ඇලඩින්ගේ පුදුම පහන පාවී යන තුර්කි පලස ලෝකේ ඇති ඕන දෙයක් හොයා ගන්න මෙහෙට එන්න

 ඡායාරූපය:

ඇලඩින්ගේ පුදුම පහන පාවී යන තුර්කි පලස ලෝකේ ඇති ඕන දෙයක් හොයා ගන්න මෙහෙට එන්න

ග්‍රෑන්ඩ් බසාර්

පැරණි සේද මාවතේ යුරෝපය හා ආසියාව අතර පිහිටි වැදගත්ම ස්‌ථානයක්‌ වූ කොන්ස්‌තන්තිනෝපල් නුවර [Constantinople], ලෝක ඉතිහාසය තුළ රෝම, බයිසන්ටින් [Byzantine], ලතින් [Latin], ඔටෝමන් [Ottoman] ඇතුළු බලවත්ම අධිරාජ්‍යයන් රැසකම අග නගරය විය. එමෙන්ම ඔවුන්ගේ බල ව්‍යාප්තිය සඳහා උපක්‍රමික වශයෙන් අත්‍යාවශ්‍යම ස්‌ථානය බවටද කොන්ස්‌තන්තිනෝපල් නුවර පත්ව තිබිණි. මෙම කාලයන්හි පැවැති සුප්‍රසිද්ධ කුරුස යුද්ධයේදීද [Crusades] මෙම මහා නගරය පිළිබඳ නිතරම සඳහන් විය. අද වන විට කොන්ස්‌තන්තිනෝපල් යන්න වෙනස්‌ වී ස්‌තාන්බුල් [Istanbul] යන නමින් බෞස්‌තීස්‌මය ලබා ඇති මෙම සාරභූමිය, යුරෝපයේ රෝගියා ලෙස නම් ආරෝපිත තුර්කියට අයත්ය. ස්‌තාන්බුල් බටහිර ලෝකයේ විශාලතම නගරය බවට පත්ව ඇත්තේ සුවිසල් රුසියාවේ අගනගරය මොස්‌කව් [Moscow] දෙවැනි තැනට පත් කරමිනි.

යුරෝපයේ සිට මැද පෙරදිග දක්‌වා තිබුණු ක්‍රිස්‌තියානි අධිරාජ්‍යයන්ගේ බලය තුර්කියේ මුස්‌ලිම් ඔටෝමන්වරුන් තම භුක්‌තියට සරි කරගෙන සිටි සමයේ ඔටෝමන් රාජධානියේ පාලකයකුව සිටි "ජයග්‍රාහී දෙවැනි මේමඩ් සුල්තාන්වරයා" [Sultan Mehmed the Conqueror] ස්‌තාන්බුල් නගරයේ අපූරු ගොඩනැඟිල්ලක්‌ ඉදි කළේය. ඉන්පසු ඔහු එම ස්‌ථානයට එකල සිටි විවිධ පාරිභෝගික ද්‍රව්‍ය වෙළෙඳාමේ නියුතු ව්‍යාපාරිකයන් එක්‌රැස්‌ කොට එය වෙළෙඳ හුවමාරු පොළක්‌ බවට පරිවර්තනය කර ඇත. එය මෙම සෞභාග්‍යමත් නගරයේ පිළිබිඹුවක්‌ වැනි ග්‍රෑන්ඩ් බසාර් [Grand Bazar] නම් මහා වෙළෙඳපොළයි. මෙම සුල්තාන්වරයාගෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයන් අඛණ්‌ඩව තම ඍජු අධීක්‌ෂණය යටතේ මෙම වෙළෙඳ මධ්‍යස්‌ථානය මහා නගරයේ ආර්ථික වෙළෙඳ කටයුතුවල කේන්ද්‍රස්‌ථානය බවට පත් කරවීය. ඉන් පසු ග්‍රෑන්ඩ් බසාරය, ස්‌ථාන්බුල් හා තුර්කියේ පමණක්‌ නොව, ලෝකයේ විශාලතම හා පැරණිතම වෙළෙඳපොළ බවට පත්ව ඇත.

ග්‍රෑන්ඩ් බසාර් ගොඩනංවා ඇත්තේ වර්ග අඩි තිස්‌ එක්‌ දහසක, වීදි හැට එකක්‌ පුරා, වෙළෙඳසල් පන්දහසකින් සමන්විතවය. 1455 වසරේ ශීත ඍතුවේ මෙම වෙළෙඳ ගෘහයේ ඉදිකිරීම් ආරම්භ කර ඉන් වසර පහකට පසුව උදාවූ සිසිරය වන විට එය තනා නිම කිරීමට හැකියාව ලැබූ අතර එතැන් සිට දෙවැනි සහශ්‍රකය දක්‌වා වාර ගණනාවකදී වෙනස්‌වීම් හා නවීකරණය වීම් රාශියකට බඳුන් වී ඇත. මෙයට වසර එකසිය ගණනකට පෙර ඇතිවූ භූ කම්පනයක්‌ නිසා මෙම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම විනාශ විය. එමෙන්ම ඊට පෙරද වාර ගණනාවකදීම ඇතිවූ ගිනි ගැනීම් නිසාද ග්‍රෑන්ඩ් බසාර්හි ප්‍රතිසංස්‌කරණයන් විවිධ පාලකයන්ගේ අනුග්‍රහයෙන් සිදු කර ඇත. දහසය වැනි සියවසේදී ‘අතිවිශිෂ්ට සුලෙයිමන්’ [Sultan Suleiman the Magnificent] නම් ඔටෝමන් සුල්තාන්වරයා නවාංග කිහිපයක එකතුවෙන් වෙළෙඳපොළ සැකැස්‌ම තවදුරටත් ප්‍රසාරණය කිරීමත් සමඟම වර්තමානයේ එයට හිමිව ඇති හැඩය නිර්මාණය විය.

ආරම්භයේ සාම්ප්‍රදායික මුස්‌ලිම් වෙළෙඳ භාණ්‌ඩ පමණක්‌ මෙහි විකිණීමට තිබූ නමුදු බටහිර හා ලොව නන් දෙසට පැතිර ගිය මෙහි කීර්තිනාමය හේතුවෙන් ග්‍රෑන්ඩ් බසාර් වෙළෙඳසැල්හි රාක්‌ක තුළට සියලුම අනිකුත් බටහිර අමුද්‍රව්‍ය හා නිමිද්‍රව්‍ය පැමිණියේය. භාණ්‌ඩ පිරුණු වෙළෙඳසල් පිළිබඳ මෙහි පැමිණෙන ගැනුම්කරුවන් අතර ජනප්‍රිය කතාවකින් කියවෙන්නේ "අරාබි නිසොල්ලාසයේ සඳහන් ඇලඩින් හා පුදුම පහනත් ඔහු අහසේ පාවී ගිය මායා පලසත් සොයා ගැනීමට ඇලඩින් මෙන් මායා ගුහාවට යායුතු නැත. ඒවා පහසුවෙන්ම ග්‍රෑන්ඩ් බසාර්හිදී ලබා ගැනීමට හැකිය" යන්නයි. සත්‍ය වශයෙන්ම ඇලඩින්ගේ පහනේ සිට පලස්‌ හා බුමුතුරුණු, විල්ලුද, අත්කම්, රෙදිපිලි, පළිඟු, සේද, කෞතුක භාණ්‌ඩ මෙන්ම මුතු මැණික්‌ද අලෙවියට තබා ඇති විශ්මිත ස්‌ථානයක්‌ ලෙස ග්‍රෑන්ඩ් බසාර් හැඳින්විය හැකිය. මෙහි ඇති සපත්තු වෙළෙඳසැල් ඉතාමත් සිත්ගන්නාසුලුය. අර්මේනියානු, ග්‍රීක, යුදෙව් හා මුස්‌ලිම් ආදී විවිධ ජාතීන්ට වෙන්වූ නොයෙක්‌ වෙනස්‌ පැහැති පාවහන් මෙහිදී මිලදී ගත හැකිය. දිලිසෙන රන් අබරණ පිරුණු සාප්පු මෙන්ම සපත්තු වෙළෙඳසැල්ද මෙම වර්ණවත් බව නිසා ආකර්ෂණීය වී ඇත. එමෙන්ම අවන්හල් රාශියක්‌, බැංකු හා මූල්‍ය ආයතන මෙන්ම මුස්‌ලිම් දේවස්‌ථානද ග්‍රෑන්ඩ් බසාර් සල්පිල් සංකීර්ණයට අයත්ය.

තුර්කියට පැමිණෙන සියලුම සංචාරකයන් තම සංචාරක කාල සටහනේ අනිවාර්ය ඉඩක්‌ ග්‍රෑන්ඩ් බසාර්හි සල්පිල් සවාරිය සඳහා වෙන්කර ගනියි. ඒ නියම තුර්කි හෝ අරාබි නිෂ්පාදන මිලදී ගැනීමට තිබෙන හොඳම ස්‌ථානය මෙය ලෙස අනාදිමත් කාලයක සිට ගොඩනැඟී ඇති කීර්තිනාමය නිසාම පමණක්‌ නොව, මෙම සුවිසල් ගොඩනැඟිල්ල තුළ ලැබිය හැකි අත්දැකීම ලොව අන් කොතැනකදී හෝ යළි ලබා ගැනීමට නොහැකි නිසාය.

බයිසන්ටින් ගෘහ නිර්මාණ ශිල්පයේ රුව ගුණ වරුණ දැක්‌වෙන මුළුමනින්ම ආවරණය වූ ආරුක්‌කු සිය ගණනකින් සැදුම්ලත් වෙළෙඳ සංකීර්ණය තුළ ඇති දහස්‌ ගණනක්‌ වූ වෙළෙඳ කුටිහිදී දහස්‌ සංඛ්‍යාත පාරිභෝගිකයන් සමඟ භාණ්‌ඩ මිලදී ගැනීම වෙනස්‌ම අත්දැකීමක්‌ මෙහි පැමිණෙන්නන්හට දනවනු ලබයි. එම අත්දැකීම ඔවුන් වෙත ලබා ගැනීමට සහාය දීමේ රිසියෙන් විසි දහසක පමණ සේවක පිරිසක්‌ මෙහි සේවය කරන අතර එක්‌ දිනකට සංචාරකයන් ඇතුළු ලක්‌ෂ හතරක පමණ පාරිභෝගිකයන්ගෙන් මෙහි වෙළෙඳසැල් හා වීදී පිරී යයි. එනම් එය වසරකට මිලියන එකසිය දොළහක්‌ ඉක්‌මවූ පුදුම උපදවන ගැනුම්කරුවන් ප්‍රමාණයකි.

ග්‍රෑන්ඩ් බසාර් වෙතට දහතුන් වාරයක්‌ පැමිණ ඇති ටොම් බ්‍රොන්ස්‌නර්

[Tom Bronsner] නම් ඇමෙරිකානු නිදහස්‌ මාධ්‍යවේදියා වරක්‌ ග්‍රෑන්ඩ් බසාර්හි ආපන ශාලාවක කවුළුවක්‌ අසලට වී උණුසුම් තුර්කි කෝපි කෝප්පයක්‌ රස විඳිමින් පවසා සිටියේ තමා සංචාරක විෂය පිළිබඳ ලේඛකයෙක්‌ වීමට විශාල ලෙසම මෙහිදී ලද පළමු අත්දැකීම හේතු වූ බවයි. ඔහු විසින් රචනා කර ඇති දුසිමක්‌ පමණ වූ සෑම පොතකදීම ඔහුට ග්‍රෑන්ඩ් බසාර් හෝ ස්‌තාන්බුල් අමතක වී නැත. හෙට්‌ටු කරමින් භාණ්‌ඩ මිලදී ගන්නා සිය ගණන් මිනිසුන් දෙස බලමින් තම විවේකී සැඳෑවන් කෝපි කෝප්ප සමඟ ගත කරන මෙම ස්‌ථානය හා ප්‍රේමයෙන් බැඳුණු ටොම් බ්‍රන්ස්‌නර් වැන්නන් ඕනෑ තරම් ලොව පුරා ඇත.

[ප්‍රවීණ සේනාධීර]

News Order: 
8
මාතෘකා