කාබනික ගොවිතැන ශ්‍රී ලංකා රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය බවට පත්කළ යුතුයි

 ඡායාරූපය:

කාබනික ගොවිතැන ශ්‍රී ලංකා රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය බවට පත්කළ යුතුයි

වර්තමාන ජනාධිපතිවරයාගේ නිල ප්‍රකාශනය වන ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ජනතා කේන්ද්‍රීය ආර්ථිකය යටතේ පිටු අංක 38 සිට 43 දක්වා කෘෂිකර්ම අංශය පිළිබඳව අවධානය යොමුකර ඇත. ආහාර නිෂ්පාදන අංශය ලෙස කෘෂිකර්ම, සත්ත්ව පාලන හා ධීවර කර්මාන්තය යන අංශ තුන ගැනත් වැවිලි අංශය යටතේ තේ, පොල්, රබර් අංශය ගැනත් විශ්ලේෂණයක් කර ඇත. නිරෝගී සහ ඵලදායී පුරවැසියන් බිහිකර ගැනීමට ‘වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය’ මෙන්ම මෙරට සුළු ගොවියාගේ කාර්යභාරයද මතුකර දැක්වීම සාධනීය තත්ත්වයකි. තවද කෘෂිකර්මය සඳහා නව තාක්‍ෂණය යොදා ගැනීම ගැනද විස්තර කරයි.

පසුගිය ශත වර්ෂයේ මැද භාගයේ පමණ ලොවට හඳුන්වා දුන් හරිත විප්ලවය හා එම තාක්‍ෂණ කට්ටලය, සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු රාශියකට මුල් විය. ශ්‍රී ලංකාවේ අපට එය තදින්ම බලපෑවේය. එම ගැටලු පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර සංවාද, සාකච්ඡා හා වැඩමුළුවලදී මතුකර ඇති අතර පර්යේෂණ ලිපි, ප්‍රකාශන හා පොත්පත් මඟින්ද මෙම දැනුවත් කිරීම අනන්තවත් සිදුකර තිබේ. ප්‍රතිඵලය ලෙස ලෝකය පුරාම විරෝධතා මෙන්ම නඩු හබද ඇති වී තිබේ. මේ නිසා මෙම හරිත විප්ලව තාක්‍ෂණය වෙනුවට විකල්ප ගොවිතැනකට පරිවර්තනය වීමට රජයන්ට බලපෑම් කිරීමටත් පෙලඹවීමක් කිරීමටත් ගොවීහු හා ක්‍රියාධාරීහු කටයුතු කරමින් සිටිති.

ආරම්භයක් ලෙස 1992 රියෝ ද ජැනෙයිරෝවල පැවැත්වූ මිහිකත සමුළුවේදී Agenda 21 sustainable agriculture and rural development යන මාතෘකාව ඇතුළත් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. මෙහිදී විකල්ප ගොවිතැන, sustainable agriculture - තිරසර ගොවිතැන 2000 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට සුදුසු කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශයට පත්විය. වසුන් භාවිතාව, ඒකාබද්ධ පළිබෝධ පාලනය, කොම්පෝස්ට් යෙදීම වැනි තාක්‍ෂණික කාරණා ගණනාවක් මෙහි ඇතුළත්ය. එක්සත් ජාතීන්ගේ සම්මේලනයද 2010 වර්ෂයේදී බ්‍රසල්හි මානව හිමිකම් මූලස්ථානයේදී ‘ආහාරය මානව අයිතිවාසිකමකි’ මාතෘකාව යටතේ සකස් කළ ලියවිල්ල ජිනීවා මූලස්ථානයට ඉදිරිපත් කර ලෝකයේ සියලුම රටවල මධ්‍යම රජයන් තම කෘෂිකර්ම ප්‍රතිපත්තිය පාරිසරික ගොවිතැන විය යුතුය යන්න ප්‍රකාශයට පත් කරනු ලැබීය. තවද සුළු ගොවි කාර්යභාරයද අවධාරණය විය. කියුබාව, භූතානය, ස්විට්සර්ලන්තය සහ බොහොමයක් දකුණු ඇමෙරිකානු රටවල් මේ වන විට ගොවිතැනේ පරිවර්තනය ආරම්භ කර ඇති අතර අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ කර්නාටක හා අන්ද්‍රා ප්‍රදේශද සිය ප්‍රාන්ත රාජ්‍යයන්හි මෙම විකල්ප ගොවිතැන කෘෂිකර්ම ප්‍රතිපත්ති ලෙස ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කරගෙන යයි. එම ප්‍රාන්තයන්හි මෙම ගොවිතැන හඳුන්වන්නේ Zero Budget Natural Agriculture (වියදම් නැති ස්වභාවික ගොවිතැන) ලෙසිනි. මේ වන විට එහි ජනගහනයෙන් ආසන්න වශයෙන් මිලියන 5ක් පමණ ගොවි පවුල් මෙම ගොවිතැනෙහි නියැළී සිටිති.

මෙම විකල්ප ගොවිතැන විවිධ නම්වලින් හඳුන්වයි. ආරම්භයේදී කාබනික ගොවිතැන ලෙසත් පසුව පාරිසරික ගොවිතැන, ප්‍රතිඋත්පාදන ගොවිතැන, තිරසර ගොවිතැන යන නම්ද භාවිත විය. නමුත් පසුගිය දශක දෙකක තරම් කාලයක් තුළ Agro Ecology යන්න ස්ථාපිත විය. මෙය ස්වභාවධර්මයේ කෘෂිකර්ම විද්‍යාව ලෙස සිංහලට නැඟිය හැකි වුවත් පාරිසරික ගොවිතැන යන්න අපි දැනට භාවිත කරමු. මෙම වචනය නියම ලෙසම අර්ථවත් කරන්නේ, ස්වභාවික පරිසර පද්ධතිවල හා පාරම්පරික ගොවිතැනේ මූලික හරය එනම් මූලධර්ම, නවීන විද්‍යාව හා ගළපා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙහි ඇති විශේෂත්වය නම් ගොවිතැන, ගොවිතැන් පද්ධතියක්, සමස්තයක් හෝ සාකල්‍යයක් ලෙස දැක්වීම වේ. මෙවන් ගොවිතැන් පද්ධතියක් එක්වර ඇතිකර ගැනීමට ගොවියාට පහසු නැත.

වර්තමාන කෘෂිකර්මයේ සිට ස්වභාවධර්මයේ කෘෂිකර්මයට නැතිනම් පාරිසරික ගොවිතැනකට මාරුවීම සිදු කළ යුත්තේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර බව පිළිගැනීම වේ. මේවා මට්ටම් ලෙස හඳුන්වමු. මෙය මට්ටම් 3කින් හෝ 4කින් සිදු කළ හැක. මෙහි පළමු මට්ටමේදී සිදුවන්නේ දැනට යොදන ආදේශ නැතිනම් යෙදවුම්වල කාර්යක්‍ෂමතාව වැඩිකර ගැනීමය. එනම් පසට හෝ බෝගයට යොදන ප්‍රමාණ නියමිත මාත්‍රාවට ගෙන ඒමයි. මීට ඉහතදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොහොර නිර්දේශ ලබා දී තිබුණේ තෙත්, වියළි හා අතරමැදි කලාප හැටියටය. නමුත් පසුගිය වසරේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලංකාවේ සියලුම ග්‍රාම සේවා කොට්ඨාස සඳහා වෙන වෙනම පොහොර නිර්දේශ ලබා දී තිබේ. මේ නිසා පොහොර සඳහා වැයවන විශාල මුදලත් ඉතිරි කරගත හැක. අනවශ්‍ය ලෙස වැඩි පොහොර යෙදීමෙන් පසට හා ජලයට සිදුවන හානියද වළක්වා ගත හැක. මීට සමාන්තරව පසුගිය වසර හයක තරම් කාලය තුළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් විෂ සහිත පළිබෝධනාශක විශාල සංඛ්‍යාවක් නීත්‍යනුකූලවම භාවිතයෙන් ඉවත් කරන ලදි. මේ අතරට ග්ලයිෆොසේට් ඇතුළත් වූ නමුත් තේ වගාව සඳහා පමණක් පසුව එම තහනම ඉවත් විය. ගොඩ බෝග සඳහාද මෙවැනිම නිර්දේශ ලබා දිය හැකි නම් මෙම පළමු මට්ටම තවත් අර්ථවත් වන්නේය.

දෙවැනි මට්ටමේදී දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ හා ගොවීන්ගේම අත්හදා බැලීම්නුත් භාවිතයට ගත හැක. මේවා අතර පළමු හීයත් සමඟ දිරාපත්වන පිදුරු කුඹුරට එකතු කිරීම, දෙවන හීයේදී අමු ගිනිසීරියා කොළ හා ළපටි දඬුද, කර දහයියා හෝ ජීව අඟුරු මෙන්ම කොම්පෝස්ට් යෙදීමද සිදු කරයි. මෙමඟින් පොහොර යෙදීම විශාල ලෙස අඩු කර ගත හැකි වේ. තවද කුඹුරේ වල් පැළෑටි ගහනය අවම කර ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස පැරිෂුට් ක්‍රමය හඳුන්වා දී තිබේ. දින 8-10 පමණ වයසැති ගොයම් පැළ සිටුවීමක් සිදුවන නිසා වල් පැළවලට ඒ සමඟ තරග කිරීම අපහසුය. ගොඩ ගොවිතැන සඳහා වසුන් භාවිතාව, අනුක්‍රමික වැටි හා කානු යෙදීම, ගිනිසීරියා හෝ සුදුසු ශාක, පේළි අනුව සිටුවා, එහි පත්‍ර පසට එකතු කර බෝග වගා කිරීමේ ක්‍රමය; එනම් වීදි බෝග වගාවද (Allgy Droccing), කොම්පෝස්ට් යෙදීමද බඳුන් වාරි ක්‍රම, ඇහිබැමි වැටි යෙදීමද සාර්ථක ප්‍රතිඵල ලබාදී ඇත. මේවා දෙවැනි මට්ටමට නියමිත ලෙසම අර්ථවත් කර ගැනීමට භාවිත කළ හැක. තවදුරටත් ගොවීන් විසින්ම වැඩිදියුණු කරගත් ජීවාමෘත වැනි දියර පොහොර, කෘමි පාලනය සඳහා ශාක පත්‍ර නිස්සාරක, පස සාරවත් කර ගැනීමට පලතුරු ටොනික්, මාළු ටොනික්, ගැඩවිල් පොහොර හා එම දියර, ගොවීන් විසින්ම නිෂ්පාදනය කරගෙන කුඹුරට හෝ ගොඩ ගොවිතැනට පාවිච්චි කළ හැක.

තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ත අංශය 1990 ගණන්වල ඉතා සාර්ථකව පළිබෝධ පාලනය සඳහා සිදු කළ ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය නැවතද කුඹුරු ගොවිතැනට හුරු කරවීම තුළින් පළිබෝධනාශක පාවිච්චිය අඩුකර ගත හැකිවේ. මෙමඟින් කෘමි හානි සියයට 80කින් පමණ අඩුකර ගනු ලැබීය. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එළවළු වගාවේ පළිබෝධ කළමනාකරණය සඳහාද මෙම ක්‍රමවේදයම අනුගමනය කරයි. දෙවැනි මට්ටම සාර්ථක කර ගැනීමට මෙවන් භාවිතයන් හා තාක්‍ෂණ එමටය. කළ යුත්තේ මේ සම්බන්ධව කෘෂි අංශයන්හි නිලධාරීන් හා ක්‍ෂේත්‍ර ගොවීන්ට පුහුණු ලබා දීම, ගොවි ක්‍ෂේත්‍ර පාසල් ඇති කිරීම, ගොවියාගෙන් ගොවියාට තාක්‍ෂණය ගෙන යෑමේ ක්‍රමවේද දැවැන්ත ලෙස හඳුන්වා දී ඒවා සිදු කර ගෙන යෑම වේ.

තුන්වැනි මට්ටමේදී කෘෂි පරිසර පද්ධතිය ප්‍රතිනිර්මාණය වීම අනිවාර්ය වේ. ගොවිපොළ පද්ධතිය විවිධාංගීකරණය වන්නේය. තනි බෝග වගාවෙන් ඉවත්ව මිශ්‍ර බෝග වගාවට හෝ බහු බෝග වගාවකට පරිවර්තනය වන්නේය. සත්ත්ව පාලනයද මෙයටම ඒකාබද්ධ වන විට පෝෂණ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට අවශ්‍ය අමුද්‍රව්‍යද පද්ධතියෙන්ම නිෂ්පාදනය වෙයි. මේ නිසා පද්ධතියේ සංරචක අතර අන්තර් සම්බන්ධතා ගොඩනැඟෙමින් ගොවිපොළ බහුකාර්ය ස්වභාවයකට පත්වන්නේය. බෝග විවිධත්වය මෙන්ම භූමි විවිධත්වයද නිර්මාණය වේ. මේ නිසා ස්වභාවික පලිබෝධ කළමනාකරණය, පස සංරක්‍ෂණය වීම සිදුවෙමින් පද්ධතිය ස්ථායි හා තිරසාර බවට පත්වන්නේය.

පොහොර සහනාධාරය නොමිලේ ලබා දෙන අතර ක්‍රමයෙන් මට්ටම් කිහිපයේදී ස්වභාවික ගොවිතැනකට අනිවාර්යයෙන් පරිවර්තනය වන නිසා වස විස නැති ආහාර වේලක් පුරවැසියන්ට ලබා දීමට සමත් වන්නේය. එය මෙරට ජීවත්වන සැමගේ අයිතියකි; මේ ගමන අසීරු නැත. අවශ්‍ය වන්නේ එම සිහිනය සාර්ථක කර ගැනීමයි.

ආචාර්ය [ලයනල් වීරකෝන්]

News Order: 
1
මාතෘකා