කොරොනා අභිමුව කුමක් කරමුද?

 ඡායාරූපය:

කොරොනා අභිමුව කුමක් කරමුද?

චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිර යන කොරොනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. මෙම වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ලොව පුරා විද්‍යාඥයෝ මේ වන විට පර්යේෂණ සිදුකරමින් සිටිති. මේ අතරවාරයේ ශ්‍රී ලංකාවේ "නව කොරොනා" වෛරසය ආසාධිත පළමු රෝගියා හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකය පසුගියදා (27) නිවේදනය කළේය. සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික කාන්තාවක් පසුගිය 25 වැනිදා අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් වී ඇති අතර ඇයට චීනයේ ශීඝ්‍රයෙන් පැතිර යන ‘නව කොරොනා’ වෛරසය ආසාධිත වී ඇතැයි තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. මේ වන විට ශ්‍රී ලංකාවෙන්ද නව කොරොනා ආසාධිතයකු හමුවී ඇති බැවින් ජනතාව රෝගය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එම නිසා කොරොනා වෛරසය, එය පැතිර යෑම වැළැක්වීම සහ එය වළක්වා ගතහැකි ආකාරය පිළිබඳව මත විමසුමක් කිරීමට තීරණය කළෙමු.

කොරොනා පාලනයට සෞඛ්‍ය සේවා සීරුවෙන්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච්

ලංකාවට පැමිණෙන සෑම ගුවන් මගියෙක්ම ඔවුන්ගේ ශරීරයේ තිබෙන උෂ්ණත්වය අනුව කොරොනා වෛරසය වැලඳී ඇත්දැයි සොයාබැලීම සඳහා වන නවීන උපකරණ මේ වන විට මුළු ගුවන් තොටුපළේම ස්ථානගත කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපළ අධිකාරියට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව ආසාධිතයන් හඳුනාගෙන අපි යොදා ඇති ගිලන් රථ මඟින් අදාළ රෝහල් වෙත සහ අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන්පසුව මෙම රෝගීන් වෙනමම රඳවා අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ගුවන් මගීන් එලෙස නවීන උපකරණ ඔස්සේ පරීක්ෂාවකට ලක්වෙනවාට අමතරව වෛද්‍ය කාර්ය මණ්ඩලද යොදවා තිබෙනවා. විශේෂයෙන් චීනයෙන් පැමිණෙන ගුවන් මගීන් සඳහා වෙනමම ස්ථානයක් වෙන් කරලා තිබෙනවා. ඔවුන් සාමාන්‍ය මගීන් සමඟ නොවෙයි ගුවන් තොටුපළට ඇතුළු වන්නේ. ඒ සඳහා වෙනම දොරටු සහ මාර්ග සකස් කර තිබෙනවා. මෙහිදී තනි තනි පුද්ගලයාව වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් කරනවා. ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයත් යොදවා තියෙනවා.

වෛද්‍ය සංගමයත් මේ අවස්ථාවේදී අපට වෛද්‍යවරු සපයා දීමට එකඟතාව පළ කර තිබෙනවා. එම නිසා ලංකාවට පැමිණෙන අයගේ යම්කිසි උණ තත්ත්වයක්, උෂ්ණත්වයක් තිබෙනවා නම් ගුවන් තොටුපළේදීම හඳුනා ගැනීමටත් එයට අවශ්‍ය ප්‍රතිකාර කිරීමටත් අවශ්‍ය කාර්ය මණ්ඩලත්, අවශ්‍ය පරීක්ෂණ කටයුතුත් ගුවන්තොටුපළේ සකස් කර තිබෙන බව දැනුම් දෙන්න ඕනි. කොරොනා වෛරසය පැතිරීම පාලනය සඳහා ගත හැකි සෑම පියවරක්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ගුවන්තොටුපළ බාර අමාත්‍යාංශය යන දෙකම එකතු වෙලා මේ වන විටත් අරගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය විදිහට මා සෑහීමකට පත් වනවා ගුවන්තොටුපළින් පැමිණෙන සෑම ගුවන් මගියෙක්ම පූර්ණ පරීක්ෂාවකට ලක්වෙමින් ඔවුන්ව හඳුනා ගැනීමට යොදා ඇති තත්ත්වයන් සම්බන්ධයෙන්. චීන ජාතිකයන් ලංකාවට පැමිණියාට පසු ඔවුන්ට වීසා ලබාදීම තමයි සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ. මේ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් සාකච්ඡාවකට ලක් කළා. එහිදී ආගමන විගමන පාලකතුමා අප සමඟ සාකච්ඡා කළා. ඒ අනුව ජනාධිපතිතුමාට මා නැවත කතා කර උපදෙස් ලබාගත්තා. ඒ අනුව මෙතනින් එහාට ලංකාවට චීන ජාතිකයන් පැමිණීමේදී ලංකාවට ආවට පසු ගුවන්තොටුපළේදී වීසා ලබාදීමක් සිදු වෙන්නේ නැහැ. ඔවුන් චීනයේදී ලංකාවට වීසා ඉල්ලුම් කළ යුතුයි. ඒ අනුව ඒ වීසා ඉල්ලුම් පත්‍රය ඔවුන් පැමිණෙන ප්‍රාන්තය සහ අදාළ කාරණා නිරීක්ෂණය කර තමයි ලංකාව ඔවුන්ට වීසා නිකුත් කරන්නේ.

දරුවන්ගේ ආහාරපාන ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න

ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි

"මුළු ලෝකයම මහත් බියට සහ කම්පනයට පත්කර තිබෙන කොරොනා වෛරසය පිළිබඳව ආගමික සමුළුවේ සභාපති ලෙස යම් අදහසක් ප්‍රකාශ කළ යුතු යැයි මම සිතනවා. මෙම වෛරසය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යනවා වගේම එම වෛරසය පැතිර යෑමෙන් සිදුවන මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබීම ශ්‍රී ලාංකික අපත් කම්පාවට පත්කරන තත්ත්වයක්. මෙම කොරොනා වෛරසය චීනයෙන් ආරම්භ වූ බවත් ඒ සඳහා ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ කෑමබීම බලපා තිබෙන බවත් මේ වන විට වාර්තා වී තිබෙනවා. චීන ජාතිකයන්ගේ ආහාර රටාව අපට වඩා වෙනස්. අපි හිතන්නෙවත් නැති සර්පයන්, නාගයන්, බල්ලන්, බළලුන් වැනි සතුන් ඔවුන් ආහාරයට ගන්නා බව පැවසෙනවා. ඔවුන් එවැනි ආහාර රටාවකට නැඹුරු වීම කුමන කාලයේ පටන් ගත්තාදැයි දන්නෙ නැහැ. චීනය කලක් බෞද්ධ රටක්. එම තත්ත්වය වෙනස් වී ඔවුන් පරිහානියට හේතුවන වැඩපිළිවෙළක් අනුගමනය කර ඇති බව උද්ගත වී ඇති මෙම තත්ත්වයෙන් පැහැදිලි වෙනවා. ඒ කෙසේවුවත් දැන් මෙම වෛරසය චීනයට පමණක් නොව තවත් රටවල් ගණනාවකට පැතිර ගොස් තිබෙනවා. අපේ රටේ දූදරුවන්ද චීනයේ අධ්‍යාපන කටයුතු සඳහා ගොස් තිබීම නිසා අපේ රටේ ජනතාවද මේ භයානක තත්ත්වයෙන් වැළකී සිටීම සඳහා විශේෂයෙන් කල්පනා කළ යුතු කරුණු රාශියක් තිබෙනවා. විශේෂයෙන් දරුවන් නිරාහාරව පාසල් යැවීම ඉතා භයානකයි. ඉස්සර අපේ මවුවරු දරුවන් පාසල් යැව්වේ ඔවුන්ට හීල්බත් ටිකක් හරි කවලා. නමුත් දැන් නිරාහාරව පාසලට යන දරුවො අතරමඟදි ආපනශාලාවලින්, කඩවල්වලින් ශරීර සෞඛ්‍යයට කොහෙත්ම නොගැළපෙන ආහාරපාන ගන්නවා. ඒවා රෝගකාරකවලට හේතු වනවා. ඒ වගේම මේ වගේ වෛරස පහසුවෙන්ම සිරුරට ඇතුළුවීමටත් ඒක හේතුවනවා. ඒ නිසා අපේ දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීමට සැලකිලිමත් විය යුතුයි. මාධ්‍යට මේ අවස්ථාවේදී විශාල වගකීමක් තිබෙනවා මෙම වෛරසය පිළිබඳ නිවැරදි තොරතුරු පමණක් ජනතාවට ලබාදීමට; අනවශ්‍ය බියගැන්වීම්වලින් තොරව එම දැනුවත් කිරීම් සිදුකරන්න. ඒ වගේම ජනතාව සෞඛ්‍ය අංශවලින් නිකුත් කරන සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිපැදීමත් අනිවාර්යයෙන්ම සිදුකළ යුතුයි.

රෝග ලක්ෂණ ගැන නිරතුරුව සැලකිලිමත් වෙන්න

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ

මෙය කොරොනා වෛරස් කියන වෛරස් උණ රෝගයක් හැටියට තමයි සැලකෙන්නේ. සමහර සතුන්ගේ මාංස අනුභව කිරීමෙන්, සතුන් ස්පර්ශ කිරීමෙන්, ඒ වගේම පසුව සොයාගත් ආකාරයට රෝග ආසාධිතයන් ඇසුරු කිරීමෙන්, ස්පර්ශ කිරීමෙන්, ආශ්වාසයෙන් මේ රෝගය බෝවන බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මේ කොරොනා වෛරසය හරහා වැලඳෙන රෝගය අතිශය භයානක රෝගයක් ලෙස සැලකෙන්නේ නැහැ. වැඩි පිරිසකට සාමාන්‍ය තත්ත්වයක් සහ සුළු පිරිසකට ශ්වසන පද්ධතියට විශාල හානි ගෙනෙන බවක් පෙන්නුම් කෙරෙනවා. විශේෂයෙන්ම වයස්ගත උදවියට මේ රෝගය වැලඳීම නිසා අමාරු තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කරනවා. මේ නිසා ජනතාව තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතුයි. රෝග ලක්ෂණ ගැන නිරන්තර සැලකිල්ලක් දක්වන්න ඕනෑ. ශ්‍රී ලංකාවේ චීන ජාතිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. අපි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඒ අවශ්‍ය කරන රෝගීන් හඳුනාගන්නා වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙනවා. එහිදී ගුවන්තොටුපළ පර්යන්තයේ ස්ථාන දෙකක ස්කෑන් ක්‍රියාවලිය සිදුවෙනවා. එහිදී යම්කිසි ආකාරයක උණ රෝගියෙක් හඳුනාගත්තාම ඒ සේවක මණ්ඩලයටත් රෝගියාටත් අවශ්‍ය කරන ආරක්ෂණ කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම මේ වන විට කටුනායක ගුවන්තොටුපළේ රාජකාරි කරන අයත් මුඛ පලඳනා පැලඳ ගැනීම හොඳයි කියලා දන්වා සිටිනවා. ඒ සඳහා වෛද්‍ය සැපයුම් අංශයෙන් අවශ්‍ය පරිදි මුඛ පලඳනා ලබාදී තියෙනවා. ස්කෑන් යන්ත්‍ර මඟින් සම්පූර්ණ රෝගීන් හඳුනාගැනීමේ හැකියාවක් තියෙනවා. උණ රෝගය නොමැති රෝගීන් සිටිය හැකියි. උණ තත්ත්වය නොමැති රෝගීන් පවා විෂබීජ අරන් එන්න පුළුවන්. ස්කෑන් පරීක්ෂණ මඟින් සිදුකරන්නේ උණ තියෙන මිනිසුන් හඳුනාගැනීම පමණයි. මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපළේ වගේම රෝහල්වලත් අවශ්‍ය පහසුකම් සපයලා තියෙන්නේ.

කොරොනා වෛරසයට බිය විය යුතු නැහැ

ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර

යම්කිසි කෙනෙක් චීනයට හෝ මෙම කොරොනා රෝගීන් වාර්තා වුණු රටකට යනවා නම් බිය විය යුතු නැහැ. නමුත් අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගන්න එක වැදගත් වෙනවා. ප්‍රධානතම දේ තමයි ජනාකීර්ණ තැන්වල ගැවසෙන එක හැකිතරම් අවම කළ යුතුයි. අනවශ්‍ය ලෙස ජනාකීර්ණ තැන්වලට යන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම නිතරම අත් සබන් ගාලා; ගලා යන වතුරෙන් සෝදන්න ඕනෑ. එහෙම නැතිනම් ආරක්ෂණ ආලේපන hand wash, hand sanitizer ගල්වන්න ඕනෑ. කහින විට හෝ කිවිසුම් යන විට නිතරම ලේන්සුවක් හෝ ආදේශක භාවිත කරන්න ඕනෑ. ඒ වගේම කහින විට වැලමිට තියලා විෂබීජ පැතිරෙන එක වළක්වාගන්න ඕනෑ. ඒ වගේම උණ සහ කැස්ස තියෙන රෝගීන් ඉන්නවා නම් ඔවුන්ව ළඟින් ඇසුරු කරන එක පුළුවන්තරම් නතර කරන්න ඕනෑ. රෝග ලක්ෂණ වන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ ශ්වසනාබාධ තියෙනවා නම් හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවීමට යන්න ඕනෑ.

අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යාණි

මේ කොරොනා වෛරසය වසංගත රෝගී තත්ත්වයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දීලා නැහැ. නමුත් මෙම වෛරසය බෝවීමෙන් වැළකිලා ඉන්න ආකාරය ගැන සාමාන්‍ය ජනතාව දැනුම්වත් කරලා තියෙනවා. නිතරම සබන් ගාලා අත් සෝදන්න, කිවිසුම් යද්දි ලේන්සුවක් හෝ වෙනත් ආවරණයක් භාවිත කරන්න, ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින්න වගේ උපදෙස්වලින් ජනතාව දැනුවත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ කොරොනා වෛරසයේ රෝග ලක්ෂණ වන උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ ශ්වසනාබාධ තියෙනවා නම් වහාම වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගන්න ඕනෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවමත් මුඛවාඩම් භාවිතා කරන්න ඕනෑ කියලා නිර්දේශ කරලා නැහැ. නමුත් තමන්ට අවශ්‍ය නම් එහෙම මුඛවාඩමක් භාවිත කරන එක වඩා සෞඛ්‍යාරක්ෂිතයි. ඒ වගේම මේ රෝගය ගැන රට පුරා අනවශ්‍ය බියක් යම් යම් මාධ්‍ය මඟින් පැතිරෙනවා. ජනතාව ඒ අසත්‍ය ප්‍රචාර ගැන වඩා විමසිලිමත් වෙන්න ඕනෑ. මේ වෛරසය තවමත් කළමනාකරණය කරගත හැකි තත්ත්වයක්. ඒ නිසා අනවශ්‍ය ලෙස බිය විය යුතු නැහැ.

[නිර්මාණි බණ්ඩාරනායක]

News Order: 
1
මාතෘකා