2021දී ප්‍රවාහනය උඩු යටිකුරු කරන හයිපර්ලූප්

 ඡායාරූපය:

2021දී ප්‍රවාහනය උඩු යටිකුරු කරන හයිපර්ලූප්

කම්මැලියන් සහ දුර්වලයන් යන වචන ඇසුණු සැණින් අපට මැවෙන්නේ යහපත් ප්‍රතිරූපයක් නෙවෙයි. නමුත් මිනිස් වර්ගයා තමන්ගේ කම්මැලිකම වගේම දුර්වලකම ජය ගන්න නව තාක්ෂණික සොයා ගැනීම් ඔස්සේ නව නිර්මාණ බිහි කරනවා. ඒක කොයිතරම්ද කියනවනම් දිනෙන් දින පැයෙන් පැය ලෝකය තාක්ෂණය අතින් ඉදිරියට යන වේගය ගැන නිවැරදි තක්සේරුවක් කරන්න තරම්වත් හැකියාවක් අපට නැහැ.

මේ කියන්න යන්නෙත් ඒ වගේම මිනිසාගේ කාර්යයන් පහසු කර ගන්න තාක්ෂණික නව නිපැයුම් ගණනාවක් බිහි කරන්න දායක වුණු ඊලෝන් මස්ක්ගේ (Elon Musk) තාක්ෂණ ව්‍යාපෘතිය ගැන.

පේ පෑල් (PayPal), ටෙස්ලා (Tesla) මෝටර් රථ සමාගම, SpaceX අභ්‍යවකාශ ව්‍යාපෘතිය වගේ දැවැන්ත නව තාක්ෂණික ව්‍යාපෘති ආරම්භ කරපු ඊලෝන් මස්ක්ට වුවමනා වුණා ගමනාගමනයේදී ඇති වේගය සම්බන්ධ බාධක කඩා බිඳ දමලා අතිශයින්ම වේගවත් මගී ප්‍රවාහන මාධ්‍යයක් ඇති කරන්න. දැනට ලෝකයේ භාවිතා වන මෝටර් රථ, දුම්රිය, ගුවන් යානා, නැව් කියන මාධ්‍ය සියල්ලටම බලපාන වේගය ගැන බාධකය කඩන්න වෙනමම මාධ්‍යයක් අලුතෙන් බිහි කරන්න ඔහු හඳුන්වා දුන්න මාධ්‍ය තමයි 'Hyperloop' (හයිපලූප්) තාක්ෂණයෙන් නිර්මාණය වෙන්නේ.

ජර්මන් තාක්ෂණික සහාය යටතේ නිෂ්පාදනය වුණු 'ෂැංග් හයි මැග්ලෙව්' (Shanghai Maglev) දුම්රිය; 2019 වර්ෂය වෙද්දි ලෝකයේ වේගවත්ම දුම්රිය බවට සැලකෙනවා. ඒ දුම්රියේ උපරිම වේගය පැයට කිලෝමීටර් 430ක් පමණ වෙනවා. ශ්‍රී ලංකාව වගේ රටක නම් රටේ එක කෙළවරක ඉඳලා අනෙක් කෙළවරට මේ දුම්රියෙන් යන්න පැයක් වගේ කාලයකින් පුළුවන් වේවි. හැබැයි චීනය, රුසියාව, ඇමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව වගේ දැවැන්ත රටවලට නම් මේ වේගයත් දැන් මදි වෙලා. ඒ වගේම රටවල් අතර ප්‍රවාහනයට යොදාගන්න ගුවන් යානාවල වේගය වුණත් අභිභවා යන්න ක්‍රම, තාක්ෂණික දැවැන්තයෝ හොයමින් ඉන්න කාලයක තමා මස්ක්ගේ මේ ව්‍යාපෘතිය ගැන පර්යේෂණ පටන් ගත්තේ.

යම් වස්තුවකට අපි ත්වරණයක් ලබා දුන්නම ඒ වස්තුව ලබා ගන්න ප්‍රවේගය ත්වරණය නැවතුණාම අඩු වෙලා යන්න මූලික වශයෙන් හේතු දෙකක් බලපානවා. පළමුවැනි හේතුව වායු ප්‍රතිරෝධය. දෙවැනි හේතුව ඒ වස්තුව රැඳී පවතින ස්ථානයේ ඝර්ෂණය. අභ්‍යවකාශයේදී වස්තුවකට බලයක් යෙදුවම ප්‍රවේගය අඩු වෙන්නේ නැත්තේ වායු ප්‍රතිරෝධය සහ ඝර්ෂණය නැති නිසා.

ඊලෝන් මස්ක් කල්පනා කළා; පෘතුවියෙදි විශේෂ රික්තක නළයක් ඇතුළේ නලයේ ස්පර්ශ නොවන විදියට අභ්‍යවකාශයේ විදියටම ප්‍රතිරෝධී බලය අවම කරලා වාහනයක් යැව්වොත් අධික වේගයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා.

ඊලෝන්, තමන්ගේ මේ අදහසේ ක්‍රියාත්මකභාවය පරීක්ෂා කරන්න ලෝකය පුරා ඉන්ජිනේරුවන්ට 2017 වසරේදී අවස්ථාව දුන්නා. ඒ වගේම ඔහුගේ SpaceX ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කරපු ආසන්න වශයෙන් රික්තල නළයක් ඉංජිනේරුවන්ට ලබා දුන්නා. විද්‍යුත් චුම්භක බලයෙන් දුම්රියකට සමාන වාහනය නළයෙන් ඉහළට ඔසවලා සාපේක්ෂව කුඩා මූලික බලයක් යොදවලා පැයට කිලෝමීටර් 520ක වේගයක් ලබා ගන්න ඒ ඉංජිනේරුවන්ට හැකි වුණා.

2017 මැයි මාසයේදී ඇමෙරිකාවේ නෙවාඩා කාන්තාර ප්‍රදේශයේ සම්පූර්ණයෙන් සම ප්‍රමාණයේ නළයක් ඉදි කරලා, දුම්රිය අනුරුවක් වෙනුවට ඇත්තම යානයක් යොදා ගෙන අත්හදා බැලීමක් කරන්න ඉංජිනේරුවන් කටයුතු කළා. ඒ නළය ඇතුළේ වායු පීඩනය මුහුදු මට්ටමේ ඉඳලා අඩි 20,000ක් වෙනකම් අඩු කරපු මේ පිරිසට,

කුඩා මූලික බලයක් යොදවලා ඒ යානයට පැයට කිලෝමීටර 1223ක වේගයක් ලබා දෙන්න පුළුවන් වුණා. හරියටම කිව්වොත් මේ වේගය සාමාන්‍ය පරිසර තත්ත්වයන් යටතේ ශබ්දයේ වේගයට වඩා පැයට කිලෝමීටර් 12ක වගේ ප්‍රමණයකින් තමයි අඩු. ඒ වගේම මෘදුකාංගයක් භාවිත කරලා ඒ යානය ඇතුළේ ඉන්න මගීන්ට නොදැනෙන්න වේගය අඩු වැඩි කරන්නත් ඔවුන්ට හැකියාව ලැබුණා.

මේ සාර්ථකත්වයෙන් පස්සේ ලෝකය පුරා ස්ථාන 10ක් තෝරාගෙන මේ Hyperloop මාර්ග පද්ධති ඉදිකරමින් තියෙනවා. මේ ස්ථාන 10 හරහා කිලෝමීටර 6,000ක පමණ දුරක් ආවරණය වෙන අතරේ මිනිසුන් මිලියන 143කට සේවය සලසන්න හැකියාව තියෙනවා. මේවාගෙන් සමහර පද්ධති 2021 වර්ෂය වෙද්දි පොදු මහජනතාවට පහසුකම් සපයන්න සූදානම් වේවි.

මේ Hyperloop ප්‍රවාහන පද්ධතියක වාසි රාශියක් තියනවා. මේ පද්ධතිය ඉතා අඩු බලයකින් ක්‍රියාත්මක කළ හැකි නිසා සූර්ය බලය වගේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් මේ වෙනුවෙන් යොදාගන්න පුළුවන්. පරිසර දූෂණයද ඉතා අවම මට්ටමක් ඇති කරන්න මේ හරහා පුළුවන්. සුවිශේෂීම වාසිය වෙන්නේ ඉතාම අඩු කාලයකින් ස්ථාන දෙකක් හරහා ගමන් කරන්න පුළුවන් වීම.

කොහොම වුණත් මේ වගේ ප්‍රවාහන මාධ්‍යයක් කොපමණ ආරක්ෂිතද කියන ප්‍රශ්නය කෙනකුට මතු වීම වළක්වන්න බැහැ. මේ නලයේ නිෂ්පාදකයන් පවසන විදිහට මේ නලයට වාතය කාන්දු වීමේ හැකියාව ආසන්න වශයෙන් සියයට 0ක් වෙනවා. ඒ වගේම ගමනක් ආරම්භ කරන්න කලින් සංවේදක මගින් මෙම නළයේ තත්ත්වය පරීක්ෂා කිරීමක්ද කෙරෙනවා. යම් වෙනසක් සිදු වුණොත් මේ යානයේ වේගය ඉක්මනින්ම අඩු කරලා අතිරේක බලයක් යෙදවීමෙන් සාමාන්‍ය වේගයකින් ළඟම පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානයට යානය ගෙනයන්න කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම නළයේ හදිසි පිටවීමේ ස්ථානද සකසා ඇති බව පැවසෙනවා. මේ හේතු නිසා මේ යානයේ ගමන් කිරීමේදී ඇති ආරක්ෂාව, ගුවන් යානයක ගමන් කිරීමේදී ආරක්ෂාවට වඩා වැඩි බවත් මේ ඉංජිනේරුවන් පවසනවා.

2012 වර්ෂයේදී ඊලෝන් මස්ක් විසින් ඉදිරිපත් කරපු මේ සංකල්පය අවුරුදු 10ක් ගතවීමටත් කලින් සැබෑවක් බවට පත් කර ගැනීමට ඔහුට හැකි වෙලා තියනවා. නව තාක්ෂණික සොයා ගැනීම් අතරින් ඉදිරි වසර කිහිපය ඇතුළේ ප්‍රවාහන ක්ෂේත්‍රය උඩු යටිකුරු කරන්න මේ HYperloop තාක්ෂණයට හැකියාව ලැබේවි. ප්‍රවාහනය කියන්නේ පොදුවේ සියලු දෙනාගෙම එදිනෙදා ජීවිතවලට දැවැන්තව බලපාන ක්ෂේත්‍රයක් නිසා තව අවුරුදු දෙකකින් මේ නව පිම්ම අපේ ජීවිතවලටත් බලපාන බව නම් සහතිකයි.

[මංජුල සමරසේකර]

මාතෘකා