පැටි ලෙහෙනුන්ට තැළූ විසකුරු දෑත....

 ඡායාරූපය:

පැටි ලෙහෙනුන්ට තැළූ විසකුරු දෑත....

 

බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයෙහි විශාකා මහා උපාසිකාව විහාරස්ථානයට පැමිණෙන විට විහාරස්ථානයේ වැඩ සිටින කුඩා සාමනේර හිමිවරුන්ට රසකැවිලි පලතුරු ආදිය රැගෙන පැමිණි බව ඉතිහාස බණ පොත්වල සඳහන්ව තිබේ. එම නිසාම විශාඛා උපාසිකාව පැමිණෙන විට කුඩා සාමණේර හිමිවරුන් ඉදිරියට ගොස් ඉතා සමීපව සිටින බවද එහි කියැවේ. ඇතැම්විට ඒ දරු සෙනෙහස උතුරා යන නියාවෙන් සාමණේර හිමිවරුන්ගේ සිත් සතුටු කරවීමේ අදහසින් ඇය එසේ කරන්නට වූවා විය හැකිය.

සාමණේරවරුන් වුවද ඔවුන් තුළ සිටින්නේ දරුවන්ය. ඔවුන්ගේ මානසික මට්ටම දරුවන්ගේ මානසික මට්ටමට සමානය. බුද්ධ ශාසනයේ චීවරය දැරුවද සාමණේර හිමිවරුන් යනු සියලු ආශා ප්‍රහීන කළ අය නොවේ. ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරුවන්ය. එම නිසා ඔවුන් ළමා මානසික චිත්තවේග සහිත වූවන් ලෙස වැඩිහිටියන් සිතිය යුතුය.

යම්කිසි කුඩා ආහාරයක් නොකියා ලබා ගත්තේ යැයි චෝදනා නඟමින් පුද්ගලයකු කුඩා සාමණේර හිමි දෙනමකට ඉතා අමානුෂික ලෙස පහරදී දඬුවම් කිරීම මොනතරම් නින්දිත ක්‍රියාවක් දැයි එම වීඩියෝව දකිද්දී ඕනෑම අයකුට කම්පනයක් දැනේ.

හොරොව්පතාන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩසිටින සාමණේර හිමිවරු දෙදෙනකුට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයකු අඟහරුවාදා (10) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක් දරු පියෙකු වන චමින්ද ගලගොඩ නොහොත් උටියා නමින් හඳුන්වන පුද්ගලයකු බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සිය නිවස ඉදිරිපිට කුඩා ප්‍රමාණයේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන බවත් පහරකෑමට ලක්වූ හිමිවරුන් වැඩ සිටින විහාරස්ථානය එම වෙළෙඳසැල ආසන්නයේ පිහිටා ඇති බවත් පොලිසිය කියයි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ අවුරුදු 11 සහ 14 වයස් සීමාවන්වල පසුවන සාමණේර හිමිවරුන් දෙනමකි. ඉකුත් 7 වැනිදා දහවල් තම වෙළෙඳසැලට පැමිණි මෙම හිමිවරු දෙනම එහි අලෙවි කිරීමට තිබූ චොකලට් එකක් සහ පැණි බීම අඩංගු අසුරණයක් සොරකම් කළ බවත් එම නිසා මෙම පහරදීම සිදුකළ බවත් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා තිබේ.

කෙසේ වෙතත් සැකකරු අදාළ හිමිවරුන්ට අමානුෂික ලෙස පහර දෙන ආකාරය වෙනත් අයකු විසින් වීඩියෝ කර සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදා හැර ඇති අතර ඒ සම්බන්ධයෙන් විශාල විරෝධතාවක්ද මේ වන විට මතුව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (11) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ සිදු කරති.

සාමණේර හිමිවරුන්ට පහර දීම සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ සැරිසරන වීඩියෝවේ සිටින පුද්ගලයා ලෙස පවසමින් ඔහුගේ රුවට සමාන වෙනත් පුද්ගලයකුගේ ඡායාරූපයක් සමාජජාල තුළ සැරිසරමින් තිබෙන බව පැවසේ. එයද බලවත් වරදක් ලෙස දැක්විය යුතුය. මේ පිළිබඳව අදාළ පුද්ගලයා වීඩියෝ පටයක් මඟින් තමා එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයා නොවන බව පවසයි. කටාර්හි සේවය කරමින් සිටින එම පුද්ගලයා එහිදී පවසන්නේ මෙම සිදුවීම පිළිබඳව තමාව වරදකරුවකු කිරීම තමාට කරන හානියක් ලෙසත් එම සිදුවීම සම්බන්ධයෙන් තමන්ගේ ඡායාරූපය භාවිතා නොකරන ලෙසත්ය.

සාමණේර හිමිවරුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය දානියගම ආනන්ද හිමියන්ගෙන් අප කරුණු විමසීමේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

"සාමණේර හිමිවරුන් දසසිල් සමාදන් වී ඉන්න එක ඇත්ත. එහෙත් මේ උතුම් අරහත් ධජය පොරවාගෙන සිටියත් ඒ අය තාමත් පුංචි දරුවෝ. හැබැයි ඒ හොරකම සිදු කරන්නේ එම සාමණේර හිමිවරුන්ගේ පුංචි සිතුවිලියි. ගිහියන් වන ඔබ එවැනි සිද්ධියක් දුටුවහොත් සිදු කළ යුත්තේ වහාම එම සාමණේර භික්ෂූන් වහන්සේලා භාරව සිටින නායක ස්වාමීන් වහන්සේ හමුවී මේ බව දැනුම් දීම. පසුව ඔහුට සිදුවූ අලාභය ඇත්නම් එය ලබාගැනීම. ඉන්පස්සේ ඒ කුඩා සාමණේර හිමිවරුන් ඉදිරියේදී දැන උගත් කිරීම. එහි වැරැද්ද පිළිබඳව නායක ස්වාමීන් වහන්සේ හරහා අවවාද අනුශාසනා කරවීම. එහෙම නැතිව හිතුමතේ පහර දීම නෙවෙයි.

"කුඩා සාමණේර හිමිවරුන් පමණක් නෙවෙයි, කිසිම කෙනනකුට අයිතියක් නැහැ කුඩා දරුවකුට පහරදෙන්න. ඒ සඳහා ක්‍රමවේදයක් පවතිනවා. රටක නීතියක් පවතිනවා. මානුෂීය පදනමක් තියෙනවා. අපට බෞද්ධයන් හැටියට ආගමික ඉගැන්වීමක් තියෙනවා. ඒ නිසා බුද්ධිමත් ජනතාව මෙවැනි වැඩවලට ගොදුරු නොවිය යුතුයි."

කෙසේ වුවද මෙම පහර දීම සිදු කර ඇත්තේ දරුවන්ටය. දරුවන්ට පහරදීම දණ්ඩ නීති සංග්‍රහයට අනුව වරදකි. එම නිසා වහාම මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක වී වරදකරුට දඬුවම් ලැබිය යුතුය.

මෙම සිදුවීම පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශ ප්‍රධානී ගල්කන්දේ ධම්මානන්ද හිමියන්ගෙන් කරුණු විමසුවෙමු. උන්වහන්සේ පැවසුවේ මෙබඳු අදහසකි.

"දරුවන්ට මොන මට්ටමින් හිංසා කළත් ඒක වරදක්. සාමණේර හිමිවරුන් කියන්නෙ දරුවන්. ඒ නිසා මේ කාරණාව සාමණේර හිමිවරුන්ගේ පාර්ශ්වයෙන් බලනවාට වඩා දරුවන්ගේ පාර්ශ්වයෙන් බලන්න ඕනේ. මම හිතනවා මේ සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය මැදිහත් විය යුතුයි කියලා. මවුපියන් හෝ භාරකරුවකු නොවන වෙනත් පුද්ගලයකු එසේ පහර දෙමින් දඬුවම් දෙන මට්ටමට ආවේ කොහොමද කියන එක ගැටලුවක්. අදාළ පුද්ගලයාට පුළුවන් මේ ආකාරයෙන්ම වෙනත් දරුවෙක්ට වුණත් පහර දෙන්න. ඒ නිසා මේ සඳහා නීතිය සක්‍රියව ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම තමයි මවුපියන් හෝ භාරකාරයෙක්වත් දරුවන්ට එසේ පහර දිය යුතු නැහැ කියන මතයේ මම ඉන්නවා. දරුවන් සමඟ කටයුතු කළ යුතු ආකාරය, ඔවුන්ගේ මානසික මට්ටම, ඔවුන්ගේ චිත්තවේග, ආශාවන් වටහාගෙන මීට වඩා මානුෂික ලෙස වැඩිහිටියන් හැසිරිය යුතුයි."

දරුවකුට පහරදීමකින් වරදකට දඬුවම් ලැබේ යැයි සමාජයේ බොහෝ වැඩිහිටියන් සිතුවාට එමඟින් සිදුවනුයේ දරුවාගේ මානසික ව්‍යාකූලත්වය තවතවත් වැඩි වීමකි. ඔවුන්ගේ චිත්තවේග වැඩිහිටියාට එරෙහිව හැසිරීම මඟින් ඔවුන් පෙර සිටියාට වඩා දරුණු බවට පත් විය හැකි බව මනෝ වෛද්‍යවරුන් මතයි. වරදකට දඬුවම් ලබා දෙනවාට වඩා තමා කළ වරදෙහි බරපතලකම දරුවාට වටහා ගත හැකි ලෙස පහදා දීම වඩා උචිත යැයි මනෝ වෛද්‍යවරු පවසති.

ලංකාවේ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්‍ය ආයතනය වන ළමා ආරක්ෂණ අධිකාරියෙන් මෙම සිදුවීම පිළිබඳව විමසීමට අපි අමතක නොකළෙමු. ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ එච්.එම්. අබේරත්න මහතා පැවසූ අදහස මෙසේය.

"දණ්ඩ නීති සංග්‍රහය අනුව මේ පහරදීම වරදක්. එම නිසා පහර දුන් පුද්ගලයාට එරෙහිව මේ වන විට නීතිය ක්‍රියාත්මක වෙනවා. ළමා ආරක්ෂණ අධිකාරියේ මැදිහත් වීමෙන් මේ සාමණේර හිමිවරුන් වෙනුවෙන් ඉටු වියයුතු කාර්යයක් තියෙනවා නම් එය කරනවා. උදේ සිට හැන්දෑ වෙනකම් බණ අහන රටක මිනිස්සු ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන එක ගැන හිතන්න ඕනේ. මේ සාමණේර හිමිවරුන්ට චීවරයේ පවතින ආරක්ෂාවවත් හිමි වෙලා නැහැ කියලා මේ සිදුවීමෙන් ඔප්පු වෙනවා. සාමණේර හිමිවරුන්ට විතරක් නෙමෙයි දරුවන්ට කිසියම් ආකාරයක හිරිහැරයක්, හිංසාවක් සිදුවෙනවා නම් ඒ වෙනුවෙන් සංවිධානාත්මකව පොදු ජනයා නැඟී සිටිය යුතුයි කියලා මම හිතනවා."

කෙසේ වුවද මෙම සිදුවීම වත්මන් ලාංකේය සමාජයේම එක් පිළිබිඹුවකි. සමාජයේ හැසිරීම්වල හරස්කඩකි. එමඟින් මේ සමාජයේ සමහර වැඩිහිටියන්ගේ මානසික මට්ටම පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකිය. දරුවන් සමාජයේ ඕනෑ තරම් මෙවැනි අවස්ථාවලට මුහුණ දෙනවා විය හැකිය. එහෙත් ඒ සඳහා එරෙහි වීමට කිසිවකු පෙනී නොසිටිති.

ගිරා සංදේශ කවියා තොටගමුව විජයබා පිරිවෙන් වර්ණනාවේ මහා වෘක්ෂයන්ගෙන් බිමට පතිත වෙන ලේන් පැටවුන් සමඟ කෙළිදෙලෙන් කාලය ගත කරන සාමණේර හිමිවරුන් පිළිබඳව පබැඳ ඇත්තේ මෙසේය. එහෙත් වර්තමානයේ සාමණේර හිමිවරුන්ට එවන් සෝබමාන ජීවිතයක් තිබේද යන්න විමසිය යුතුමය.

 

"තුරු යටියෙන් හුණු පැටි ලෙහෙනුන් රැගෙන

සිතු අටියෙන් පිඹ ඇඟ පිරිමැද සෙමෙන

මල ගෙටියෙන් පැන් පොවමින් අතිනතින

සිටි පැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන"

 

 

[නිර්මාණි බණ්ඩාරනායක]

දඹුල්ල [කාංචන කුමාර ආරියදාස]

මාතෘකා