නව අවුරුදු උදාවන් දෙකක් සැමරුවෙමු. ඊළඟට ???

 ඡායාරූපය:

නව අවුරුදු උදාවන් දෙකක් සැමරුවෙමු. ඊළඟට ???

මට මතක කාලයේ සිටම සෑම වසරකම ජනවාරි (දුරුතු මස) ප්‍රථම දිනය උදාවීම එනම් බොහෝ අය පවසන පරිදි නව අවුරුදු උදාව, විවිධ අයුරින් සැමරීමට ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ සහ නැදෑහිතවතුන් පියවර ගත් බව දුටිමි. නමුත් වසර පුරා නව වසර සැමරුම් කිහිපයක්ම පවත්වන බව මා පහසුවෙන්ම දැක ගත්තේ මා ගම්පොළ (වික්‍රමබාහු) මධ්‍ය මහා විදුහලේ ප්‍රාථමික අධ්‍යාපනය ලද අවදියේමය. ඊට හේතුව දමිළ සහ ඉස්ලාම් මිතුර මිතුරියන් ගණනාවක් ඇසුරු කිරීමට ලැබීම මෙන්ම අවස්ථා කිහිපයකදීම ඔවුන්ගේ නව අවුරුදු උදා සැමරුම්වලට සහභාගි වීමටද හැකිවූ නිසාය.

පාසලේ ඒ ඒ වසරට අපට ලබා දුන් කාලසටහන වසරක් සඳහා සකස් කර තිබුණත් ඒ වසර තුළ නව අවුරුදු උදාවන් ගණනාවක් යෙදී තිබීම පිළිබඳ මට ඇති වූ කුතුහලය ඔබටද ඇතිවී අවස්ථා ඇතැයි සිතමි. 2020 ජනවාරි පළමුදා නව වසරක උදාව සැමරූ අප රටේ ජනතාවම ජනවාරි 15 වැනිදා තෛයිපොංගල් නමින් තවත් නව වසරක උදාවක් සමරා ඉන් නොනැවතී ඉදිරියේ උදාවන නව අවුරුදු සැමරීමට දින ගනිති. අධ්‍යාපනය ලබන අප දූ පුතුන්ලා පවා කුතුහලයට ලක් කරන මේ නව අවුරුදු උදාවන් පිළිබඳව කෙටියෙන් විමසා බලමු.

ලෝක ඉතිහාසය මෙන්ම මිනිස් වර්ගයාගේ ඉතිහාසය පිළිබඳ කතා ඉතා දීර්ඝ වන බව අප දන්නා සත්‍යයයි. වෙනත් සත්ත්වයන් මෙන්ම ස්වභාවික පරිසරයේ ජීවත් වූ හෝමෝ සේපියන්ට එදා තිබුණේ දිවාකල ගහෙන් කොළෙන් ලබාගත් ස්වාභාවික ආහාරයක් බුදිමින් අනෙක් ජීව විද්‍යාත්මක චර්යාවන්වල යෙදී රාත්‍රී කාලයේ ගල්ලෙනක හෝ වෙනත් සෙවනක නිදාගැනීම පමණක් වූවද පසුකාලීනව පරිණාමයේ (EVOLUTION) විවිධ අවස්ථා හරහා දිවා සහ රාත්‍රී වෙන්කර ගැනීම සහ දින දර්ශනයන් සකස් කර ගැනීම පිළිබඳ වෙහෙස දරා ඇත. එම කතාවේ මෑත භාගය සැලකුවහොත් දින ගැනීම සඳහා එකල භාවිතා වූ රෝමන් දින දර්ශකය (Roman Calendar) සංස්කරණය කොට ජූලියස් සීසර් (Julius Caesar) ඔහුගේ ග්‍රීක ගණිතඥයන්ගේ සහාය ඇතිව ක්‍රිස්තු පූර්ව 46දී දින දර්ශනයක් ඉදිරිපත් කර ඇති අතර ක්‍රි. පූ. 45 ජනවාරි පළමු වැනිදා සිට එහි භාවිතය ඇරඹී ඇත.

එසේ වූවද විවිධ සාධක පදනම් කරගෙන පිළියෙළ කරන ලද දින දර්ශක විශාල සංඛ්‍යාවක් ලොව විවිධ ජාතීන් විසින් භාවිතයට ගෙන ඇත. ඒ අතරින් ජූලියස්ගේ දින දර්ශනය පාදක කොට ග්‍රෙගරි පාප් තුමාගේ ප්‍රධානත්වයෙන් 1582 වසරේ ඔක්තෝබර් මාසයේදී හඳුන්වා දෙන ලද ග්‍රෙගරියන් දින දර්ශකය (Gregorian Calendar) ලොව බොහෝ රාජ්‍යයන්වල මෙන්ම මැද පෙරදිග රටවල්වල යුරෝපයේ හෝ ඇමෙරිකාවේ පවා කටයුතු පරිපාලනයේදී භාවිත කෙරේ.

සුදු අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම නිසා හෝ වෙනත් යම් යම් හේතු නිසා ජනවාරි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දින ගණින ග්‍රෙගරියන් දින දර්ශකය ලොව පුරාම පාහේ භාවිත වන නිසාම ජනවාරි පළමු වැනි දින උදාව ලොව පුරාම පාහේ උත්සවශ්‍රීයෙන් සැමරූ අයුරු දුටුවෙමු; ඇසුවෙමු. 2020 නව වසර ප්‍රථමයෙන්ම පිළිගත්තේ කිරිබත් (Kiribati) දූපත්වැසියන් බවද වාර්තා විය. ඉන් අනතුරුව රටවල් රැසක ජනතාව උත්සවශ්‍රීයෙන් 2020 වසර පිළිගත් බවද ජනමාධ්‍ය වාර්තා කරමින් රුපියල් බිලියන ගණනින් තක්සේරු වන ගිනිකෙළි සංදර්ශනවල රූපරාමු ඉදිරිපත් කළේ අප රටේ දේශපාලන නායකයන්ගේ නව අවුරුදු සුභපැතුම්ද සමඟින්ය. මාස ගණනාවක් තුළ ලැව්ගිනි ආපදාවට ලක්වී සිටින ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය විසින් නව වසර උදාව වෙනුවෙන් පැවැත්වීමට නියමිතවූ ගිනිකෙළි සංදර්ශන තහනමකට ලක් කලද එක් ප්‍රාන්තයක ඒ තහනම නොසලකා ඩොලර් බිලියන ගණනක් දවාලූහ.

2019 පාස්කු ඉරිදා අප රටේ සිදුවූ ඛේදනීය ආපදාව, දරුණු නියඟයෙන් උතුරුකරයේ ලක්ෂ සංඛ්‍යාත අහිංසක ජනතාව විඳින පීඩාව හෝ නොවැම්බර් මස අග සහ දෙසැම්බර් ප්‍රථම සති තුන තුළ දිවයිනේ පළාත් රැසකට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයෙන් විවිධ ආපදාවලට රට වැසියන් ලක්වීම ආදිය ඉතිහාස පොතේ දත්තවලට ඇතුළත් කළ අපේ බහුතර ජනතාවක්ද කිරි උතුරවා, ගිනිකෙළි දල්වා, කිරිබත් කමින්, නටමින්, ගයමින් 2020 වසර උදාව සැමරූ අයුරු දුටිමි.

ඒ සැමරුම් නිමාවී සති දෙකක් ගතවී ඇතත් ජනවාරි 15 දින තවත් නව වසරක් (හින්දු භක්තිකයන්ගේ නව වසර) තෛංපොංගල් නමින් උදාවී ඒ නව වසර උදාවද අති උත්කර්ශවත් අයුරින් සැමරූ අයුරු ජනමාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරවල ජනමාධ්‍ය වෙත සැපයූ තෛපොංගල් සුභපැතුම්වල වචන එහාට මෙහාට විස්ථාපනය කොට සංස්කරණය කළ සුභපැතුම් ජනමාධ්‍ය හරහා විකාශනය කෙරිණි.

ජනවාරි පළමුවැනිදා සහ 15 වැනිදා කිරි උතුරවා, කිරිබත් සංග්‍රහ පවත්වා, අලුත් ඇඳුම් පැළඳුම් ඇඟ දවටා, ගිනිකෙළි දල්වා පන්සල් කෝවිල්වලට ගොස් ආගමික වතාවත්වල යෙදී නව වසර සාර්ථක වේවායි ප්‍රාර්ථනා කර නව වසර දෙකක් පිළිගත් ජනතාව අප්‍රේල් (බක්) මාසයේ උදාවන තවත් නව වසරකට මල් මාලා පැළඳවීමට දින ගණන් කරමින් සිටින අතර ඉස්ලාම් භක්තිකයන් ඉස්ලාම් දින දර්ශකයේ ප්‍රථම දිනය (ග්‍රෙගරියන් දින දර්ශකයේ ජනවාරි 26) හෙවත් ඔවුන්ගේ නව වසර උදාව පිළිගැනීමට සූදානම් වෙති.

යථාර්ථය කෙසේ විය යුතුද යන්න අවබෝධ කර ගැනීමට ඉහත කරුණු ස්වල්පය වුවද සෑහෙන නමුත් විමර්ශනය නොකර ගතානුගතික ලෙස ජීවිතයේ පියවර තබන එසේම උත්සව උන්මාදය (Function Mania) යන රෝගයෙන් පෙළෙන ජනතාවට දින 365ක් තුළ නව වසර උදාවන් තුන හතරක් සැමරීම අර්ථ ශූන්‍ය දෙයක් බව වටහා ගැනීම අසීරු විය හැකිය.

ක්‍රි.පූ. 46 වසරේදී ජූලියස් සීසර්ගේ ගෝලබාලයන් විසින් නිර්මාණය කරන ලද දින දර්ශකයේ ප්‍රථම දිනය ලෙස ජනවාරි පළමු දිනය තෝරාගෙන ඇත්තේ ඒ වකවානුවේ පෘථිවිය සහ සූර්යයා අතර දුර අවම අගයක් (ආසන්න ලෙස කිලෝ මීටර් මිලියන 147) ගන්නා දවස කොට ගෙන බවයි. එහෙත් පෘථිවි - සූර්ය සාපෙක්ෂ (Relative) ගමන පිළිබඳ මනා අවබෝධයක් එදා මිනිසා සතු නොවීය. පෘථිවිය සූර්යයාට ආසන්න වන දිනය කලින් කලට වෙනස් වන බව තාරකා විද්‍යාව සාක්ෂි දරයි. එම දිනය කාලයත් සමඟ වෙනස්වන අතර මේ වසරේ (2020) අප පෘථිවිය සූර්යයාට ආසන්නවම පිහිටා තිබුණේ ජනවාරි 4 හෝ 5 වනදා විය. මේ නිසා ග්‍රෙගරියන් දින දර්ශකය පවා නිවැරදි තාරකා විද්‍යා සාධක මත පදනම් වූවක් නොවේ. එම දින දර්ශකය තරමක් හෝ පිළිගත හැකි ලියවිල්ලක් වීමට නම් කාලීන ලෙස සංස්කරණය විය යුතුය.

දැනට ලොව විවිධ කණ්ඩායම් සඳහා නිර්මාණය කරගෙන තිබෙන දින දර්ශන බොහෝමයක් විද්‍යාත්මක සාධක හෝ තාරකා විද්‍යාත්මක සාධක පදනම් කොට ගෙන සංස්කරණය වී නොමැත.

අප ලෝකය විශ්වයේ ගෙවා යන මාවත හෝ අප ලෝක ගෝලයේ සිදුවන චලනයන් සැලකීමේදී නව අවුරුදු උදාවන් රැසක් සැමරීම හුදු මූල්‍යමය විනාශයක් සහ විශාල පාරිසරික හානියක් පමණි. අද සිදුවෙමින් පවතින ගෝලීය උණුසුම් (Global Warming) වීම මෙන්ම සෑම රටකම පාහේ දක්නට ලැබෙන ආර්ථික පරිහානිය හමුවේ විශාල මිනිස් ක්‍රියා දින ප්‍රමාණයක් සහ මූල්‍යමය තැන්පතු විනාශ කරමින්ද පරිසරයට හරිතාගාර වායූන් (Green House Gas) මහා පරිමාණයෙන් එකතු කරමින් මිනිසා සිදුකරන සැමරුම් නවතා දැමීම කළ යුතු වූවද එය නොහැකි නම් මේ එම සැමරුම් සීමා කිරීම පිළිබඳවවත් සිත් යොමු කළ යුතු අවදියක් වේ.

[කේ.ආර්. අභයසිංහ]

News Order: 
2
මාතෘකා