වෛද්‍යවරයකු වීමට පෙර මිනිසකු විය යුතුයි

 ඡායාරූපය:

වෛද්‍යවරයකු වීමට පෙර මිනිසකු විය යුතුයි

විස්මිත හෘද සැත්කම් දොළොස්දහසකට අධික ගණනක් සිදු කරමින් රෝගී ජීවිත රැක ගැනීමටට කැප වූ විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ චරිතයකි. ඔහුගේ ජීවන තොරතුරු ඇසුරින් සෑම සිකුරාදා දිනකම “රැස” පුවත්පත මතක සිත ඔස්සේ ගෙන එන “හදවත්වලට පණ දෙන හදවත හොඳ වෙදැදුරු” විශේෂාංග මාලාවේ මේ දාහතර වැනි දිග හැරුමයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ දිරිගැන්වීම හමුවේ නාමල් පියවර කිහිපයක් ඉදිරියට තබමින් කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය ඒකකය ගොඩනැංවීමේ කාර්යයේ නිරත විය. ඔහුගේ මෙම ව්‍යායාමය වෛද්‍ය ක්ෂේත්‍රයේම ඇතැමුන් ගේ අවඥාවට ලක්වූ අවස්ථාද විය. “ඕව කොහේ කරන්නද සිහින විතරයි” වැනි වදන් ඒ අතර විය. කෙසේ හෝ 1999 වර්ෂයේදී හෘද සැත්කම් 143ක්ද 2000 වර්ෂයේදී 170ක්ද 2001 වර්ෂයේ 200කට ආසන්න ප්‍රමාණයක්ද සිදු කිරීමට නාමල් ඇතුළු කරාපිටියේ හෘද ඒකකයේ කාර්ය මණ්ඩලය සමත්විය. සංඛ්‍යාත්මකව වර්ෂයක් තුළ සිදු කළ හෘද සැත්කම් ප්‍රමාණය අඩු වුවද මෙතරම් ප්‍රමාණයක් හෝ සිදු කිරීමට හැකි වීම ජයග්‍රහණයක් බව නාමල්ගේ අදහසයි.

"ඒ වෙන කොට අපට තිබුණේ උපකරණ සීමිත ප්‍රමාණයක්. ඒ වගේම කනිෂ්ඨ වෛද්‍යවරයෙක් මුල් කාලයේ හිටියේ නැහැ. හෘද පෙණහලු නිවේෂකවරු එක්කෙනයි හිටියේ. කොළඹ ඉන්න අය මෙහෙට එන්න කැමති නැහැ. ගාල්ල අවට ඒ කාලයේ කිසිදු පෞද්ගලික රෝහලක හෘද සැත්කම් කළේ නැති නිසා කරාපිටියට එන අයට ප්‍රයිවට ප්‍රැක්ටිස් කරන්න තැනක් නැහැ. මෙහෙ පුහුණුව ලබපු හෘද පෙණහලු නිවේෂකවරු පවා පුහුණුව අවසන් වූ ගමන් කොළඹට මාරුව හදාගන්නවා. මේවත් එක්ක ගත්තහම මෙතරම් සැත්කම් ප්‍රමාණයක් හරි කරන්න ලැබුණ එක ලොකු දෙයක්” යැයි නාමල් පැවසීය.

1999 වසරේ දී කරාපිටියේ පළමු බයිපාස් සැත්කම සිදුකෙරිණි. අහම්බෙන් නමුත් සිදු කළ එම සැත්කම සාර්ථකව සිදුකරන්නට නාමල් සමත් විය. එම සැත්කම සිදුකරන විට ඒ සඳහා අවශ්‍ය නියමිත උපකරණ පවා කරාපිටිය හෘද ඒකකය සතුව නොතිබිණි. එවැනි සැත්කමක් සිදුකරන්නට සිහිනයකින්වත් නොසිතූ මොහොතක සිදු කළ එම සැත්කම නාමල්ගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් ගොන්නට එක්වී තිබිණි.

දිනක් සති අන්තයක තම මව බැලීමට කහදට ගිය නාමල්ගෙන් මව විශේෂ ඉල්ලීමක් කළාය. ඒ කරාපිටියේ බයිපාස් සැත්කමක් ආරම්භ කරන ලෙසයි. එයට තවම පහසුකම් නොමැති බව පැවසුවද නාමල්ට තම මවගෙන් ගැලවීමක් නොවිණි. පසුව විමසීමේදී පෙරදින තම නිවසට පැමිණි මවක් හා කුඩා දියණියක් තමන් වෙත කළ ඉල්ලීම ඇය පැවසීය. ඒ අනුව නාමල්ගේ උපන්ගම වූ කහඳට ආසන්නව පිහිටි වවුළුගල වතුයායේ පෙරේරා නම් ක්ෂේත්‍ර නිලධාරියෙක් විය. ඔහු හදවත් රෝගයකින් පෙළුනු අතර ඔහුට කඩිනමින් බයිපාස් සැත්කමක් සිදු කළ යුතු බව වෛද්‍ය නිගමනය වී තිබිණි. නමුත් කරාපිටියේ ඒ වන විට බයිපාස් සැත්කම් සිදු නොකළ අතර කොළඹ මහ රෝහලේ ඒ වෙනුවෙන් දිගු පොරොත්තු ලේඛනයක් පැවතිණි. එම නිසා කෙසේ හෝ කරාපිටියේ බයිපාස් සැත්කම් සිදුකර ගැනීම ඔවුන්ගේ ඉල්ලීම විය. නමුත් එය ඉටුකළ නොහැකි බව නාමල් තම මවට පැවසීය.

ඊළඟ සති අන්තයේ නාමල් මහ ගෙදර යන විට එම මව හා දියණිය ඔහු හමුවීම සඳහා පැමිණ සිටියහ. නාමල්ගේ මවගේ මැදිහත් වීම අනුව තමන් පත්ව ඇති අසරණ තත්ත්වය ගැන ඔවුහු නාමල්ට පැවසූහ. ඒ වන විට දෙවැනි වසරේ ඉගෙනුම ලැබු ඒ කුඩා දියණිය හඬමින් කෙසේ හෝ තම පියා බේරාදෙන ලෙස නාමල්ට ඇවිටිලි කරන්නට වූවාය. ශල්‍යාගාරයේ ඒ සඳහා පහසුකම් හිඟකම ඔවුන්ට පැවසීම ඵල රහිත ක්‍රියාවක් බව නාමල්ට වැටහිණි. ඒ අනුව නාමල් බයිපාස් සැත්කම් සිදුකිරීම සඳහා අවශ්‍ය විශේෂිත උපකරණ කෙසේ හෝ සපයා ගැනීමට උත්සුක විය. තම මවගේ ඉල්ලීම ඉටුකරමින් නාමල් කොළඹින් බැහැර පළමු බයිපාස් සැත්කම කරාපිටියේදී සිදුකළේය. ඒගැන නාමල් අප සමඟ මෙසේ පැවසීය.

“දෑසේ කඳුළු පුරවාගත් ඒ පුංචි දියණිය තම පියාගේ ජීවිතය බේරදෙන්න කියලා කළ ඉල්ලීම නිතර නිතර මගේ කන්දෙක අසල දෝංකාර දුන්නා. කරාපිටියේ නොතිබුණු අත්‍යවශ්‍යම උපකරණ පමණක් පිටින් ගෙනල්ලා මම ඒ බයිපාස් එක කළා. ඒකට මගේ අම්මා මාව ධෛර්යමත් කළා. ඒ පුංචි දියණියගේ ඉල්ලීම ඉටු කරන්න මට හැකි වුණා. ඒත් අවාසනාවකට පියා ජීවතුන් අතර සිටියදී තරුණියක් වුණු ඒ දියණිය පසුගියදා හදිසි අනතුරකින් මිය ගියා කියලා දැනගන්න ලැබුණා. අදත් මම විශ්වාස කරනවා මගේ අම්මා දීපු ධෛර්ය වගේම ඒ පුංචි දියණියගේ ඉල්ලීමත් කරාපිටියේ හෘද ඒකකයේ නව පරිච්ඡේදයක ආරම්භයක් බව ”

නාමල් කරාපිටියේ සිදුකළ සැත්කම් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ජනාධිපති අරමුදලේ බලධාරීහුද දැඩි සෝදිසියෙන් සිටියහ. එම නිලධාරීන්ගේ ඥාතීන් හා හිතවතුන් පවා හෘද සැත්කම් සඳහා කරාපිටියට යොමු කිරීමට ඔවුහු කටයුතු කළහ. එවිට නාමල් පොරොත්තු ලේඛනයේ රෝගීන්ට අසාධාරණයක් නොවන පරිදි එම ඉල්ලීම්ද මැනවින් ඉටු කළේය. ජනාධිපති අරමුදලෙන් නව දැඩිසත්කාර ඒකකය හා වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ඉල්ලා සිටි ප්‍රතිපාදන නොලැබීමත් සමඟ නාමල් දැඩි අපේක්ෂා භංගත්වයකට පත්විය. දිනක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හමුවූ නාමල්ට ඔහු පැවසුවේ ඉතිරි ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන ලබා දීමට තවත් වසර තුනක්වත් ගත වන බවය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැඟිලි බාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වූ ඉංජිනේරු අනුර යාපාගෙන් නාමල්ට ඇමතුමක් ලැබිණි. ඉන් කියවුණේ 2000 වසරේ අවිච්ඡේද වූ මුදල් එකතු කොට මිලියන හැටඅට ලබාදෙන බවය. ඒ අනුව 2001 වසරේ අග බාගයේ නව ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකි වීම නාමල්ගේ කඩවුණු බලාපොරොත්තු නැවත ඉටුවීමක් විය.

මේ අතර පුතුන් දෙදෙනකු ගෙන් යුතු නාමල්ගේ කැදැල්ලට 2000 වර්ෂයේදී දියණියක් ලැබිණි. ඒවනවිට නාමල්ට කරාපිටියේ නිල නිවාසයක් ලැබී තිබිණි. ජනාධිපති අරමුදලින් දෙවැනි වර ඉදිකිරීම් සඳහා මුදල් වෙන්නොවුණද නාමල් මෙරට හෘද රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීම වෙනුවෙන් ඉටු කරන මෙහෙය ඔවුන්ගේ නිරන්තර ඇගයීමට ලක්විය. ජනාධිපති ලේකම්වරයා වූ කුසුම්සිරි බාලපටබැඳිගේ හා ජනාධිපති අරමුදලේ ලේකම් චන්ද්‍රා වික්‍රමසිංහ මෙන්ම අනූෂ පැල්පිට ආදී නිලධාරීන්ගේ සහාය නිරන්තරයෙන් නාමල්ට ලැබිණි. ඒ අප රටේ හෘද රෝගීන් මුහුණපා සිටි ඛේදනීය තත්ත්වය ඔවුන් හොඳහැටි අවබෝධ කරගෙන සිටි බැවිනි.

නව ඒකකය විවෘත කළ පසු පැය හයකට සීමා නොවී දිනකට වැඩි හෘද සැත්කම් ප්‍රමාණයක් ඉටු කිරීම නාමල්ගේ එකම අරමුණ විය. එසේ කටයුතු කිරීමට සමස්ත කාර්ය මණ්ඩලයේම සහාය ලබා ගත හැකි ආකර්ෂණීය වැඩපිළිවෙළක අවශ්‍යතාවට නාමල් පිළියම් සෙවීය. ඒ සඳහා ජනාධිපති අරමුදලේ අනුග්‍රහය ලබා ගැනීම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් නාමල් විශේෂ සැලැස්මක් සකස්කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළේය. ඔහුගේ ඉල්ලීම වූයේ ජනිධිපති අරමුදල මඟින් පුද්ගලික රෝහල්වලින් හෘද සැත්කම් සිදු කර ගන්නා රෝගියකු වෙනුවෙන් ලබා දෙන රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලින් තුනෙන් එකක මුදලක් රජයේ රෝහල් තුළ සිදුකරන අමතර හෘද සැත්කම් සඳහා ලබාගැනීමයි. නමුත් ඒ සඳහා අනුමැතිය ලබාදීමට පෙර එවකට හෘද සැත්කම් සිදු කළ කොළඹ මහ රෝහලේ හා ජයවර්ධනපුර රෝහලේ හෘද සැත්කම් ඒකකවල ප්‍රධානීන් හා නාමල් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවත්විණි. එහිදී නාමල් තම අරමුණ පැහැදිළි කළේය. නමුත් නාමල් ගේ යෝජනාව අනෙක් රෝහල්වල බලධාරීන් දුටුවේ එය කිසිදා යථාර්ථයක් නොවන ක්‍රියාවක් ලෙසය. ඒ ගැන නාමල් මෙසේ පැවසීය,

“ මම පැහැදිලිවම කිව්වා දිනකට පැය හයේ රාජකාරී සීමාවේ රැඳෙමින් සැත්කම් කරලා මේ පොරොත්තු ලේඛන ඉවර කරන්න බෑ කියලා. ඒ නිසා රාජකාරි කාලයෙන් පසු සිදු කරන හෘද සැත්කම් වෙනුවෙන් මෙම ගෙවීම ක්‍රියාත්මක කළහොත් කාර්ය මණ්ඩලවල සියලු දෙනා මේ වැඩේට උනන්දු කරන්න පුළුවන්. දිනකට වැඩි සැත්කම් ප්‍රමාණයක් සිදු කරන්නත් පුළුවන්. මේ තුළින් හෘද රෝගීන්ට යහපතක් වෙනවා කියලා”

නමුත් අනෙක් රෝහල් දෙකේම බලධාරීන් එය තම රෝහල් තුළ ක්‍රියාත්මක කළ නොහැකි බව පවසද්දී නාමල් පමණක් එය කරාපිටියේ ක්‍රියාත්මක කළ හැකි බව නොබියව පැවසීය. ඒ සඳහා සෞඛ්‍ය ඇමතිවරයාගේ අනුමැතිය හිමි විය.

ඉන් පසු නාමල් තම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් දේශපාලනඥයන්ගේ පසුපස යන බවත් එය වෛද්‍යවරයෙකුට තරම් නොවන ක්‍රියාවක් බවත් සෞඛ්‍ය කේෂත්‍රය තුළ කථා බහක් ඇති විය. එවැනි අවලාද තමන්ගේ ගමනට ශක්තියක් කර ගත් නාමල් ඒ ගැන මෙසේ පැවසීය,

“ මම දේශපාලනඥයන් ගේ උපකාර ලබා ගන්නේ මගේ පෞද්ගලික වැඩවලට නොවෙයි. ජනතාවගේ යහපත වෙනුවෙන්. ජනතාවගේ ප්‍රශ්න ගැන ජනතා නියෝජිතයන්ට පැවසීම වරදක් වන්නේ කොහොමද? අපි වෛද්‍යවරු වෙන්න ඉස්සෙල්ලා මේ රටේ මිනිස්සු බව අමතක නොකළ යුතුයි. අපිට නොමිලේ ඉගෙන ගන්න මේ රටේ මිනිස්සු දහඩිය වගුරවපු බව අමතක නොකළ යුතුයි.”

විරෝධතා හර්තාල මැද නව ඒකකයේ හෘද සැත්කම් ඇරඹූ හැටි ලබන සතියේ....

 

පබුදු සපුතන්ත්‍රී

ඡායා චේනක වික්‍රමාරච්චි

මාතෘකා