‘පෝලන්තයේ ඈන් ෆ්‍රෑන්ක්’ ලියූ රහස් දිනපොත ප්‍රකාශයට

 ඡායාරූපය:

‘පෝලන්තයේ ඈන් ෆ්‍රෑන්ක්’ ලියූ රහස් දිනපොත ප්‍රකාශයට

නට්සි හමුදා අතින් 1942 වසරේදී ඝාතනයට ලක් වූ පෝලන්තයේ උපන් රෙනියා ස්පීගල් නමැති යුදෙව් දැරියක විසින් ලියන ලදුව වසර 70ක කාලයක් තිස්සේ අප්‍රකටව පැවැති රහස් දිනපොතක් ඊයේ (සැප්තැම්බර් 19 වැනිදා) බ්‍රිතාන්‍යයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ‘රෙනියාස් ඩයරි: අ යන් ගර්ල්ස් ලයිෆ් ඉන් ද ෂැඩෝ ඔෆ් ද හොලෝකෝස්ට්’ (Renia's Diary: A Young Girl's Life in the Shadow of the Holocaust) යන නමින් එය කෘතියක් ලෙස පළ කිරීමට පියවර ගෙන ඇත්තේ ස්පීගල් පවුලේ සාමාජිකයන් විසින් බවයි සඳහන් වන්නේ. මෙය සුප්‍රකට ඈන් ෆ්‍රෑන්ක් දිනපොතට බෙහෙවින් සමාන කෘතියක් වනු ඇතැයි රෙනියාගේ බාල සොහොයුරියක වන එළිසබත් ස්පීගල් පවසනවා. කලකට ඉහතදී අරියානා යන සිය මුල් නම වෙනුවට එළිසබත් යන නමින් පෙනී සිටින ඇය වැඩිදුරටත් පවසන ආකාරයට මේ දිනපොත අතිශය සංවේදී පෞද්ගලික තොරතුරු රැසකින් සමන්විතයි. ඇයට මේ දින සටහන් සියල්ල කියවිය නොහැකි වූ බවත් ඇතැම් දින සටහන් කියවන විට දරාගත නොහැකි වේදනාවක් දැනෙන බැවින් ඒ සැම විටම කඳුළු වැටෙන බවත් ඇය පවසනවා. රෙනියා ස්පීගල් මේ දිනපොත ලිවීම අරඹා ඇත්තේ 15 හැවිරිදි දැරියක ලෙස පෝලන්තයේ ප්‍රයිස්මිස්ල් නමැති යුදෙව් ජනාවාසයේ කාලය ගතකරමින් සිටියදීයි. නට්සි හමුදාවන් විසින් 1942 වසරේදී ආරම්භ කරන ලද ඒ ජනාවාසය තුළ බෝම්බ පිපිරීම් සහ ඒ සම්බන්ධ වැටලීම් සිදු කෙරුණු අයුරු සහ යුදෙව් ජනතාව සිය දිවි ගලවාගැනීම සඳහා සැඟවීමට තැන් සොයා ගිය අයුරු මෙන්ම අතුරුදහන්වීම් සිදු වූ අයුරු ගැනද මේ දින සටහන්වලින් කියැවෙනවා. සාහිත්‍යයට දැඩිව ඇලුම් කළ සංවේදී සහ කරුණාවන්ත දැරියක වූ රෙනියා මේ කටුක අත්දැකීම් ගැන බොහෝ තොරතුරු සරල සහ සුගම ශෛලියකින් සිය දිනපොතේ ලියා තිබෙනවා. කිවිඳියක වන්නට සිහින මැවූ ඇය සිග්මන්ට් ෂ්වාර්සර් නමැති පිරිමි ළමයෙකු සමඟ සිය ප්‍රථම ප්‍රේමය ඇරඹුණු ආකාරය ගැනත් මේ දිනපොතේ සඳහන් කර තිබෙනවා. ඔවුන් දෙදෙනා සිය ප්‍රථම හාදුව හුවමාරු කරගෙන ඇත්තේ නට්සි හමුදාවන් ඔවුන් සොයා පැමිණීමට පැය කිහිපයකට පෙරයි. යුදෙව් ජනාවාසයෙන් පළාගොස් නිවෙසක අට්ටාලයේ සැඟව සිටි ඇය අත්අඩංගුවට ගත් ජර්මානු සොල්දාදුවන් විසින් ඒ වන විට 18 හැවිරිදි තරුණියකව සිටි ඇයව 1942 ජූලි මාසයේ දිනෙක වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.


සිරගතව සිටින තුර්කි ලේඛක අහ්මට් අල්තාන් සාහිත්‍ය ත්‍යාගයකට නම් වේ

තුර්කියේ රජය පෙරළීමේ කුමන්ත්‍රණයකට දායක වූයේ යැයි චෝදනා ලබා සිරගතව සිටින තුර්කි ලේඛක අහ්මට් අල්තාන් විසින් සිරගත දිවියේ අත්දැකීම් ඇසුරින් රචනා කරන ලද ‘අයි විල් නෙවර් සී ද වර්ල්ඩ් අගේන්’ (I Will Never See the World Again) නමැති බන්ධනාගාර මතක සටහන් කෘතිය බේලි ගිෆර්ඞ් ග්‍රන්ථ සම්මානයට නිර්දේශ ලබා තිබෙනවා. ප්‍රබන්ධ නොවන විශිෂ්ටතම කෘති අගයමින් වාර්ෂිකව පිරිනැමෙන මේ ත්‍යාගයට ස්ටර්ලින් පවුම් 50,000ක්ද ඇතුළත් වෙනවා. මෙවර මේ ත්‍යාගය සඳහා නිර්දේශ ලබා ඇති අහ්මට් අල්තාන්ගේ කෘතිය රචනා වී ඇත්තේ ඔහු විසින් බන්ධනාගාරය තුළදී වරින්වර ලියන ලද සටහන් පෙළක් ලෙසයි. රජයට එරෙහි කැරැල්ලක් දියත් කිරීම සඳහා කටයුතු කළ පිරිස් වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් පළ කිරීමේ වරදට මෙයට වසර තුනකට පමණ පෙර ඔහු සිරගත කරනු ලැබුවා. මුලින්ම 2016 වසරේදී බන්ධනාගාරගත කරන ලද ඔහුට 2018 වසරේදී ජීවිතාන්තය දක්වා බලපැවැත්වෙන සිරදඬුවමක් පැනවුණා. එහිදී ඔහුට විරුද්ධව ඉදිරිපත් කෙරුණු චෝදනාව වූයේ රජයට එරෙහි කුමන්ත්‍රණයකට සහාය පළ වන ආකාරයට රූපවාහිනී මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම සහ රජය පෙරළා දැමීමට තැත් කිරීම යන්නයි. ඇමෙරිකාවේ ප්‍රබල සාහිත්‍ය සංවිධාන සහ ලේඛක ලේඛිකාවන් විශාල පිරිසක් මේ ලේඛකයා සිරගත කිරීමට එරෙහිව විරෝධතාව පළ කළා. රටේ දේශපාලන බල අධිකාරිය වෙත විවෘත ලිපියක් යොමු කරමින් ඔවුන් කියා සිටියේ ඒ අත්තනෝමතික සිරදඬුවම ප්‍රකාශනයේ නිදහසට එල්ල කරන ලද බියකරු පහරක් බවයි. මේ ලේඛකයා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ජේ.එම්. කොඑට්සි සහ ඒ.එස්. බ්යාට් ඇතුළු ලේඛක ලේඛිකාවන් විශාල පිරිසක් ප්‍රසිද්ධියේ අදහස් පළ කළා. එහෙත් ඒ කිසිදු විරෝධතාවකට තුර්කි රජය සවන් දී ඇති බවක් තවමත් පෙනෙන්නට නැහැ. ඒ නිසාම අහ්මට් අල්තාන් වෙත ලබාදී ඇති සිරදඬුවම තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙවැනි පසුබිමක් තුළ ඔහුගේ බන්ධනාගාර මතක සටහන් කෘතිය මුල් පෙළේ සාහිත්‍ය ත්‍යාගයකට නිර්දේශ වීම විශේෂ සිද්ධියක්.


චිමාමන්දා න්ගොසිගේ ‘ඇමෙරිකානා’ නවකතාව පුංචි තිරයට

නයිජීරියානු ලේඛිකා චිමාමන්දා න්ගොසි අඩිචි විසින් රචනා කරනු ලදුව 2013 වසරේදී ප්‍රකාශයට පත්වූ ‘ඇමෙරිකානා’ (Americanah) නවකතාව රූපවාහිනී මාලා නාට්‍යයක් ලෙස නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. මේ නවකතාව පාදක කරගනිමින් 2014 වසරේදී සිනමා කෘතියක් නිර්මාණය කිරීමේ සූදානමක් පැවැතියද එය අතරමඟ නතර වුණා. එවැනි පසුබිමක් තිබියදී නිර්මාණය කෙරෙන මේ රූපවාහිනී මාලා නාට්‍යය තවත් කෙටි කාලයක් ඇතුළතදීම එච්.බී.ඕ. මැක්ස් (HBO Max) රූපවාහිනී නාලිකාව ඔස්සේ ප්‍රචාරය වීමට නියමිතයි. කොටස් 10කින් සමන්විත මේ රූපවාහිනී මාලා නාට්‍යය සඳහා නවකතාවේ ඉෆෙමෙලු නමැති ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන්නේ ලුපිටා න්යොන්ගෝ නමැති කෙන්යානු-මෙක්සිකානු රංගන ශිල්පිනියයි. තවත් දක්ෂ රංගන ශිල්පිනියක වන ඩනායි ගුරිරා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මේ රූපවාහිනී මාලා නාට්‍යය මඟින් චිමාමන්දාගේ නවකතාවට උපරිම සාධාරණයක් ඉටු වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. පශ්චාත් නූතනවාදී කතාවක් ලෙස ඉදිරිපත් කෙරෙන ‘ඇමෙරිකානා’ නවකතාවෙන් කියැවෙන්නේ නුහුරු සමාජ දේශපාලන පරිසරයකට අනුගතවීම සඳහා දැරිය යුතු වන පරිශ්‍රමය ගැනයි. නයිජීරියාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ විශ්වාසය බිඳීයෑමෙන් පසු නයිජීරියාව අත්හැර ඇමෙරිකාව බලා යන ඉෆෙමෙලු නමැති තරුණියගේ ජීවිතය, ප්‍රේමය සහ සබඳතා ඔස්සේ මේ කතාව ගලාගෙන යනවා. නයිජීරියාව අත්හැර දමා ඇමෙරිකාවට යෑම ඇයට පහසු කටයුත්තක් වන්නේ නැහැ. සිය හුරුපුරුදු ජීවන රටාව මෙන්ම ඒ හා බැඳුණු තවත් බොහෝ දේ අත හැර ගොස් සියල්ල අලුතින් පටන් ගන්නට ඇයට සිදු වෙනවා. එසේම සිය ගැටවර පෙම්වතාගෙන් දුරස් වන්නට සිදුවීමත් කාලයක් යන තුරුම ඇයට දරාගත නොහැකි තරම් දැඩි වේදනාවක් ගෙන දෙනවා. කෙසේ වෙතත් ඒ සියල්ල අතහැර දමා ඇමෙරිකාවට යන ඇයට විවිධ සංස්කෘතික කම්පනයන්ට මෙන්ම බොහෝ විට කළු ජාතිකයින්ට මුහුණ දෙන්නට සිදු වන වර්ගවාදය සම්බන්ධ ගැටලුවලටත් මැදි වන්නට සිදුවෙනවා. විවිධ ආකාරයේ නාටකීය අවස්ථාවන් රැසක් සපිරි ‘ඇමෙරිකානා’ මාලා නාට්‍යය ලොව පුරා ප්‍රේක්ෂකයන්ට ඉහළ වින්දනීය අත්දැකීමක් ගෙන දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මාතෘකා