රැස දෙවසරකින් ඉනික්බිතිව...

 ඡායාරූපය:

රැස දෙවසරකින් ඉනික්බිතිව...

විවෘත මතයක් තිබෙනවා

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

ලේක්හවුස් ආයතනය විසින් ‘රැස’ පුවත්පත ආරම්භ කිරීම මම ජයග්‍රහණයක් හැටියට දකිනවා. විවිධ හරවත් ලිපි විවිධ දෘෂ්ටිකෝණවලින් රැස පුවත්පතේ පළ වෙනවා මම දකිනවා. බාහිර ආරාධිත තීරු ලිපි ඒ අතරින් විශේෂයි. විවිධ විශේෂ පුද්ගලයන්ගේ අදහස් එමඟින් පාඨකයා අතරට සම්ප්‍රේෂණය කරන්න රැස පුවත්පත උත්සාහ දරනවා. ඒ වගේම රාජ්‍ය මාධ්‍ය අයතනයක පුවත්පතක් ලෙස රාජ්‍ය ප්‍රචාරණයට වඩා වෙනස් ජනමාධ්‍ය කලාවක් රැස පුවත්පත ප්‍රගුණ කළ බව අපිට පෙනෙනවා. ලංකාවේ පුවත්පත් ක්ෂේත්‍රයේ ප්‍රවීණ පුවත්පත් කලාවේදීන්ගේ ඇසුර රැස පුවත්පතට ලැබුණා. අනෙකුත් පුවත්පත් සමඟ සලකා බලන විට රැස බොහොම විවෘත මතයක් තියෙන පුවත්පතක් හැටියට මම දකිනවා. අන්තර්ගතයේ සේම පිටු සැලසුම්වල පවා නිදහස් සාමකාමී අලුත් බවක් තිබුණු පුවත්පතක් හැටියට රැස හඳුන්වන්න පුළුවන්.

..........................................................................................................................

වෙනස් ආරක් අනුගමනය කළා

ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර

‘රැස’ පුවත්පත මාධ්‍ය කලාව තුළ ඉතා හොඳ පුවත්පතක් හැටියට මම දකිනවා. රැස පුවත්පතෙහි සෑම අංශයක් පිළිබඳවම කථිකා කරනවා. ඒ අතරින් සෞන්දර්යයට සහ කලාවට රැස පුවත්පතෙහි ලබා දී ඇති තැන විශිෂ්ටයි. ඒ වගේම දේශපාලන ආර්ථික විශ්ලේෂණාත්මක ලිපි පිළිබඳවත් මෙහිදී අගය කළ යුතුමයි. විශේෂයෙන් ගැඹුරු පාඨක සමාජය පෝෂණය කරන ආකාරයෙන් රැස පුවත්පත සැකසී තිබෙනවා. ඒ වගේම පුවත් සම්බන්ධයෙන් ගත්තත් ප්‍රචාරණ කාරණාවලට වඩා නැවුම්, ජනතාවට වැදගත් පුවත් නිරන්තරයෙන් රැස පුවත්පතෙහි පළ වෙනවා. සාම්ප්‍රදායික මාධ්‍ය කලාව ප්‍රගුණ කරන පත්තර අතර රැස පුවත්පත වෙනස් ආරක් අනුගමනය කරන පුවත්පතක් හැටියට සලකන්න පුළුවන්.

..........................................................................................................................

කියවන්න හුරු කරන පුවත්පතක්

ප්‍රවීණ ලේඛක චූලානන්ද සමරනායක

ලංකාවේ පසුගිය සමයේ බිහිවුණු පුවත්පත් පාඨකයාට සුන්දර අත්දැකීමක් වුණේ නැහැ. අනෙක් ජනමාධ්‍ය භාවිතයත් එසේමයි. එවන් සමයක ‘රැස’ පුවත්පත පාඨකයාට කියවන්න පෙලඹවීමක් ඇති කළ පුවත්පතක් හැටියට මම දකිනවා. පුවත් පමණක් නොව, සාහිත්‍යය, කලාව වෙනුවෙන් මාධ්‍ය තුළ ඉඩක් වෙන් කරන්න රැස පුවත්පත දරපු උත්සාහය කැපී පෙනෙනවා. අපි ජීවත් වෙන්නේ සාහිත්‍යයට, කලාවට තැන නැති රටක. රටේ ඉහළ බලධාරීන්ගේ සිට පහළ මිනිසා දක්වා කලාව, සාහිත්‍යය ඒ තරම් තැකීමක් නොකරන මිනිස්සු කොටසක් බවට අපි පත් වෙලා තියෙනවා. එවන් සමාජයක ජනමාධ්‍යයෙහි පවතින ඒකාකාරී බවින් මිදිලා මිනිස්සුන්ට යමක් කියවන්න හුරු කරන්න රැස පුවත්පත හොඳ මැදිහත් වීමක් කළා කියලා මම හිතනවා.

..........................................................................................................................

මිනිසුන් වෙනුවෙන් පෙනී සිටියා

රාවය ප්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න

‘රැස’ පුවත්පතේ ආරම්භක කතුවරයා චාමර ලක්ෂාන්ගේ සිට රැස කතු මඩුල්ලම වෙනස් අදහස් සහ මත දරන පිරිසක් හැටියට මා දකිනවා. ලේක්හවුස් ආයතනයෙන් නිකුත් කරන පුවත්පතක් ලෙස ආණ්ඩුවේ මතය දරන්න සිදු වෙනවා. නමුත් ගැටුමකට යන්නේ නැතිව මේ දක්වාම මිනිසුන් වෙනුවෙන් පෙනී හිටපු පුවත්පතක් ලෙස රැස පුවත්පත මම දකිනවා. පුවත්පතෙහි අන්තර්ගතයේත් මම විශේෂ ලක්ෂණ දකිනවා. රැස මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න යථාර්ථවාදීව දකින පුවත්පතක්. හුඟාක් පත්තර ජාතිවාදය අලෙවි කරද්දි ආගමික අන්තවාදය පෝෂණය කරද්දි රැස එහෙම කළේ නැහැ. ජාතීන් අතර ආගම් අතර ප්‍රශ්න නිවාලන තැනට ජනමාධ්‍ය භාවිත කරන්නේ කොහොමද කියලා රැස අභ්‍යාස කළා. අන්තර්ගතය වගේම බාහිර සැකැස්මත් රැස පුවත්පතට සුවිශේෂයි. පුවත්පත් කලාවට පළමුවරට වර්ණ තේමාවක් හඳුන්වා දුන්නේ රැස පුවත්පත. සීමිත වර්ණ කිහිපයකින් පුවත්පතේ අන්තර්ගතය උද්දීපනය කරන්න ඕනේ කොහොමද කියලා රැස පෙන්නුවා. පාඨකයාගේ ඇසට ප්‍රිය ලෙස පුවත්පතෙහි පිටු සැකසිය හැකි දක්ෂ පිටු සැලසුම් අංශයක් රැසට ඉන්නවා. ඒ වගේම තමයි ඉතා දක්ෂ සංස්කරණ රටාවක් අනුගමනය කළ උපකර්තෘ මඩුල්ලක් සහ ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ දායකත්වය රැස පුවත්පතට ලැබීම රැස සාර්ථකත්වයට හේතු වුණා.

නවක ලේඛකයන්ට අතදෙන පුවත්පතක්

ප්‍රවීණ මාධ්‍යවේදිනී සුමනා ජයතිලක

මම ‘රැස’ පුවත්පතේ හොඳ පාඨකයෙක්. රැස පුවත්පත අනෙක් පුවත්පත් සමඟ සංසන්දනය කළාම වෙනස් පුවත්පතක් හැටියට හඳුන්වන්න පුළුවන්. රැස විවිධයි. විශේෂයි. ලොකු කුඩා භේදයක් නැතිව පොදුවේ කියවන්න පුළුවන් ආකාරයට රැස පුවත්පතෙහි ලිපි පළ වෙනවා. සමාජයේ කවුරුත් කතා නොකරන අන්දමේ විවිධ ගැටලු ගැන රැස පුවත්පත මඟින් කතිකාවතක් ඇති කරනවා. ඒ වගේම නවක ලේඛකයන්ට අතදෙන පුවත්පතක් ලෙසත් රැස විශේෂයි. හොඳ ලේඛන හැකියාවක් තියෙන කුඩා දරුවන්ගේ ලිපි පවා රැස පුවත්පතෙහි පළවීම අගය කළ යුතුයි. සාහිත්‍යයට, කලාවට අනෙකුත් පුවත්පත්වලට වඩා රැස පුවත්පත සුවිශේෂී තැනක් ලබාදෙන බව අපට පෙනෙනවා. පහසු මිලකට එය අලෙවි කිරීම පාඨකයා අතර පුවත්පත ජනප්‍රිය වීමට හේතුවක්.

..........................................................................................................................

අනෙක් දිනපතා පුවත්පත්වලට වඩා ඉදිරියෙන් ඉන්නවා

ප්‍රවීණ කාටූන් ශිල්පී තලංගම ජයසිංහ

‘රැස’ කියන්නේ සාම්ප්‍රදායික පුවත්පත් කලාවෙන් මිදුණු පුවත්පතක්. මාධ්‍ය කලාව භාවිතයේදී රැස පුවත්පත අනෙක් දිනපතා පුවත්පත්වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක්හවුස් ආයතනයෙන් නිකුත් කරන අනෙකුත් පුවත්පත්වලට වඩා වෙනස් මඟක් ගන්න බව රැස පුවත්පතෙන් අපිට පේනවා. පුවත්පතෙහි අන්තර්ගතය ගැන කතා කළොත් පුවත් වගේම හොඳ විශේෂාංග රැසේ නිතරම පළවෙනවා. පුවත්පතේ කාටූන් භාවිතය වුණත් වෙනස් ආකාරයකට කරන බව පෙනෙනවා. අනෙක් පුවත්පත් ප්‍රචාරණය අරමුණු කරගත්තද රැස පුවත්පත අරමුණු කරගන්නේ අන්තර්ගතයේ වටිනාකම. රැස පුවත්පතේ පළවන පුවත්වල සිට විශේෂාංග ලිපි දක්වාම අන්තර්ගතයේ වටිනාකම මැනවින් පිළිබිඹු වෙනවා. ඒ වගේම රැස පුවත්පතේ පිටු සැකැස්මත් පාඨකයාට ප්‍රිය වන ආකාරයෙන් සැකසිලා තියෙනවා.

...........................................................................................................................

මානව ගුණයන් සහිත පාඨක සමාජයක් බිහි කිරීමට කැප වුණා

ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම්. ගමගේ

‘රැස’ පුවත්පත කියන්නේ පත්තර ලොව තුළ වෙනස් පාඨක පිරිසක් බිහි කරන්න ගත්ත උත්සාහයක්. වර්තමාන මාධ්‍ය ලෝකය තුළ මිනිසුන් එකතැනකට ගොනු කරලා ආදරය සහ මනුෂ්‍යත්වය වපුරනවා වෙනුවට මිනිසුන් බෙදලා වෙන් කරලා වෛරය ක්‍රෝධය පතුරුවන මාධ්‍ය සංස්කෘතියක් බිහි වෙලා තියෙනවා. එයට හේතුව සමාජය තුළින්ම ආපු සමාජ දේශපාලන කලබැගෑනිය. රැස කියන්නේ කිසියම් සංයමයකින් මාධ්‍ය කලාව හැසිරවීමට ගත්ත උත්සාහයක්. අපි දැක්කා රැස පුවත්පත ආරම්භ කරද්දි එහි කතු මඩුල්ල යම් එකඟතාවකට අනුව පුවත්පත කරනවා. ඒ එකඟතා තමයි සමාජයට හානි කරන මානව ධර්මයන්ට හානි කරන කාරණා භාවිත කරන්නේ නැහැයි කියන එක. මම මාධ්‍ය උගන්වන ගුරුවරයකු ලෙස එය දකින්නේ විශිෂ්ට උත්සාහයක් ලෙස. අපි රැස පුවත්පතෙන් මළමිනී මාර්කට් කරනවා දැක්කේ නැහැ. ජාති, ආගම්, කුල වගේ ප්‍රාථමික අදහස් හේතුවෙන් සමාජය භේද භින්න කරනවා දැක්කේ නැහැ. ඊට වඩා වෙනස් මානව ගුණයන් සහිත පාඨක සමාජයක් බිහි කරන්න රැස නිතරම උත්සාහ කළා. රැස පුවත්පතෙහි කතු මඩුල්ල තුළ විවිධ මත දරන අය හිටියා. නමුත් අවසන් වශයෙන් පුවත්පතේ අන්තර්ගතය පිළිබඳව ඔවුන් හොඳ ඒකමතිකත්වයක් ගොඩනැඟුවා. රැස විශිෂ්ට වෙන්නේ අශිෂ්ට පත්තර භාවිතය තුළ වෙනස් පාරක් නිර්මාණය කළ නිසයි.

...........................................................................................................................

සමාජය උදෙසා විශාල කාර්යභාරයක් කළා

දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත්

පුවත්පත් කලාවේදීන් කියන්නේ සමාජයේ සුවිශේෂ පිරිසක්. මාධ්‍යවේදීන්ට සුවිශේෂ හැකියාවක් සහ සුවිශේෂ වරමක් ලැබී තිබෙනවා. මාධ්‍යවේදියාට සමාජයේ මතු නොවුණු තැන් ඉස්මතු කිරීමට සුවිශේෂ හැකියාවක් තියෙනවා. සමාජ අසාධාරණයට ලක් වුණු තැන්, සමාජයේ මතු නොවුණු දක්ෂතා සහිත පුද්ගල චරිත ඉස්මතු කරන්නට මාධ්‍යවේදියාට හැකියාව ලැබෙනවා. ලේක්හවුස් ආයතනයේ පුවත්පත් අතරින් ‘රැස’ කියන්නේ ළාබාලම පුවත්පත. ආපු කෙටි කාලය තුළ මාධ්‍යවේදියා කියන වෘත්තියේ කාර්යභාරය සැබෑ ලෙසම ඉටු කරපු පුවත්පතක් ලෙස ‘රැස’ පුවත්පත හඳුන්වන්න කැමතියි. මේ ගත වුණු ටික කාලය තුළ ‘රැස’ ලොකු කාර්යභාරයක් සමාජය වෙනුවෙන් කළා. ඉදිරියටත් එය එසේම කළ යුතුයි. ‘රැස’ ට දිනමිණ පවුලේ උණුසුම් සුබපැතුම් පුද කරනවා.

..............................................................................................................................................................

මාධ්‍යකරණය තම හුස්ම කරගත් කණ්ඩායමක්

සිළුමිණ ප්‍රධාන කර්තෘ චාමින්ද වාරියගොඩ

ප්‍රවෘත්තියකට ඇති ඉල්ලුම එදා අද කියා වෙනසක් නැහැ. මිනිස්සුන්ගේ විවිධ අවශ්‍යතා නිසා පුවතකට ඇති ඉල්ලුම අද ඇතැම් විට එදාට වඩා වැඩි විය හැකියි. මේ පුවත් අද සැණෙකින් අපේ අත්ලට පියඹා එන්නේ ඩිජිටල් සන්නිවේදන තාක්ෂණයන් නිසායි. ඒ නිසා පුවතක් දැනගන්නම පුවත්පතකට තිබෙන ඉල්ලුම ලෝකයේම අඩුවී යන ප්‍රවණතාවක් තිබෙනවා. එහෙත් මේ ඩිජිටල් තාක්ෂණය පියාඹන වේගයටම පුවත්පතකට ඇති ඉල්ලුම අඩු වුණේ නැහැ. හේතුව පුවත් දැන ගැනීමෙන් එහා ගිය මානව අවශ්‍යතාවක් හමුවේ පුවත්පතකට ඇති ඉල්ලුම තවමත් පැවතීමයි. ඒ අනුව අද මිනිසුන් පුවතකින් එහා ගිය විමසුමක් වෙනුවෙන් වගේම සත්ත්වයන් අතුරින් මානවයන් තුළ පමණක් වර්ධනය වුණු කියවීමේ රුචිය නිසාම පුවත්පතක් බලන්නට පෙලඹෙනවා. ශ්‍රී ලාංකේය දිනපතා පුවත්පත් අතරට මීට දෙවසරකට කලින් එක් වුණු ‘රැස’ මේ අභියෝගය සාර්ථකව ජයගත් දිනපතා පුවත්පතක්. දෙවසරක් යනු පුවත්පතකට කෙටි කාලය‍ක්. එහෙත් වසර ගණනාවකදී අත්පත් කරගත නොහැකි වපසරියක් ‘රැස’ මේ වන විට අත්පත් කරගෙන තිබෙනවා. නව්‍ය ලෝකයේ ප්‍රවණතා මනාව හඳුනා ගත් මාධ්‍යකරණය තම හුස්ම බවට පත් කරගත් මාධ්‍යවේදී කණ්ඩායමක් අතින් සැරසෙන ‘රැස’ පත්තර මහගෙදරට ආඩම්බරයක්.

..............................................................................................................................................................

අභියෝගයට අභියෝග කිරීමේ කලාව

'රැස' තම දෙවසර අභිමානයෙන් සමරන මෙම හෝරාව, මෙරටේ සමාජ දේශපාලන ප්‍රවාහය දැඩි මෘදු භාවිතාවක් සනිටුහන් කරන්නක් නොවන බව විවාද රහිත කරුණකි. එක්තරා ප්‍රකට දමිළ භාෂිත පිරුළකින් දක්වන්නේ 'කටු රෙද්දක සාරියක් වැනුවා වගේය' යනුයි. සමස්ත සමාජයම පරමාදර්ශ සොයමින් සිටින මොහොතක මාධ්‍යයද අඩු වැඩියෙන් අවරෝහනාත්මක ලක්ෂණ පෙන්වා පාඨක සමාජයේ සෙනෙහස නොලබන මෙවන් අවදියක රැසෙහි මතුවීම හා බැබලීම හුදු අහම්බයක් නොවේ.

වරක් අප සරසවියට පිවිසුණු මුල් සමයේ මහැදුරු ජේ.බී. දිසානායකයන් මාධ්‍යවේදීන් තෙවර්ගයක් සිටින්නේ යැයි පැවසීය. සමහරෙක් පාඨකයාට පසුපසින් සිටින අතර තවත් පිරිසක් පාඨකයා හා සමානව සිටිමින් ලියන්නෝය. එවන් පිරිස්ය අද බහුලව ඇත්තේ. ඔහුගේ තෙවැනි ප්‍රවර්ගය ජනතාවට ඉදිරියෙන් සිටින්නෝය. පසුගිය කාල පරාසයෙහි රැසෙහි අප මිතුරෝ, අපට වඩා ඉදිරියෙන් සිටියෝය. ඒ එක් අංශයකින් හෝ දෙඅංශයකින් නොවේ. නානාවිධ අංශයන්ගෙනි. ලේක් හවුසියේ දැවැන්ත බලපෑම් සහගත මාධ්‍යකරණය සපුරා ප්‍රතික්ෂේප නොකළද එකී අවකාශය නිර්මාණාත්මක මාධ්‍යකරණයක් වෙත සේන්දු කරලීම මෙහිලා රැසෙහි ඇත්තන් දැක්වූ අනගි ප්‍රතිභාවයි. අදහස් වර්ණ ගැන්වූ පිටු සැකසුමෙහි නැවුම්බව තුළ පවා මෙකී ප්‍රතිභාව දෝරෙ ගැලූ බව අගති විරහිතව ලියා දැක්විය යුතුමය.

මෙරටේ විවිධ ක්ෂේත්‍රයන් තුළ ජයකෙහෙළි නැංවූ පුවත්පත් ලේඛකයන් වරින් වර බිහිකොට තිබුණද මැතිවරණ ක්ෂේත්‍රයෙහි පසුගිය දශක දෙකක කාල පරාසය තුළ බිහිකොට ඇති ලේඛකයෙක් නැති තරම්ය. මැතිවරණ වාර්තාකරණය යනු සාතිශය සංවේදී විෂයකි. ඉන් ජනිත අදහස් මගින් අනෙක් පසට එකතු කළ හැකි ඡන්ද සංඛ්‍යාව සිය ගණනක් නොව දහස් ගණනක් විය හැකිය. මීට කලකට පෙර මෙරටේ ජාතික පුවත්පතක් තම හෙඩිම ලෙස යෙදූ, ගිවිසුමක් පිළිබඳ මනෝමූලික හෙඩිම ගැන සිහි කැඳවීම මෙහිලා ප්‍රමාණවත්ය. බහුතර දෙමළ නියෝජනයක් සහිත දේශපාලන පක්ෂයක් හා ජාතික මට්ටමේ පක්ෂයක් අතර අස්සන් කළැයි ප්‍රවීණ පුවත්පත් කලාවේදිනියක් ලියූ එකී හෙඩිම එකල ඡන්ද කඩන මැෂිමක් විය. එවන් වාතාවරණයක සෑම ඡන්දයකටම සමාන වටිනාකමක් ඇත්තේය යන පිළිගත් සංකල්පය සනාථ කරන ලේඛනයක නිරත රැසෙහි ඇත්තෝ මැතිවරණයේ සංවේදී තීරණාත්මක බව අගතිදායක කරනු වස් ආත්ම වංචනික ලේඛනයක නිරත වන බවක් අපි කිසිදා දැක නොමැත්තෙමු.

තම කැමැත්ත නිදහස් පරිසරයක වඩාත් අවබෝධාත්මකව සිදු කිරිමෙහිලා පහසුකාරකත්වය සැපයීම, මැතිවරණ කාල සමයක පත්තරයක් කළ යුතු අනගිතම කාර්යයයි. එවන් පසුබිමක රැසෙහි ඇත්තෝ තම අභිමානය රැකගෙන සිටින්නේයැයි පැවසීම ඔවුන්ට දිය හැකි එකම තිළිණයයි.

කෙසේ වුවද රැසෙහි කාර්යභාරය තවමත් අවසන් නැති අතර එය ඇරඹුණා පමණි යැයි නොකියා බැරිය. මෙරටේ රෝගී වූ සමාජය සුවපත් කිරීමට නම් මාධ්‍ය අගති විරහිතව කටයුතු කළ යුතුය.

මැතිවරණ ක්ෂේත්‍රයේද රැසට කළ හැකි දේ බොහෝය. මෙරටේ මැතිවරණ තරගය පවතින්නේ අසමාන බිමකය. ඒ මැතිවරණ වියදම් පාලනයට නීතියක් නැති නිසාය. විදෙස්ගත මිලියන දෙකක් වූ ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද භාවිතයේ පහසුකම් නැත. මැතිවරණ පැවැත්වෙන්නේ යාවත්කාලීන නොවූ මැතිවරණ නීති යටතේය. අනතර්කරණයෙන් යුත් මැතිවරණයක් වහා සාක්ෂාත් කළ යුතුය.

මේ සැම ඉටු කිරීමට රැස තවත් කලක් අප අතර විරාජමාන විය යුතුමය.

මංජුල ගජනායක

ජාතික සම්බන්ධීකාරක,

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය.

......................................................................................................................................

දෙවසරක් පුරා එක්කරගත් සම්පත් රැස...

අලුතින් පුවත්පතක් ජනතාව වෙත පැමිණීම යනු තක්සලාවක් ස්ථාපනය වීමක් බඳුය. දැනුම අවබෝධය ලබාදීම හා කාලීන තොරතුරු නිවැරැදිව සන්නිවේදනය කිරීමේ කාර්ය සපුරාලිය හැකි පුවත්පතක් පාඨකයා වෙත සමීප වීම සැබෑ සමාජ මෙහෙවරක මූලිකාංගයකි. මෙහිදී පුවත්පතේ අන්තර්ගතය හා ආකෘතිය නැවුම් මුහුණුවරකින් සමන්විත වීම එම පුවත්පත වඩාත් සාර්ථකව ජනගත වීමට ඉවහල් වේ.

මින් දෙවසරකට පෙර පත්තර ලෑල්ලට අලුතින් එක් වූ 'රැස' පුවත්පත පවතින පුවත්පත් රටාවෙන් බැහැරව ආකෘතිමය වෙනසක් එක් කිරීමට සමත් වූයේ එහි අන්තර්ගතයටද කිසියම් ආකාරයක නැවුම් අත්දැකීමක් එක් කරමිනි.

දෙවසරක් පුරා එකී වෙනස් රටාවෙන් යුතුව පාඨකයා වෙත පැමිණි 'රැස', එම දෙවසර තුළ රැස් කරගත්, සම්පත් රැසකි. ප්‍රවීණ මෙන්ම ආධුනික ලේඛක ලේඛිකාවන් රැසක්, රැස වටා රැස් වූයේ නවමු අත්දැකීම් බෙදාහදා ගනිමිනි.

රැස ට තවත් පාඨක රැසක් එක්වී ජනතා මෙහෙවරේ යුතුකම් රැසක් ඉටු කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

රන්ජිත් රූපසිංහ

News Order: 
2
මාතෘකා