කලාව යනු ආත්ම ගවේෂණය කරන ඉසව්වක්ද? දේශපාලනික භාවිතයක වැඩබිමක්ද?

 ඡායාරූපය:

කලාව යනු ආත්ම ගවේෂණය කරන ඉසව්වක්ද? දේශපාලනික භාවිතයක වැඩබිමක්ද?

සමකාලීන මොහොත පිළිබඳ සංස්කෘතික ගොඩනැංවීමක් ලෙස අද දවසේ කලාව හා ජීවිතය යනු කුමක්ද? එය නිර්වචනය කරගත යුත්තේ කෙසේද? ධනවාදී සමාජයක අවසන් ඉනිම පසු කරමින් සිටින අප කලාව සහ ජීවිතය ලෙස බාර ගන්නේ කුමක්ද? එහි අර්ථය කුමක්ද? මූලික සමාජ අවශ්‍යතාවක් වූ තම පැවැත්ම වෙනුවෙන් ආදිකාලීන ගුහා සිත්තම් උපයෝගී කර ගත් බැව් ඓතිහාසික නිරීක්ෂණයන්ගෙන් සොයා ගත හැක. දඩයම කේන්ද්‍රීය වූ සමාජයක සිය පැවැත්මේ අනිවාර්ය වූ සාධකය වූයේ වන සතුන්ය. තමන්ට නෙත ගැටෙන වන සතුන්ගේ හැඩරුවට සමාන සතුන්ගේ රූප ගල් බිත්ති මත සිතුවම් කළ විට දඩයම සාර්ථක වන බව අභිචාර විදියක් ලෙස ඔවූහු විශ්වාස කළහ. එම විශ්වාසය මත ඔවුන් එදිනෙදා නෙත ගැටෙන වන සතුන්ගේ මූලික දෘශ්‍ය ස්වරූපයන් ලේ සහ වෙනත් අමුද්‍රව්‍ය ආදියෙන් ගල් බිත්ති මත තැබූ සටහන් ප්‍රංශයේ ලැස්කෝ සහ ස්පාඤ්ඤයේ අල්ටමීරා වැනි ගුහාවලින් දැක ගත හැකිය. මෙසේ මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීම වෙනුවෙන් භාවිත වූ කලාව අද දවස වන විට නොයෙක් ආකෘතික, සමාජ, දේශපාලනික හා ආගමික අර්ථයන්ගේ හැඩය ගනිමින් වෙනස් වෙමින් අප අභිමුඛව ඇත. පැරණි සෞන්දර්යවේදයන් හා සමාජ විද්‍යාවන් වෙනස් වෙමින් අලුත් සෞන්දර්යවේදයන් හා සමාජ විද්‍යාවන්ගේ ආභාසයන් ලබමින් දැන් පවතින කලාව ප්‍රජාතාන්ත්‍රීය වී ඇත. කලින් කලාව තුළ තිබූ අධිපතිවාදී අදහස් මැකී ඇත. වෙනත් විදියකින් කිවහොත් කලාවේ හෙජමොනිය අවසන් වී ඇත.

තවදුරටත් චිත්‍ර හා මූර්ති ලෙස ඒකීය අදහසක් ලෙස පරිපූර්ණ වී තිබූ අදහස දෘශ්‍ය කලාව ලෙස පුළුල්වීමේදී චිත්‍ර ඇඳීම වෙනුවට චිත්‍ර හැදීම දක්වා ගමන් කර ඇත. මා විශ්වාස කරනුයේ එය ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් දියුණු අවස්ථාවක් ලෙසය. තවදුරටත් ශිල්පියකුට තමන්ගේ ප්‍රකාශනයට චිත්‍ර කලාවේ මූලික ව්‍යාකරණ වන වර්ණ, රේඛා, හැඩතල සහ අවකාශය පමණක් භාවිත කළ යුතුයැයි නීතියක් පනවා ගත යුතු නැත. මන්ද මේ වන විට කලාවේ සීමාවන් පුළුල් වී ඇති හෙයිනි. මෙසේ ඓතිහාසිකව සමාජ දේශපාලනික කාරණාවන්ගේ ඇත්ත තත්ත්වයන් සමස්ත සමාජයේ සාරයන් සමග ගැටගැසුණු තත්ත්වයක් තුළ ඒවා වස්තු විෂයන් කොට නිර්මාණකරණයට යොමු වීම හා ගොඩනඟන දෙයත් ගොඩනඟන්නා අතරත් වෙන් කළ නොහැකි දේශපාලනික සම්බන්ධයක් අද දවසේ අපට සොයා ගත හැකිද? අඩුම තරමින් තමන්ගේ කෘතිය තුළ දේශපාලනික වන කාරණාව පසුවට තැබුවත් තමන්ගේ ප්‍රකාශනයේ තාක්ෂණික කාරණා ටිකවත් සාක්ෂාත් කර ගන්නවාද? නැතහොත් කලාවේ භාෂාවට අපි කොතෙක් දුරට ඇතුළු වී සිටිනවාද? සහ තමාගේ කෘතියට කොතෙක් දුරට වගකියනවාද? ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද? නැත්නම් කලාවේ කතිකාවට අප තිබෙන සම්බන්ධය කුමක් කියා තේරුම් ගනිමින් ඉන්නවාද? මේවා මග හරිමින් අප කලාව යැයි කියමින් කරමින් ඉන්නේ මොනවාද?

ඝන වූ සියලු දේවල් වාෂ්ප කිරීම ප්‍රාග්ධනයේ තර්කනයයි. එවිට ප්‍රාග්ධනයට අවශ්‍ය තැනට ගලාගෙන යන්නට පුළුවන. සහ එය වෙනස් කරන්නට පුළුවන. ඒ අර්ථයෙන් ගතහොත් අපේ ඇත්තම ඇත්ත සම්බන්ධතා අතරට ප්‍රාග්ධනය එහෙමත් නැත්නම් වෙළෙඳපොළ පොලා පැන අවසානය. කලාකාරයකු ලෙස ඔහු මේ දක්වා නඩත්තු කළ සාරය අද අහිමි කරගෙන තිබේ. තවදුරටත් කන බොන, රමණය කරන, ඇවිදින කවන්ධ බවට පත් වූ මිනිසුන් සමග අපට තව දුරටත් තිබෙන සම්බන්ධය කුමක්ද? මේ මොහොත වන විට අපි ප්‍රාග්ධනය රජයන ආදරය ඩිජිටල් වන යුගයකට එළැඹ සිටිමු. ඩමි මනුෂත්වයෙන් පිරි සමාජය හෘදය සාක්ෂිය ගණිකා වෘත්තියේ යොදවමින් සිටී. ආදරය වෙනුවට එකිනෙකාගෙන් බලාපොරොත්තු වන්නේ ලාභයයි. අනාගතය අනාගතයට අයිති දෙයක් නොව වර්තමානයට අයිති දෙයක් බවට පත් වී ඇත. අප පශ්චාත් (මනස අහිමි) මිනිසුන් වී ඇත. ළඟම කෙනා පාවාදෙන්නකු බවට පත් වී ඇත. නරුමවාදය සොබාවික වී ඇති අතර දේශපාලනය අදේශපාලනය වී ඇත. කලාව (කලාව නොවන) දෙයක් බවට පත් වී ඇත. හොඳ මිනිසුන් වෙනුවට ලොකු මිනිසුන් බිහි වී ඇත. අනන්‍යතාව භාණ්ඩවලට මාරු වී ඇත. භාණ්ඩ අනන්‍යතාව බවට පත් වී ඇත. අනන්‍යතාව අර්බුදයක් බවට පත් වී ඇත. අර්බුදය විලාසිතාවක් බවට පත් වී ඇත. සමාජය ලුම්පන් වී ඇත. මෙවැනි සමාජ අවකාශයක කෘතිය සහ කෘතිය ගොඩනඟන්නා අතර ඇතිවන සම්බන්ධයේ දේශපාලනික හැසිරීම කුමක් විය හැකිද? නිම නොවන වර්තමානයක වෙළෙඳපොළ මඟින් සාදා දෙන ලද ආශාවක පදිංචි වීමට ඇබ්බැහි වී ඇති මිනිසුන්ට තවදුරටත් කලාව යනු ආත්ම ගවේෂණය කරන ඉසව්වක්ද? එහෙමත් නැත්නම් දේශපාලනික භාවිතයක යෙදීමට තිබෙන වැඩබිමක්ද?

[ප්‍රගීත් රන්නායක]

මාතෘකා