මුස්ලිම් ජනදිවිය හා විවාහ නීතිය

 ඡායාරූපය:

මුස්ලිම් ජනදිවිය හා විවාහ නීතිය

"භාර්යාවන් අතර යුක්තිසහගතව කටයුතු කිරීමට ඔබ ආශා කළත් ඔබට නොහැකිය. එබැවින් මුළුමනින්ම ඇලවී අනෙක් තැනැත්තිය ගුවනෙහි එල්ලා දැමූ අයකු මෙන් අත්හැර නොදමන්න. ඔබ සමගිය ආරක්ෂා කොට (දෙවියන්ට) බිය වුවහොත් අල්ලාහ් ක්ෂමා කරන්නකු හා අපරිමිත දයාවන්තයකු වේ."

එසේ සඳහන් වන්නේ අල්ලාහ් අල්කුරාණයේය. ‘බිරිඳ’ එපමණටම විවාහයට මෙන්ම සමාජයටද වැදගත් වන්නීය. ආගමික භේදයකින් තොරව එම කාරණය කිසිදු සමාජ සංස්ථාවකට බැහැර කළ නොහැකිය.මේ ලියවිල්ල ශ්‍රී ලංකාවේ යුක්තිය හා සමානාත්මතාව සඳහා මුස්ලිම් කාන්තා අරගලය සාමූහිකය සකස් කළ ව්‍යාපෘති වාර්තාවක් ඇසුරෙන් සකස් වූවකි.

විවාහ සංස්ථාව සකස් වී ඇත්තේ ශිෂ්ටසම්පන්න ජීවිතයට හුරු වූ මිනිසාගේ ලිංගික ජීවිතය විධිමත්ව පාලනය කිරීමටය. ලාංකේය මුස්ලිම් කාන්තාවගේ අභියෝග මෑතකදී යළි කතා කෙරෙන්නට පටන් ගත්තේ පසුගියදා මුස්ලිම් විවාහ පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබීමත් සමඟය. මීට පෙර වසරේදී එනම්, 2018දී මුස්ලිම් විවාහ පනත සංශෝධනයට මුල් වන මුස්ලිම් විවාහ හා දික්කසාදය පිළිබඳ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස මුස්ලිම් කාන්තාවන් ප්‍රමුඛ සමාජයේ විවිධ පාර්ශ්ව ගණනාවක් මැදිහත් වී උද්ඝෝෂණ කළහ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අදාළ නීති සංග්‍රහයේ සම්භවය 1770 ලන්දේසි පාලන සමයේදී ඉන්දුනීසියාවෙන් අපනයනය කරන ලද්දකි. වසර 1806 සහ 1951 අතර වකවානුවේදී එම නීති සංග්‍රහය - සංග්‍රහගත කිරීම, සමාලෝචනය සහ සංශෝධන ක්‍රියාවලියකට යටත් වී ඇති අතර අනතුරුව ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන් අනුගමනය කළ 'කයිකලි' හෙවත් දෑවැද්ද යනාදී ඉස්ලාමීය නෛතික භාවිතයන් සහ දේශීය චාරිත්‍ර පදනම් කරගනිමින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත 1951 වසරේදී නීතිගත කෙරිණි.

ශ්‍රී ලංකාවේ කාන්තාවෝ ඇතැමෙක් සංස්කෘතික, ආගමික මෙන්ම සාමාජීය වශයෙන් විවාහයේ ආදීනව හේතුවෙන් බෙහෙවින් පීඩාවට පත් වී සිටිති. 21 වැනි ශතවර්යේදී ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව ඇතිව කටයුතු කිරීමට බොහෝ රටවල කාන්තාවන්ට අවස්ථා ලැබුණද ලාංකේය කාන්තාව බොහෝ තැන්වලදී අසාධාරණයට ලක්වන්නීය. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරන්නැයි රටේ සිව්දෙසින් හඬ නැඟීම ඇරඹෙන්නේ මේ අතරදීය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විවාහ ආඥා පනතේ 15 වැනි වගන්තියට අනුව වලංගු විවාහයක් කරගැනීමට නම් 1995 අංක 18 දරන සංශෝධන පනතින් ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශ්වයම සැපිරිය යුතු අවම වයස අවුරුදු 20කි. එහෙත් මුස්ලිම් විවාහය සඳහා අවම වයස වන්නේ අවුරුදු 18කි. මෙම නෛතික අවශ්‍යතාවට පටහැනි විවාහ, විවාහ නොවේ. ඒවා බාලවයස්කාර විවාහ බවට අධිකරණයෙහි පිළිගැනීමට ලක් වේ. ලංකාවෙහි මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙන් මුස්ලිම් පිරිමියකුට භාර්යාවන් සතර දෙනකු දක්වා විවාහ කරගැනීමට අවසර ලැබෙයි. ඉන්පසු සිදුකරන විවාහ නීතිවිරෝධී ලෙස නොසැලකෙන නමුත් ඒවා අවිධිමත් විවාහ වෙයි.

මුස්ලිම්වරු ළමා විවාහවලට නීත්‍යනුකූලව ඉඩ දෙන්නෝය. ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයට අනුව කැමැත්තෙන් හෝ කැමැත්තකින් තොරව වයස අවුරුදු 16කට අඩු ගැහැනු ළමයකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් වන්නේය. නමුත් මුස්ලිම් විවාහ පනතෙහි 23 වැනි වගන්තිය අනුව කාතිවරයකුගේ පූර්ව විමර්ශනයක් සහ බලය දීමකින් තොරව වයස අවුරුදු 12ට අඩු මුස්ලිම් ගැහැනු ළමයින්ගේ විවාහ සීමා කිරීමට ප්‍රතිපාදන සපයා තිබේ. එවැනි අපරාධයකට දඬුවම වන්නේ රුපියල් සියයක් නොඉක්මවන දඩයක් හෝ මාස හයක් නොඉක්මවන සිරදඬුවමක් හෝ මේ දෙකමය.

විවාහය යනු එකිනෙකා ආකර්ෂණය මත ඇති වන ආධ්‍යාත්මික සම්බන්ධයකි. එමෙන්ම නීත්‍යනුකූල ලියාපදිංචි කිරීමකි. එහෙත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ එයින් ඉවත්වීමට දෙපාර්ශ්වයටම නිදහස ලැබේ. දෙදෙනාටම දික්කසාදයට හේතු වන සානුකම්පිත බව මත වන්දි ලබාගැනීමටද හැකියාව ඇත; දෙදෙනාටම ලිංගික බැඳීම්වලින් නිදහස් විය හැකිය. එහෙත් මුස්ලිම් කාන්තාවට මෙම නීතිය අදාළ නොවේ.

මුස්ලිම් විවාහයකින් දික්කසාද වීමේදී (සැමියා මුල් පිරූ) දික්කසාදය ප්‍රථම වරට ප්‍රකාශ කළ පසු මාස තුනක් (ඉද්දා කාලය වශයෙන් හඳුන්වයි) බිරිඳ සැමියාගේ නිවසෙහි රැඳී සිටීම අවශ්‍යය. මේ කාලය තුළදී බලහත්කාරයෙන් ලිංගික සංසර්ගයක් සිදුවුවහොත් දණ්ඩ නීති සංග්‍රහයෙහි ප්‍රතිපාදනවලින් කාන්තාවන්ගේ ආරක්ෂාවට නීති සම්පාදනය වී නොමැත.

දේශපාලකයෝ රට පාලනය කරති. ඓතිහාසිකව කළ සෑම හොඳක් වාගේම සෑම නරක තීරණයක්ම ගැනීමේ වරද දේශපාලකයන් බාර ගන්නේ නම් අනතුරුව ඒවා නිවැරදි කරන්නේ නම් ශ්‍රී ලංකාව ආකල්පමය වශයෙන් මීට වඩා ඉදිරියට ගොස් අවසන්ය. මනාප හෝ ඡන්ද ලබාගැනීමේ තකතීරු අරමුණින් මුස්ලිම් කාන්තාවන්ගේ පීඩා වෙනුවෙන් පෙනී සිටින්නට මුස්ලිම් වන හෝ නොවන දේශපාලඥනයකු ඉදිරිපත් වූයේ නැත.

1995 වසරේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ ප්‍රතිපාදන ඇතුළත් කිරීමට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන අවස්ථාවේදී මුස්ලිම් ආගමික නායකයන් ප්‍රධාන සමස්ත දේශපාලනඥයන්ට කළ පසුබෑම මුස්ලිම් කාන්තාවන් බොහෝමයකගේ අවසනාවන්ත ඉරණමට හේතු විය. පසුකාලීනව ප්‍රසිද්ධියේ මෙන්ම රහසේද මුස්ලිම් සමාජය තුළ මෙම පනත සංශෝධනය පිළිබඳ කතාබහට ලක් කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් මූලිකත්වය දරමින් 2009දී මුස්ලිම් විවාහ හා දික්කසාද පනත පිළිබඳ විමර්ශනයට කමිටුවක් පත්කෙරිණි. 2016දී විජේදාස රාජපක්ෂ එවකට අධිකරණ ඇමතිවරයාව සිටියදී මෙම ගැටලු විසඳීමේ නව පියවරක් තැබුවේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබඳ සොයා බැලීමට ඇමති මණ්ඩල අනු කමිටුවක් පත් කිරීම සමඟය. අදාළ කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් එවකට මුස්ලිම් වෘත්තික කාන්තාවන් මෙන්ම සමාජයේ විවිධ තරාතිරම් නියෝජනය කරන බලවේගද කතා කළේ සාධනීය බලාපොරොත්තු ඇතිවය. නමුත්

ශ්‍රී ලංකා තව්හිජ්ජමාත්, ජමියතුල් උලමා සංවිධාන එම තීන්දුවට විරෝධය පළ කළේය. මුස්ලිම් ජන සමාජය සුරකින්නට යැයි කතා කළද අනෙක් අතට සාධාරණ ලෝකයක අපේක්ෂා ඇතැයි මුස්ලිම් ප්‍රජාව හමුවේ පැවසුවද කාන්තාව සම්බන්ධයෙන් මෙවන් සංවිධාන සිටියේ එතැනය. වර්තමානයේ ඔවුන් දරන්නේ කුමන අදහසක්ද යන්නවත් පැහැදිලි නැත.

'ෂරියා' යනු මුස්ලිම් නීතිවේදීන් විසින් සකස් කළ ඉස්ලාම් ධර්මයෙහි පොදු ප්‍රතියමාන පද්ධතියයි. එය නෛතික ඉස්ලාමීය නීතිය ලෙස නම් කෙරේ. ශ්‍රී ලංකාව තුළ එය ක්‍රියාත්මක වන්නේ කුමන සීමා හා අභියෝග ඉදිරියේද යන්න සොයා බැලිය යුතුය.

ජාත්‍යන්තර ප්‍රඥප්තිවල ඇතුළත් නියාමනයන්ගෙන් තොරව රටක් වශයෙන් දියුණු වීමට මෙවැනි නීති සංශෝධනය කිරීම අවශ්‍යව තිබේ. පීඩිත කාණ්ඩයක් බවට මුස්ලිම් කාන්තාව පත් වීමෙන් ගලවාගත යුතුව තිබේ. සිය පීඩාව ලොවට හඬනඟා කීමට තරම් මුස්ලිම් කාන්තාවන් සවිබල ගැන්වී නොමැති වුවත් වර්තමානයේ ඔවුන් අතරින් එවන් කාන්තාවන් මතු වෙමින් තිබේ. යුක්තිය හා සමානාත්මතාව සඳහා මුස්ලිම් කාන්තා අරගලය සාමූහිකය ඉන් එක් කාණ්ඩයකි. සමාජයේ සිදු වන අකටයුතු දේ වෙනුවෙන් පෙනී සිටීමට මෙන්ම සිය නිදහස වෙනුවෙන් වීදි බසින්නට මේ කාන්තාවෝ පසුගිය වකවානුවේදී පෙරමුණ ගත්හ. ඒ තමන්ට පීඩා කරන නීතියේ හෙවණැලිවලින් තොර තවත් ප්‍රජාමූලික සංවිධානද සමඟය.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සංශෝධන පනතේ නිර්දේශ ඉල්ලා ඔවුහු අධිකරණ අමාත්‍යාංශය ඉදිරියෙහි සිටියහ. ඔවුන් කියන්නේ තවදුරටත් අසීරුවෙන් කුටුම්භගත වෙන්නට සූදානම් නැති බවය. ඔවුන් අවධාරණය කරන්නේ ඔවුන්ගේ දියණියන් ඒ සඳහා බිල්ලට දෙන්නට සූදානම් නැති බවය. දෑවැද්ද යන කාරණයෙන් පීඩා විඳින සියලු සංස්කෘතීන්වල කාන්තාවන්ට ආදර්ශ දෙන්නට තරම් ඔවුන්ගේ කශේරුකාව ඝෘජු වී තිබේ. බහු විවාහ හේතුවෙන් පිරිමියාගේ අසාධාරණයට නීත්‍යනුකූලව හෝ ලක්වීමට තරම් ඔවුන් සාම්ප්‍රදායික නැත; අන්ධ නැත. සිය දරුවන්ගේ ජීවිත ඉන් මුදාගැනීමට ඔවුන් ඉල්ලූ නිදහසට පසුගියදා පිළිතුරක් හිමි විය. ඒ මුස්ලිම් විවාහ පනත සංශෝධනයට හිමි වූ කැබිනට් අනුමැතියයි.

විශේෂ ස්තුතිය - සබ්‍රා සාහිඩ්

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා