම ෆේස්බුක් ගිණුම හරහාද තමන් ඉතාම යහපත් නිලධාරියෙකු බව පුන පුනා ඒත්තු ගැන්වීමට කටයුතු කරමින් සිටී. මනුෂ්‍ය ඝාතනයන් හේතුවෙන් මේවනවිට මරණ දඬුවම හිමිව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන තමන්ට මරණ දඬුවම නියම වූ දින කීවේද තමන් අපරාධකරුවන් බුරුතු ගණන් බන්ධනාගාරගත කළ බවකි. ඇත්තය. අපි එම රාජකාරියට ගරු කරමු. නමුත් රටේ මහජනයා ගෙවන බදු මුදලින් නිල ඇඳුම ඇඳ, වැටුප් ලබමින්, නීතියට පිටින් ගොස් කප්පම් ගැනීමට, මිනීමැරීමට වාස්ලාට හෝ පොලීසයට නොහැකිය. බන්ධනාගාරයට පැණ නීත්‍යානුකූලව දඬුවම් ලද මිනිසුන් ඝාතනය කිරීමට රංගජීවටද නොහැකිය. එනයින් රංගජීවගේ පුද්ගලික කෝන්තර හා‍ ගෝඩ් ෆාදර්වරයෙකුගේ අණට කීකරුව ඝාතන කළේ නම් කවදා හෝ ඊට වන්ඳි ගෙවිය යුතුය.  


ෆේස්බුක් තර්ජනය   
රංගජීව සමඟ හෝ මේ රටේ වෙනත් කිසිවෙකුත් සමඟ පුද්ගලික ආරෝවක් හෝ හිතවත්කමක් ලියුම්කරුට නොමැත. ඇත්තේ අපරාධ විනිර්මුක්තියට ඉඩ හැරි රටක යුක්තිය ඉටු නොවීම පිළිබඳ පොදු ගැටලුවකි. යහපත් හා සාධාරණ සමාජයක් ඇති කර ගැනීම පිළිබඳව ගැටලුවකි. රංගජීව සිය ෆේස්බුක් ගිණුමේ ලියුම්කරුගේ ජායාරූපයක්ද, රැස මංගල කලාපයේ ඔහු පිළිබදව පළව තිබූ පුවතක කොටසක්ද පළ කරමින් සටහන් කිහිපයක් තබා තිබුණේ ලියුම්කරු සහ වැලිකඩ ඝාතනවලට විරුද්ධව කටයුතු කරන සමහරුන් එන්ජීඕ ඩොලර් ලබා ගැනීම සඳහාත්, අපරාධකරුවන්ගෙන් මුදල් ලබා ගැනීම සඳහාත් මෙන්ම ස්විට්සර්ලන්තයේ පදිංචිය අපේක්ෂාවෙන් මේවා ලියන බවය. රංගජීවගේ එම සටහනට ලියුම්කරුද එක් පසෙකින් එකඟය. එනම් මේවායින් එන්ජීඕ ඩොලර් ලබා ගන්නෝද, වැලිකඩ ඝාතන මතින් ස්විට්සර්ලන්තයේ ගියවුන්ද මේ රටේ සිටිය හැකිය. එවැනි දෑ බලාපොරොත්තු වන මාධ්‍යකරුවන්ද සිටිය හැකිය. නමුත් ලියුම්කරු 2012 නොවැම්බර් 18 වැනිදා සිටම තවමත් එකම අරගලයක සිටී. එමෙන්ම අවංකව යුක්තිය අපේක්ෂා කරන තවත් පුරවැසියන් පිිරිසක් වැලිකඩ ඝාතනයට එරෙහිව සිටින බවද කිව යුතුය. රංගජීව තවදුරටත් තැන් කීපයකම සඳහන් කර තිබුණේ මේ සියල්ල අවසන් වීමට ඇත්තේ තව කෙටි කලක් බවකි. එනයින් ඔහු ලියුම්කරුටත් සමාජයටත් අනතුරු අඟවන්නේ හෙට දිනයේදී අනීතික ඝාතනයේ සෙවණැලි ලියුම්කරුගේත් සමාජයේ තවත් ඕනෑම අයෙකුගේත් දොරට තට්ටු කිරීමට නියමිත බවය. එනයින් සමාජය දැන්වත් සිතිය යුත්තේ සමාජයක් ලෙස තමන්ගේම පරමාධිපත්‍ය බලයෙන් ගොඩ නැගූ අධිකරණය හා බදු මුදලින් නඩත්තු වන ආයතනයන් තුළත්, රටේත් තවදුරටත් අපරාධ විනිර්මුක්තියට ඉඩ හරිනවාද, යුක්තිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවාද යන්නය.


මහජනතාවගේ දැක්ම   
මියගිය හා ලැයිස්තුවකට අනුව ඝාතනය වූවෝ සම්පූර්ණයෙන්ම අහිංසකයන් යැයි අපි කොහිවත් නොකියමු. නමුත් ඔවුන් අතරින් බහුතරය සැකකරුවන්ය. සැකකරුවන් යනු නීතිය ඉදිරියේ පූර්ණ නිර්දෝශී පුද්ගලයන්ය. බහුතරයක් මනස සකස් කරගෙන සිටින්නේ මේ ඝාතනය වූවන් සමාජයෙන් කෙළෙස හෝ ඉවත් කිරීම සාධාරණ බවය. නමුත් මේ රටට ආයුධ ගෙන්වන්නෝ සාමාන්‍ය ජනතාව නොවේ. එමෙන්ම කුඩා මැරයින් ද නොවේ. කුඩු කන්ටේනර් ගණනින් ගෙන්වන්නෝද ඔවුන් නොවෙති. ඒවා කරනවුන් රටේ ඉහළම තැන්වලද අදටත් නිරුපද්‍රිතව සිටිනවා විය හැක. නමුත් නීතියෙන් වරදකරුවන් වූ, සමාජය විසින් රැකවරණය, ආදරය සහ විරැකියාව වැනි දෑ දායාද කිරීම හේතුවෙන් අපරාධකරුවන් වූ පුද්ගලයන් ඝාතනය කළ යුතු යැයි සමාජය යෝජනා කරමින් සිටී. සියයට සියක ඔප්පු කිරීමේ භාරය අවසන්කොට නීතියෙන් දඩුවම් ලබන්නෝ 4% ක් වැනි අවම පිරිසකි. එනයින් සැබෑ අපරාධකරුවන් තවත් 96%ක් මේ සමාජය තුළම ඉතිරිව සිටින බව සමාජයට අමතකය. එමෙන්ම කළින් කළට පත්වන පාලකයන් ඒ ඒ යුගවල සිදු වූ අපරාධවලට විනිර්මුක්තියට ඉඩ හරිමින් තම බල ක්‍රීඩාවේ නියැමින් සිටී. පාලකයන්ගේ ඒ වුවමනාව සපුරාලමින් මහජනතාවද යුක්තිය ඉල්ලා පෙරට එනවා වෙනුවට ඒවා සාධණය කරමින් බෙදීම දිනෙක තමන්ටම පාරාවල්ලක් වන බව තවමත් නොදැන සිටී. එමෙන්ම රංගජීවලා යනු මෙම ඝාතන දාමයේ එක් පුරුකක් පමණි. රංගජීවලාට ඉහළින් අණ දුන් පුද්ගලයන්ටද අපරාධ විනිර්මුක්තියේ ඉඩ ලබා නොදෙමින් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

මාතෘකා