දකුණු මුහුදු තීරයේදී ජාවාරම්කරුවන්ගේ සිරගෙවල් තුළ සිරවෙන කැස්බෑවෝ

 ඡායාරූපය:

දකුණු මුහුදු තීරයේදී ජාවාරම්කරුවන්ගේ සිරගෙවල් තුළ සිරවෙන කැස්බෑවෝ

වසර මිලියන 190ක් පමණ ලෝකයේ සාගරවල සැරිසරමින් සිටි මිහිකත සිදු වූ මහා පරිසර විනාශයන් හමුවේ ඩයිනෝසරයන් සමඟ දිවි ගලවා ගැනීමට සමත් වූ සමුද්‍ර කැස්බෑවන් අද වන විට තර්ජනයට ලක්ව ඇත්තේ එම සත්ත්වයන්ට පසුව මිහිකත අරක්ගත් මිනිසා නිසාවෙනි.

ලංකාවේ දකුණු පළාතේ වෙරළ තීරය තුළ සහ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන" නමින් පවත්වාගෙන යන මධ්‍යස්ථාන සියල්ල නීති විරෝධී ඒවා බවත් මෙම නීති විරෝධී ජාවාරම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවී ඇති බවත් මීට පෙර අවස්ථා කිහිපයකදීම තොරතුරු පනත මඟිනුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ලබා ගත් තොරතුරු මඟිනුත් අප විසින් අනාවරණය කරන ලදි. මේ ආකාරයෙන් "කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය" යන පුවරුවට මුවා වී පවත්වාගෙන යන හොර ජාවාරම් දකුණු මුහුදු තිරයේ බහුලවම දැකගත හැකිය. එමෙන්ම දිනෙන් දින හතු පිපෙන්නා සේ ආරම්භ වන මෙම කැස්බෑ සංරක්ෂණයට මුවා වූ ජාවාරම නිසා තර්ජනයට හා හිංසනයට ලක්ව ඇත්තේ තර්ජනයට ලක් වූ සත්ත්ව විශේෂයක් ලෙස ලෝකයේ රතු දත්ත ලේඛනයට මෙන්ම ලංකාවේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත මඟින් දැඩි සේ ආරක්ෂා කර ඇති සත්ත්වයෙකි.

සාගර කැස්බෑවන් සංරක්ෂණය සඳහා ඉතාම වැදගත් වන මධ්‍යස්ථානයක් වන ශ්‍රි ලංකාවේ මුහුදු තීරය වෙත ලොව සාගරවාසී කැස්බෑ විශේෂ 7න් විශේෂ 5ක්ම බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකා වෙරළ තීරය වෙත ඇදී ඒම සිදු වේ. එසේ ලංකාව තුළ දැකිය හැකි කැස්බෑ විශේෂ 5ක් වන බටු කැස්බෑවා (Olive ridley turtle), ඔළුගෙඩි කැස්බෑවා (Loggerhead), ගල් කැස්බෑවා (Green turtle), පොතු කැස්බෑවා (Hawksbill turtle), දාර කැස්බෑවා (Leatherback turtle) යන කැස්බෑවන් දකුණු වෙරළ තිරයේදී දක්නට ලැබේ.

එසේ කැස්බෑවන් දකුණු වෙරළ තිරයේදී නිරන්තරයෙන් දක්නට ඇති ප්‍රදේශ අතර මිරිස්ස, වැලිගම, හබරාදූව, හම්බන්තොට, අංගොඩ, රැකව, බූන්දල යන ප්‍රදේශයන් පෙන්වා දිය හැකිය. එම ප්‍රදේශ පදනම් කර ගනිමින් මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයන්ද පවත්වාගෙන යයි.

ශ්‍රී ලංකා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ III වැනි කොටසේ 30 වැනි වගන්තිය ප්‍රකාරව ‘ඇ’ සිට ‘උ’ දක්වා වගන්ති තුළ සඳහන් නීතිරීතිවලට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම, සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන් සපුරා තහනම් වේ. එපමණක් නොව, එහි 30 (2) වගන්තිය යටතේ එම ක්‍රියාවන්හි නිරත වෙන වැරදිකරුවන්ට ලබා දිය යුතු දඬුවම් පැහැදිලිවම දක්වා තිබෙන අතර ඒ අනුව අදාළ වැරැද්ද සිදු කරනු ලබන තැනැත්තා හට ඔහු වරදකරු කිරීමේදී රුපියල් දසදහසකට අඩු නොවන රුපියල් තිස් දහසකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දෙකකට අඩු නොවන සහ අවුරුදු පහකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාරගත කිරීම හෝ දඩය සහ දෙකටම යටත් විය යුතු වුවත් වසර ගණනක් මුළුල්ලේ නීති විරෝධීව සත්ත්ව හිංසනයන්ද සිදු කරමින් පවත්වාගෙන යන මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් කිසිදු වැටලීමක්, අත්අඩංගුවට ගැනීමක්, නඩු පැවරීමක් කර නොමැති බව දෙවැනි වතාවටත් 2019.07.06 වැනි දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයැදුම්පත්‍රයට අනුව 2019.08.25 දින ලිපි අංක ‘වජි 06/04/74’ යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරු මඟින් හෙළි වේ.

එමෙන්ම මේ වන විටත් ලංකාවේ කිසිදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා අවසර දීමක් සිදු කර නොමැති බවද හෙළි වූ අතර මෙවන් තත්ත්වයක් හමුවේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවද තොරතුරු දැන ගැනීමේ පනත මඟින් ලබා ගත් තොරතුරු මඟින් හෙළි වූ අතර ඒ තුළින් පිළිබිඹු වන්නේ වනජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සකසා ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත ක්‍රියාත්මක කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කඩ කර ඇති බවයි .

සැබෑ සංරක්ෂණයක් වෙන්නේ නෑ

මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යන මධ්‍යස්ථාන හිමිකරුවන් විසින් ඒ අවට ප්‍රදේශයේ සිටින ධීවරයන් ඇතුළු වෙනත් පුද්ගලයන් හරහා තමන්ගේ මධ්‍යස්ථානයට කැස්බෑ බිත්තර ගෙන්වා ගැනීම සිදු කරනු ලබන අතර ඒ සඳහා බිත්තරයකට රුපියල් 100ක් එම පුද්ගලයන්ට ලබා දෙන බව මෙම ගවේෂණයේදී අනාවරණය විය. එයද වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් වුවත් ඔවුන් කෙරෙහි නීතිය ලිහිල්ව තිබීම කනාගාටුවට කරුණකි.

කැස්බෑවුන් යනු චලතාපී සත්ත්ව කොට්ඨාසයකි. බිත්තර කුටීරය තුළ පවතින උෂ්ණත්වය මෙන්ම බිත්තර ස්ථානගත වී ඇති ආනතිය, බිත්තරය තුළ ඇති කළලයේ ලිංගිකත්වය තීරණය කිරීමට බලපාන සාධක, බිත්තර කුටීරයේ ගැඹුර සහ හැඩය විශේෂයෙන් විශේෂයට වෙනස්කම් දරයි. එමෙන්ම බිත්තර එකතු කර නැවත "සංරක්ෂණ මධ්‍යස්ථාන" තුළ වළ දමන පුද්ගලයන් හට මේ ගැන කිසිදු අවබෝධයක් නැති බැවින් බිත්තර ගොන්නකින් පිටතට පැමිණෙන කැස්බෑ පැටවුන් අතරේ ලිංගිකත්වය‍ අතිශයින් අසම ව්‍යප්ත අනුපාතයක් හට ගන්නා බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. එම නිසා සංරක්ෂණ මධ්‍යස්ථාන තුළදී බිත්තරවලින් පිටතට පැමිණෙන පැටවුන්ගෙන් 97%ක් පිරිමි පැටවුන් වීම සහ ගැහැනු පැටවුන් අතිශයින්ම දුර්ලභ වීමද සිදු වී තිබේ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ජාවාරම්කරුවන් ඔවුන් ගැහැනු පැටවුන් දුර්ලභ බැවින් ඉපදුනු පසුව සාගරයට මුදා හැරීම සිදු නොකර සිමෙන්ති ටැංකියක වසර පහක් පමණ කාලයක් තබා ගන්නා බව ද ඒ තුළින් කැස්බෑවුන් සංහතියේ වර්ධනයට දැඩි බලපෑමක් එල්ල වන අතර එතුළින් කිසිදු කැස්බෑ සංරක්ෂණයක් සිදු නොවන බවද මනාව පෙනී යන්නකි.

පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට ස්වාභාවික තත්ත්වයන්වලදී බිත්තර කුටීරයෙන් ඉවතට පැමිණෙන කැස්බෑ පැටවුන් ඉතාමත් කඩිනමින් වෙරළේ සිට මුහුද කරා ඇදී ගොස් පැය 48ක් පමණ එක දිගට පිහිනීම සිදු කරයි. මේ සංසිද්ධිය හඳුන්වන්නේ බාලක උන්මාදය, ළදරු උන්මාදය (juvenile frenzy) ලෙසයි. මෙලෙස අඛණ්ඩව පැය ගණනාවක් පිහිනීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලැබෙන්නේ බිත්තරයෙන් ලැබෙන පෝෂණය මඟිනි. මෙසේ පිහිනා යන සතුන් පසුව ඔවුන්ට අවශ්‍ය ආහාර සොයා ගැනීමේ කාර්යයේ නියැලේ. නමුත් සංරක්ෂණ ජාවාරම් කරුවන්ගේ සිමෙන්ති ටැංකිවල හිරවන කැස්බෑ පැටවුන් හට මෙම අවස්ථාව නොලැබේ. ඔවුන්ට යම් නිදහසක් ලැබෙනවා නම් ලැබෙන්නේ සංචාරකයන්ගේ මන දොළ පිරවීම සඳහා මුදා හරින අවස්ථාවන්හිදී පමණි. ඒ වෙනුවෙන් සංචාරකයන්ට මෙම ජාවාරම්කරුවන් වෙත රුපියල් 1,000කට වැඩි මුදලක් ගෙවීමට සිදු වේ.

එමෙන්ම වැඩුණු කැස්බෑවුන් පවා අඩි 5 x 5 කුඩා සිමෙන්ති ටැංකි තුළ රඳවාගෙන තබා ගනිමින් සිටින ආකාරය බොහොමයක් කැස්බෑ සංරක්ෂණ මාධ්‍යස්ථාන තුළ දක්නට ලැබේ. මේ මඟින්ම පෙනී යන්නේ මෙම මධ්‍යස්ථාන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නොව, කැස්බෑ සිරගෙවල් බවයි. මෙවැනි කැස්බෑ සිරගෙවල් පවත්වාගෙන යෑම වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකර බලා සිටීම, වන ජීවීන් සුරැකීම වෙනුවෙන් සිටින වන ජීවී දෙපාර්තමේන්තුවේ වගකීමද?

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අදහස් දැක්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍රීය අංශයේ සහකාර අධ්‍යක්ෂක චන්න සුරවීර මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

“මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ප්‍රශ්නය පසුගිය කාලයේ තිබුණු නීති විරෝධී අලි ප්‍රශ්නය වැනි එකක්. නමුත් මේවා ලොකු කාලයක සිට පවත්වාගෙන ආපු ඒවා නිසා එක පාරටම අපිට නවත්වන්න බැරි වී තිබෙනවා. නමුත් අපිට නීතිය මඟින් මේවා වළක්වන්න තිබුණා. එහෙත් අලුතින් මධ්‍යස්ථාන ආරම්භ කරන්න දුන්නේ නෑ.”

නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

''රාජ්‍ය ආයතන තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේ විධිමත් ක්‍රමයකට යන විට යම් යම් ප්‍රමාද වීම් වෙනවා එමෙන්ම මේ කෙරෙහි නීතිය ක්‍රියාත්මක කරමින් මේවා එක පාරටම අයින් කරගෙන යන්න ගියොත් අපිට මේ සත්තු තියා ගන්න තැනක් නැති වෙනවා. ඒ නිසා මේ වන විට අපි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සමුද්‍රීය අංශය යට‍තේ ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා. අපි එමඟින් සංරක්ෂණය කළ හැකි මට්ටමට කැස්බෑ සංරක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට පියවර ගන්නවා.''

ප්‍රමිතියට නැත්නම් තහනම් කරනවා

එමෙන්ම යම්කිසි මට්ටමකට රටට ආදායමක් එනවා නම් විධිමත් ආකාරයෙන් නියාමනයක් තුළ කැස්බෑ සංරක්ෂණය සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති පිරිස් සමඟ සාකච්ඡා කරලා මේ වන විට යම් නියාමනයක් යටතේ මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා අවසර ලබා දීමට වැඩපිළිවෙළක්ද සකසා තිබෙනවා. නමුත් එම ප්‍රමතීන්වලට නැති සියලු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ඉදිරියේදී තහනම් කිරීමට පියවර ගන්නා බවත් අනෙකුත් සියලුම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමට කටයුතු කරන බවත් චන්න සුරවීර මහතා කියා සිටියේය.

එමෙන්ම ඉදිරියේදී කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක තබා ගැනීමට හැකි, වැඩුණු කැස්බෑවන් ප්‍රමාණයද ඉදිරියේදී පහ (5) දක්වා අඩු කරන බවත් මෙම වැඩපිළිවෙළ වසරක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය. මුහුදු සිමා ආක්‍රමණය කිරීමේ වරදට මෙන් දකුණු මුහුදු තීරයේදී ජාවාරම් කරුවන්ගේ කැස්බෑ සිරගෙවල් තුළ සිර වීමට සිදු වන මේ අහිංසක සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධ‍ෙයන් පවතින නීති නිසියාකාරව ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැති පසුබිමක කැස්බෑ සම්පත අපට අහිමි වනු නිසැකය.

[රාහුල් සමන්ත හෙට්ටිආරච්චි]

මාතෘකා