මළ මුහුදු කලාප? මළ ලෝකයක්?

 ඡායාරූපය:

මළ මුහුදු කලාප? මළ ලෝකයක්?

මළ මුහුද සහ මළ කලාපය යනු වෙනස් තත්ත්වයන් දෙකකි. ලවණ සාන්ද්‍රණය වැඩි බැවින් මළ මුහුදේ සතුන් හා ශාක ජීවත් නොවේ. මුහුදේ තිබෙන කලාප මියැදීම නිසා මළ කලාප ඇති වේ. එයට හේතුව වන්නේ පරිසර දූෂණයයි. පරිසර දූෂණය නිසා ගංඟා හරහා වැඩි වශයෙන් මුහුදට නයිට්‍රේට් සහ පොස්පේට් එකතු වෙයි. එම රසායන ද්‍රව්‍ය එකතුවීමට හේතුව වන්නේ වගාවන් සඳහා අධික ලෙස පොහොර භාවිතයයි. ගස් කැපීම නිසා සිදුවන පාංශු ඛාදනය හරහා අධිසාන්ද්‍රණ සුපෝෂකාංගද අවසානයේ මුහුදට එකතු වෙයි. මේවා නිසා වෙරළ කලාපයේ මුහුදු ජලය මතුපිට තට්ටුවේ නයිට්‍රේට් පොස්පේට් සාන්ද්‍රණය වැඩි වේ.

මේ පෝෂණ කොටස් සහ හොඳින් හිරු එළියත් ලැබීම නිසා මුහුද මතුපිට හොඳින් ඇල්ගී වර්ධනය වේ. පෘථිවියේ මතුපිට සියයට හැත්තෑවක් පමණ ඇත්තේ මුහුදය. මුහුද මතුපිට ඇති ඇග්ලී කලාප එනම් මුල් මීටර් සීය තුළ ප්‍රභාසංශ්ලේෂණය සිදුවේ. අපි ආශ්වාස කරන ඔක්සිජන්වලින් සියයට අසූවේ සිට පනහ දක්වා ප්‍රමාණයක් නිපදවෙන්නේ මුහුදෙනි. එසේම කාබන්ඩයොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් උරා ගන්නේද මුහුදේ ඉහළ ස්ථරයේ පවතින ප්ලවාංගවලිනි. නයිට්‍රේට් පොස්පරස් ප්‍රමාණය වැඩි වශයෙන් මුහුදට එක්වීම නිසා සිදුවන්නේ ඉහළ ස්ථාරයේ ප්ලවාංග ගහණය වේගයෙන් වර්ධනය වීමයි. ඝනත්වයෙන් වැඩි ප්ලවාංග ස්ථරය නිසා හිරු එළිය මුහුද පත්ල කරා යෑම වළක්වයි. හිරු එළිය නොලැබීම නිසා පහළ ස්ථරය මිය යෑමට ලක්වේ. පහළ ස්ථරය මියැදීම නිසා එහි පවතින ශාක මියගොස් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව නිපදවයි. එමඟින් ජලය ආම්ලික වෙයි. ඒ තත්ත්වය හේතුවෙන් විෂ තත්ත්වයන් ඇති වන අතර එම විෂ නිසා මුහුදේ ඉහළ ස්ථරයද මියැදීමට ලක් වේ. එම තත්ත්වය ඇති වුණු විට එම ප්‍රදේශයේ සිටින වෙනත් තැන් කරා යා හැකි සතුන් වෙනත් තැන්වලට ගමන් කරයි. වෙනත් තැන්වලට යා නොහැකි සතුන් මිය යයි. මේ ක්‍රියාවලිය නිසා මුහුදේ මළ කලාප ඇති වෙයි.

මළ කලාප පිළිබඳ මුලින්ම සොය ගත්තේ එක්දහස් නවසිය පනස් ගණන්වලදීය. මේ දක්වා ඒ තත්ත්වය සියයට හාරසිය ගණනකින් වර්ධනය වී තිබේ. එසේම වෙරළ කලාපයට ආසන්නව මෙන්ම වෙරළ කලාපයට දුරින් මහ මුහුදේද මළ කලාප ඇති වී තිබේ. මළ කලාප පිළිබඳ සාකච්ඡාව ඇති වන්නේ මෑතකදී ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ආශ්‍රිත සොයාගත් මළ කලාපය සමඟිනි. මෙහි ප්‍රමාණය වර්ග කිලෝමීටර් හැටහතරදහසකි. එනම් ශ්‍රී ලංකාවට අයත් භූමි ප්‍රමාණයට වඩා විශාල ප්‍රදේශයකි. බංගලිදේශයෙන් මුහුදට වැටෙන ගංගා අතර මේඝනා, බංගලී, තුර්ගා, කුෂියානා, ධාහේල්ෂ්වරී, භූරිගංගා, කිර්ටන්කෝලා, පද්මා, ශිතලක්‍යා, කර්ණපූලී, ධර්ලා, කාලිංග, ධකාතියා, මධුමතී, ජමුනා, බංග්ෂි, කංග්සා, බහිරබ්, ශිබාස්, අට්රා වැනි ගංගා විශාල සංඛ්‍යාවක් වෙයි. මේ ගංගාවවලින් මුහුදට එකතු වන නයිට්‍රේට්, පොස්පේට් මේ කලාපය මළ කලාපයක් බවට පත්කිරීමට හේතු වී ඇත.

මළ කලාප ආශ්‍රිතව සතුන් ජීවත් නොවන නිසා ධීවර කර්මාන්තයටද බලපෑමක් ඇති කරයි. නයිට්‍රේට් පොස්පේට්වලට අමතරව නිවසේ භාවිත කරන විවිධ රසායනික ද්‍රව්‍යද අවසානයේ වෙරළ කලාපවලට එකතු වන නිසා වෙරළ කලාප මළ කලාප බවට පත්වෙමින් තිබේ. වෙරළ කලාපයේ එකතුවන බොහෝ සතුන් ආහාරයට එක්කර ගනී. බෙල්ලන්, වෙනදා ආහාරයට නොගත් ඉකිරියන්, මුහුදු කූඩැල්ලන් ආහාරයට එකතු කර ගනී. එසේම ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් මුහුදු ඇල්ගී සඳහාද ඇත්තේ විශාල ඉල්ලුමකි. පරිසර හානියට අමතරව වෙරළ ආශ්‍රිත සතුන්ද අධි පරිභෝජනය නිසා පහසුවෙන්ම මේ කලාප මළ කලාප බවට පත්වේ.

ධීවර කාර්මිකයන් තමන් භාවිත කරන ජල බෝතල් හා වෙනත් අපද්‍රව්‍ය මුහුදට එකතු කිරීම, බෝට්ටු සේදීම් වැනි සියලුම පිරිසුදු කිරීමේ කටයුතුවල අපද්‍රව්‍ය මුහුදට එකතු කිරීම, සංචාරක නිකේතනවල අපද්‍රව්‍ය ඍජුවම මුහුදු ජලයට එකතු කිරීම, වරායන් ආශ්‍රිතව අපද්‍රව්‍ය එකතු වීම ආදී කාරණා නිසා මුහුද ආශ්‍රිත දූෂණය අධික වේ. එසේම පරිසර දූෂණය අවම කිරීමට නිසි පරිදි නීති ක්‍රියාත්මක නොවීම මේ තත්ත්වය කෙසේවත් පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ.

තහනම් පන්න ක්‍රම යටතේ මත්ස්‍යයන් ඇල්ලීම වැනි ක්‍රියාවන්ද මුහුදේ මසුන් වේගයෙන් අඩුවීමට හේතු වී තිබේ. දේශගුණික විපර්යාස නිසා පරිසර උෂ්ණත්වය ඉහළ ගිය විට මුහුදේ මළ කලාප ඇතිවීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් වෙයි. මේ සියලුම ක්‍රියාකාරකම් අවසානයේ වෙරළ කලාප වේගයෙන් සතුන්, ගස්වැල් නැති මළ කලාප බවට පත්වෙමින් පවතී.

මුහුදු කලාප ආශ්‍රිත රටක් ලෙස සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් රටක් ලෙසත් සංචාරක කර්මාන්තය යහමින් කෙරෙන රටක් ලෙසත් මළ කලාප බිහිවීම ශ්‍රී ලංකාව වැනි රටවලට ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් ඇති කරයි. ඒ ඉහතින් විස්තර කළ රටවැසියාගේ සෞඛ්‍ය තත්ත්වයට බලපෑම් කිරීමට අමතරවය. එසේම සුනාමි වැනි අවස්ථාවලින් ගොඩබිමට සිදුවන හානිය වළක්වන, එදිනෙදා සිදුවන මුහුදු ඛාදනය වළක්වන, ජෛව විවිධත්වයෙන් අනූන කොරල්පර වර්ධනය නොවීමද මළ කලාප බිහිවීමේ තවත් විපාකයකි. කොරල්පර යනු මුහුදේ සිදුවන ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය දෙයකි.

ඊසාන දිග මෝසම් සුළඟ හා නිරිත දිග මෝසම් සුළඟ යනු ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනය සඳහා අත්‍යාවශ්‍ය පාරිසරික තත්ත්වකි. එම සුළං ධාරා රට මැදට සපයන්නේ මුහුදෙනි. මුහුද වෙනස්වීම යනු මෝසම් සුළංවලද වෙනස්වීම් සිදුවීමයි. ගොවියා බිම් සූදානම් කරගෙන බලාගෙන සිටින්නේ වැස්ස එනතුරුය. සුළං සමඟ වැස්ස නිසි කලට නොපැමිණෙයි නම් ගොවිතැනට සිදුවන්නේ අනර්ථයකි. ශ්‍රී ලංකාවේ මාළු වගාකරුවන්ද සිය වගා කටයුතු කරන්නේ වැස්ස බලාගෙනය. ඔවුන්ගේ කර්මාන්තය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ නිසි කලට වැටෙන වර්ෂාව මතය. මත්ස්‍ය වර්ධනය සඳහා අවශ්‍ය බීජ සකසාගෙන බලාගෙන සිටින්නේ වර්ෂාව පැමිණෙන තුරුය. නමුත් නිසි කලට වර්ෂාව නොලැබෙන්නේ නම් වගා කටයුතු නිසි පරිදි කරගත නොහැකිය.

මුහුද ආශ්‍රිත මළ කලාප බිහිවීම සඳහා හේතු වන්නේ පරිසර දූෂණය ඇතුළු මිනිසාගේ ක්‍රියා කලාපයන්ය. ජනතාව විසින් පරිසර දූෂණය වැළැක්වීම මිස මළ කලාප අර්බුදයට කිසිසේත්ම විසඳුමක් නැත. වෙරළ කලාපයේ සිදුවන දූෂණවලින් සියයට අනූවකට වඩා සිදුවන්නේ රට මැද සිදුවන දූෂණය හේතු කරගෙනය. එනම් වෙරළ දූෂණය සඳහා රටේ සෑම කෙනකුම අඩුවැඩි වශයෙන් දායක වේ. තමාගේ අතින් පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය.

වර්තමානයේ මිනිසා භාවිත කරන පොලිතින් ප්‍රමාණයේ සීමාවක් නැත. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ ස්ථාන 98කදී පමණක් සතියකට පොලිතින් සහ ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 36,459ක් ඉක්මවා එක් වන බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කළ සමීක්ෂණයකදී අනාවරණය විය. සමස්ත දිවයින වටා වෙරළ තීරයට එක් සතියක් තුළ නොදිරන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 608,865ක් පමණ එකතු වේ. එය වසරක කාලයක් සඳහා අවම වශයෙන් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුන්කෝටි දහසය ලක්ෂ නවසිය හැටදහස් අනූපහකි (31,660,995 - 608,865 x සති 52). එම අධ්‍යයනය කරන ලද සතිය තුළ පමණක් පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය කැබලි 392,697ක් මෙම ස්ථාන 98 තුළින් සොයාගෙනය. සොයාගත් අපද්‍රව්‍ය අතර බීම බෝතල්, බීම බට, යෝගට් කප්, පොලිතින් බෑග්, බීම මූඩි, සපත්තු - සෙරෙප්පු කෑලි බහුල ලෙස හමුවී ඇත. වෙරළ තීරයේ සිරි නැරඹීමට පැමිණෙන ජනතාව මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුලව එක්කර ඇති බව අනාවරණය කරගෙන තිබේ.

කසල ප්ලාස්ටික් සඳහා නිසි කළමනාකරණ ව්‍යාපෘතියක් තවම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේද නැත. වත්තේ කෙළවරක දමා ඇති ප්ලාස්ටික් ක්‍රමයෙන් දිරා යයි. දිරායෑමෙන් ප්ලාස්ටික් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. එමඟින් ප්ලාස්ටික් කුඩු ඇති වේ. ඒවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් වේ. මේවා දිරන්නේ නැත. ඒවා පේන්නට තිබෙන ප්ලාස්ටික්වලට වඩා භයානකය. ප්ලාස්ටික් කුඩු පසට එකතු වීම නිසා පසේ වයනය එනම් පසේ ස්වභාවය වෙනස් වේ. එවිට ප්ලාස්ටික් කුඩු පසේ, ජලයේ, සතුන්ගේ ශරීරයේ පමණක් නොව අප හුස්ම ගන්නා වායුවේද මුහුවී ඇත. ප්ලාස්ටික් කුඩුවලට පසේ ඇති බැරලෝහ එකතු වේ. එනම් කුඩා ප්ලාස්ටික් බිඳිති බැරලෝහ ප්‍රවාහකයෙක් බවට පත් වේ. කුඩා සතුන්ගේ ශරීරයට එකතු වන මේ බැරලෝහ ආහාර දාම සහ ජාල හරහා අවසානයේ මිනිසාගේ ශරීරයට අධිසාන්ද්‍ර වශයෙන් එකතු වේ. ප්ලාස්ටික් පිළිස්සීමෙන් ඇතිවන අහිතකර වායුව මිනිසා මරණය කරා ගෙන යන තරම් කටුකය. නගර සභාවෙන් එකතු කරන කුණු බොහෝ විට ගොඩගැසේ. නැත්නම් බිම් පිරවේ. එසේ නොමැති නම් පුත්තලම දාහකය කරා යැවෙයි. තැන්තැන්වල ගොඩගැසෙන කුණුවලට ස්ථිර විසඳුමක් නැත. මේ කුණුවලින් වැඩි ප්‍රමාණයක් නැවත ගංඟා ඔස්සේ මුහුදට එකතු වේ.

එදිනෙදා ජීවිතයේ භාවිත කරන ප්ලාස්ටික් ප්‍රමාණය අවම කර ගැනීමට ඕනෑතරම් හැකියාව තිබේ. නිවසට අවශ්‍ය බඩු මිලදී ගැනීම සඳහා වෙළෙඳපොළට යන විට කල්පැවැත්ම සහිත බෑගයක් රැගෙන යා හැකිය. සුපිරි වෙළෙඳසල්වලින් නොමිලේ නිකුත් කරන පොලිතින් කවරවල සීමාවක් නැත. ඒවා නැවත තම ආයතන වෙත ලබා ගැනීමේ ක්‍රමයක්වත් අඩුමතරමේ ඔවුන්ට තිබිය යුතුය. ආගමික ස්ථාන ආදී පොදු ස්ථානවල භාවිත කරන පොලිතින් නිෂ්පාදන, නිවසේ අනවශ්‍ය ප්ලාස්ටික් භාවිතය හැකිතරම් අවම කර ගත හැකිය. රූපලාවණ්‍ය කටයුතු සඳහා යොගන්නා ස්ක්‍රබ්වල පවා කුඩා ප්ලාස්ටික් අංශු භාවිත කිරීමට අද වන විට පෙලඹී ඇත. ස්වභාවික ද්‍රව්‍යවලින් මෙම නිෂ්පාදන කළ හැකි බැවින් මෙවැනි නිෂ්පාදන සම්බන්ධයෙන් දැඩි නීති පැනවිය යුතුය. වෛද්‍ය ක්ෂේත්‍රය වැනි අංශවල ප්ලාස්ටික් භාවිතය අත්‍යාවශ්‍ය වන අවස්ථා ඇත. එම අවස්ථාවලදී පවා පොලිතින් ඈත් කර තැබීම කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව දනිමු. කළ යුත්තේ පොලිතින් හතුරෙක් කර නොගෙන අත්‍යාවශ්‍ය තැන්වලදී පමණක් ඒවා භාවිත කිරීමය. ප්ලාස්ටික් භාවිතය සම්බන්ධයෙන් ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුව ඇත. ඒ සඳහා නීතිද භාවිත කළ යුතුව ඇත. අසීමාන්තිකව ප්ලාස්ටික් භාවිතයේ අවසානයේ මුහුදේ මළ කලාප පමණක් නොව මළ ලෝකයක් බිහිකිරීමට තරම් දරුණු නොවේයැයි කිව හැක්කේ කාටද?

ස්තූතිය:

සාමාන්‍යාධිකාරි, ආචාර්ය T.B. ටර්නි ප්‍රදීප් කුමාර

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය

[රසිකා හේමමාලි]

News Order: 
-1
මාතෘකා