උරගයන්ට පෙම්බැඳි පරම්පරා පහක්

 ඡායාරූපය:

උරගයන්ට පෙම්බැඳි පරම්පරා පහක්

උරග උභය ජීවී විද්‍යාවේ පියා ලෙස සම්මානයට පාත්‍ර වීම පිළිබඳ ඔහු සිටින්නේ උද්දාමයෙන් යැයි ඔබ සිතනවා නම් එය මුළාවකි. තමන් එලෙස සම්මානිත වූවායැයි විශේෂයක් නොමැති බවත් සියුම් සතුටක් සිතෙහි ඇත්තේ තමා පනස් වසරක් මුළුල්ලේ කරන ලද සේවයෙහි යම්කිසි ගතයුත්තක් ඇති බැවින් යැයි සිතීමෙන් බවත් ඔහු පැවසීය.

ඒ පරිසරයෙහි සිසිලස පිළිබඳ තවමත් ඇත්තේ මතක් කර කර රසවිඳිය හැකි තරම් ප්‍රහර්ෂයකි. ඔහු ඇවිදින්නේ මහත් අපහසුවෙන්ය. ඒ ඔහුට වේදනාවක් ගෙන දෙන දණහිස් ආබාධයක් නිසාවෙනි. එහෙත් රියැදුරුට වාහනය රැගෙන පැමිණෙන්න යැයි කියා ඔහු මා සමඟ ඇවිද යයි.

“අර ඈතින් පේන්නේ ලයිබ්‍රි එක. එතන තියනවා සිලෝන් රූම් කියලා ලැබ් එකක්. මගේ හදවත තියෙන්නේ එතන.”

ඔහු කියයි. මා ඉතා වේගයෙන් අඩි තියමින් ඇවිදින අයෙක්මි. එහෙත් අද වචනයේ පරිසමාප්ත අරුතෙන්ම මා යන්නේ ඉබි ගමනක්ය. පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට යන ඕනෑම අයකු ඇවිද යා යුත්තේ මෙලෙසින් බව හැඟේ. සුළඟද තෙතමනයෙන් බරිත වී තිබේ. දහවල වුවද එහි රස්නයක් නොදැනේ.

“ලංකාවේ පළමුවැනි වතාවට උරග විද්‍යාවේ පළමු ජාතික සමුළුව මම තමයි පැවැත්වුවේ. ඒ මේ භූමියේ. මට මතක විදියට ඒ 1995 දි. මම තමයි ඒ සමුළුව මෙහෙයෙව්වේ. විශ්වවිද්‍යාල ආචාර්යවරු බොහෝ දෙනා මේකට සහභාගි වුණා. මේකට මූලිකව මුදල් ආයෝජනය කළේ වනජීවි දෙපාර්තමේන්තුව.”

ඔහු ලබාගත් සම්මානය පිළිබඳ මා ඇසීමට සැරසෙද්දීම ඔහු එයට මුලපිරීය. එය පැවතියේ තුල්හිරියේ මාස් ඇතීනාහිය. සැප්තැම්බර් 10 සිට 13 දක්වා තෙදිනක් පුරා එය පැවැත්විණි. මෙය පිරිනමන ලද්දේ ආසියානු ජෛව විවිධත්ව සංරක්ෂණ සංගමය විසින් ප්‍රථම වතාවටය. ඔහුට මෙවැනි සම්මානයක් ලබා දෙන්නේ ඇයිදැයි මා ඔහුගෙන් ඇසුවේ ඔබ වෙනුවෙනි.

“මම අවුරුදු 50ක් තිස්සේ උරගයන් සහ උභයජීවීන් ගැන කරපු සේවාව වෙනුවෙන් තමයි. ඊට අමතරව මම කරපු විශේෂ සම්මේලන වගේ දේවලුත් බලපාන්න ඇති. 1995දි කරපු ජාතික සම්මේලනය වගේම ජාත්‍යන්තර සම්මේලනයක් 1996දී මම කළා. ඒකට මේ ක්ෂේත්‍රයේ ඉන්න ජාතික හා ජාත්‍යන්තර විශේෂඥයෝ 150කට වඩා ආවා. හන්තානේ තමයි මේක තිබුණේ. 1997දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ඒකකය, අභිජනන විශේෂඥ කමිටුවක් සමඟ එකතුවෙලා සම්මේලනයක් කළා. ඉන්දියාවත් එක්ක තමයි අපි මේ වැඩේ කළේ. 1998දී උරග හා උභයජීවීන්ගේ තත්ත්වය ගැන තත්ත්ව වාර්තාවක් සකස් කළා. ඊටපස්සේ ඒ ගැන වැඩමුළුවක් පැවැත්වුවා. ඒකෙන් රතු දත්ත පොතට යන උරගයෝ ගැන තොරතුරු එකතු කළා. 2001දී මම ලෝකයේ මෙතෙක් පවත්වපු ලොකුම උරග හා උභයජීවී සම්මේලනය පැවැත්වුවා. ඒක උරග විද්‍යාව සම්බන්ධ ලෝක කොංග්‍රසය (World congress of apptology). මේක සතියක් පුරා බෙන්තොට තිබුණා. ඒ වගේම දෙහිවල සත්වෝද්‍යානයේ ඉදිබුවන් ගැන දවස් තුනක වැඩමුළුවක් පැවැත්වුවා. 2013දී මම ලෝක කිඹුල් සමුළුව ලංකාවට ගේනවා. 2015දී උභයජීවීන් පිළිබඳ එංගලන්තයේ විශේෂඥ කමිටුවක් ඇවිත් දවස් දෙකක වැඩමුළුවක් කළා. තව සම්මේලනයක් කළා; ඒ විශේෂඥ කමිටුවේ සාමාජිකයෝ 20ක් ඉන්නවා. ඒකෙදි කරන්නේ එක සතකුගේ විෂ ග්‍රන්ථියක් ගැන පර්යේෂණ කරනවා. මේකට ලංකාවෙන් ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් මම. අනිත් කෙනා මහාචාර්ය දර්ශනී මහඋල්පත. මූදු සර්පයෝ ගැන පළමු සමීක්ෂණය කළේ මම. ඒක කළේ ඔස්ට්‍රේලියා විද්‍යාඥයකු වන කේට් සැන්ඩන්ස් හා ආචාර්ය කණිෂ්ක උකුවල එක්ක. මේකෙදි අපි අලුතින් බොහෝ දේ හොයාගත්තා.”

ඔහුට ඇමතුමකි. එය ගැන මා උත්සුක වූයේ මාගේ නමද කියැවෙනු ඇසුණු නිසාය.

“ඒ කතා කළේ ජයතිස්ස තෙන්නකෝන්. එයා කිඹුල්ලු ගැන බොහොම උනන්දු කෙනෙක්. මං එක්ක බොහෝ පර්යේෂණවලදි එයා ස්වේච්ඡාවෙන්ම ආවා. ජයතිස්සයි දුවයි දෙන්නත් එක්ක පොතක් කළා. එයා ඒකත් අරන් දවසක ඒවි ඔයාව මුණගැහෙන්න. එයා ගාවත් තියෙනවා විස්තර.

“ඔයා දන්නවද දරුවෝ ලංකාවේ ඉන්න උරග උභයජීවීන් පිළිබඳ පර්යේෂණ කරපු අය පරම්පරා පහකට බෙදන්න පුළුවන්. ඒක මම හොයපු කාරණයක්. පළමු පරම්පරාවේ ඉන්නේ කෙලාට් එඩ්වඩ් ෆෙඩ්රික් (1819-1860), විලියම් ෆර්ගසන් (1820-1887) සහ ෆ්‍රෑන්ක් වෝල් (1868-1950). ඒ අතරින් මම කෙලාට්ට කැමතියි. මොකද එයාටත් මට වගේම රැවුලක් තියෙනවා. එයාගේ ඡායාරූපය මුලින්ම ලංකාවේ අයට අඳුන්වලා දුන්නේ මම. දෙවැනි පරම්පරාවට අයිති වෙන්නේ

පී.ඊ.පී. දැරණියගල, පී. කීර්තිසිංහ, පී.එච්.ඩී. එච්. සිල්වා. තෙවැනි පරම්පරාවේ මාත් ඇතුළුව වී. අතුකෝරල, පී. බී. කරුණාරත්න, ඩබ්. ආර්. බ්‍රෙකොන්රිජ්, රනිල් සේනානායක, රොහාන් පෙතියාගොඩ සහ එරික් වික්‍රමනායක. මට සතුටුවෙන්න තියෙන ලොකුම හේතුව මොකක්ද කියලා මම කියන්නද? අපිට පස්සෙත් තව පරම්පරා දෙකක්ම තියෙනවා. හතරවැනි පරම්පරාවේ මාධව, කැලුම්, බහීර්, මෙන්ඩිස්, කණිෂ්ක, සමීර, අන්ජන, සුදේශ්, ලලිත්, දිනාල්, රුචිර හා අභිරාමි. පස්වැනි පරම්පරාව විදියට මම හඳුනගෙන ඉන්නේ හරිම දක්ෂ දරුවෙක්ව. එයා ඩබ්. ෂනෙලි. අපි නැතිවුණත් මේ රාජකාරි ටික ඉස්සරහට ගෙනියන්න මෙයාලට පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.

“මම එන සුමානේ ශ්‍රී ලංකාවේ උරගයෝ ගැන විශාල වැඩමුළුවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි අවධානයට ලක්වෙන්නේ රතු දත්ත පොතට යන සතුන්ගේ තත්ත්වය ගැන. මේක තියෙන්නේ වත්තේගම මීනාවත්තේ සැම්සන්ස් හෝටලයේ. ඒ විස්තර ගිහින් ඇවිත්ම කියන්නම් දරුවෝ”

මේ ලිපිය ලියන මොහොත වන විට ඔහු සිටින්නේ වත්තේගෙදරය. අපිට මෙතුවක් කල් ඕනෑම මොහොතක ඔහුට ඇමතිය හැකිව තිබුණද අද තත්ත්වය වෙනස්ය. “රැස”

කාර්යාලයේ ප්‍රාදේශීය කර්තෘ පබුදු සපුතන්ත්‍රි මහතා ඡායාරූපයක් පෙන්වයි. ඒ හඳුනාගත නොහැකි සර්පයකු පිළිබඳවය. එම සතා අල්ලාගෙන ඇත්තේ අම්බලන්ගොඩින්ය. වනජීවී නිලධාරීන්ට හෝ ලංකාවේ සර්ප විශේෂඥයන් කිහිපදෙනකුටම එම සත්ත්වයා හඳුනාගත නොහැකිව තිබිණි. අපි ඇන්ස්ලම් මහතා සිටියා නම් එය විසඳාගත හැකිව තිබිණි. ලබන සතියෙහි ඔහු එය විසඳා දෙන තෙක් ඉවසමු.

මාතෘකා