අත්හැරීම

 ඡායාරූපය:

අත්හැරීම

ලංකාවටත් ‘ජනවාරි 08’ අමතක නොවන දවසක්. අත්හැරීම්, අල්ලා ගැනීම් සමඟ විශාල පෙරළි රැසක් සිදුවුණු දවසක්. මේ කියන ජනවාරි 08 වැනිදාම හිරු නොබසින අධිරාජ්‍යයටත් විශේෂ දවසක් වුණා. ඒ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුවන්ගේත් සුරූපී ඩයනා කුමරියගේත් බාල පුතු වන සසෙක්ස්හී ආදිපාද හැරී කුමරු සිය බිරිඳ මේගන් මාකල් හා සිඟිති පුතු ආචි සමඟින් සිය රාජකීයත්වය අත්හැර යෑමට ගත් තීරණයයි. ඔවුන් මේ තීරණය ගැනීමට ප්‍රධාන හේතුව වශයෙන් ඔවුන් සඳහන් කරන්නේ රජ පවුල වෙනුවෙන් වැය කෙරෙන අධික ජනතා බදු මුදලට යම් සහනයක් ලබාදීමයි. ඒ අනුව ඔවුන් තමන් උපයාගන්නා මුදලින් ඉදිරි ජීවිතය ගත කිරීමට තීරණය කරමින් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කැනඩාව බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම තීරණය පිළිබඳ විශේෂත්වය වන්නේ ඔවුන් මේ තීරණය පිළිබඳ ඊට පෙර කිසිම රාජකීය සාමාජිකයකු දැනුවත් කර නොතිබීමයි. කෙසේ වෙතත් 2020 ජනවාරි 08 වැනිදා නිකුත් කළ ඉන්ස්ටර්ග්‍රෑම් පණිවුඩයක් හරහා ඔවුන් පැහැදිලිව දන්වා තිබෙන්නේ ඔවුන් තමන්ගේ ඉදිරි ජීවිතය මාරුවෙන් මාරුවට එංගලන්තයේත් ඇමෙරිකාවේත් ගත කිරීමට තීරණය කර තිබෙන බවයි.

හැරී සහ මේගන් මෙසේ රජ පවුලේ නිල කටයුතුවලින් ඉවත්ව ගොස් ස්වාධීන ජීවිතයක් ගත කිරීමට ගත් තීරණය රජ පවුලත් ලෝකයමත් හෙල්ලූ තීරණයක් වුණා. හැමෝගෙම මාතෘකාව වුණේ හැරී සහ මේගන්. කෙසේ වෙතත් මේ යුවළ ගත් තීරණය ගැන රාජකීයයන්ගෙන් කිසිදු විමසීමක් නොකිරීම සම්බන්ධයෙන් තැන තැන එක් එක් කතා පැතිරෙන්නටත් වුණා.

ඔවුන් දෙදෙනා තමන් ඉපැයූ මුදලින් ඉදිරි ජීවිතය ගත කරනවා යැයි කීවද හැරී කුමර රජ පවුලේ සාමාජිකයකු වීම නිසා කිසිදු විටෙක රැකියාවක් කිරීමට ඔහුට අවසර ලැබුණේ නැහැ. සසෙක්ස්හි ආදිපාදවරිය වූ සුරූපි මේගන් නම් විවාහයට පෙර ජනප්‍රිය නිළියක් වීම මත ඇය යළි රඟපෑමට එක්වනු ඇති බවටත් ඇතැමුන් සැක පළ කළා. නමුත් ඔවුන් නම් ඒ බව දන්වා නැහැ.

හැරී කුමරු තම ළාබාල වියේදීම තමන්ගේ මව මියයෑමත් සමඟ ගත කළේ තරමක් කලකිරිණු ජීවිතයක්. තමන්ගේ සුරූපී මව ජීවත්ව සිටින තාක්කල් පැපරාසීන් අතින් දුක්විඳීමත් මරණයෙන් පසු ඇගේ මරණයට සාධාරණයක් නොවීම සම්බන්ධයෙනුත් පසුවූයේ කලකිරීමෙන්. සිය සොයුරු විලියම් කුමරුට සාපේක්ෂව හැරී රාජකීයත්වය හැකිතාක් ප්‍රතික්ෂේප කරන තත්ත්වයකයි සිටියේ. තම දරුවා සහ බිරිඳ සමඟ කැනඩාවේ සහ එක්සත් රාජධානියේ ගත කළ සති හයක පවුලේ විවේකයෙන් පසු ඔහු මෙසේ රජ සැප අත්හැරීමට ගත් තීරණයටත් ඔහුගේ මේ කුඩා කළ සිට පැවැති කලකිරීම බලපෑවා දැයි සැකයක් පවතිනවා.

හැරී - මේගන්ගේ මෙම අත්හැරීම ඔවුන්ට පදවි නාම අහිමි කරයිද යන්නත් බොහෝ දෙනාට මතුවන ගැටලුවක්. ඔවුන් මේ හදිසි තීරණය ගන්නේ බ්‍රිතාන්‍ය රජ පවුල තුළ හැරී කුමරුගේ අනාගතය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරතුරයි. හැරී තවමත් රජ පවුලේ ඔටුන්න හිමි කුමරුවෙක්. මේ නිසා ඔවුන්ගේ තීරණ පෞද්ගලික තීරණ නොවන බව රජ පවුලේ නියමයයි. මීට පෙර ඉයුජින් සහ බියට්‍රිස් වැනි රාජකීය පවුලේ සාමාජිකාවන් වූ කුමාරිකාවන් තමන්ගේ පදවි නාමයක් අත්හැර තමන්ගේ රැකියාවල නියුතුව තිබෙනවා. කෙසේ වෙතත් රජ පවුලේ සිදුවන වැදගත් චලනයක් හෝ වෙනස්වීමක් සම්බන්ධයෙන් පවුලේ හා රාජ්‍යයේ ප්‍රධානියා වන එලිසබෙත් මහ රැජනගේ අනුමැතිය අත්‍යාවශ්‍යම වෙනවා. කෙසේ වෙතත් පෙර අවස්ථාවන්ට වඩා හැරී - මේගන්ගේ තීරණය සම්බන්ධයෙන් රැජන කුමන තීරණයක් ගනීද යන්න ගැන බොහෝ දෙනා දෑස් යොමා බලා සිටිනවා. මක්නිසාදයත් මෙතෙක් රජ පවුලේ සාමාජිකයන් අතුරින් තමන්ට නව භූමිකාවක් අවශ්‍ය බවට ඉල්ලීම් ආවත් රජ පවුලෙන් පිටත්ව යෑම සම්බන්ධ ඉල්ලීම් හෝ දැන්වීමක් පැමිණ නොමැති නිසායි. මේ නිසාම මෙය රජ පවුලෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට කළ විශාල රිදවීමක් හා දැඩි බලාපොරොත්තු සුන්වීමක් බවටත් පත්ව තිබෙනවා.

සසෙක්ස් ආදිපාදවරයා හා ආදිපාදවරිය මෙම තීරණය ගැනීමට හේතුව ඔහුගේ සොයුරු විලියම් සමඟ ඇති වූ ආරවුලක්දැයිත් පුවත් පළ වෙනවා. ඔවුන් කියන්නේ මෙම යුවළ දැඩි ආතතියකින් යුතුව පසුගිය කාලය ගත කළ බවකුයි. මේ නිසාම හැරී - මේගන් තමන්ගේ ‘අත්හැරීම’ පිළිබඳ තීරණයට රජ පවුලේ කිසිවකුගෙන් උපදෙස් ලබා නොගැනීම පුදුමයක් නොවන බව එම පුවත් පළ කරන්නන් පවසනවා.

මොවුන්ගේ අත්හැරීමත් සමඟ මතුවනන මීළඟ ගැටලුව “ඔවුන් බදු ගෙවනවාද?” යන්නයි. හැරීට සහ මේගන්ට කිසිදු බදු වරප්‍රසාදයක් නැහැ. එහෙත් මේ වන විට ඔවුන්ට පෞද්ගලික ආදායමක් නොමැති නිසාත් රාජ්‍ය හා පවුලේ වියදම්වලින් තොර වීම නිසාත් ඔවුන්ට කිසිදු බද්දක් ගෙවීමට සිදුවී නැහැ.

ඔවුන් මෙසේ රජ පවුලේ වරප්‍රසාද අත්හැර යෑමත් සමඟ තවත් සුවිශේෂි ආන්දෝලනාත්මක වෙනසක් සිදුව තිබෙනවා. ඒ ලන්ඩනයේ පිහිටි මැඩම් ටුසාඩ් ඉටු රූ කෞතුකාගාරයේ රාජකීය ඉටි රූප අතරින් හැරී - මේගන් යුවළගේ රූප ඉවත්කර දැමීමට එම කෞතුකාගාරය කටයුතු කිරීමයි. රාජකීය පවුලේ ඉටු රූ අතරින් මෙම යුවළ ඉවත් කළත් ඒවා වෙනත් තැන ස්ථාපිත කරන බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් ඔවුන් රාජකීය සැප සම්පත් අත්හල පමණින් ඔවුන්ට ඉදිරි ජීවිතය ගත කිරීමට ක්‍රමවේදයක් ලැබේද යන්න සැක සහිතයි. හැරීට රැකියාවක් ලැබේද යන්න එහිදී මතුවන ප්‍රධාන ගැටලුවක්. ඔවුන්ට මූල්‍ය ස්වාධීනත්වයක් අවශ්‍ය නම් ගත හැකි එකම විකල්පය එයයි. මේ කරුණක් සමඟ මූල්‍යමය වශයෙන් ඔවුන්ට ස්වාධීනත්වයක් මෙතෙක් නොතිබුණාද යන්නත් මතුවන ගැටලුවක්. සැබෑ වශයෙන්ම රාජකීය මූල්‍යකරණ විධිවිධාන යටතේ හැරීට සහ මේගන්ට ඕනෑම ආකාරයක ආදායමක් උපයා ගැනීම තහනම් කර තිබෙනවා. හැරී - මේගන් විවාහයත් සමඟ එතෙක් රංගන ශිල්පිනියක වූ මේගන් රංගනයෙන් ඉවත්වන බව නිවේදනය කළේ තම ජීවිතයේ විශාල පරිවර්තනීය පිටුවක් විවාහයත් සමඟ අරඹන බව ප්‍රකාශ කරමින්. ඇයගේ එම තීරණයටත් රාජකීය මූල්‍යකරණ විධි විධාන බලපෑ බව කිව හැකියි.

කෙසේ වෙතත් මෙම යුවළගේ පෞද්ගලික හා වෘත්තීය වියදම්වලින් සියයට අනූ පහක්ම ඔවුන්ගේ පෞද්ගලික වතු යාය වන ඩචී ඔෆ් කෝරින් වොල් හරහා සැපයෙනවා. මේ නිසා චාල්ස් කුමරුවන්ගෙන් දිගටම මෙම වතුයායේ ආදායමෙන් තමන්ට මුදල් ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. නමුත් ඔවුන් මෙසේ හදිසියේ ගත් තීරණය නිසා චාල්ස් කුමාරයා හෝ දිගින් දිගටම එසේ මුදල් ලබා දෙයිද යන්න සැක සහිතයි. ඩයනා කුමරියගෙන් හැරීට මිලියන ගාණක් උරුම වුවත් හැරී - මේගන් හා ආචිට ඔවුන්ගේ වත්මන් ජීවන රටාව ගත කිරීමට නම් එය ප්‍රමාණවත් නෑ. ඒ නිසා සියල්ලන්ම බලා සිටින්නේ තම පවුල රැකීමට හැරී ගන්නා මීළඟ පියවර කුමක්දැයි කියායි. ඇත්තෙන්ම එය ‘අත්හැරීමක්’ වන්නේ සියලු සැප බලෙන්ම එපා කියා අරමුණක් නොමැතිව යන්නට ගිය නිසයි.

[චාමිකා මුණසිංහ]

මාතෘකා