දරුවෝ ආසාවෙන් චිත්‍ර විෂය ඉගෙන ගන්නවා මං ආසාවෙන් උගන්වනවා : කොටහේන ජනාධිපති විද්‍යාලයේ චිත්‍ර කලා ආචාරිනී භද්‍රිකා නිලූෂා බෝගහවත්ත

 ඡායාරූපය:

දරුවෝ ආසාවෙන් චිත්‍ර විෂය ඉගෙන ගන්නවා මං ආසාවෙන් උගන්වනවා : කොටහේන ජනාධිපති විද්‍යාලයේ චිත්‍ර කලා ආචාරිනී භද්‍රිකා නිලූෂා බෝගහවත්ත

භද්‍රිකා නිලූෂා බෝගහවත්ත වූකලී කොළඹ කොටහේන ජනාධිපති විද්‍යාලයේ චිත්‍ර කලා ආචාර්යවරියයි. වසර නමයක සිට පාසලේ චිත්‍ර විෂය උගන්වන ඇගේ විශේෂත්වය පාසලට චිත්‍ර විෂයෙන් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ අත්පත් කර දීමට ඈ සමත් වීමය. ඇගේ ගුරුහරුකම් මතින් විදුහලේ දරු දැරියන් අත්කරගත් ප්‍රගතිය අපට පසක් වූයේ ඉකුත්දා ‘රැස’ පුවත්පතේ ‘සිසු නැණ රැස’ රසවින්දන වැඩමුළුවක් කොටහේන ජනාධිපති විදුහලේ පැවති අවස්ථාවේය. චිත්‍ර විෂය සේම ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂයත් සාක්ෂරතා විෂයත් පාසලේ උගන්වන ඇය අද ‘ගුරුවරයා’ විශේෂාංගයට එක් වනුයේ ඈ සිසු සිසුවියනට ආදර්ශවත් ගුරු භූමිකාවක නියැලෙන බැවිනි.

උපන් ගම - මම උපන් ගම නුගේගොඩ.

අධ්‍යාපනය ලැබූ පාසල - මම මූලික අධ්‍යාපනය ලැබුවේ තල්පත්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන්. පස්සේ මම උසස් පෙළ සඳහා නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළට චිත්‍ර කලා විෂය හැදෑරීමට තිබූ ආශාව නිසායි මම අනුලා විද්‍යාලයට ඇතුළු වුණේ. මට මේ පාසල් දෙකෙන්ම ලොකු පන්නරයක් ලැබුණා.

චිත්‍ර කලා විෂය උසස් අධ්‍යාපනයට තෝරගන්න විශේෂ හේතුවක් තිබුණාද?

පුංචිම කාලේ ඉඳලා මම අඳින්න ආසයි. දන්න කාලේ ඉඳලාම මම පැන්සලක්, පෑනක් අතට අහුවුණොත් කරන්නේම කොහෝ හෝ අඳින එක. තව දෙයක් තමයි ඉස්සර මම ඉස්කෝලේදී ටීචර් පාඩමක් කළාම කවුරුවත් කියන්නේම නැතුව ඒකට අදාළ චිත්‍රය අඳිනවා. ඇත්තටම චිත්‍ර විෂය මම තනිවමයි ඉගෙන ගත්තේ. කිසිම පන්තියකට ගියේ නෑ. මුලින්ම මම බලාගෙන ඇන්දා. පස්සෙ හිතලාම අඳින්න ගත්තා. ආසාව සහ කැපවීම තමයි මං හිතන්නෙ මගේ සාර්ථකත්වයේ රහස.

ඔබ පළමු පත්වීම අරගෙන කොපමණ කාලයක් වෙනවාද?

පළමු පත්වීම මට ලැබුණේ පිරිමි ළමුන්ගේ පාසලකට. මම ඊට ටිකක් අකමැති වුණු නිසා අායේ වෙනත් පාසලක් ඉල්ලුවා. ඊට පස්සේ තමයි කොටහේන ජනාධිපති විද්‍යාලයට පත්වීම හම්බවුණේ. මේ පාසලට ඇවිත් දැන් අවුරුදු 09ක් වෙනවා. මේ පාසල මිශ්‍ර පාසලක්. මම ගොඩක් ආසාවෙන් වැඩ කරනවා.

අවුරුදු 09ක්ම ඇයි එකම ඉස්කෝලෙක රැඳිලා ඉන්නෙ?

එහෙම විශේෂ හේතුවක් නෑ. මම මේ පාසලට ආදරෙයි. මම පාසලට එන්න අවුරුදු 10කට කලින් පාසලේ සිටි අකුරැස්සේ අරිය සාගර හිමියන් ඉල්ලීමක් කර තිබුණා මේ පාසලට චිත්‍ර විෂය උගන්වන්න ගුරුවරයෙක් දෙන්න කියල. ඔය අතරවාරයේ තමා මම සම්බන්ධ වුණේ. කොහොම වුණත් දැන් දරුවෝ ආසාවෙන් චිත්‍ර විෂය ඉගෙන ගන්නවා. ඒ ගැන මට සතුටුයි.

ඔබ විදුහලේ ළමුන් චිත්‍ර ශිල්පයට ඉහළ දක්ෂතාවක් පෙන්වනවා. ඔබ ඊට ඔවුන් පුහුණු කළේ කොහොමද?

මේ ගැන කතා කළම යුතුයි. මම පාසලට එද්දී චිත්‍ර ඉගෙනගන්න ළමයින් පොඩි ප්‍රමාණයක් හිටියේ. ඒකෙනුත් හුඟක් දෙනා නැටුම්, සංගීතය වැනි විෂයන් තෝරගෙන තිබුණේ. මම පාසලට ආවාම අර සංගීත, නැටුම් තෝරගෙන හිටපු දරුවෝ 25කගෙන් 6ක් ආවා මා එක්ක වැඩ කරන්න. ඒ ආවේත් දරුවෝ මේ චිත්‍ර විෂයට තිබුණු ආසාව නිසාමයි කියලා මට හිතෙන්නේ. තවත් දෙයක් තමයි මේ විදුහලේ දරුවෝ වත්පොහොසත් දරුවෝ නෙමෙයි. ඒවගේම විවිධ ආගම් අදහන දරුවෝත් එහි ඉන්නවා. දෙමළ, මුස්ලිම් වැනි දරුවන් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා මම මුලින් හිතුවා. ඒත් ඇත්තටම එහෙම වුණේ නෑ. චිත්‍ර ඇඳීමත් එක්ක භාෂාව ගැටලුවක් වුණේම නෑ. මේ විදිහට තමයි ක්‍රමානුකූලව දරුවන් එක්ක වැඩ කරමින් ඔවුන් එක්ක සහයෝගයෙන් ගමන යන්නේ.

දැනට පාසලේ චිත්‍ර පිළිබඳ ජයග්‍රහණ, ඇගයීම් ගැන මතක් කළොත්?

2015 වසරේදී මිහින් ලංකා චිත්‍ර තරගයෙන් පළමු තැනට එන්නට මම අධ්‍යාපනය ලබාදුන් සුපුන් තරංග සිසුවාට හැකියාව ලැබුණා. ඒ වගේම තවත් සිසුවෙකුට සමස්ත ලංකා තුන්වැනි තැන ලැබිලා තිබෙනවා. තවත් දෙදෙනෙකුට බස්නාහිර පළාත් පළමු තැන සහ දෙවන තැන ලැබුණා. ඒවගේම දෙදෙනෙකුට කලාප තරගවලින් ප්‍රථම ස්ථාන 02ක් ලැබුණා. මිහින් ලංකා චිත්‍ර තරගයෙන් 2016 වසරේ දෙවැනි තැනත් තුන්වැනි තැනත් අපට ලැබුණා. ඔය වගේ නම් වශයෙන් කියන්න බැරි වුණු සම්මාන ගොඩක් හිමි වෙලා තියෙනවා.

චිත්‍ර කියන විෂයට සහජ දක්ෂතාව පොඩ්ඩක් හරි තියෙන්න ඕනේ. ගායකයකුට වුණත් එහෙමයි. ඒ වුණත් අභාග්‍යයකට මේ පාසලේ දරුවන්ගේ පවුල් පසුබිමත් එක්ක ඔවුන්ගෙන් කීප දෙනෙක් සෑම වසරකම අතරමඟදි පාසල් අධ්‍යාපනයෙන් ඈත් වෙනවා. ඉතින් ඒ බාධකත් එක්ක තමයි මේ ජයග්‍රහණ අපි ලබාගෙන තියෙන්නේ.

චිත්‍ර විෂයට අමතරව තවත් විෂයන් උගන්වන්නේ පාසලේ ගුරු හිඟය නිසාද?

හය ශ්‍රේණිය සහ එකොළහ ශ්‍රේණියට ප්‍රායෝගික තාක්ෂණික කුසලතා වගේම භූගෝල විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය වගේ විෂයනුත් මම උගන්වනවා. ඒ, විදුහල්පතිවරියගේ ඉල්ලීමකට අනුව. ඒ වගේමයි, මේ පාසලේ දරුවන්ගේ සාක්ෂරතා මට්ටම ඉතාම පහළයිනේ. ඊට හේතුව වෙලා තියෙන්නේ දරුවෝ විවිධ මට්ටම්වල සිටීම. අනෙක තමා ඒ අයගේ මවුපියෝ විවිධ තරාතිරම්වල, විවිධ ආගම් හා භාෂා භාවිත කරන අය. ඒ නිසා අපි ඔවුන්ට සාක්ෂරතා පන්ති පවත්වනවා.

අඩු පහසුකම් සහිත ඔබේ පාසලේ දරු දැරියන්ගේ සාධන මට්ටම නංවන්නේ කොහොමද?

අපේ විදුහලේ භෞතික සම්පත්වල නම් කිසිම අඩුවක් නෑ. දැනට අප පාසලේ ඉන්න ඔක්කෝම ගුරුවරු උපධිධාරීන්. ඒ වුණාට දරුවන්ගේ කැපවීම නම් ඉතා දුර්වල මට්ටමකයි තියෙන්නේ. මම අර කලිනුත් කියූ ආකාරයට මේ අයගේ පවුල් පසුබිම ඊට ඝෘජුවම බලපාලා තියෙනවා. ඇතැම් දරුවන්ගේ නිවෙස්වලටත් අපි ගිහින් සොයා බැලීම් කර තිබෙනවා. බොහොමයක් අයගේ අම්මා, තාත්තා දෙන්නාගෙන් එක්කෙනෙක් හෝ නැති වෙලා. නැත්නම් දාලා ගිහින්. සමහරුන්ගේ අම්මයි තාත්තායි දෙන්නාම නෑ. තවත් සමහරු එදා වේල හොයා ගන්නෙත් අමාරුවෙන්. ඔය විදිහේ පවුල් පසුබිමක ඉඳලා එන දරුවෝ එක්ක තමයි අපට වැඩ කරන්න වෙලා තියෙන්නේ. අපි ඒ අයගේ මට්ටමින් හිතලා වැඩ කරන්නේ. මේ වැනි දුක්ඛිත ජීවිත ගත කරන අය සමඟ වැඩ කරන එක ටිකක් අපහසුයි. මානසික ගැටලු ගොඩක් තියාගෙන තමා මේ අය පාසලට එන්නේ. ඒ ආවාහම අපි තරවටු කරලා කෑකෝගහලා වැඩ කරන්න කිව්වාට ඔවුන් වැඩ කරන්නේ නෑ. විෂය නිර්දේශය ආවරණය කරන එක මම නම් මූලිකම කරන්නෙ නෑ. ඒ අයට උචිත ආකාරයට වැඩ කරනවා. මේ ඉන්න සමහර දරුවන්ගේ මවුපියෝ නමක් ගමක් ලියාගන්න බැරි, තමුන්ගේ නමවත් හරියකට අත්සන් කර ගන්න බැරි අය. එහෙම කියලා මම නම් මේ දරුවන්ව අතහරින්නේ නෑ. කොහොම හරි ඔවුන් ගොඩ යවන්නමයි කැපවෙන්නේ. ඒත් මේ දරුවන්ගේ ලොකු සාධනීය මට්ටමක් නම් මම දකින්නේ නෑ.

චිත්‍ර විෂය උගන්වද්දී ළමුන්ගේ ආකල්පමය මෙන්ම චර්යාමය වෙනසක් ඇති කරන්නේ කොහොමද?

චිත්‍රයක් කියන්නේ ඇත්තෙන්ම භාවනාවක්. මේ පාසලේ දරුවෝ හරිම කලබලකාරී, එක තැනක එක විදිහකට ඉන්නේම නැති පිරිසක්. ළමයින්ගේ කැමැත්තටම මම ඉඩ දීලා තියෙන්නේ. ඒ අයට උපරිම නිදහසත් දීලා තියෙනවා. ඒ නිදහස තුළින් මම ඒ අයගේ විවිධ කුසලතා දකිනවා. ළමයින් දස දෙනකු ගත් විට ඒ අයගේ මෙවන් ගැටලු එක්ක ලොකු කැපවීමක් කරන්න සිදු වෙලා තිබෙනවා. ඒක මට ලොකු ප්‍රශ්නයක් නෑ.

ළමයි දහ දෙනෙක් ගත්තොත් දහ විදිහක්. පාසලේ ළමයින්ගේ මට්ටම මම දන්නවානේ. ඒ නිසා ඔවුන් ඉලක්ක කරගෙන මූලික සංකල්ප ටික කියාදෙනවා. ඒ හරහා ඔවුන්ගේ නිදහස් අදහස් එළියට ගන්නවා. තව දෙයක් තියෙනවා. දරුවෝ මං කලින් කියපු ආකාරයට විවිධාකාරයිනේ. උදාහරණයක් කිව්වොත් මම ඒ අයට කියනවා මිනිස් රූපයක් අඳින්න කියල. ඒ අතර සෑහෙන්න දරුවෝ පිරිසක් මේ මම කියපු රූපය අඳිනවා. ඔන්න ඔය අතර කිහිප දෙනෙක් නොයෙක් විදිහේ මිනිස් රූප අඳිනවා. එයාලා දකින රූප තමා නිර්මාණයට නඟන්නේ. උස, මිටි, කොට ආදී වශයෙන් අඳිනවා. මම කරන්නේ ඒ ඕන රූපයක් අගය කරනවා. එතකොට තමයි මේ අය උනන්දු වෙලා වැඩ කරන්නේ. දරුවන්ගේ මේ ක්‍රියාකාරකම් නිසා විවිධාකාර හැකියාවන් එළියට එනවා. ඒවා දකිද්දී මට ලොකු සතුටක් ඇති වෙනවා. චිත්‍රයම විතරක් නෙවෙයි, නිදහස් ආරෙන් අඳින්න දුන්නාමත් පුදුම හිතෙන චිත්‍ර මෝස්තර දරුවෝ අඳිනවා. ඇතැම් අයගේ නිර්මාණ දකිද්දී මට පුදුම හිතුණු වාර අනන්තයි.

වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ සෞන්දර්ය විෂයන්ට දරුවන්ගේ ඇති නැඹුරුව අඩුයි කියා ඔබට හිතෙන්නේ?

අපේ පැරණි අය දිහා බැලුවාම එදා හුඟක් දැනුම තිබුණු අය හිටියා. දැන් අපි ඒ තත්ත්වයේ නෙවෙයි ඉන්නේ. ඊට වඩා හුඟක් පහළින්. එහෙම වෙලා තියෙන්නෙ තාක්ෂණය පැත්ත නිසාද කියලා මට වෙලාවකට හිතෙනවා‍ චිත්‍ර විෂයට ආධ්‍යාත්මික නැඹුරුව මදිකමක් නම් දක්නට ලැබෙනවා. මොකද හේතුව දැන් ළමයින්ට ඉවසීම හොඳටම අඩුයි. ඉස්සර එහෙම නැහැ. ඉවසීම ප්‍රගුණ කරපු අය තමයි හිටියේ. වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ චිත්‍ර ඇතුළු සෞන්දර්ය විෂයන්ට දරුවන්ගේ නැඹුරුව අඩු වෙලා තියෙන්නෙ ඒකයි කියල මං හිතනවා.

අද කලාවට තිබෙන තැන ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

ඔව්. සෑහීමකට පත් වෙනවා. හැබැයි පොඩි අඩුවකුත් තියෙනවා වගේ දැනෙනවා. අද අපේ රටේ චිත්‍ර රස විඳින ප්‍රමාණය එන්න එන්නම අඩු වෙලා යනවා. සංගීතය, නැටුම් වගේ නෙමෙයි චිත්‍ර. සංගීත සංදර්ශනයක් තියෙනකොට බලන්නකො යන ප්‍රමාණය. ඒත් චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙනවා කිව්වොත් ඊට යන ප්‍රමාණය බොහොම අල්පයි. ඊට හේතුව චිත්‍ර විෂය හදාරන පුද්ගලයා පමණයි චිත්‍ර ප්‍රදර්ශනය බලන්න යන්නේ. එහෙම බැලුවාම සෞන්දර්යට ලංකාවේ ලොකු අවධානයක් නෑ.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය පිළිබඳ ඔබගේ අදහස?

දැන් ළමයි රොබෝලා වගේ දෙන දෙයක් කලා ඉන්නවා. හිතලා කිසිම දෙයක් කරන්න යන්නේ නෑ. සමහර දෙමාපියෝ ඉන්නවා දරුවකු උසස් පෙළට කලා අංශය තෝරගත්තම ඒක මදිකමක් කියලා දරුවන්ට බලපෑම් කරනවා. මේ අය නිසා එම විෂයන් දරුවන්ට තෝරාගන්න අවස්ථා අඩු වෙලා තියෙනවා.

තව දෙයක්, එදා දරුවන් එක්ක බැලුවම දැන් දරුවන්ට ළමා කාලයක් නෑ. අපි පොඩි කාලේ කරපු වැඩ දැන් දරුවෝ දන්නෙත් නෑ. එක වසරෙ ඉඳලා පන්ති තියෙනවා. මානසික සෞඛ්‍ය වර්ධනයට මේක පීඩාවක්. මේක අම්මලා අතේ තියෙන වැඩක්. ගොඩක් මවුපියෝ කාර්යාල සේවයට යනවා. දරුවන් එක්ක ඉන්න ඔවුන්ට කාලයක් නෑ. මේ දරුවෝ තනි වෙනවා. ඒ එක්ක ඔවුන් විවිධ දේවල්වලට ඇබ්බැහි වෙනවා. උදාහරණයක් ලෙස අන්තර්ජාලයට, රූපවාහිනියට, විවිධ පරිගණක ක්‍රීඩාවලට මේ අය ඇබ්බැහි වෙලා ජීවිත හුදකාලාව ගත කරනවා. පස්සේ ඒක ඔවුන්ගේ ලෝකය වෙනවා.

වර්තමාන අධ්‍යාපනය තුළ ගුරු භූමිකාව හරිහැටි ක්‍රියාත්මක වෙනවාද?

ගුරු භූමිකාව මහන්සියෙන් හා කැපවීමෙන් කළ යුතු සේවයක්. වැටුප මත පදනම් වුණු රස්සාවක් නෙමෙයි. ළමයා තමයි එහි ප්‍රධානම අරමුණ. ඉතින් ගුණගරුක, යහපත්, උගත් දරුවකු බිහි කිරීම සෑම ගුරුවරයකුගේම යුතුකමයි. එහෙත් අද වන විට මේ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ඊට හේතුව විදියට මම දකින්නේ ගුරුවරයාගේ භූමිකාව හරිහැටි ක්‍රියාත්මක නොකිරීමයි. මේ පාසලේ සියලුම ගුරුවරු දරුවන් වෙනුවෙන් ඉතා කැප වීමෙන් සේවය කරනවා. ඒ ගැන නම් කිසිම සැකයක් නෑ.

ගුරු වෘත්තිය ගැන ඔබ තෘප්තිමත්ද?

අනේ ඔව්. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගියේ තනිවම ඉගෙනගෙන. මගේ පළමු චිත්‍ර ගුරුවරිය, ඒ කියන්නේ උසස්පෙළ පන්තියේදී මට අධ්‍යාපනය ලබා දුන්නේ මානෙල් පෙරේරා ගුරුතුමියයි. මේ වෙලාවේ ඇයව ආදරයෙන් මතක් කරනවා. ඇය නිසයි මං අද මෙතැන ඉන්නේ. ඇය තරම් මා දිරිමත් කළ ගුරුවරියක් මට ලැබිලා නෑ.

පහසුකම් තිබෙන පාසලක් ලැබුණොත් ඔබ යනවාද?

මම ඒක දෙවරක් හිතයි කියලා හිතනවා. ඒක මගේ පෞද්ගලික තීරණයක්. ඇත්තෙන්ම මම තෘප්තිමත් මේ ගුරු වෘත්තිය පිළිබඳව. මගෙන් විතරක් ඉගෙනගෙන හොඳ තැන්වල ඉන්න දරුවෝ තවම ඉන්නවා.

වර්තමාන ශිෂ්‍ය පරම්පරාව අභියෝගවලට මුහුණ දීම සම්බන්ධයෙන් දෙන්න තිබෙන උපදෙස මොනවාද?

වර්තමානයේ ඕනෑම දරුවෙකුගේ පසුබැසීමක් තියෙනවා. දැන් වෙද්දී දරුවෙක් කතා කරන්නවත් හරිහැටි දන්නේ නෑ. ඉස්සෙල්ලා මම ඒගොල්ලන්ගේ සමාජ දැනුම පිළිබඳව කනගාටු වෙනවා. දැනුමෙන් සන්නද්ධ වුණත් යහපත් පුද්ගලයකු වීම අංක එක කියලා මම හිතනවා.

සාකච්ඡා කළේ [දිනුෂි මනතුංග]

News Order: 
10
මාතෘකා