රටවල් හෙල්ලූ හඬපට

 ඡායාරූපය:

රටවල් හෙල්ලූ හඬපට

ශ්‍රී ලංකාවේ මේ දිනවල වැඩි අවධානය යොමු වී ඇත්තේ දුරකථන සංවාද පටිගත කිරීම් හා එලෙස පටිගත කර සමාජයට මුදා හැරුණු හඬපට පිළිබඳවය. මෙම ලිපියෙන් විමසා බැලෙන්නේ ලෝකයේ රටවල් තුළ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ හඬපට කිහිපයක් පිළිබඳවය.

විපක්ෂයේ සංවාද පටිගත කළ අමෙරිකානු ජනාධිපති නික්සන්

සංවාද පටිගත කිරීම හේතුවෙන් ලෝකය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ පළමුවැන්නා ලෙස පිළිගැනෙන්නේ 1969 සිට 1974 දක්වා අමෙරිකානු ජනාධිපති ධුරය දැරූ එරට 37 වැනි ජනාධිපති රිචඩ් නික්සන් වන අතර ඔහු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරයෙක් විය. රිචඩ් නික්සන්ගේ මෙහෙයවීමෙන් ධවල මන්දිරය ඇතුළු තවත් ස්ථාන ගණනාවක සිදු වූ සාකච්ඡා සහ දුරකථන සංවාද පටිගත කිරීම 1971 වසරේ සිට ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

අමෙරිකාවේ වොෂින්ටන් නගරයේ “වෝටර්ගේට්” හෝටලයේ ස්ථාපිත කර තිබූ ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික කමිටු කාර්යාලයට 1972 ජුනි මාසයේදී ඇතුළු වූ පුද්ගලයන් කිහිපදෙනෙකු එකී කාර්යාලය තුළ සංවාද පටිගත කරන යන්ත්‍ර රහසිගතව සවි කර තිබිණි. කෙසේ නමුත් වෝටර්ගේට් හෝටලයේ ඩිමොක්‍රටික් ජාතික කමිටු ශාලාවේ සංවාද පටිගත කිරීමේ යන්ත්‍ර සවි කර ඇති බව විවිධ පාර්ශ්වයන් ගණනාවකගෙන් ලැබුණු තොරතුරුවලින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ බොබ් වුඩ්වර්ඩ් සහ කාර්ල් බර්න්ස්ටයින් යන ජනමාධ්‍යවේදීන් දෙදෙනා තම පුවත්පත මඟින් ගවේෂණාත්මක වාර්තාකරණයක් ඉදිරිපත් කළ අතර එය ලෝකය කැලඹූ වාර්තාකරණයක් විය.

වෝටර්ගේට් සිද්ධිය සමඟ ධවල මන්දිරයේ (අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල කාර්යාලය) සම්බන්ධයක් ඇති බව හෙළි වීමත් සමඟ එය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පාර්ශ්ව දෙකක් මැදිහත් විය. එයින් එක් පාර්ශ්වයක් විශේෂ අභිචෝදකයෙකු යටතේ ක්‍රියාත්මක වූ අතර අනෙක අමෙරිකානු කොංග්‍රසයේ සෙනට් සභාවෙන් ක්‍රියාවට නැංවුණු වෝටර්ගේට් කමිටුවෙන් ක්‍රියාවට නැංවිණි.

වෝටර්ගේට් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ සහ අනෙකුත් කටයුතුවල ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබූ මොහොතක අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය 1974 ජූලි මාසයේදී ජනාධිපති රිචඩ් නික්සන් වෝටර්ගේට් සිද්ධිය සම්බන්ධ සියලු පටිගත කිරීම් ලබා දිය යුතු යැයි නියෝගයක් නිකුත් කළේය. ඉන් දින කිහිපයකට පසු ජනාධිපති නික්සන් එකී තනතුරෙන් පහ කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් ගෙන එනු ලැබුවේ යුක්තියට බාධා කිරීමට එරෙහිවය. කෙසේ නමුත් දෝෂාභියෝගයට මුහුණ දීම වෙනුවට නික්සන් ජනාධිපතිවරයා 1974 අගෝස්තු 08 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඔහුගේ දෙවැනි ධුර කාලයේ වසර දෙකහමාරක් ගෙවී යාමෙන් අනතුරුවය (අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ ධුරයක කාලය වසර හතරකි). මේ ඉල්ලා අස්වීමත් සමඟ නික්සන් ජනාධිපතිවරයා අමෙරිකානු ඉතිහාසයේ ඉල්ලා අස්වූ පළමු ජනාධිපතිවරයා බවටද පත් විය.

රිචඩ් නික්සන් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එවකට උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෙරල්ඩ් ෆෝර්ඩ් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතර ඔහු සිය ධුරයට පත්වී සති කිහිපයකින් නික්සන් හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයන්ට සම්පූර්ණ සමාව ලබා දීමටද කටයුතු කළේය.

වෝටර්ගේට් සිද්ධිය සම්බන්ධයෙන් කළ ගවේෂණාත්මක වාර්තාකරණය වෙනුවෙන් බොබ් වුඩ්වර්ඩ් සහ කාර්ල් බර්න්ස්ටයින් යන ජනමාධ්‍යවේදීන් දෙදෙනාට පුලිට්සර් සම්මාන හිමි විය. වෝටර්ගේට් සිද්ධිය සම්බන්ධයෙන් එකී වාර්තාකරණය කළ මාධ්‍යවේදීන් දෙදෙනා එක්වී රචනා කළ කෘතියක් (‘ඕල් ද ප්‍රසිඩන්ට්ස් මෙන්’) 1974දී ප්‍රකාශනයට පත්වූ අතර එකී කෘතිය ආශ්‍රයෙන් 1976දී එනමින්ම (‘ඕල් ද ප්‍රසිඩන්ට්ස් මෙන්’) චිත්‍රපටයක්ද නිර්මාණය විය.

බ්‍රිතාන්‍ය ජනමාධ්‍යවේදීන් පිරිසකගේ ඇඳුම් උනා දැමූ “ද සන්” හඬපටය

“නිව්ස් කෝපරේෂන්” ආයතනයේ නිර්මාතෘ රූපට් මර්ඩොක් “ද සන්” පුවත්පතේ ජනමාධ්‍යවේදීන් ඇතුළු එහි ඉහළ කළමනාකරණය සමඟ කළ සාකච්ඡාවක පටිගත කෙරුණු හඬපට ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුව එම හඬපටයෙන් හෙළිදරව් වූ රූපට් මර්ඩොක්ට හිමි මාධ්‍ය ආයතන ජාලයේ ප්‍රවෘත්ති ප්‍රකාශන ආයතනවල නීතිවිරෝධී ක්‍රියාකලාපයන් සම්බන්ධ පරීක්ෂණ සඳහා මෙකී සාකච්ඡාවට සහභාගි වූ සියලුදෙනා අත්අඩංගුවට ගැනීම සිදු විය.

රූපට් මර්ඩොක් සහ නිව්ස් කෝපරේෂන් සමාගම “නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්” පුවත්පතේ කටයුතු සම්බන්ධයෙන් 2011 ජූලි මාසයේදී වැඩිදුර පරීක්ෂාවට ලක් විය. විශේෂයෙන් “නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්” පුවත්පතේ ජනමාධ්‍යවේදීන් තම පුවත් වාර්තාකරණ කටයුතු සඳහා ලෝකප්‍රකට චරිතවල, දේශපාලනඥයන්ගේ, බ්‍රිතාන්‍ය රාජකීයන්ගේ සහ අපරාධ වින්දිතයන්ගේ ඇතුළු බොහෝ පිරිසකගේ දුරකථන පණිවුඩ සිය ග්‍රහණයට ගනිමින් (හැක් කරමින්) නීතිවිරෝධී ආකාරයට සහ මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය වන ආකාරයට කටයුතු කර ඇති බව මෙම පරීක්ෂණවලින් හෙළි විය. එපමණක් නොව පොලිස් නිලධාරීන්ට අල්ලස් දීම සහ ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා අනිසි බලපෑම් කිරීම යනාදියද මෙම ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ චෝදනාවන් විය.

මෙකී සිද්ධි දාමයෙන් පසුව රූපට් මර්ඩොක් 2011 ජූලි මාසයෙන් පසුව “නිව්ස් ඔෆ් ද වර්ල්ඩ්” පුවත්පත වසා දැමුවද මේ සම්බන්ධ පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මක විය. 2012 මැයි මාසයේදී රූපට් මර්ඩොක්ගේ ක්‍රියාව සම්බන්ධ සිද්ධිය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තු සභාවක් ස්ථාපිත කළ අතර එකී සභාව විවේචනාත්මක වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කළේ රූපට් මර්ඩොක් විශාල ජාත්‍යන්තර සමාගමක් හැසිරවීමට සුදුසු පුද්ගලයකු නොවන බව හා ඔහු චෝදනාවට ලක්වූ ක්‍රියාවන් චේතනාන්විතවම කර ඇති බවය. මෙම තත්ත්වයත් සමඟ රූපට් මර්ඩොක් 2012 ජූලි මාසයේදී ඔහුගේ “නිව්ස් ඉන්ටර්නැෂනල්” ආයතනයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වූ අතර 2015 ජූලි මාසයේදී “ටුවෙන්ටි ෆස්ට් සෙන්චරි ෆොක්ස්” ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරෙන්ද ඉල්ලා අස්විය.

ඇමෙරිකානු රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයාගේ අපකීර්තිමත් කතාව

ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2012 ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මිට් රොම්නී 2012 මැයි 17 වැනිදා අප්‍රසිද්ධියේ කළ කතාවක් වෙනත් පාර්ශ්වයන් විසින් රහසිගතව පටිගත කර තිබූ අතර එය 2012 සැප්තැම්බර් මාසයේදී “මදර් ජෝන්ස්” මාධ්‍ය ජාලයෙන් ප්‍රසිද්ධ කෙරිණි.

ඔහුගේ කතාවේදී ඔහු දැක්වූ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපය වන්නේ “රටේ ඡන්දදායකයන්ගෙන් සියයට 47ක්ම මොනවා වුණත් කුමන ජනාධිපතිවරයෙකුට හෝ ඡන්දය දෙන පිරිසක්. ඒ වගේම ඔවුන් ආණ්ඩුවෙන් යැපීමට බලාපොරොත්තු වන පිරිසක්. ඔවුන් සිතන්නේ ඔවුන් වින්දිතයන් පිරිසක් කියලායි. ඔවුන් පෝෂණය කිරීමට වගකීමක් ආණ්ඩුවට තිබෙන බව ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන් විශ්වාස කරනවා ඔවුන් සෞඛ්‍ය පහසුකම් ලැබීමට, ආහාර සහ නිවාස පහසුකම් ලැබීමට හිමිකම් ලබන බව. ඒ වුණත් එවැනි මිනිස්සු ගැන දුක්වෙන එක මගේ රාජකාරිය නොවෙයි. මම එවැනි පිරිසක් ගැන කවදාවත් සලකා බලන්නේ නැහැ. ඔවුන් තමන්ගේ ජීවිතවල පැවැත්ම ගැන පෞද්ගලිකව වගකීමක් ගත යුතුයි” යනාදියයි.

මිට් රොම්නි මහජන රැලිවල ප්‍රකාශ නොකරන මෙකී ප්‍රකාශ රහසිගත පටිගත කිරීමක් ලෙස ප්‍රසිද්ධ වූ අතර එය ඔහුගේ ජනාධිපතිවරණ පරාජයට ඍජුවම හේතු වූයේදැයි කිව නොහැකි නමුත් එම රහසිගත සංවාදය ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ ඔහු ජනතා අප්‍රසාදයට ලක්විය.

ආම්ස්ට්‍රෝන්ගේ ජාත්‍යන්තර පාපැදි පදක්කම් ගලවා දැමූ හඬපටය

ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් යනු ප්‍රංශ පාපැදි සවාරිය 1999 සිට 2005 දක්වා අඛණ්ඩව ජයගත් ඇමෙරිකානු ජාතික ක්‍රීඩකයෙකු වන අතර ඔහු ඇමෙරිකානු තැපැල් සේවය අනුග්‍රහය දැක්වූ වෘත්තීයමය පාපැදි කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විය.

ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් තහනම් උත්තේජක භාවිත කළ බවට හෙළි වූ හඬපටයක් ඇමෙරිකාවේ ෆෙඩරල් අභිචෝදකයන් විසින් විනිශ්චය අධිකාරියට ඉදිරිපත් කරනු ලැබුවේ 2010දී ය. ප්‍රංශ පාපැදි සවාරිය තෙවරක් ජයග්‍රහණය කළ ග්‍රෙග් ලෙමන්ඩ් විසින් ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ට සමීප කාන්තාවක වූ ස්ටෙෆනී මැකිල්වේන් සමඟ කරන ලද පටිගත කළ සංවාදයක් මෙලෙස අදාළ විනිශ්චය අධිකාරීන්ට ඉදිරිපත් කෙරිණි.

ආම්ස්ට්‍රෝන්ග් තමාගේ තහනම් උත්තේජක භාවිතය පිළිබඳව 1996දී තම පිළිකා වෛද්‍යවරයාට කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධ කරුණු මෙහිදී ස්ටෙෆනී විසින් ලෙමන්ඩ්ට ප්‍රකාශ කරන අතරතුර ලෙමන්ඩ් එය පටිගත කර තිබේ. ස්ටෙෆනී මෙම දුරකථන සංවාදයේදී එම සංවාදය පටිගත කරන්නේදැයි ලෙමන්ඩ්ගෙන් ඇසූ විට ඔහු එය පටිගත නොකරන බව ප්‍රකාශ කර තිබේ. ලෙමන්ඩ් මෙම සංවාදය අදාළ නෛතික කටයුතු සඳහා 2010දී ඉදිරිපත් කළ පසුද ආම්ස්ට්‍රෝන්ග් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

කෙසේ නමුත් 2012 ඔක්තෝබර් මාසයේදී තහනම් උත්තේජක පිළිබඳ අමෙරිකානු නියෝජිතායතනය වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කරනු ලැබුවේ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ඔහුගේ පාපැදි තරගාවලිවලදී සම්පූර්ණයෙන්ම තහනම් උත්තේජක භාවිත කර ඇති බව පමණක් නොව තම කණ්ඩායමේ සාමාජිකයන්ද තහනම් උත්තේජක භාවිත කිරීමට පොලඹවා ඇති බව හෙළි වී ඇති බවය. මෙම පරීක්ෂණයේදී ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් තහනම් උත්තේජක භාවිත කළ බව ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් 11දෙනෙකු ප්‍රකාශ කර ඇති අතර අවම වශයෙන් එක් අයෙකු හෝ ඔහු තහනම් උත්තේජක භාවිත කරන අයුරු ඇසින් දැක තිබේ. ආම්ස්ට්‍රෝන්ග් මෙකී චෝදනා ප්‍රතික්ෂේප කළද මෙය ප්‍රකාශයට පත්වූ 2012 ඔක්තෝබර් මාසයේදී ප්‍රංශ පාපැදි සවාරියේ පාලනාධිකාරිය ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්ට හිමි වී තිබූ ශූරතා සියල්ල ඉවත් කිරීමට කටයුතු කළේය.

පිළිකා රෝගියෙකු වූ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ආරම්භ කළ “ලිව්ස්ට්‍රෝන්ග්” පිළිකා පුණ්‍යායතනයේ ආදායම් තත්ත්වය ඔහුට එරෙහි මෙකී චෝදනාවලින් අනතුරුව සැලකිය යුතු මට්ටමකින් පහළ ගිය අතර ඔහු විසින් එම පුණ්‍යායතනය සමඟ තිබූ නිල සම්බන්ධතා 2012 නොවැම්බර් මාසයේදී අත්හරිනු ලැබුවේ ය.

කෙසේ නමුත් ප්‍රකට නිවේදිකා ඔෆ්රා වින්ෆ්‍රි සමඟ 2013 ජනවාරි මාසයේදී ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් කළ සම්මුඛ සාකච්ඡාවේදී තමාගේ පාපැදි ක්‍රීඩා ජීවිතය තුළ තහනම් උත්තේජක භාවිත කළ බව ඔහු පිළිගත්තේය.

රජ පවුලේ ගැටුම් අනාවරණය වූ ඩයනා කුමරියගේ හඬපටය

බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරියක වූ ඩයනා කුමරිය ඇගේ රහස් පෙම්වතෙකු සමඟ කළ දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස බ්‍රිතාන්‍යයේ බකිංහැම් මාලිගය කලකට පෙර ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. බකිංහැම් මාලිගය පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටි මෙම හඬපටයෙන් හෙළිදරව් වී ඇත්තේ ඩයනා කුමරිය සිය ස්වාමිපුරුෂයා වූ චාල්ස් කුමාරයා සමඟ පවතින විවාහය අත්හරින බවය.

ඩයනා කුමරිය මෙසේ ආන්දෝලනයට ලක්වූ හඬපටයට අදාළ දුරකථන සංවාදය පවත්වා ඇත්තේ ඇගේ ළමා කාලයේ සිට මිතුරෙකු වූ ජේම්ස් ගිල්බි සමඟ වන අතර ඔහු ඒ වන විට ලෝටස් සමාගමේ අලෙවි කළමනාකරුවෙකු ලෙස කටයුතු කර ඇත. තවද ඔහු ජින් ෆෝර්චූන් ආයතනයේ අනුප්‍රාප්තිකයෙකුද වී තිබේ. ඩයනා කුමරිය සහ ජේම්ස් ගිල්බි මෙම සංවාදයේ නිරත වී ඇත්තේ 1989 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ වන අතර එම සංවාදයේදී ජේම්ස් ගිල්බි විසින් ඩයනා කුමරියට සිය ආදරය ප්‍රකාශ කර තිබේ. එමෙන්ම මෙම සංවාදයේදී ඩයනා කුමරිය ජේම්ස් ගිල්බිට ප්‍රකාශ කර ඇත්තේ සිය සැමියා වන චාල්ස් කුමරු තම ජීවිතය පීඩනකාරී ජීවිතයක් බවට පත්කර ඇති බවය.

ඩයනා කුමරිය සහ ජේම්ස් ගිල්බි අතර සිදු වූ මෙම සංවාදය රහසේ සිදු වන බව ඔවුන් සිතා සිටියද එරට ගුවන්විදුලි ආයතනයක් එම දුරකථන සංවාදය පටිකර ඇත. පසුව එය “නැෂනල්” පුවත්පතට විකුණා තිබේ. එය “නැෂනල්” පුවත්පතට හිමි වීමෙන් අනතුරුව මිනිත්තු 20කින් යුත් එම දුරකථන සංවාදය 1992දී “නැෂනල්” පුවත්පතෙන් ප්‍රසිද්ධ කෙරිණි. කෙසේ නමුත් බකිංහැම් මාලිගය අදාළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටියද එවකට එරට ස්වදේශ කටයුතු ලේකම්වරයා එම ඉල්ලීම ඉවත දැමුවේය.

කෙසේ නමුත් චාල්ස් කුමාරයා සහ කැමිලා පාකර් අතරද 1989දී සිදු වූ මිනිත්තු 6ක සංවාදයක් රහසිගතව පටිගත වී තිබූ අතර එය ප්‍රසිද්ධ වූයේ ඩයනා කුමරියගේ රහස් සංවාදය මුදාහැරීමෙන් පසුව 1993දීය. චාල්ස් කුමාරයා පසුකාලීනව විවාහ වූයේද මෙකී රහස් සංවාදය පැවැත්වූ කැමිලා පාකර් සමඟය.

මාතෘකා