නිදහස් කවි අහසේ මහා මේඝය මහගම සේකර

 ඡායාරූපය:

නිදහස් කවි අහසේ මහා මේඝය මහගම සේකර

“බස්රිය මීදුම කපාගෙන කොළඹ අතට යයි. හන්දියෙන් බස් රියට නැංගේ මා පමණය. මම පසුපසට වී බස්රියේ මුල්ලක වාඩිවී සිටිමි.

හරියන්නට හෝ වරදින්නට මා යන්නේ මාමා ගිය අඩි පාරේය. ඔහු මියගිය බව මට අමතක වේ. මා ඉස්තෝප්පුවේ ලණු ඇඳ උඩ වාඩි වී වත්ත පහළ බලාගෙන සිටින විට මාමා කන්ද නැඟගෙන දැන් දැන් එනු ඇතැයි නොයෙක් විට මට කල්පනා වේ.”

නිර්ව්‍යාජ ආත්ම ප්‍රකාශනවාදියකු ලෙස ප්‍රකට ‘මහගම සේකර’ නම් අද්විතීය කලාකරුවා සිය ආත්ම ප්‍රකාශනය එලෙස එළිදක්වනුයේ සිය ‘තුංමං හන්දිය’ නම් වු ප්‍රකට නවකතා නිර්මාණය හරහාය.

වර්ෂ 1929ක් වූ අප්‍රේල් මස 07 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ, සියනෑ කෝරලේ, රදාවානේ, මහවත්ත නම් පිටිසර ගම්පියසේදී මහගමගේ ජෝන් සිංඤේ මහතාට සහ රණවක ආරච්චිගේ රොසලින් නෝනා මහත්මියට දාව මහගම සේකර උපත ලැබීය. කිරිඳිවෙල රජයේ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යපනය ලබා ඇති සේකර පසුකලෙක සිංහල ගුරුවරුන් සඳහා වන චිත්‍ර කර්ම විභාගයෙන් සමත්ව තිබේ. පුහුණු ගුරුවරයකු වශයෙන් 1952 වර්ෂයේදී රාජගිරිය හේවාවිතාරණ පාසලෙන් ජීවිතය අරඹන මහගම සේකර පසුකාලීනව රාජ්‍ය භාෂා

දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙසත් රජයේ ලලිත කලා ආයතනයේ විදුහල්පතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ අධ්‍යාපන නිලධාරියකු වශයෙනුත් සිය සේවාව දියත් කොට ඇත්තේ නිර්ව්‍යාජ බව සෝභාමත් කරමිනි. මේ හැම අභිබවමින් ආත්ම ප්‍රකාශනවාදියකු ලෙස මෙරට රසික ජන හදවත් ආමන්ත්‍රණය කළ මහගම සේකරයන් ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකවරයකු, ගී පද රචකයකු, නවකතාකරුවකු, චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, තිර පිටපත් රචකයකු මෙන්ම සපුරාම කවියකු ලෙස සිය ප්‍රතිභාව විදහා දැක්වීය.

“ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල

රැගෙන විත් තුන්හිරියා පන්කොළ

යොදා කුකුළු සායම් රතු හා කොළ

වියා නෙක විසිතුරු රටා පැදුරු

රටාවක් බව මේ මහා විශ්වය

කුඩා කල සිට මට කියාදුන් අම්මා”

මහගම සේකරයන්ගේ විශිෂ්ටතම නිදහස් කවි කෘතිය ලෙස විචාරක ඇගයීමට පාත්‍රවන ‘ප්‍රබුද්ධ’ කෘතියෙහි පිදුම් සටහන තබා ඇත්තේ එලෙසිනි.

නුතන සිංහල කාව්‍යාවලියේ ජන කවියත් නිදහස් කවියත් එකිනෙක යා කළ පුරුක ලෙස විචාරක සම්භාවනාවට පාත්‍රවන මහගම සේකරයන් විසින් ව්‍යාංගා, සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක්නිසාදයත්, රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි සහ ඔහුගේ අවසන් කවි කෘතිය වන ප්‍රබුද්ධ රසික ජන සමාජය වෙත දායාද කරනු ලදුයේ මෙරට නිදහස් කවි අහසේ මහා මේඝයක මං සටහන තබමිනි.

සද්දන්ත සහ තවත් නාටක, මූදුපුත්තු, හංස ගීතය හා වෙනත් නිර්මාණ මහගම සේකරයන් විසින් ලියන ලද නාට්‍ය නිර්මාණ වේ. “මහගම සේකරගේ කෙටිකතා සහ චිත්‍ර” සේකරයන්ගේ එකම කෙටිකතා සංග්‍රහයයි. පුංචි අපට කයි කතන්දර, සරු පොළොවක් අපට ඇතේ, කොටි වළිගය ආදිය දරුවන් සඳහා කළ සාහිත්‍ය නිර්මාණ අතර වේ. තුංමං හන්දිය මෙන්ම මනෝ මන්දිර නවකතාකරුවකු ලෙස සේකරගේ ප්‍රතිභාව ප්‍රභාවත් කරයි. සිය සැබෑම ජීවන පෙවෙත පාදක කොටගෙන රචනා කළ තුංමං හන්දිය නවකතාව ඇසුරෙන් තුංමං හන්දිය චිත්‍රපටය නිර්මාණය කළ මහගම සේකරයන් විසින් රූප මාධ්‍ය තුළ සිය ප්‍රතිභාව නොමැකෙන සේ ප්‍රභාවත් කරන ලද්දේය.

සිනමා ගේය පද රචකයකු ලෙස 1966 සරසවි චිත්‍රපටි සම්මාන උලෙළේදී හොඳම ගේය පද රචකයා සඳහා වන සම්මානයෙන් සේකර පිදුම් ලදුයේ ‘සාර විට’ චිත්‍රපටිය වෙනුවෙන් රචනා කළ "මේ සිංහල අපගෙ රටයි" ගීතය වෙනුවෙනි. 1968 වර්ෂයේදී හොඳම ගේය පද රචනය සඳහා වූ සරසවි සිනමා සම්මානය මහගම සේකර වෙත පිරිනමනුයේ ‘සත් සමුදුර’ චිත්‍රපටය සඳහා ඔහු විසින් ලියන ලද "සිනිඳු සුදු මුදු තලාවේ" ගීතය සඳහාය.

එපරිද්දෙන්ම 1970 වර්ෂයේදීද සරසවි චිත්‍රපට සම්මාන උලෙළේදී ‘බිනරමලී’ චිත්‍රපටිය වෙනුවෙන් රචනා කළ "රටකින් රටකට පාර අසාගෙන" ගී පද රචනය සඳහා වසරේ හොඳම ගේය පද රචනය සඳහා වූ සම්මානය සේකරයන් වෙත පිරිනමා ඇත. ‘මධුවන්ති’ නම් සුප්‍රකට ගුවන්විදුලි වැඩසටහන සම්පාදනය කරමින් ආචාර්ය අමරදේවයන් හා එක්ව නිර්මාණය කළ ගී මාධූර්යයන් දශක ගණනාවක් ඇවෑමෙන් අදද රසික හද තත් විනිවිදින බව නොරහසකි. මළ හිරු බසිනා සැන්දෑ යාමේ, පාළු අඳුරු නිල් අහස, මේ ලොව යම් කිසිවකු, වක්කඩ ළඟ, අතීතයෙන් ගඟ ගලා බසී, සන්නාලියනේ, පරවුණු මල්වල වැනි ගීත සිය ගණනාවක් සේකරගේ ගුවන්විදුලි සහ සිනමා ගී නිර්මාණ ලෙස අදද මෙරට සුභාවිත ගී රසික ජන හද තත් ආමන්ත්‍රණය කරයි. මෙරට නිදහස් කවියේ මුදුන් මල්කඩ ලෙසත් නිදහස් මතධාරියකු ලෙසත් රසික ජන හදවත් ආමන්ත්‍රණය කළ මහගම සේකර වර්ෂ 1976ක් වූ ජනවාරි මස 14 වැනි දින සිය රසික ජන සමූහයාගෙන් සමුගෙන යන්නේ නොනිමි මතක සැමරුම් ගණනාවක් ශේෂ කරමිනි. සේකර ලියූ පරිදිම අවසන මෙසේ සටහන් කොට තබමු.

‘සදා නොමියෙන ගීතයකි ඔබ

සදා නොමියෙන සිතුවමකි ඔබ

ගමේ ඕවිටි තැනිතලාවල

සදා ඔබ මට මුණගැසෙනු ඇත..’

(ජනවාරි 14 වැනි දිනට යෙදුණු මහගම සේකර කලාකරුවාගේ 44 වැනි ගුණ සමරු දිනය නිමිත්තෙනි.)

[ඩබ්ලිව්. ප්‍රදීප්]

News Order: 
1
මාතෘකා