ගැබ් ගෙල පිළිකා වළකමු

 ඡායාරූපය:

ගැබ් ගෙල පිළිකා වළකමු

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ වසරකට ගැබ්ගෙල පිළිකා සහිත කාන්තාවන් 1000ක් පමණ හමුවන අතර මෙම ගැබ්ගෙල පිළිකා කල් තියා හඳුනා ගැනීම මෙන්ම වළක්වා ගැනීම ඉතා අපහසු කාරණයක් නොවේ. ඒ පිළිබඳ හොඳ දැනුවත් වීමක් තිබීමෙන් අපේ කාන්තාවන් මේ රුදුරු රෝගයෙන් බේරා ගැනීමට හැකියාව ලැබේ.

ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා මානව ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හියුමන් පැපිලෝමා වයිරස් එන්නත (HPV එන්නත) හඳුන්වාදෙනු ලබන්නේ එය ශ්‍රී ලංකාවේ ගැබ්ගෙල පිළිකා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන දෙවන පිළිකාව වන නිසයි. එමෙන්ම පැතිරුණු ගැබ්ගෙල පිළිකා රෝගීන්ගෙන් බහුතරයක් සංකූලතාවලට ලක්වීම හෝ මරණයට පත්වීම සිදුවේ.

ගැබ්ගෙල පිළිකාවලින් බහුතරයක් සිදුවන්නේ හියුමන් පැපිලෝමා ‍ෛවරස් නම් වෛරසය හේතුවෙනි. මෙම වෛරසයට බාහිරව පෙනෙන රෝග ලක්ෂණ ඇති නොකර ගැබ්ගෙලෙහි සෛල පිළිකා සෛල බවට වෙනස් කිරීමේ හැකියාව ඇත. මෙය ශරීරයට ඇතුළු වන්නේ තරුණ අවධියේදී වුවද වයස්ගත වන විට ගැබ්ගෙල පිළිකාව ඇති කරයි. ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කිරීම වැඩිහිටි කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා කල්තියා හඳුනා ගැනීම සඳහා ලබා ගත හැකි එක් ක්‍රමයකි. මෙම අවස්ථාව වන විට පිළිකා සෛල වර්ධනය වීමට පටන් ගෙන තිබේ. මෙම ක්‍රමයේදී ගැබ්ගෙල පිළිකා තවදුරටත් වර්ධනය වීම වැළැක්වීමට උත්සාහ කිරීමට අවස්ථාව හිමිවේ. එමෙන්ම HPV එන්නත ලබා ගැනීම මඟින් මානව පැපිලෝමා වෛරස් වර්ග නිසා ගැබ්ගෙල පිළිකා සෛල වර්ධනය වීම වළක්වා ගත හැකිය. ගැහැනු ළමයින්ට ඔවුන්ගේ තරුණ වයසේදීම එන්නත් කිරීම අවශ්‍ය වන්නේ ඒ නිසාය.

මානව පැපිලෝමා වෛරසයට විවිධ වර්ගවල ගීනෝටයිප්ස් (වර්ග 100 කට වඩා වැඩි) ඇත. මෙම වර්ග සමහරක් ගැබ්ගෙල පිළිකා ඇති කරන අතර ඒ සඳහා වගකිය යුතු වන්නේ වෛරස් වර්ග 10-15ක් පමණි. ගැබ්ගෙල පිළිකාවලින් සියයට 99ක්ම සිදුවන්නේ එකී ඕනෑම මානව පැපිලෝමා වෛරසයක් නිසා බව හඳුනාගෙන ඇත. මෙම වර්ග 10-15 අතුරිනුත් 16 වැනි වර්ගය සහ 18 වැනි වර්ග සියයට 70 ක් පමණ ගැබ්ගෙල පිළිකා ඇති කිරීමට හේතුව බව පැවසේ. මෙම පිළිකා කාරක වෛරසය ගැබ් ගෙලෙහි සෛල මත රැඳී වසර ගණනාවක් යන විට එම සෛල විකෘති කරමින් ඒවා පිළිකා සෛල බවට ක්‍රමයෙන් පත්කෙරේ. ඒ හරහා එම සෛල පැතිරී ගිය පිළිකාවක් දක්වා වර්ධනය වේ. මෙම ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත මඟින් මෙම ගැබ්ගෙල පිළිකා සඳහා ආරක්ෂාව සපයන අතර ඉහළ අවදානම් සහිත වෛරස් වර්ග 16 සහ 18 නිසා අනාගතයේදී වැඩිහිටි කාන්තාවන් බවට පත්වන විට ගැබ්ගෙල පිළිකා ඇතිවීම එමඟින් වළක්වයි. කෙසේ වෙතත් මෙම එන්නත ලබා දීමෙන් ගැබ්ගෙල පිළිකා ඇති කරන වෙනත් වර්ග සඳහාද ආරක්ෂාවක් ඇති බව හඳුනාගෙන ඇත.

වැඩිහිටි කාන්තාවන් තුළ ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව අඛණ්ඩව සිදු කෙරෙන අතර පාසල්වල ගැහැනු ළමයින්ට HPV එන්නත ලබාදීම අවශ්‍ය වේ. සංවර්ධිත (ඇමරිකාව, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව යනාදිය) සහ අපේ කලාපයේ සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල (භූතානය, බංග්ලාදේශය, නේපාලය සහ ඉන්දියාවේ සමහර ප්‍රාන්ත) පාසල් පදනම් කරගත් HPV එන්නත් කිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරයි.

HPV ලබා දෙන්නේ 2017 සිට ජාතික ප්‍රතිශක්තිකරණ කාලසටහනේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන හරහා ය. මෙම එන්නත 2006 සිට භාවිත කිරීම සඳහා ආරක්ෂිත හා ගෝලීයව ලියාපදිංචි කරන ලද එන්නතකි. ශ්‍රී ලංකාවේ HPV එන්නත 2012 සිට භාවිතයට ලියාපදිංචි කර ඇති අතර 2012 සිට ලබාගත හැකිය.

අනාගතයේදී ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් ගැහැනු ළමයින්ට එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

6 ශ්‍රේණියේ සියලුම ගැහැනු ළමයින්ට අවුරුදු 10 සම්පූර්ණ වූ පසු HPV එන්නත ලබා දෙනු ලැබේ. මෙම එන්නත මාත්‍රාවන් දෙකක් ලෙස පාසල් යන ඔබේ දියණියට ලබාදෙනු ඇත. කිසියම් හේතුවක් නිසා දරුවාට HPV එන්නත මඟ හැරුණේ නම් එය ඔබේ MOH කාර්යාල සායනයෙන් ලබාගත හැකිය. නමුත් ගැබ්ගෙල පිළිකා සඳහා අපේක්ෂිත ආරක්ෂාව සම්පූර්ණ කිරීම සඳහා ඔබ HPV එන්නත මාත්‍රා දෙකම (මාස 6 ක කාල පරාසයකින්) ලබාදීමට වග බලා ගන්න. එන්නත 6 ශ්‍රේණියේදී ලබාදෙන අතර දෙවැනි මාත්‍රාව 6 වැනි ශ්‍රේණියේ හෝ 7 ශ්‍රේණියේ මාස 6 කට පසු නැවත පාසලේදී ලබාදෙනු ඇත. HPV එන්නත මාත්‍රාව එකම දිනයේදී ATD එන්නත සමඟ ලබාදිය හැකිය.

HPV එන්නත ඉතා ආරක්ෂිත එන්නතක් වන අතර වෙනත් ඕනෑම එන්නතකට මෙන් සාමාන්‍ය රෝග ලක්ෂණ (වේදනාව සහ රතු පැහැය වැනි) අත්විඳිය හැකිය. දරුණු අතුරු ආබාධ ඉතා දුර්ලභ වන අතර අනෙකුත් රටවල පවා අත්දැකීම් මඟින් දරුණු අහිතකර සිදුවීම් නොපෙන්වයි.

හියුමන් පැපිලෝමා වෛරස් නිසා ඇතිවන ගැබ්ගෙල පිළිකාවලින් ඔබේ දියණිය ආරක්ෂා කර ගැනීම සඳහා ඔබේ දරුවාට HPV එන්නත නියමිත මාත්‍රාවලින් ලබාගැනීමට අමතක නොකරන්න. පාසලේදී ඔබගේ දියණියට මෙය මඟ හැරුණා නම් කරුණාකර ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෙත දැනුම් දී නැවත එම එන්නත MOH කාර්යාලයේදී ලබාගන්න.

වෛද්‍ය [කේ. කේ. ජී. ලහිරු ප්‍රබෝධ]

දිස්ත්‍රික් මූලික රෝහල - දික්ඔය

News Order: 
2
මාතෘකා