ඩිජිටල් යුගයේ මාධ්‍ය අභියෝගය

 ඡායාරූපය:

ඩිජිටල් යුගයේ මාධ්‍ය අභියෝගය

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ
ජනසන්නිවේදන අධ්‍යනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය

ජනමාධ්‍ය අතර පැරණිම මාධ්‍ය ලෙස හඳුන්වන්නේ පුවත්පතයි. නූතන ඩිජිටල් යුගය තුළ මුද්‍රිත මාධ්‍යයට පැවැත්මක් තිබෙනවාද යන්න පිළිබඳ කතිකාවතක් සමාජයේ ගොඩනැඟී තිබේ. අනෙකුත් මාධ්‍යයට සාපේක්ෂව ගත් විට මුද්‍රිත මාධ්‍යයේ පසුබෑමක් තිබෙන බව මතුපිටින් දැකගත හැකිය. එය මාධ්‍යයේ මූලික ස්වභාවය බිඳ වැටුණු තත්ත්වයකි. මුද්‍රිත මාධ්‍යයේ වැඩි වශයෙන්ම තිබෙන ප්‍රවෘත්ති සහ විශේෂාංග වෙනත් ආකෘතියකින් සමාජගත වන ක්‍රමවේදයක් සකස් වී තිබේ. මුද්‍රිත මාධ්‍ය තුළ කඩදාසිය ඔස්සේ කියවන භාවිතය එක්තරා මට්ටමකට අඩු වී තිබුණත් ඩිජිටල් යුගය තුළ පවතින වෙනත් තාක්ෂණික ක්‍රමෝපායන් මඟින් පුවත්පත් කියවීමට පවතින අවස්ථාව වැඩි වී තිබෙන අයුරු හඳුනාගත හැකිය. එම නිසාම වෙබ් අඩවි ඔස්සේ පුවත්පත් මාධ්‍ය ව්‍යාප්ත වීමට උත්සාහ කර තිබීම, සෑම පුවත්පත් මාධ්‍යයකටම පාහේ සමාජ මාධ්‍ය පිටුවක් වෙන් කිරීමට උත්සාහ ගෙන තිබීම, ස්මාර්ට් දුරකථන ඔස්සේ පුවත්පතේ මුද්‍රිත පිටපත QR CODE මඟින් බාගත කොටගෙන කියවීමේ හැකියාව වැනි විවිධ ක්‍රම ගණනාවක්ම මුද්‍රිත මාධ්‍ය තුළ මතු වී තිබේ. එම මතු වීම තුළ මුල් හැඩයම නොවුණත් මුද්‍රිත මාධ්‍යය මාධ්‍යයක් ලෙස ප්‍රවෘත්ති සහ විශේෂාංග බෙදාහරිමින් සිටියි.

ඩිජිටල් යුගයේ පුවත්පතට පමණක් අභියෝගයක් එල්ල වී ඇති බව යම්කිසි අයකු පවසනවා නම් එම අභියෝගය එල්ල වී ඇත්තේ පුවත්පතට පමණක් නොවන බව සිහිපත් කළ යුතුය. එම අභියෝගය ගුවන්විදුලිය, රූපවාහිනිය සහ සිනමාවටද පවතින්නකි. තවදුරටත් ජනතාව එකී මාධ්‍යවල පැවැති මුල් ස්වභාවයෙන්ම ඒවා පරිහරණය කරන්නේ නැත. රේඩියෝවකට සවන්දීමට රේඩියෝ උපකරණය යොදා නොගන්නවා වන්නට පුළුවනි. ගුවන්විදුලියට සවන් දීමට සම්මත රේඩියෝ සේවාවන් පමණක් යොදා නොගන්නවා වන්නට පුළුවනි. ඒ සඳහා වෙබ් රේඩියෝව භාවිත කරනවා විය හැකිය. තවදුරටත් ටෙලිවිෂන් යන්ත්‍රයෙන් පමණක් රූපාවාහිනී වැඩසටහන් නරඹන්නේ නැත. අසූව දශකයේ සහ අනූව දශකයේ මුල් භාගයේ ජනතාව රූපවාහිනී යන්ත්‍රයට නතු වී සිටියහ. නමුත් අද ජනතාවට අවශ්‍ය ආකාරයට, තෝරා බේරාගත් වැඩසටහන් කැමති වේලාවකදී නැරඹීමට යොමු වී ඇත. සිනමා ශාලාවට ගොස් පමණක් චිත්‍රපට නැරඹීම තවදුරටත් සිදුවන්නේ නැත. නමුත් ලැප්ටොප් පරිගණකය ඔස්සේ ජංගම දුරකථනය හරහා නිවසේ සකසා ගත් හෝම් තියටර්වලින් ආදී විවිධ අයුරින් චිත්‍රපට නරඹයි. එනම් ඩිජිටල් යුගයේ පුවත්පතට පමණක් නොව, සමස්ත මාධ්‍ය සියල්ලන්ම විවිධ වෙනස්කම්වලට ලක්වී ඇත.

මාධ්‍යයේ කාර්යභාරය පිළිබඳ බටහිර රටවල ප්‍රමුඛ කරගත් මූලික අදහස වන්නේ එහි ඇති ලිබරල් සන්නිවේදන න්‍යායයි. නමුත් මාධ්‍ය බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාග්ධනය හෝ අධිපති මතවාදයක මෙහෙයවීමට යටත්වය. පුවත්පත්වල තත්ත්වයද එයින් වෙනස් නොවේ. එහිදී තොරතුරු බෙදා හැරීමේ ක්‍රමවල හෝ තොරතුරු සන්නිවේදනයේ වැඩිම ආධිපත්‍යයක් ඇති අය ඉදිරිපත් කරන අදහස් මාධ්‍යයෙන් දැකගත හැකි වන්නේය. අද අප ප්‍රවෘත්ති ලෙස පරිහරණය කරන ප්‍රවෘත්තිමද යන්න ගැටලුවක්ව පවතී. උදාහරණයක් ලෙස පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසුව ඩොන්ලඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වූ පසු ප්‍රවෘත්ති යනුවෙන් ඉදිරිපත් කරන දෑ ව්‍යාජ ප්‍රවෘත්ති බවට සමාජයේ විශාල කතාබහක් ඇති විය. Fake news සංකල්පයක් සමාජයේ පැතිරී ගොස් තිබේ. එම නිසා තොරතුරු බෙදා හැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බටහිර ලෝකය ඉදිරිපත් කළ අදහස අර්බුදයකට ලක් වී තිබේ.

එසේම සමස්තයෙන් සුළු කොටසක් මාධ්‍යයෙන් දකින ජනතාව සමස්තය එයින් වටහාගෙන විග්‍රහ කිරීමට උත්සාහ කරයි. ප්‍රවෘත්ති වාර්තාකරණයේදී පූර්ණ අදහස මතුවේද යන්න විශාල අභියෝගයකි. මුද්‍රිත මාධ්‍යයේ පවතින පිටුවල සීමිත ඉඩකඩේ පළ කරන දෑයින් පාඨකයා සමස්තය වටහා ගැනීමට උත්සාහ කරයි. සුළු කොටසක් මුද්‍රිත ප්‍රකාශනය තුළින් ඉදිරිපත් කරමින් සමස්තය ඩිජිටල් පිටපතට යොමු කිරීමට හැකිවීම වාසිදායක අවස්ථාවකි.

දේශපාලනික වශයෙන් මෙහෙයවන කණ්ඩායම් අතර ප්‍රවෘත්ති ක්‍රියාවලිය පැවතීමද අභියෝගයකි. මාර්ගෝපදේශ සංග්‍රහවල ක්‍රියාකාරීත්වය සහ ආචාරධර්ම යන කරුණු දෙක හරහා මේ ප්‍රවෘත්ති ක්‍රියාවලිය යම්කිසි ආකාරයකට පාලනය වේ. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ආචාර ධර්ම තරම් ඉගැන්වීමට ලක්වුණු වෙනත් විෂයක් නැති තරම්ය. නමුත් ආචාරධර්ම භාවිතයේ ප්‍රායෝගිකත්වය අභියෝගයට ලක්වී තිබේ. මිනිසුන්ගේ පෞද්ගලිකත්වය, පොදු සමාජ සුබ සිද්ධිය, ජාතික සමඟිය, විවිධ මතවලට තිබෙන ඉඩකඩ ආචාර ධර්ම සීමාවන් ඇතුළේ නිරූපණය වනවාද යන්න සිතා බැලිය යුතු දේය.

තොරතුරු පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වී තිබේ. ප්‍රවෘත්ති ආවරණයක් යනු මාධ්‍ය වෙළෙඳපොළේ අලෙවි කරන භාණ්ඩයකි. එහිදී ඉල්ලුම පවතින තොරතුරු සඳහා වැඩි ඉඩකඩක් මාධ්‍ය ලබාදී තිබේ. එම තොරතුරු සඳහා පැවැත්මක් ඇති අතර ඉල්ලුමක් නොමැති තොරතුරු සඳහා පැවැත්මක් නැත. උදාහරණයක් වශයෙන් අපරාධ පිළිබඳ තොරතුරු දැනගැනීමට ජනතාව තුළ කැමැත්තක් පවතී. නමුත් ඒ කැමැත්ත ආචාරධර්මවලින් යම්දුරකට සීමාකොට තිබේ. එහෙත් එම ප්‍රවෘත්ති පළ නොකිරීමෙන් එම පුවත්පතට පවතින ඉල්ලුම අඩුවිය හැකිය. වෙළෙඳපොළ බලවේග සහ ආචාරධර්ම අතර පවතින ඉහත කී අසමතුලිතතාව නිසා පුවත්පතේ පැවැත්ම අර්බුදයකට ගොස් තිබේ. එකී අංශ අතර සමතුලිතතාවක් ඇති කර ගැනීමට නොහැකි නිසා ආචාරධර්ම යම්කිසි බිඳ වැටීමකට ලක්වී තිබේ. එම නිසා සමාජ වගකීමක් සහිතව මාධ්‍ය තොරතුරු වාර්තා කිරීම පිළිබඳ නැවත සිතිය යුතුව ඇත.

සටහන [රසිකා හේමමාලි]

News Order: 
0
මාතෘකා