නව නිපැයුම් ලොවට දෙන්න චතුර මධුමාල්ට උදවු දෙන්න

 ඡායාරූපය:

නව නිපැයුම් ලොවට දෙන්න චතුර මධුමාල්ට උදවු දෙන්න

 

කන්තලේ ගන්තලාව මහා විද්‍යාලයේ චතුර මධුමාල් සිසුවා විසින් නිපදවූ Working Charger හෙවත් ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ උපකරණය පසුගියදා කැනඩාවේ පැවති i CAN – 2019 ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

එම ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී විවෘත අංශයට නව නිපැයුම් අංශයෙන් තරග වැදුණු එකම පාසල් සිසුවා චතුර මධුමාල්ය. ඔහු සමඟ මෙම තරගයට ඉදිරිපත් වූ අනෙක් සෑම තරගකරුවකුම විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හා දැවැන්තයන් වීම විශේෂත්වයකි.

චතුර මධුමාල්ට ඔහු දිනූ රන් පදක්කම ලබා ගැනීම සඳහා කැනඩාවේ ටොරොන්ටෝ වෙත යෑමට තිබූ වටිනා හා දුර්ලභ අවස්ථාව පමණක්ම නොව ඊට පෙරද අවස්ථා කිහිපයකදීම නව නිපැයුම් නිර්මාණ හරහා ලද විදේශ ගත වීමට තිබූ අවස්ථා කිහිපයක්ද මඟහැරිණි. ඒ දරිද්‍රතාවයේ අවසාන අන්තයේ රැඳී සිටින චතුර වැනි දක්ෂතාවලින් පරිපූර්ණ ගමේ දරුවන්ට අත දීමට බලධාරීන්ගේ ඇති අකමැත්ත මොනවට පෙන්නුම් කරමිනි. කන්තලේ අග්බෝපුර බටුකච්චිය ප්‍රදේශයේ දුගී පවුලකට උරුමකම් කියන චතුර මධුමාල්ගේ පියා වෘත්තියෙන් කුලියට වැලි ගොඩ දමන්නෙකි.

තවමත් 19 වැනි වියේ පසුවන චතුර පමණක් නොව ඔහුගේ නිවුන් සොයුරු චම්පිකද උත්පත්තියෙන් ලද සහජ දක්ෂතාවලින් පරිපූර්ණ දරුවන් වුවද නිසි මඟපෙන්වීම හා මාර්ගෝපදේශකත්වයක් නොමැතිකමින් අපෙන් ගිලිහී යන්නේ කැලේ පිපුණු මල් කැලයටම පරව යන කියමන තවදුරටත් සනාථ කරවමිනි.

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යැයි කීවද චතුර හා චම්පික යන මේ නිවුන් සොයුරන් විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතාවලින් හෙබි දරුවන් බව ඔවුන් අධ්‍යාපනය ලබන ගන්තලාව මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නිලන්ත පුෂ්පකුමාර මහතා පැවසුවේය. කලා කටයුතු, ක්‍රීඩාව හා වාද විවාද කණ්ඩායම්හි සුවිශේෂ දක්ෂතා දක්වන මේ දරුවන් තම පාසලට ගෞරවයක් බව නිලන්ත පුෂ්පකුමාර මහතාගේ අදහසයි.

කන්තලේ අග්බෝපුර බටුකච්චියේ චතුර මධුමාල් හා ඔහුගේ නිවුන් සොයුරු චම්පික මධුමාල් පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරනුයේ කන්තලේ සීනිපුර බණ්ඩාරනායක විද්‍යාලයෙනි. 2015 වසරේදී අ.පො.ස සාමාන්‍ය පෙළ උසස් ලෙසින් සමත් වන මේ අයියා මලෝ ‍දෙදෙනා ගන්තලාව මහා විද්‍යාලයට පැමිණෙන්නේ ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමටය.

“මම මේ නිර්මාණය කරන්නේ 2014 අවුරුද්දේ බණ්ඩාරනායක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉද්දි. අපේ තාත්තලා වැලි ගොඩදාන්න යන්නේ මහවැලි ගඟ දිගේ මහ කැලේ ඇතුළේ. කුඹුරු වැඩ කරන්න යන්නෙත් විදුලි පහසුකම් නැති දිහාවලට. ඒ ගියාම ෆෝන් එක චාර්ජ් කර ගන්න බැරි නිසා විවිධ දුෂ්කරතාවලට ලක් වෙනවා. ඒ කාලේ දැන් වගේ පවර් බෑන්ක් තිබ්බෙත් නැහැ. අනික ඒවා අදටත් ගොඩක් මිල අධිකයි. මේ කාරණය ගැන හිතලා තමයි මම මේ ඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ උපකරණය; එහෙම නැත්නම් Working Chager එකක් නිර්මාණය කරන්න කල්පනා කළේ...”

තමාගේ හිතේ නළියන මෙම අදහස චතුර මුලින්ම කියන්න්නේ බණ්ඩාරනායක විද්‍යාලයේ තාක්ෂණික ගුරුවරයා වූ තිලකරත්න ජයසිංහ ගුරු මහතාටයි. චතුරගේ දක්ෂතා පිළිබඳ මනා අවබෝධයකින් පසු වූ තිලකරත්න මහතා ඒ සඳහා අවශ්‍ය වන මූලික උපකරණ සඳහා බරපැන සපයන්නේ කුලියට වැලි ගොඩදමන චතුරගේ පියාට ඒ සඳහා මුදල් වැය කිරීමට ශක්තියක් නැති නිසාවෙනි.

ඔහු නව නිර්මාණ කරන්නේ තනිවම නොවේ. ඔහුගේ නිවුන් සොයුරු චම්පික මධුලාල්ද ඔහු මෙන්ම නව නිර්මාණකරුවෙකි.

“ජාතික විද්‍යා පදනම මඟින් 2014 වසරේ සංවිධානය කරපු නව නිර්මාණ ප්‍රදර්ශනයට මමයි මල්ලියි දෙන්නම අපේ නිර්මාණ දෙක ඉදිරිපත් කෙරුවා. ඒකෙදි මගේ නිර්මාණය පාසල් අංශයෙන් කලාප හා පළාත් මට්ටමින් ප්‍රථම ස්ථානය දිනාගත්තා. කන්තලේ තිබුණු ප්‍රදර්ශනයකදී විවෘත අංශයෙන් දෙවැනි ස්ථානය හිමිවුණා. ඊට පස්සේ 2015 වසරේදී මම මේ නිර්මාණය ජාතික විද්‍යා හා ඉංජිනේරු පදනම විසින් සංවිධානය කරපු නව නිපැයුම් තරගාවලියට ඉදිරිපත් කරලා ලංකාවේ හොඳම 10 දෙනා අතරට තේරුණා. ඒකේ විශේෂත්වය වුණේ මගේ විතරක් නෙවෙයි, මගේ මල්ලිගේ විකල්ප විදුලි පන්දමත් ලංකාවේ හොඳම දහය අතරට තේරුණු එක. අපි දෙන්නම එකට රන් පදක්කම් හා මුදල් ත්‍යාග හිමිකර ගත්තා.”

2016 වසරේදී උසස් පෙළ විද්‍යා විෂයන් හැදෑරීමට ගන්තලාව මහා විද්‍යාලයට ඇතුළුවන චතුර හා චම්පික එම විද්‍යාලයේ විද්‍යා ගුරුතුමන් ලෙස කටයුතු කරන කමල් බන්දු ජයලත් මහතා සෙවණේ සිය සහජ දක්ෂතා තව තවත් ඔප්නංවා ගනිමින් මෙම උපකරණය නැඟෙනහිර පළාත් විද්‍යා නව නිපැයුම් නිර්මාණ ප්‍රදර්ශනයන්ට ඉදිරිපත් කළහ. එහිදී කලාප, පළාත් යන සියලු අංශයන්ගෙන් ජය ලබන මෙම වෝකින් චාර්ජරය ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC) ජාතික මට්ටමින් සංවිධානය කරනු ලබන “සහසත් නිමැයුම්” තරගාවලියේදී බලශක්ති අංශයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වෙයි.

“පුතාලා දෙන්නා පොඩි කාලේ ඉගෙන ගන්න දක්ෂ නැහැ. එයාලා දක්ෂ වුණේ ලොකු පංතිවලට ආවම. පොඩි කාලේ දෙන්නගෙම වැඩේ සෙල්ලම් බඩු, ගෙදර තිබුණු රේඩියෝ” ටෝච් වගේ දේවල් කෑලි කෑලි ගලවන එකයි. ඒවා ආයේ හයිකරන එකයි. පස්සේ කියලා වෙනසකුත් නැහැ. තාමත් කොහේහරි පරණ යකඩ බඩු ටිකක් දැක්කොත් ඒක අවුස්සනවා. කොහොම හරි දෙන්නම සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වුණා. මේ නිර්මාණය කළේ බොහොම මහන්සි වෙලා. එයාට මේ නිර්මාණය වෙනුවෙන් කැනඩා යන්න තිබුණු අවස්ථාව මඟහැරුණු එක ගැන හිතට දුකයි. ඒත් ඉතින් අපි වෙන මොනවා කරන්නද? “චතුරගේ මව වන ඒ. පී. ජී. නිරෝෂනී ප්‍රියංගිකා මහත්මිය කියන්නීය.

චතුරගේ මෙම වෝකින් චාර්ජරය දකින ඇතැමකු ඉදිරියේදී එහි අයිතිය සම්බන්ධයෙන් නෛතික ගැටලු ඇතිවිය හැකි බව පෙන්වා දෙමින් ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලෙස චතුරව උනන්දු කරවන්නේ මෙවැනි නිර්මාණයක් ඒ වන විටත් ලොව කිසිවකුත් නිර්මාණය කර නොතිබුණු බැවිණි.

“සහසත් නිපැයුම් ප්‍රදර්ශනයේදී හමුවුණු නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සර් කෙනෙක් මට මේකට පේටන්ට් එක ඉල්ලන්න කියලා උපදෙස් දුන්නා. ඒක ඉල්ලුවහම මට ඒකට හැඳුනුම්පතක් ලැබෙනවා. ඒ හැඳුනුම්පත මේ වගේ ප්‍රදර්ශනවලට ඉදිරිපත් වෙද්දී අනිවාර්යෙන්ම ඕන වෙනවා. ඒකට රුපියල් 2500ක් විතර වියදම් වෙනවා. මට ඒකට සල්ලි තිබ්බෙ නැහැ. ගෙදරින් ඉල්ලන්න පුළුවන්කමක් තිබ්බෙත් නැහැ. මොකද ඒ දවස්වල තාත්තට වැඩ තිබුණෙ නැහැ. ඒ වෙලාවේ මට ඒකට සල්ලි දුන්නේ අපිට ටියුෂන් ක්ලාස් කරපු රජිත මොරගම්මන කියන සර්. නමුත් මල්ලිගේ නිර්මාණයට ඉල්ලුම් කරන්න සල්ලි හොයා ගන්න බැරිවුණු නිසා මල්ලිගේ නිර්මාණයට පේටන්ට් ඉල්ලන්න විදියක් තිබ්බේ නැහැ. අර සර් මට කිව්වා වගේ කිහිපදෙනෙක්ම මගෙන් මේක මිලට ගන්න කථා කළා. ලක්ෂ 5ක් දෙන්නම් අයිතිය දෙන්න කියලා ඉල්ලීම් කළා. නමුත් මම ඒකට කැමති වුණේ නැහැ. එහෙම කළා නම් ඇත්තටම ගෙදර ණය ටික හරි ගෙවා ගන්න තිබ්බා...” චතුර එය සිහි කරන්නේ තරමක පසුතැවිල්ලකිනි.

නිසි මඟපෙන්වීමක් නොමැතිකමින් චතුරගේ හා චම්පිකගේ දක්ෂතා නිසි අන්දමින් එළිදැක්වූයේ නොමැති බව චතුරගේ විද්‍යා ගුරුතුමා වු කමල් බන්දු ජයලත් මහතාගේ අදහසයි.

“චතුර හා චම්පික දෙන්නම සහජ හැකියාවලින් පරිපූර්ණ දරුවෝ දෙන්නෙක්. එයාලා දෙන්නගේ දක්ෂතා ඉදිරියට ගෙන යෑමට නිසි මාර්ගෝපදේශකත්වය හිමි නොවීම තුළ ඒ දක්ෂතාවලට වටිනාකමක් ලැබිලා තිබ්බේ නැහැ. මේ නිර්මාණය මේ දරුවා කරලා තියෙන්නේ මීට වසර පහකට විතර කලින්. මේක තවදුරටත් වැඩිදියුණු කරලා ඉදිරිපත් කෙරුවා නම් හොඳයි කියන තැන තමයි මම ඉන්නේ. කොහොම වුණත් මේ නිර්මාණය ලංකාවේ හොඳම දහය අතරට තේරී පත්වීම පිළිබඳව මට වගේම අපේ පාසලට තිබෙන්නේ විශාල සතුටක්...”

මෙම ජයග්‍රහණයෙන් පසු චතුරට නව නිපැයුම්කරුවකු ලෙස ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් හැඳුනුම්පතක් (SLIC) හිමිවන අතර ඔහු සිය නිර්මාණය අවස්ථා දෙකකදී කොරියාවේ පැවැත්වෙන නව නිපැයුම් තරගාවලියට ඉදිරිපත් කෙරෙන අතර ඒ සෑම තරගයකින්ම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වන්නේය.

 

“2018 කොරියාවේ තිබුණු 2018 - W.I.C තරගාවලියේදී මට රිදී පදක්කම හිමි වුණා. රන් පදක්කම හිමිවුණු කෙනාට විතරයි ඒ ප්‍රදර්ශනයට යන්න අනුග්‍රහය දක්වන්නේ. අපි කැමති නම් විතරක් අතින් සල්ලි වියදම් කරලා යන්න පුළුවන් කියලා කොමිසමෙන් කිවුවා. එහෙම යන්න සල්ලි කොහෙන්ද? තාත්තා වැලි ගොඩ දාලා හවසට ගේන සල්ලි අපිට කන්නත් මදි.” චතුර පවසයි.

කෙසේ වෙතත් කොරියාවෙන් හිමිවූ ඒ රිදී පදක්කම හා සහතිකය මෙරටට ගෙන්වා දීමට කොමිසම කටයුතු කර ඇත. ඒ සඳහා වැය වෙන මුදල කොමිසම මඟින් දැරීමට කොමිසම එහිදී කාරුණික වී ඇත. අනතුරුව එම වසරේම කොරියාවේදී පැවැත්වූ CI – 2018 නව නිපැයුම් තරඟාවලියේදී රටවල් රැසක් අභිභවා රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වුවද එම පදක්කම හා සහතිකය ලබා ගැනීමට කොරියාවට යෑමේ අවස්ථාව අහිමි වන්නේ ඒ සඳහා වැයවෙන වියහියදම් දැරීමට වැලි ගොඩදමන ඔහුගේ පියාට හැකියාවක් නොමැති බැවිනි.

“කලින් සැරේ වගේ ඒ පාර ඒ පදක්කම ගෙනත් දෙන්න කොමිසම මැදිහත් වුණේ නැහැ. ඒකට වැය වෙන මුදල මට ගෙවන්න කියලා දැනුම් දුන්නා...”

චතුර සිය සහජ දක්ෂතා වෙනුවෙන් විදේශගත වීමට හිමිවූ අවස්ථා දෙකක් අහිමිවීමේ දුක්බර මතකයන් අප ඉදිරියේ තබමිනි.

එපමණක් නොව එම වසරේදීම කොරියාවේ පැවැති CIGIF තරගාවලියේදී චතුරගේ වෝර්කින් චාර්ජරයට රිදී පදක්කම හිමිවන අතර ඊට හිමි වන්නේද ඊට පෙර සිදුවූ සන්තෑසියමය.

“ඒ පදක්කම ගෙනත් දෙනවා නම් ඇණවුම් මුදල් ලෙස රුපියල් 47,500ක් ඒ රටට ගෙවන්න සිද්ධ වෙනවා. ඒකට කොමිසම මැදිහත් වෙන්නෙත් නැහැ. ඒ පදක්කමත් තවම කොරියාවේ...” චරිත් අසීරුවෙන් මවා ගත් සිනහවකින් අපට පිළිතුරු දෙයි.

කෙතරම් පසුබෑම් පැමිණියද චරිත් සිය නිර්මාණයට තවතවත් පෙම් බඳිමින් එය විවිධ ජාත්‍යන්තර ප්‍රදර්ශන සඳහා යොමු කරවන අතර ඊට සිය පාසලේ විදුහල්පති පත්මසිරි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහායද චරිත්ට හිමි වන්නේය. කැනඩාවේ පැවැත්වෙන නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ එළිදැක්වෙන i Can – 2018 ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා චතුර සිය නිර්මාණය යොමු කරවන්නේ ඒ අනුවය.

එහිදී රටවල් රැසක තරගකරුවන්ගේ නව නිපැයුම් අභිභවා කන්තලේ අග්බෝපුර චරිත් මධුමාල්ගේ නිර්මාණයට රන් පදක්කමක් හිමි වෙයි.

“මේකට ලංකාවෙන් හත් දෙනෙක් තේරිලා තියෙනවා. හැබැයි අනිත් හැමෝම විවිධ වෘත්තිකයෝ. මම විතරයි පාසල් සිසුවෙක් හැටියට තේරිලා තියෙන්නේ. අපිට ත්‍යාග ප්‍රධානෝත්සවය තිබුණේ කැනඩාවේ ටොරින්ටෝවල... ඒකට යන්න රජයෙන් ලක්ෂ දෙකක් දෙනවා. හැබැයි ඒක දෙන්නේ අපි වියදම් කරලා වීසා ටිකට් ඔක්කොම හදාගත්තට පස්සේ. ඔක්කොම වියදම ලක්ෂ තුනහමාරක් විතර ඒ ගමනට යනවා. ඒ මුදල මට හීනයක් වගේ...”

සිය පදක්කම හා සහතිකය ලබා ගැනීමට කැනඩාව වෙත යෑමට මුදල් සොයා ගැනීමේ උභතෝකෝටික ගැටලුවලට චරිත්ට මුහුණ දීමට සිදු වන්නේ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටියදීය.

“මම විභාගයට පෙනී ඉද්දි තමයි මේ ගමනේ ඔක්කොම වැඩ ටික කර ගන්න සිද්ධ වුණේ. පාස්පෝට් එක හදන්න සල්ලි දුන්නේ අපේ පාසලේම ආදි සිසුවකු වූ නලින්ද ප්‍රභාත් කියලා අයියා කෙනෙක්. එයා අයිග්‍රීඩ් ඉංජිනියරින් කියලා කොම්පැනියක් කරනවා. මල්ලි උසස් පෙළෙන් පස්සේ ඒ කොම්පැනියේ වැඩට ගියා. ඒ මට ඉගෙනගන්න සල්ලි හොයන්න. අනික ඒ දවස්වල මම දෙවැනි වතාවටත් විභාගේ කරන නිසා මල්ලි තමයි මගේ වැඩ ටිකට කොළඹ ඉඳන් මහන්සි වුණේ. මගේ වීසාවලටයි, ගුවන් ටිකට්වලටයි රුපියල් ලක්ෂයක චෙක් එකක් කන්තලේ ප්‍රාදේශීය සභාවෙන් දුන්නා. ඒක සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රසිද්ධත් කෙරුවා. ඒත් සභාවේ ලේකම්ගේ අත්සනක් නැහැ කියලා දීපු චෙක් එකත් ආපහු අරගත්තා. අන්තිමේ මට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර මහත්මයා මැදිහත් වෙලා මාව කැනඩා තානාපති කාර්යාලයට අරන් ගිහින් වීසා අරගන්න විශාල මහන්සියක් ගත්තා. ඒත් ඒ වෙලාවෙත් සල්ලි ප්‍රශ්ණයක් නිසා වීසා අරගන්න බැරි වුණා. අන්තිමේ අනිත් හය දෙනා විතරක් කැනඩාවේ ගියා. මට ඒ අවස්ථාවත් නැති වුණා...”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත විජේසේකර ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව තානාපති සබඳතා මඟින් අදාළ රන් පදක්කම හා සහතිකය මෙරටට ගෙනවිත් එයින් නොනැවතී චතුර මධුමාල්ගේ අනාගත කටයුතු සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දීමටද කටයුතු කර තිබේ.

චරිතගේ පියා මේ මොහොතෙත් මහවැලි ගඟේ වැලි ගොඩදමයි. චතුරගේ නිවුන් සොහොයුරා චම්පික අගනුවර කම්හලකට වී තම සොහොයුරාගේ අනාගතය වෙනුවෙන් මුදල් හොයන්නේ තමන්ගේ අධ්‍යාපනය නවතා දමමින්ය. මෙවන් කතා තව සිය ගණනක් ලංකාවේ තැනින් තැන අපි නොදන්නා ඉසව්වල සැඟවී තිබේ. එවන් දරුවන්ට හිස එසවීමට ඔබේ උදව් ඇවැසි වී තිබේ.

ත්‍රිකුණාමලය [මංගලනාත් ලියනආරච්චි]

මාතෘකා