වැඩිහිටි ජනගහනයෙන් 46%ක් ආබාධිතයි

 ඡායාරූපය:

වැඩිහිටි ජනගහනයෙන් 46%ක් ආබාධිතයි

ආචාර්ය සුජීව වීරසිංහ
ශ්‍රී ලංකා වරලත් භෞත චිකිත්සක
සංගමයේ ජාතික සංවිධායක

ලෝකයේ සෑම පුද්ගලයෙකුම තම ජීවිත වැඩිහිටිභාවයට පත්වීම තුළ විවිධ වූ රෝගාබාධයන්ට ලක් වීම සුලබව දැකිය හැකි කරුණකි. වැඩිහිටිභාවයත් සමඟ පුද්ගලයන් ආබාධිත තත්ත්වයට පත් වන්නේ කෙසේද? එයට විසඳුම් මොනවාද? මේ ඒ පිළිබඳ ශ්‍රී ලංකා වරලත් භෞත චිකිත්සක සංගමයේ ජාතික සංවිධායක, “Physio Life Care” ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සුජීව වීරසිංහ මහතා සමඟ සිදු කළ සංවාදයකි.

 වැඩිහිටිභාවයත් සමඟ වැඩිහිටියන් විවිධ වූ සංකූලතාවන්ට ලක් වෙනවා. මේ සංකූලතා ඇති වෙන්නේ කොහොමද?

වැඩිහිටිභාවයට පත් වෙනකොට පුද්ගලයන් වයසින් වැඩි වෙනවා. එහිදී ශාරීරිකව සහ මානසිකව විවිධ වූ සංකූලතාවන්ට ගොදුරු වීම දැකිය හැකියි. මෙහි විශේෂත්වය වන්නේ, ශාරීරිකව සිදු වන දුර්වලතා මානසික ගැටලුවලට ප්‍රධාන හේතුවක් වීමයි.

ලෝක ජනගහනයෙන් 15%ක් අබාධිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව සනාථ කරන්න පුළුවන්. ලෝක වැඩිහිටි ජනගහනයෙන් 46%ක් ආබාධිතයි. මීට පෙර ආබාධිත තත්ත්වයට පත් වීමට ප්‍රධාන හේතුව වූයේ බෝ නොවන රෝගවලට ගොදුරු වීමයි. නමුත් අද වන විට වැඩිහිටිභාවයට පත් වීම නිසා ඇති වන සංකූලතා බවට පරිවර්තනය වෙලා තිබෙනවා. ශරීරයේ ඉන්ද්‍රියන් සියල්ලම සාපේක්ෂව දුර්වල වීම එයට ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකියි.

 වැඩිහිටියන් ආබාධිත තත්ත්වයට පත් වීමට බලපාන හේතු පැහැදිලි කළොත්?

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය කරුණු කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් ප්‍රධානතම කාරණාව වන්නේ වැඩිහිටියන් ක්‍රියාකාරී නොවීමයි. අභ්‍යාසවල එසේත් නැති නම් ව්‍යායාම්වල නිරන්තරව යොමු නොවීම නිසාත් වැඩිහිටියන් ආබාධිත තත්ත්වයට පත් වෙනවා.

 වැඩිහිටියන් ක්‍රියාකාරී නොවීම නිසා මොනවගේ ආබාධ තත්ත්වයන්ද ඇති වෙන්නෙ?

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි පිරිසක් මිය යන්නේ හෘද රෝග නිසා. හෘද රෝගවලට ගොදුරු වීමත් අංශභාගය, ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ආදිය හේතුවෙන් මරණයට පත් වීම සහ ආබාධිත තත්ත්වයට පත්වීමට ප්‍රධානතම හේතුව ක්‍රියාකාරී නොවීමයි.

 මේ ආබාධිත තත්ත්වයන් වළක්වා ගන්න මොනවගේ පියවරද ගන්න පුළුවන්?

ව්‍යායාම සහ අභ්‍යාසවල නිරත වීම මෙයට ප්‍රධාන විසඳුමක් ලෙස සැලකිය හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව එක් වැඩිහිටියෙක් සතියකට විනාඩි 150ක් සාමාන්‍ය අභ්‍යාසවල එසේත් නැතිනම් රිද්මයානුකූල අභ්‍යාසවල යෙදිය යුතු බව නිර්දේශ කර තිබෙනවා. මෙයට අමතරව සතියකට දෙවරක් හෝ මාංශ පේශීන් ශක්තිමත් කරන අභ්‍යාසවල යෙදීමටද නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම නිර්දේශ කර තිබෙන අනෙක් කාරණාව වන්නේ සතියකට දින තුනක් හෝ සමබරතාව ආරක්ෂා කරන අභ්‍යාසවල නිරත වන ලෙසයි.

 ලෝක සෞඛ්‍ය සංවිධානය එලෙස පෙන්වා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික හැකියාවක් තියෙනවද?

ලෝක ආබාධිත ජනගහනයෙන් 80%ක් වැඩිහිටියන් ජීවත් වන්නේ ඌන සංවර්ධිත රටවල සහ මධ්‍යම මට්ටමේ සංවර්ධිත රටවලයි. මේ නිසා වැඩිහිටියන් ආබාධයට ලක් වීම ලංකාව වැනි රටවලට බොහෝ සේ බලපානවා. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයම මේ වන විට ඔවුන්ගේ නිර්දේශ ලෝකයේ වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුට හෝ නොයන බව පිළිගෙන තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ලංකාවෙ 90%කට හෝ මෙම නිර්දේශ ලැබෙනවා දැයි පැවසීමත් අපහසුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී අභ්‍යන්තර සහ බාහිර හේතු සාධකයන් බලපානවා. අභ්‍යන්තර හේතු සාධක ලෙස ලැජ්ජාව, බිය වැනි මානසික ප්‍රශ්න හේතුවෙන් එළිමහනේ අභ්‍යාසවල යෙදෙන්න බොහෝ වැඩිහිටියන් කැමැත්තක් දක්වන්නේ නැහැ. එමෙන්ම කාලගුණය, අවශ්‍යතා නිසි ලෙස නොලැබීම, කාලය නැතිකම, ශක්තිමත් කිරීමේ අභ්‍යාසවල යෙදීමට අවශ්‍ය ක්‍රීඩාගාර පහසුකම් නැතිකම වැනි බාහිර සාධක ඒ සඳහා බලපානවා.

 මේ සඳහා ඔබ සතුව යම් වැඩපිළිවෙළක් තියෙනවද?

මම ලෝක ආබාධිත සහ පුනරුත්ථාපන සමුළුවේදී මේ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කර සිටියා. එම වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ වඩාත් හොඳින් අධ්‍යනය කර ඉදිරිපත් කරන ලද්දක්. ඒ වැඩිහිටිභාවය නිසා ඇති වන ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කර දී තිබෙනවා.

 මොන වගේ විසඳුම්ද ඔබ ඉදිරිපත් කර තිබෙන්නෙ?

අද වන විට බොහෝ දෙනාට කාලය නොමැතිකම මෙම ආබාධ වළක්වා ගැනීමට ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මෙනිසා ගෙදරදීම කළ හැකි අභ්‍යාස කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. බොහෝ පුද්ගලයන් රූපවාහිනී නැරඹීම සඳහා කාලය කෙසේ හෝ වෙන් කර ගන්නවා. ඒ අවස්ථාවේදී තම ආසනය මතම හිඳිමින් පුද්ගලයාගේ ඉරියව්වලට හානියක් සිදු නොවන ආකාරයෙන් අභ්‍යාසවල නියැළෙමින් රූපවාහිනිය වුවද නැරඹිය හැකි අභ්‍යාස පද්ධතියක් මා ඇතුළු පිරිසක් විසින් හඳුන්වා දෙනු ලැබ තිබෙනවා. ඒ වගේම මම මේ සඳහා PPCR ලෙසින් හැඳින්වෙන මාදිලියක්ද හඳුන්වා දී තිබෙනවා. එහිදී වැඩිහිටියකු බවට පත් වන විට දුර්වල වන්නේ කෙසේද? එසේ දුර්වල වීමට බලපාන සාධක කවරේද? ඒ සාධකවලට පුද්ගලයන් කලින් සූදානම් වන්නේ කෙසේද යන්න අවධානය යොමු කරනවා.

 කුමන අකාරයේ පූර්ව සූදානමක්ද මෙහිදී සිදු වන්නේ?

එයත් අභ්‍යාස මඟින් කෙරෙන සූදානමක්. එහිදී වැඩිහිටිභාවයත් සමඟ කෙනකුගේ පෙණහලුවල දරා ගැනීමේ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා වැඩිහිටිභාවයට පත් වීමට පෙර සිටම පෙණහලුවල ශක්තිමත්භාවය වැඩි කෙරෙන ශ්වසන අභ්‍යාස පුහුණු කිරීම සිදු කරනවා. එසේම මාංශ පේශීන් හි දුර්වල වීමක් සිදු වන්නේ නම් තම ආසනය මත හිඳිමින්ම ශක්තිමත් කිරීමේ අභ්‍යාසවල යොදවනු ලබනවා. විශේෂතම දෙය ලෙස සමතුලිතතාව ආරක්ෂා කරන අභ්‍යාසවල නිරත වීම තුළ සමබරතාව රැකගැනීමට හැකියාව තිබෙනවා.

 ආබාධිත තත්ත්වයට පත් වීම සහ සමතුලිතතාව අතර තිබෙන්නෙ මොන වගේ සම්බන්ධයක්ද?

සමතුලිතතාව ආරක්ෂා කරගැනීමට නොහැකිව ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් සෑම තත්පරයකදීම එක් අයෙක් වැටීමකට ලක් වනවා. වැඩිහිටිභාවයත් සමඟ ඇස් පෙනීම අඩු වීම, සමබරතාව රැකගැනීමට නොහැකිවීම වැනි කරුණු හේතුවෙන් වැඩිහිටියන්ගේ සමතුලිතතාව ආරක්ෂා කරගැනීමේ හැකියාව බොහෝ දුරට අඩු වෙනවා.

මෙයට බලපාන තවත් හේතුවක් වන්නේ උකුල් ඇටය බිඳීමයි. සමතුලිතතාව නැති වූ විට වැටීමට ලක් වීමෙන් උකුල් ඇටය බිඳීමත් අනිවාර්යයෙන් ආබාධිත තත්ත්වයට හේතුවක් බවට පත් වෙනවා. එනිසා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර සිටින්නේ සතියකට දින 03ක් හෝ සමබරතාව ආරක්ෂා කෙරෙන අභ්‍යාසවල නිරත වන ලෙසයි.

මාතෘකා