සමනලයන් ගැන අලුතින් කියවන්නට පාර කියන සමනල සංරක්ෂණ සංසදය

 ඡායාරූපය:

සමනලයන් ගැන අලුතින් කියවන්නට පාර කියන සමනල සංරක්ෂණ සංසදය

සත්ත්ව ලෝකයේ හැඩකාරයන් අතර මුල් ස්ථානය හිමි කරගන්නා විචිත්‍රවත් සමනලුන් නෙතට රසඳුනක් සේම ජෛව විවිධත්වයේ විශාල වටිනාකම් රැසක්ද නතුකර ගන්නට සමත් සත්ත්ව කොට්ඨාසයකි. ප්‍රියමනාප අහිංසක සත්ත්වයකු ලෙස කාගෙත් සිත් දිනාගත් සමනලුන් පිළිබඳ බොහෝදෙනකු තුළ ඇත්තේ විශේෂ උනන්දුවකි.

සමනලුන් සතු සුන්දරත්වය සහ ජෛව විද්‍යාත්මක වටිනාකම් අධ්‍යයනය මෙන්ම එම වටිනාකම් අනාගත ලෝකයට ඉතිරි කිරීමද කාලීන අවශ්‍යතාවකි.

ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය (Butterfly Conservation Society of Sri Lanka) බිහිවන්නේ ඒ සුන්දර අරමුණ වෙනුවෙනි. සමනලයන් පිළිබඳ උනන්දුවක් දක්වන පිරිසකගේ දායකත්වයෙන් ගොඩනැඟුණු සමනලයන් හා සලබයන් පිළිබඳ අධ්‍යයන, පර්යේෂණ සිදුකරමින් සමනලයන් හා සලබයන් ඇතුළු අඩුවෙන් අධ්‍යයනය කෙරෙන කෘමි සත්ත්ව කොට්ඨාස සංරක්ෂණය කිරීම වෙනුවෙන් කැපවූ සංගමයක් වන සමනල සංරක්ෂණ සංසදය මෙරට පිළිගත් විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන හා සම්බන්ධ වී කටයුතු කරන ස්වේච්ඡා සංවිධානයකි.

සමනලයන් හා සලබයන් සංරක්ෂණය කිරීම තුළින් ජෛව විවිධත්වය සහ ස්වභාවික පරිසරයේ සමතුලිතතාව ආරක්ෂා කිරීම සිය දැක්ම බවට පත් කරගත් ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය මෙරට සමනලයන් හා සලබයන් සංරක්ෂණය වෙනුවෙන් ආරම්භ වූ ප්‍රථම සංගමයද වෙයි. මෙම සංගමය මඟින් සමනලයන් හා සලබයන් සංරක්ෂණය වෙනුවෙන් සමනලයන් හා සලබයන් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම, දත්ත එකතු කිරීම, සමනලයන් හා සලබයන් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන් සහ ආධුනිකයන් අතර අන්තර් සබඳතාවන් ගොඩනැඟීම, සමනලයන් හා සලබයන් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම, සමනලයන්, සලබයන් හා බත්කූරන් ඇතුළු පොදුවේ කෘමීන් සංරක්ෂණය සඳහා රජයට සහාය වීම සහ සංගමයෙහි සාමාජිකයන් මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය සඳහා දිරි ගැන්වීම හා ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙයි. ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ජෛව විද්‍යාඥයන්, ස්වාධීන පර්යේෂකයන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මේ සංගමය හා සම්බන්ධ වී සිටී.

ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය විසින් සිය අරමුණු වෙත ළඟාවීම සඳහා සිය සාමාජිකයන් මෙන්ම මහජනතාව සඳහාද වැඩමුළු, දේශන, තරග, ක්ෂේත්‍ර චාරිකා වැනි විවිධ වැඩසටහන් නිරතුරුව ක්‍රියාත්මක කරයි. සෑම වර්ෂයකම සංවිධානය වන මෙම වැඩසටහන් මඟින් සමනලයන් හා සලබයන් පිළිබඳ සජීවී ප්‍රායෝගික අත්දැකීමක් හා විද්‍යානුකූල දැනුමක් ලබා ගැනීමට සංගමයෙහි සාමාජිකයන්ට අවස්ථාව හිමිවේ. මෙලෙස සංගමය මඟින් එක්රැස් කරගන්නා දැනුම පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, විවිධ වෘත්තිකයන් ඇතුළු සමස්ත මහජනතාව වෙත ලබා දීම සඳහා සහ එමඟින් ඔවුන් සංරක්ෂණ කටයුතු වෙනුවෙන් දායක කර ගැනීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කරනු ලබයි. රටෙහි විවිධ ප්‍රදේශයන්හි මෙම වැඩසටහන් පැවැත්වීම මඟින් සංගමයෙහි සාමාජිකයන්ට දිවයිනෙහි විවිධ ප්‍රදේශවල හමුවන සමනලයන් හා කෘමීන් පිළිබඳ අවබෝධය ලබා ගැනීමට සහ විවිධ ප්‍රදේශයන්හි සංචාරය කරමින් අත්දැකීම් ලබා ගැනීමට හැකිවන අතර රටේ සියලු ප්‍රදේශයන්හි ජනතාවට මෙම දැනුම ලබා ගැනීමටද අවස්ථාව උදාවේ. මෙම ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වීමෙන් දැනුම අවබෝධය ලබා ගැනීමට අමතරව ඒකාකාරී ජීවිතයෙන් මිදී විනෝදයක්, සතුටක් ලබමින් ජීවිත සංවර්ධනය සඳහා අවශ්‍ය මෘදු කුසලතා වර්ධනය කරගැනීමටද අවස්ථාව හිමිවේ.

සමනල සංරක්ෂණ සංසදය විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පර්යේෂකයන්, විද්‍යාඥයන් වැනි ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන් දායක කරගනිමින් සංගමයෙහි සාමාජිකයන්ට සහ ඒ පිළිබඳ උනන්දු පුද්ගලයන් සඳහා දේශන පැවැත්වීම සිදු කරයි. සෑම මාසයකම සති අන්තයේ පැවැත්වෙන මෙම දේශන මාලාව මඟින් විෂයන් පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීම මෙන්ම සංරක්ෂණ කටයුතු ප්‍රවර්ධනයට මඟපෙන්වීමද සිදුකරයි.

සමනලයන් සහ සලබයන් පිළිබඳ නව දැනුම, පර්යේෂණ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සඳහා ප්‍රකාශන ගණනාවක්ද සමනල සංරක්ෂණ සංසදය විසින් ප්‍රකාශයට පත් කිරීම සිදුකරයි. සංගමයෙහි සාමාජිකයන් විසින් එක් රැස් කර ගන්නා දැනුම සහ ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන් සතු දෙස් විදෙස් දැනුම මහජනතාව වෙත ලබා දීම මෙම ප්‍රකාශන මඟින් සිදුකරයි. ඒ අතරින් ත්‍රෛමාසිකව ප්‍රකාශයට පත් කරන කෘමිතුරු (Krumithuru) සඟරාවට විශේෂ ස්ථානයක් හිමිවේ. මෙම සඟරාව මඟින් කෘමී ලෝකය පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමින්ලෝකය පුරා සමනලයන්, සලබයන් පිළිබඳව කෘමි ප්‍රවෘත්ති හා විද්‍යාත්මක තොරතුරු පාඨකයා වෙත ලබා දීම සිදුකරයි. සංගමය මඟින් ප්‍රකාශයට පත්කර ඇති A Pocket Guide to the Sri Lankan Butterflies නම් ග්‍රන්ථය සමනලුන් පිළිබඳ අධ්‍යයනය කරන්නන් සඳහා ක්ෂේත්‍රයේදී අවශ්‍ය වන තොරතුරු පහසුවෙන් ලබාගැනීම සඳහා ප්‍රකාශයට පත්කළ වටිනා මාර්ගෝපදේශකයකි. මෙයට අමතරව සමනලයන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඇතුළත් http://slbutterflies.lk/ වෙබ් අඩවිය හා බ්ලොග් අඩවි කිහිපයක් පවත්වාගෙන යෑමද මෙම සංගමය මඟින් සිදුකරයි. ඒ මඟින් මෙරට සමනලුන් පිළිබඳ නිවැරදිම තොරතුරු පරිශීලකයන් හට ලබාගත හැකිය.

සමනලයන් පිළිබඳව අධ්‍යයනයට, පර්යේෂණයට, දැනුම ලබා ගැනීමට කැමති ඕනෑම අයකුට ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය සමඟ සම්බන්ධ විය හැකිය. මේ පිළිබඳව උනන්දු වන්නන් හට ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය 762/ඒ, යටිහේන, මල්වාන ලිපිනයෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය. නොමැති නම් http://bcssl.lk/ වෙබ් අඩවිය මඟින් [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයෙන් BCSSL-Butterfly Conservation Society of Sri Lanka ෆේස්බුක් පිටුවෙන් @ButterflyCssl ට්විටර් ගිණුම හෝ butterflycssl ඉන්ස්ටග්‍රෑම් ගිණුම මඟින් වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

විවිධත්වය ශක්තිය බව ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය විශ්වාස කරයි. මේ නිසාම එහි සාමාජිකයන් විවිධ වෘත්තීන්ට අයත් විවිධ යුගයන්ට අයත් හා දැනුම විවිධාකාර වූ අපූර්වතම සාමාජිකයන් පිරිසකි. එහෙත් මේ සියලු දෙනාම පොදුවේ අලංකාර සිත් ඇති මෘදු පියාපත්වල සුන්දරත්වයට නිමක් නැති ආදරයක් දක්වයි. ඒ සුන්දරත්වයට ඇලුම් කරන ඕනෑම අයකුට මේ මෘදු පියාපත් යට සෙවණ හිමිය. සමනල තටු වැනි සැහැල්ලු, අලංකාර, ආදරණීය හදවතක් ඇති ඔබටද මේ මෘදු පියාපතෙහි සෙවණ යටට පැමිණෙන්නට ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදය ගෞරවයෙන් ආරාධනා කරයි.

[අසිරු වේදිත කරුණාරත්න]

මාතෘකා