දෙවන පාවුලු පාප් වහන්සේ මතට උල්කාපාතයක් කඩා වැටීම

 ඡායාරූපය:

දෙවන පාවුලු පාප් වහන්සේ මතට උල්කාපාතයක් කඩා වැටීම

ඡායාරූපයේ දර්ශනය වන ආකාරයට උල්කාපාතය කඩා වැටී ඇත්තේ දෙවන පාවුලු පාප් වහන්සේ ඉලක්ක කරමිනි. එය උන්වහන්සේ කුරුසයත් සමඟම ඇද වැට්ටවීමට සමත් විය. මේ ආන්දෝලනාත්මක කලා කෘතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන මොරිසියෝ කැටෙලාන් (Maurizio cattelan) නමැති මතභේදාත්මක කලාකරුවාගෙනි. හේ ඉතාලියානුවෙකි. ඔහු මෙම කලා කෘතියට නම් තැබුවේ ‘නමවැනි හෝරාව’ යනුවෙනි. එය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැඟි සිටි වෙලාවයි. එකී නම් කිරීම තුළ ඇත්තේම උපහාසයයි. ජේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැඟිටින විට ඔහුගේ ප්‍රධාන අනුගාමිකයා උල්කාපාතයක් කඩා වැටීම නිසා ඇද වැටෙයි. ඔහු මේ සඳහා සැබෑ පාප් වහන්සේගේ උස, මහත, මුහුණ පමණක් නොව පැහැය පවා සිය නිර්මාණයට යොදාගෙන තිබේ. කැටිලාන් සිය කලා කෘතිය මඟින් ඉදිරිපත් කරන්නේ විද්‍යාව හමුවේ ඇද වැටෙන ආගමික මිථ්‍යාවයි. නිකන්ම නිකන් කලු ගල් කැබැල්ලක් භාවිතා නොකර නිර්මාණකරුවා උල්කාවක් එවීමෙන් අදහස් කළේ තාරකා විද්‍යාවයි. එනම් විද්‍යාව යනු උල්කාපාතයයි. බොහෝ ආන්දෝලනාත්මක කලා කෘතියක් වූ එය 1999දී බ්‍රිතාන්‍යයේ Royal Academiහි පැවති වෙන්දෙසියකදී ඩොලර් මිලියන 3. 8කට විකිණී ගියේය. ඔහුගේ කලා කෘති ඇත්තේ එපමණටම වෙළෙඳපොළ මිල අධික කලාකෘති අතරය.

අන්තර්ජාතික කලා විචාරකයන් ඔහු හඳුන්වන්නේ නිර්මාණ කලාවක බිහිවීම ලෙස නොව නිර්මාණ කලාවේ පරිණාමනය යනුවෙනි. ඒ තරමටම ඒ කලාකෘති විවේචනාත්මකය; අනාගතවාදීය; සමච්චල් සහගතය. ඔහුගේ සමච්චලයට ලෝක දේශපාලකයන්, ආගමික නායකයන් පමණක් නොව කීර්තිමත් මිනිසුන්ද අයත්ය. හේ කිසිවකින් නතර කළ නොහැකි මිනිසකු ලෙස අවිවාදිතය. මවුරිසියෝ කැටෙලාන්ගේ සිය ගණන් කලා කෘති අතර ලෝකය තිගැස්සූ කලාකෘති කිහිපයක් ගැන අපි දැන් කතාකරමින් ඉන්නෙමු. යථාර්ථය හෙළි කිරීමට මෙන්ම යථාර්ථය සහ මිථ්‍යාව අතර රේඛා බොඳ කිරීමට කැටෙලාන් 2016දී නිව්යෝක්හි සොලමන් ආර්. ගුගන්හයිම් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා වැසිකිළියක් නිර්මාණය කළේය. එය නිපදවා තිබුණේ කැරට් 17 තනි රත්තරන්වලිනි. එහි විශේෂත්වය වූයේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ඕනෑම අයකුට එකී වැසිකිළිය පාවිචිචියට ගත හැකි වීමයි. ඒ තුළින් ඔහු රනින් නිමකළ වැසිකිළිවල සිය ශරීරකෘත්‍යය කරන ඉහළ ධනපති පන්තිය හෑල්ලුවට ලක් කළේය. මෙම කලා කෘතිය සෘජුවම ඇ‍ෙමරිකානු ධනය හා ධනවාදය සමච්චලයට ලක්කිරීමකි. පසුගිය වසර පුරා කෞතුකාගාරයට පැමිණි ජනතාව පොදු වැසිකිළියක් ලෙස මොරිසියෝගේ මේ ප්‍රදර්ශනයට තැබූ රන් වැසිකිළිය භාවිතා කළේය.

මොරිසියෝ කැටෙලාන් මෙම කලා කෘතිය විස්තර කර ඇත්තේ “සියයට අනූ නවයක් සඳහා සියයට එකක කලාව'' යනුවෙනි. 2018 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා මෙලෙනියා ට්‍රම්ප්ට සිය නිල නිවෙස වෑන් හෝගේ Landscape With Snow සිතුවම අලංකාර කිරීමට සිත්විය. ඒ අනුව ධවල මන්දිරය ට්‍රම්ප්ගේ අත්සනින් යුතු පණිවිඩයක් ගුගන්හයිම් කෞතුගාරය වෙත යවා සිතුවමට ධවල මන්දිරයට අවශ්‍ය බවත් එයට අවශ්‍ය මුදල කීයක්දැයි විමසා සිටියේය. එවිට ගුගන්හයිම් කෞතුකාගාරයේ බාරකාරිනිය සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක් වන නැන්සි ස්පෙක්ටර් විසින් මෙසේ ධවල මන්දිරයට ඊමේල් පණිවුඩයක් යවා තිබිණි.

''වෑන්හෝගේ සිතුවම ලෝක උරුමයක් බැවින් එය පුද්ගලයකු සතුකළ නොහැක. ඔබලාට අවශ්‍ය නම් නිල නිවස සැරසීමට මවුරිසියෝ කැටලෝන්ගේ රත්තරන් වැසිකිළිය දිය හැකිය.” වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව ධවල මන්දිරය පිළිතුරු සපයා නැත. කෙසේ වුවත් එය නැන්සි ස්පෙක්ටර් අත දිගහැර ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුන් කම්මුල් පහරක් සේය. ලෝක බලවතුන් සමච්චලයට ලක්කරන මේ කලාකරුවා සිය වැසිකිළිය 2019දී ප්‍රදර්ශනය කළේ බ්‍රිතාන්‍යයේ හිටපු කීර්තිමත් අගමැති කෙනකු වු වින්සන්ට් චර්චිල්ගේ පුද්ගලික මැඳුරේය; වින්සන්ට් චර්චිල් භාවිතා කළ නාන කාමරය තුළය. කෙසේ හෝ මැඳුර වටා දමා ඇති දැඩි ආරක්ෂක මුරකාවල් මධ්‍යයේ පවා 2019 අගෝස්තු 13 වැනි දින වැසිකිළි හොරකම වී තිබිණි. “වැසිකිළියක් පවා හොරකම් කරන දේශපාලන ධනපතියෝ” යැයි කලාකරුවා පවසා තිබිණි.

කැටෙලාන්ගේ කීර්තිමත්ම කලා කෘතිය ලෙස අන්තර්ජාතක කලා විචාරකයෝ සලකන්නේ ''Him'' නමැති නිර්මාණයය. ඔහු එය ඉදිරිපත් කළේ 2001 වර්ෂයේ Blenheim Palace, Woodstock කලාගාරයේය. කලාගාරයට ඇතුළු වන තැන සුවිශාල ආලින්දයේ කොනක දණ ගසාගත් වයස අවුරුදු 14ක පමණ පිරිමි දරුවෙකි. ඔහු සිටින්නේ ප්‍රේක්ෂකයාට පිටුපාය. එහෙයින් මුහුණ නොපෙනේ. ඔහුගේ කොන්ඩය මනාව පීරා ඇත. කපු ඇඳුම ඉතා පිරිසිදුය. සපත්තු පමණක් ඉරි තලා ඇත. හේ යාඥාවක යෙදී සිටී. ප්‍රේක්ෂකයා සෙමින් සෙමින් ඔහු පිටුපසින් ගොස් පසුව ඔහු ඉදිරියේ සිට ගනී. එවිට ඔහු දකින්නේ ප්‍රශ්නාර්ථයක් හඟවන විකාර මුහුණින් ඔහු දෙස බලා සිටිනා හිට්ලර්වයි. ඉන් හේ භිතියට පත්වෙයි. අහිංසක ළමයෙක් දැකීමට ගිය අපට ඔබ පෙන්වූයේ හිට්ලර්ගේ අවතාරයකි. “අපි ඇත්තටම තිගැස්සුණෙමු” යනුවෙන් කලා විචාරකයන් පවසා තිබිණි. එවිට සිය උපහාසය මුසු ලිපියකින් මොරිසියෝ කැටලෝන් මෙසේ උත්තර දී තිබිණි. ''මගේ කලා කෘතිය නිසා ඔබලා එපමණට බිය වූවා නම් යථාර්ථය කෙතරම් බිහිසුණු විය යුතුද. ඇත්තටම හිට්ලර් යනු මස්, මාළු නොකන ඈතින් බලන විට කුඩා දරුවෙක් වැනි පුද්ගලයෙකි. දැන් අපි දකින්නේ ඔහුව ඉතා ළංවය. හිට්ලර්ගේ අවතාර තවමත් ලෝකය පුරා හොල්මන් කරයි. යමෙක් උග්‍ර ජාතිවාදියකු වෙයිද හේ හිට්ලර්ගේ අවතාරයකි. මම සමාජයට පවසන්නේ හැමවිටම ඔබ ඉදිරියේ කැඩපතක් තබා ගන්නා ලෙසටය ''2016දී ඔහුගේ මේ කලා කෘතිය නිව්යෝක් නුවර Christie's Auction Houseහි පැවති වෙන්දේසියකදී ඇමෙරිකන් ඩොලර් මිලියන 12කට අලෙවි විය. මේ මිනිසා මොන මිනිසෙක්දැයි කිවහොත් ඔහුගේ චරිතය පාදක කරගත් වසරක් මහන්සි වී maura axelrod නිර්මාණය කළ වාර්තා චිත්‍රපටිය බැලීමට ඔහු ගියේ නැත. ඔහු කිසිදා එය නොබලන බවට තමාට විශ්වාස යැයි මවුරා ජනමාධ්‍ය වෙත පවසා තිබිණි.

“ඔහු යථාර්ථය කොටස්වලට කඩලා ඉන් එක කොටසක් නිර්මාණශීලීව දිගුකරනවා අපි වෙතට. ඉතින් අපිට කේන්ති යනවා. නමුත් අපි පසුව යමක් තේරුම් ගන්නවා. සම්මුඛ සාකච්ඡාවක්වත් නෙදෙන මේ මිනිහා පරිකල්පනීය මිනිසෙක්. මම එච්චරයි දන්නෙ.” තවදුරටත් ඇය පවසා තිබිණි.

[උපාලි ජයසිංහ]

මාතෘකා