වැලිමඩින් කුඹුරට බහින ට්‍රැක්ටර් පවුලේ මද්දුමයා

 ඡායාරූපය:

වැලිමඩින් කුඹුරට බහින ට්‍රැක්ටර් පවුලේ මද්දුමයා

 

‘වීල් මාස්ටර්’

 

 

අද අප කතා කරන්නේ පැයට කිලෝමීටර් තුන්සීයක, හාරසීයක වේගයෙන් යා හැකි විදුලි දුම්රිය ගැනය. සියලු පහසුකම් සහිත අති නවීන බස් රථ ගැනය. නැතිනම් සියලු සැප සම්පතින් සම්පූර්ණ මහ මන්දිර වැනි නෞකා ගැනය. එක දිගට සති ගණන් පියාසර කළ හැකි අහස් යානා ගැනය. නමුත් තවමත් අපේ ගැමියන්ගේ හද දිනූ වාහනය අත්ට්‍රැක්ටරය වේ. එය ඉඩම් වාහනයකි. ශ්‍රී ලංකාවේ අපට එම වාහනය විශේෂ වන්නේ එය ශ්‍රී ලාංකිකයකු අතින් නිපදවී ඇති නිසාය. ඔහු ‍රේ. විජේවර්ධන මහතායි. ඔහුගේ අත්ට්‍රැක්ටරය අදටත් අපේ ගමේ දුප්පත් ගොවියාගේ සකලවිධ කාර්යයන් සඳහා යොදා ගන්නා බහුකාර්ය මෙවලමකි.

ගැමි ගොවියා සිය එළවළු මලු පොළේ ගෙනියන්නේ අත්ට්‍රැක්ටරයට ට්‍රේලරයක් සවිකරය. වී, දහයියා, පොහොර ඇදීමට මෙන්ම වළවල් යහමින් ඇති ගමේ පාරේ ගමනක් යන්නටද අත්ට්‍රැක්ටරය කදිමය. අත්ට්‍රැක්ටරය නිසාම ගොවිකමින් ඉදිරියට ආ ඔවුනට නූතන අවශ්‍යතා සපුරා ගැනීමට එය ප්‍රමාණවත් නොවන අවස්ථාද නැත්තේ නොවේ. අතමිට සරුවන විට ගැමියා උත්සාහ කරන්නේ අත් ට්‍රැක්ටරය වෙනුවට මහ ට්‍රැක්ටරයක් මිලදී ගන්නටය.

අත්ට්‍රැක්ටරයට වඩා මහ ට්‍රැක්ටරය වැඩි ප්‍රයෝජනවත් වාහනයකි. රළු ගතිය නිසා අත්ට්‍රැක්ටරයක් හැසිරවීම පහසු නැතත් මහ ට්‍රැක්ටරය ‍එසේ නොවේ. ගොඩ මඩ දෙකටම මහ ට්‍රැක්ටරය උචිතය. එනමුත් මහ ට්‍රැක්ටරයක් මිලදී ගැනීමේ සිහිනයේදී ගොවියා අසරණ වන්නේ එහි අධික මිල නිසාය. දැනට වෙළෙඳපොළේ ඇති මහ ට්‍රැක්ටරයක සාමාන්‍ය මිල ලක්ෂ දහ අටක් පමණ වෙයි. අත්ට්‍රැක්ටරයක සාමාන්‍ය මිල ලක්ෂ හතරහමාරකි. ලක්ෂ හතරහමාරයේ සිට ලක්ෂ දහ අට දක්වා මුදල් පරතරය වැඩිය. මේ අතර මැද මිලකට ගොඩ ඉඩම් වාහනයක් හැදුවොත්? අත්ට්‍රැක්ටරයත් මහ ට්‍රැක්ටරයත් අතර මැදි ඉඩම් වාහනයක් හඳුන්වා දුන්නොත් මේ ප්‍රශ්න සියල්ලම විසඳේවි යන අපූරු අදහස මතු වන්නේ අමල් පියතිලකටය.

අමල් පියතිලක අනුරාධපුරයේ පදිංචි තරු‍ණයෙකි. මුළු රටම දන්නා, අනුරාධපුරයේ දහස් ගණනකට රැකියා ලබා දෙන ‘වීල් මාස්ටර්’ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඔහුය. ඔහු උපන්නේ වැලිමඩය. ඔහු පාසල් අධ්‍යාපනය ලැබුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙනි. ඔහුට ගොවිතැන බොහෝම හුරුය.

“සාම්ප්‍රදායික ගොවිතැන ආරක්ෂා කර ගැනීමට නූතන තාක්ෂණය එයට මුසු කිරීම අත්‍යාවශ්‍යම බව පුංචි කාලේ ඉඳලම මම අ‍වබෝධ කරගත් කරුණක්. ඒ නිසාම කෘෂිකාර්මික උපකරණ නිපැදවීමට මම උත්සාහ කළා. ඇට සිටුවීමේ යන්ත්‍රය හෙවත් ‘ඇට බට්ටා’ එයට එක් උදාහරණයක්. එවැනි නිෂ්පාදනවලට සමගාමීව අත්ට්‍රැක්ටරයත් මහ ට්‍රැක්ටරයත් අතර නව වාහනයක් නිෂ්පාදනය කිරීමට මම පෙළඹුණා. එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ පසුගිය වසරේදී. පසුගිය මාසයේදී එහි නිෂ්පාදන කටයුතු සම්පූර්ණ කළා...” යැයි අමල් පියතිලක පවසයි. ඔහු එම අලුත් ට්‍රැක්ටරයට දෙන නම ‘වීල් මාස්ටර්’ ය.

‘වීල් මාස්ටර්’ වාහනය ගොඩ මඩ වැඩ දෙකටම ප්‍රයෝජනවත් ඉඩම් වාහනයකි. අමල් පියතිලක මේ නව වාහනය නිපදවන්නේ චීනයෙන් ආනයනය කළ අත් ට්‍රැක්ටරයකට නවාංග රැසක් එක් කිරීමෙන්ය. එය අත්ට්‍රැක්ටරයටත් මහ ට්‍රැක්ටරයටත් අතර මැදි ට්‍රැක්ටරයකි. අත් ට්‍රැක්ටරයක නැතිමුත් මහ ට්‍රැක්ටරයක ඇති බොහෝ පහසුකම් මේ වීල් මාස්ටර් ට්‍රැක්ටරයේ ඇත. සාමාන්‍යයෙන් අත්ට්‍රැක්ටරය ගැමියාගේ ගමේ වාහනය වුවත් එහි දුර්වලතා බොහෝය. එයින් ප්‍රධාන කරුණු හතරක් අමල් පියතිලක හඳුනා ගනී.

“අත්ට්‍රැක්ටරයක් පණ ගැන්වීම පහසු දෙයක් නෙමෙයි. අත්ට්‍රැක්ටරය පණ ගැන්වීමේදී වැඩි ශක්තියක් වැයකර අතින් එංජිම කරකැවිය යුතු වෙනවා. ඒ වගේම අත්ට්‍රැක්ටරයක් පැදවීම ලෙහෙසි නැහැ. අත්ට්‍රැක්ටරය පැදවීමට තියෙන්නේ හැඬලයක්. එම හැඬලය හැසිරවීම අපහසුයි වගේම සංකීර්ණ දෙයක්. මේ සංකීර්ණ බව නිසා හැඬලය මැනවින් හසුරුවා ගැනීමට නොහැකිව බොහෝ අනතුරු පවා සිදුව තිබෙනවා. තුන්වැනි කරුණ තමයි අත්ට්‍රැක්ටරයක පැදවීම සඳහා ධාවන බලය ලැබෙන්නේ රෝද දෙකකින් පමණයි. එය මඩ වැඩ කිරීමට අපහසුවක්. අවසාන වශයෙන් අත්ට්‍රැක්රයක ට්‍රේලරයක් තිබුණත් ටිපින් පහසුකම හෙවත් බඩු බෑමේ පහසුකම නැහැ. දැන් අපි වීල් මාස්ටර් ට්‍රැක්ටරය නිපදවීමේදී මේ ප්‍රධාන කරුණු හතර ගැන දැඩි අවධානයක් යොමු කළා....” යැයි අමල් පියතිලක කියන්නේ අත්ට්‍රැක්ටරයේ එම දුර්වලතා මඟ හැරවීමට මහ ට්‍රැක්ටරයේ එම අංග වීල්මාස්ටර් ට්‍රැක්ටරයට එක් කළ බව පැහැදිලි කරමිනි.

වීල් මාස්ටර් ට්‍රැක්ටරය හුරුබුහුටි වාහනයකි. එහි දිග අත්ට්‍රැක්ටරයකට සමාන වේ. පළලත් එසේමය. එහෙත් අත්ට්‍රැක්ටරය මෙන් අතින් කරකවා පණ ගැන්වීම වෙනුවට නව වීල් මාස්ටර් ට්‍රැක්ටරය පණ ගන්වන්නේ විදුලි මෝටරයක ආධාරයෙන් ස්වකීය පණ ගැන්වීමේ ක්‍රමයකිනි. ගැමි වචනයෙන් කියවා නම් යතුරකිනි. පහසුවෙන් හැසිරවිය හැකි බලගැන්නුම් සුක්කානමක්ද (Power steering) ට්‍රේලරය එසැවිය හැකි ටිපර පහසුකමෙන්ද අවශ්‍ය අවස්ථාවලදී රෝද හතරම කැරකැවිය හැකි ෆෝවීල් තාක්ෂණයෙන්ද එම වීල් මාස්ටර් ට්‍රැක්ටරය සන්නද්ධය.

“මේ පහසුකම් එක් කළ වීල් මාස්ටර් ට්‍රැක්ටරය පරීක්ෂණ ධාවනයට එක් කරද්දී අත්ට්‍රැක්ටරයේ ඇති තවත් අඩුපාඩු රැසකට අපට පිළියම් යෙදීමට හැකි වුණා.” යැයිද මෙම තරුණයා විස්තර කරයි. ඔහු සතුටින් දැනුම් දෙන්නේ මේ වන විට වීල් මාස්ටර් ට්‍රැක්ටරයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය හිමිව ඇති බවයි.

මෝටර් රථ දෙපාර්තමේන්තුව වීල් මාස්ටර් ට්‍රැක්ටරය ලියාපදිංචි කර ඇත්තේ ඉඩම් වාහන කාණ්ඩයෙන් වේ. මහ පාරේ ධාවනය වෙද්දී එහි පැටවිය හැකි සහ අනුමත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් දහසකි. නමුත් පරීක්ෂණ ධාවනයේදී කුඹුරේදී සහ ඉඩමේදී කිලෝග්‍රෑම් දෙදහසක බරක් වීල් මාස්ටර් අත්ට්‍රැක්ටරයට සාර්ථකව පටවා තිබේ. ඒ ගැන අදහස් දක්වමින් අමල් පැවසුවේ ඇක්සලය සමබරව තබා ගනිමින් එම බර පැටවිය හැකි බවයි.

දැන් අපි වැදගත්ම ප්‍රශ්නය ඔහුගෙන් ඇසුවෙමු. මේ නව ට්‍රැක්ටරයේ මිල කීයද?

“අපි මේ නව ට්‍රැක්ටරය නිෂ්පාදනය කළේ ආර්ථික කටයුත්තක් ලෙසම සිතා නෙමෙයි. අපිට අවශ්‍ය වුණා අලුත් නිර්මාණයක් කරන්න. ඒ නිසා අපි මේ වීල් මාස්ටර් ට්‍රැක්ටරයට මිල නියම කිරීමේදී වැඩි ලාභයට වඩා මහජන සේවය ගැන සිතුවා. රටට අපෙන් විය යුතු යුතුකම ගැන හිතුවා. ඒ අනුව මේ ට්‍රැක්ටරය ලක්ෂ හතරහමාරකයට අපි මිල නියම කරනවා. සහනදායි ණය ක්‍රමය ය‍ටතේත් අපේ ගැමියන්ට මේ නව ට්‍රැක්ටරය මිලදී ගන්න පුළුවන්...” යැයි ඔහු පැවසීය. ඔහුගේ ප්‍රදර්ශන අලෙවි සැල පිහිටා ඇත්තේ අනුරාධපුරයේය. සියලු විමසීම් 0254651651 දුරකථන අංකයෙන් පුළුවන.

“මේ නව ට්‍රැක්ටරය නිෂ්පාදනය කිරීමේදී මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් කාර්මික අංශයෙන් ලැබුණු සහාය කිසිසේත්ම අමතක කරන්න බැහැ. සහකාර කොමසාරිස් කාර්මික ඒ.ඒ.එස්. ජයවීර මහතාගෙන් ලැබුණු උපදෙස් සහ සහාය විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාත් අමතක කරන්න බැහැ. අපේ රටේ නව නිර්මාණවලට තැනක් තියෙන බවට මගේ නිර්මාණය උදාහරණයක්. දැනටමත් ‍මගේ නව අත්ට්‍රැක්ටරයට ඇණවුම් රැසක් ලැබිලා තියෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් කීවේ මුහුණ පුරා ඉතිරී ගිය නැවුම් සතුටකින්ය.

 

 

[තමීර මංජු]

මාතෘකා