ග්‍රහ වස්තූන්ගේ නම් පැවසූ පමණින් තාරකා විද්‍යාව ජ්‍යෝතිෂයට ඈඳන්න බෑ

 ඡායාරූපය:

ග්‍රහ වස්තූන්ගේ නම් පැවසූ පමණින් තාරකා විද්‍යාව ජ්‍යෝතිෂයට ඈඳන්න බෑ

- තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා

උඳුවප් සහ දුරුත්තේ සිසිලස වසර ගණනාවක් මුළුල්ලේම අප අත්විඳ ඇත්තෙමු. එහෙත් මෙවර එම සිසිලස වෙනුවට දවස පුරාම ගතට දැනෙන්නේ අධික උණුසුමකි. ගෝලීය දේශගුණයේ විපර්යාසයන් සිදුවෙමින් පවතින බව මෙයට පෙරද විවිධ අවස්ථාවන්හිදී කාලගුණය මෙන්ම පාරිසරික හා තාරකා විද්‍යාව පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්ව පර්යේෂණයන්හි යෙදී සිටින විද්වතුන් සිය අනාවැකි පළකර ඇත. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිටම මුළු ලෝකයේම කාලගුණයේ වෙනසක් දක්නට ලැබුණි. එය අඩු වැඩි නොමැතිව අකල් වර්ෂාවන් සමඟින් අප රටටද බලපෑවේය. එමෙන්ම පසුගිය දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ වළයාකාර සූර්යග්‍රහණයද පවතින දේශගුණික වෙනසට සෘජු බලපෑමක් ඇතිකිරීම වැළැක්විය නොහැක්කකි. මන්ද ඉහළ අභ්‍යවකාශයේ ප්‍රධාන ග්‍රහ තාරකාවන් වූ හිරු, සඳු මෙන්ම අප හිරු වටා නිරන්තරයෙන් සැරිසරන්නාවූ සෙසු ග්‍රහයන්ගේ කිරණයන් ගුරුත්ව තරංග මඟින් සිදුවන බලපෑම්ද ලෝක කාලගුණය කෙරෙහි නිසැකවම බලපාන බව මේ වන විට විද්වතුන් තහවුරු කරගෙන ඇති හෙයිනි. මේ පිළිබඳව මෙරට සිටින ජ්‍යේෂ්ඨ තාරකා විද්‍යාඥයකු මෙන්ම බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ සාමාජිකයකු වූ අනුර සී පෙරේරා මහතා ‘රැස’ට දක්වන්නේ මෙවන් අදහසකි.

නත්තලෙත් දුරුත්තෙත් සීතල මෙවර එතරම් නොදැනුණේ ඇයි?

පසුගිය වසරේ ලෝකයේ දේශගුණයේ ලොකු පෙරළියක් සිදු වුණා. එය අපේ රටට බලපෑවේ වැස්ස මඟිනුයි. අගෝස්තු මාසයේ සිට එහි වැඩි බලපෑමක් අපේ රටට නොකඩවා ඇති කළා. කලින් කලට මෙවැනි වෙනස්කම් සිදුවෙනවා. විශේෂයෙන් තාරකා විද්‍යාව පැත්තෙන් ගත්තොත් අප වෙසෙන පරිසරයට ඉහළ ආකාසයේ සූර්යයාගේ චන්ද්‍රයාගේ සිට සෙසු ග්‍රහයන්ගේ ගමනෙහි බලපෑම ඇතිවන බව කිවයුතුයි. එයට හොඳම නිදසුන වන්නේ මුහුදේ ඇතිවන වඩදිය හා බාදියයි. දෙසැම්බර් මාසයත් ජනවාරි මාසයත් සීතල වුණත් මෙවර එක දිගටම තද වර්ෂාවක් පැවතීමත් එම සීතල අඩු වීමකට සාධකයක් වුණා. අප වෙසෙන පෘථිවිය පිහිටා තිබෙන්නේ හිරුට කිලෝමීටර් මිලියන එකසිය පනහක් දුරකිනුයි. පෘථිවිය හිරු වටා ගමන් කරන්නේ ඕලාකාර හැඩයෙන් යුත් කක්ෂයක අංශක විසි තුනහමාරක් ඇලවීමෙනුයි. ඇතැම් අවස්ථාවලදී සූර්යයා අපට සමීපවත් දුරස්ථවත් ගමන්කරන්නේ මේ ඕලාකාර හැඩයෙන් යුත් ගමන නිසයි. අපි ගින්දරකට සමීප වුණාම දැඩි උණුසුමක් දැනෙනවා. ඈත් වුණාම උණුසුම අඩු වෙනවා.

මේ අනුව සෑම වසරකම ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා සූර්යයා පෘථිවියට සමීපයෙන් ගමන් කරනවා. එය මීට අවුරුදු තුන්සිය පනහකට ඒ කියන්නේ ග්‍රෙගරි පාප්තුමා දින දර්ශනය හදන කාලයේදී ඔවුන්ගේ සොයා ගැනීම් අනුව පෘථිවියට හිරු සමීප වෙන මුල්ම දිනය ජනවාරි පළමුවැනිදා ලෙසට සටහන් කරනවා. මෙය තාරකා විද්‍යානුකූල සොයා ගැනීමක් බව අමතක කරන්න එපා.

වර්තමානය වෙන කොට එම දිනය ඉදිරියට ඇවිත්. ඒ කියන්නේ මෙවර හිරු පෘථිවියට සමීපව ගමන් කිරීම ආරම්භ වුණේ ජනවාරි 04 වැනිදායි. එදින පටන් මේ උණුසුම ඉදිරියටත් අපට වෙන වසරවල වගේම දැනේවි. සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේ ගස්වල කොළ අතු හැලෙනවා. ඒ සූර්ය රශ්මියේ බලපෑම නිසයි. එය සෑම වසරකම සිදුවන්නක්. මේ කාලයේදී ගංගා, ඇළ, දොළ, වැව්වල ජලය වාෂ්ප වෙනවා. එයින් ඇතිවන පීඩාව ලෝකයේ සෑම සත්ත්වයකුටම බලපානවා. මෙහි උච්චතම අවස්ථාව හැටියට අපට දැනෙන්නේ අප්‍රේල් මාසයේ මුල් සතියේ පමණ අපේ රටට සූර්යයා මුදුන් වීමෙනුයි. මේ කාලයේ නිතරම වතුර පානය කිරීම වඩාත් වැදගත්. නැත්නම් විජලනය සහ චර්ම රෝග තත්ත්වයන්ට ගොදුරු වන්න පුළුවන්.

විශේෂයෙන් කුඩා දරුවන්ව මේ කාලයේ සූර්ය තාපයෙන් ප්‍රවේශම් කර ගත යුතුයි. ඒ වගේම සූර්යයා පෘථිවියට ඈතින් ගමන් කිරීම සෑම වසරකම ජුනි මාසයේ සිට සිදුවෙනවා. මෙයට මාස කිහිපයක සිට දකුණු අර්ධ ගෝලයේ රටවල් රැසකට උණුසුම දැඩි වෙලා. මෙය සිදුවන්නේ සූර්යයා සමීප වීමෙන් නොවේ. එය සූර්යයාට සමීපව ග්‍රහ තාරකා කිහිපයක් ඒකරාශී වීමෙන් සිදුවන්නක්. එයින් පෘථිවියේ එක් පැත්තකට දැඩි උණුසුමෙනුත් තවත් පැත්තකට වර්ෂාවෙනුත් බලපෑම් ඇති වුණා.

අර මම මුලින් සඳහන් කළ ඇලවීම මෙයට බලපානවා. මේ බව මා කල් තියාම පැවසුවා. බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයෙන් ආරම්භ වුණු ළැව් ගිනි විනාශය ඇමෙරිකාවටත් බලපෑවා. ඇමෙරිකාවේ එක් පැත්තක ළැව් ගිනි පැතිරෙනකොට තවත් පැත්තක ධාරානිපාත වර්ෂාවකින් විනාශයක් සිදුවුණා. අද එම තත්ත්වය ඔස්ට්‍රේලියාවටත් බලපාලා. මිනිසුන්, සතුන් වගේම ස්වභාවික සම්පත් ලක්ෂ ගණනින් මේ වෙනකොට ලෝකයට අහිමි වෙලා. ඒ වගේම එම ළැව් ගිනි දුමාරය නිසා නවසීලන්තය ඇතුළු ඔස්ට්‍රේලියාවට සමීප රටවල අහස දුඹුරුවන් පැහයක් අරගෙන වායු දූෂණයක් පවතිනවා.

පසුගිය දුරුතු පොහෝ දිනයේ ඇතිවුණු චන්ද්‍රග්‍රහණය ගැන ඔබගේ අදහස කුමක්ද?

එය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නොවේ. ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙසයි එය හඳුන්වන්නේ. එයින් බලපෑමක් ඇතිවන්නට ඉඩක් නැහැ.

ඔබ පවසන පරිදි පවතින දැඩි උණුසුම් කාලගුණය නිසා නැවතත් අපේ රටේ නියං තත්ත්වයක් ඇති වෙයිද?

දැනට නම් එහෙම වෙන්න ඉඩක් පේන්න නැහැ. කොහොමටත් ඉදිරියේදී කඩින් කඩ වැසි ඇතිවෙන්න පුළුවන්. ජනවාරි 19 වැනිදායින් පසුව දේශගුණයේ යම් වෙනසක් සිදුවේවි.

එහෙම වෙන්නේ කොහොමද?

දැනට සූර්යයා දක්නට ලැබෙන්නේ ධනු රාශියෙයි. තව ටික දිනකින් ඒ කියන්නේ ජනවාරි 19 වැනිදායින් පසුව සූර්යයා මකරයට සංක්‍රමණය වෙනවා. ඒ එක්කම අනෙක් රාශීන්ගේ දිශානතියතත් වෙනස් වෙනවා. එවිට එම ග්‍රහයන්ගේ කිරණ හා ගුරුත්ව තරංග බලපෑමේ වෙනසක් සිදු වෙනවා. ඒ අනුව දැනට පවතින කාලගුණයේ වෙනසක් සිදුවේවි.

ඔබ කතා කරන්නේ ජ්‍යෝතිෂය පදනම් කරගෙනද?

බොහෝ දෙනකු වරද්දාගෙන තියෙන්නේ එතැනයි. වර්ෂ 1610දී ගැලිලියෝ ගැලිලි දුර දක්නය සොයා ගැනීමෙන් පසුව තාරකා විද්‍යාව නොසිතූ ලෙස දියුණු වුණා. තාරකා විද්‍යාවෙන් කියන්නේ වර්තමානයේ සජීවීව ඈත අභ්‍යවකාශයේ සිදුවන දෙයයි.

ජ්‍යෝතිෂය කියන්නේ තාරකා හා සබැඳුන ශාස්ත්‍රයක්. එය ගණිත ක්‍රමයක් අනුව සැකසුණු දෙයක්. එය මෙයට අවුරුදු දස දහස් ගණනකට පෙර සොයාගත් ක්‍රමවේදයක්. එදා තරකා ගමන් කළ දිශානතීන් අනුවයි ඔවුන් එම ගණිත ක්‍රමය සකස් කර තියෙන්නේ. ඒත් මේ වෙනකොට එම ග්‍රහ තාරකා පිහිටීම් බොහෝ දුරට වෙනස් වෙලා.

මම මුලින්ම ඔබට පැවසුවා හිරු පෘථිවියට සමීප වන දිනය ජනවාරි 01 සිට 04 දක්වා ඉදිරියට ඇවිත් වෙනස් වෙලා කියලා. මෙය එක් නිදසුනක් විතරයි. අපි හරියට ගණනය කළොත් සිංහල අලුත් අවුරුදු දිනය පවා සිදුවන්නේ දැනට ජ්‍යෝතිෂයේ සම්මත දිනයට නොවේ. තාරකා විද්‍යාව කියන්නේ ඇහැට පෙනෙන දෙයක් මිසක් මිථ්‍යාවක් නොවේ. ජ්‍යෝතිෂය වුණත් තාරකා විද්‍යානුකූලව වර්තමානයට ගළපා ගත්තොත් නිවැරදි අනාවැකි පළ කළ හැකියි.

අතීතයේ සිටි පරාසර සහ වරාමිහිර වැනි ජ්‍යෝතිෂවේදීන් කලින් කලට අහසේ තාරකා හැසිරීම සජීවීව සොයා බලා නිරන්තරයෙන් ජ්‍යෝතිෂයේ වෙනස්කම් සිදු කර තිබෙනවා. අද එවැනි තත්ත්වයක් දක්නට නැහැ. වර්තමාන ජ්‍යෝතිර්වේදීන් එසේ නොකරන්නේ ඒ සඳහා ඔවුනට සෑහෙන වෙහෙසක් හා අධ්‍යයනයක් කරන්නට සිදුවන නිසයි. ග්‍රහ වස්තූන්ගේ නම් පැවසූ පමණින් තාරකා විද්‍යාව ජෝතිෂයට ඈඳන්න බැහැ.

[අතුල රංජිත් වෙදමේස්ත්‍රීගෙ]

මාතෘකා