කැස්බෑ ලෙයින් ලියැවුණු ඉතිහාසයේ කුරිරු පිටුවක්!

 ඡායාරූපය:

කැස්බෑ ලෙයින් ලියැවුණු ඉතිහාසයේ කුරිරු පිටුවක්!

ඔහු ශ්‍රී ලංකාවේ සිිටින පෙරළිකාරී මිනිසෙකි. විද්‍යාඥයෙකි; පර්යේෂකයෙකි; සර්පයන් හා මකුළුවන් යනාදී බොහෝ සතුන් පිළිබඳ ආචීර්ණ කල්පික මිථ්‍යා මත පුපුරුවා හළ බුද්ධිමතෙකි; උරගයන් සම්බන්ධයෙන් අපට සිටින ප්‍රාමාණික විශේෂඥයා ඔහුය. ශාස්ත්‍රිය ග්‍රන්ථ හා ලිපි 400කට වඩා ලියූ ලේඛකයෙකි; සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙකි. ෙම් සෑම බදාදාවකම දිගහැෙරන ඔහුෙග් ජීවිත කතාවයි.

"මොනාද කන්න ආස? බලලා කියන්න. මෙතන හැමදේම රසයි"

මා සිටියේ අධික කුසගින්නක වුවද හෙළබොජුන්හලෙහි කරාමයකින් බිව් වතුර වීදුරුවෙන් එය මඟහැරිණි. එයද ආහාර වේලක් මෙන්ය. තිබහ කුමක්දැයි යන්න දැන සිටි මුත් එය නිවීම පිළිබඳව හරියාකාරව දැනුවත් වූයේ අදය; එහි ජීවත්වන්නන් පිළිබඳ ප්‍රථම වතාවට සියුම් ඉරිසියාවක් ඇති වූයේ අදය.

අපි කතාව ඇරඹුවේ ආප්ප සහ පොළොස් කට්ලට්වල රස බලමින්ය. එය හැබෑවටම ප්‍රණීතය. උණු උණුවේ ලුණු මිරිස් සමඟ හැපෙන ආප්පවල රස හොඳටම දැනෙන්නේ මෙවන් සීත පරිසරයක සිටිද්දීය. එහෙත් මෙතැන් සිට කියන්නට යන කතාව ඒ පූර්විකාව මෙන් රසවත් නැත.

"කැස්බෑ පොතු කියන්නේ ඒ කාලේ අපේ රටට ආදායම් ලැබුණු මාර්ගයක්. මම කලිනුත් කීවා මතක ඇතිනේ ලංකාවේ කැස්බෑවො ඉන්නවා කියලා පෙන්වන්න තමයි පැරණි කාසිවල කැස්බෑවන්ගේ රූප තිබුණේ. ඒ කාසි හමුවුණෙත් තොටුපොළවල් තිබුණු ප්‍රදේශවලින්. එතකොට ලංකාවේ තොටුපොළවල්වලට බඩු ගන්න එන අය මෙහේ කැස්බෑවෝ ඉන්නවා කියලා දැනගන්නවා. ඒක තමයි උපාය. පොතු කැස්බෑවකුගේ දිග පළල අඩි තුනහමාරක් විතර වෙනවා. ඒ කාලේ ග්‍රාමීය ගෘහ කර්මාන්තයට මේක අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වුණා. කොටින්ම වනජීවී එකෙන් මේක තහනම් කරනකම් කැස්බෑ පොතුවලින් එක එක භාණ්ඩ හැදුවා.

වසර 2500ක සිට හොඳම කැස්බෑ පොතු හදන මිනිසුන් ජීවත්ව ඇත්තේ ලංකාවේය. ඔහු එයට නිදසුන් කිහිපයක් මට පැවසුවේය. ස්ටාර්බෝ නමැති ග්‍රීක ඉතිහාසඥයා පවසා ඇති පරිදි ඉන්දියාවට, ග්‍රීසියට හා රෝමයට කැස්බෑ පොතු යවා ඇත්තේ ලංකාවෙනි. එමෙන්ම ප්ලිනි නම් රෝම ඉතිහාසඥයාද ලංකාවෙහි පොතු කැස්බෑවා පිළිබඳ බොහෝ සටහන් තියා තිබේ. කැස්බෑවන්ගේ පොතු ගැනීම කරන්නේ ඔවුන් මරාදමා යැයි මා සිතා සිටියද ඊට හාත්පසින්ම වෙනස් කතාවක් ඇන්ස්ලම් මහතා මා සමඟ පැවසුවේය.

“කැස්බෑ පොතු ගන්නේ කැස්බෑවා මරලා නෙවෙයි. ඒකට හේතුව මරපු කැස්බෑවකුගේ පොතුවලින් නියම පෙනුම හා පැහැය ලැබෙන්නේ නැති නිසා. කැස්බෑවා පණ පිටින් ඉද්දි තමයි පොතු ගන්නේ. ඒක මහ අමානුෂික වැඩක්. ඌ බිත්තර දාන්න ගොඩබිමට එනවනේ. කැස්බෑ පොතු අලෙවි කරන මුදලාලිලා කරන්නේ මුහුදේ ඉඳලා එන කැස්බෑවන් බිත්තර දාලා ආයෙමත් යද්දි එයාලව අල්ලගන්නවා. ඉන්පස්සේ උන්ව අනිත් පැත්ත හරවලා අරන් ගිහින් කැලේ කූඩාරම්වල තියෙන ලීයක කකුල් දෙකෙන් එල්ලනවා. ඒ ලීයට යටින් ගින්දර දානවා. ඉන්පස්සේ ටිකකින් උන්ව රත්වෙනවා. රත්වෙද්දි එකින් එක කැස්බෑ පොතු ගලවගන්නවා. ගලවගෙන කැස්බෑවා මුහුදට ගෙනිහින් දානවා. ඒක ඒ සතාට දරාගන්න බැරි වේදනාවක්. පණ පිටින් ඇඟට බද්ධ වෙලා තියෙන දෙයක්නේ ගලවන්නේ.”

“මේකට විරුද්ධ වුණේ නැද්ද කවුරුවත්?”

“මිනිස්සු මුලින් ඇත්තටම දන්නේ නැහැ මේ වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා. පස්සේ පරිසර සංවිධාන හොයාගත්තා පණපිටින් මේ සතුන්ට දෙන වද හිංසා ගැන. කොහොමහරි සත්ත්ව හිංසනයට විරුද්ධව එංගලන්තයේ ගියපු ලොකුම උද්ඝෝෂණය වෙන්නෙත් මේ සම්බන්ධයෙන්. ලංකා ආණ්ඩුවට එයාලා බල කළා මේක වහාම නවත්වන්න කියලා.”

ඔහු පවසන පරිද්දෙන් මේ වන විට කැස්බෑ පොතු ජාවාරම සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර අලංකරණයට හෝ තමන්ගේ ප්‍රභූත්වය පෙන්වීම වෙනුවෙන් කැස්බෑ පොතුවලින් සකස් කරන ලද කිසිම භාණ්ඩයක් භාවිතයේ නැත. එහෙත් එතරම් කාලයක් තිස්සේ එම සත්ත්වයන් විඳි වේදනාවන් සිහියට එද්දී මහත් කම්පාවක් දැනේ.

“අපි සමීක්ෂණයක් කළා දැන් අවුරුදු කිහිපයකට කලින් කඩවල්වල මේවා විකුණනවද කියලා. සමහර තැන්වල කැස්බෑ පොතුවලින් හදපු භාණ්ඩ කියලා දේවල් විකුණුවා. ඒත් ඒවා හැබෑ කැස්බෑ පොතුවලින් සකස් කරපුවා නෙවෙයි. ඒවා හොයාගන්න ලේසියි. කැස්බෑ පොතුවලින් සකස් කරපු භාණ්ඩයක් ගින්දරට ඇල්ලුවම ඒක මෙලෙක් වෙනවා විතරයි. හැබැයි ව්‍යාජ එකක් ගින්දරට ඇල්ලුවම ඒක උණුවෙලා යනවා.”

කැස්බෑපොතු කර්මාන්තකරුවන් වැඩි වශයෙන් ජීවත් වී ඇත්තේ ගාල්ල අම්බලන්ගොඩ හා කන්දවත්ත වැනි ප්‍රදේශවලය. ඇන්ස්ලම් මහතා පැවසුවේ ඔහු ඒ නිවෙස්වලට ගොස් ඔවුන් සමඟ කතාබස් කර ඇති බවයි.

“කැස්බෑ පොතු එකතු කර ගත්තට පස්සේ ඒ ටික අරගෙන ‘බෆර්’ කියලා හඳුන්වන මුවහත තියෙන උපකරණයකට දාලා මදිනවා. ඉන් පස්සේ කැස්බෑ පොත්ත ලස්සනට මැදිලා එනවා. ඒත් පුරාණ කාලේ මේ වැඩේ වෙලා තියෙන්නේ දෙල් කොළ හා බූදැලියා වගේ කොළ වර්ගයකින්. ඒ කොළ වැලි කඩදාසි වගේ ඝනයි. මේ කර්මාන්තයේ යෙදිලා ඉන්න අය කැස්බෑ පොතුවලින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න කලින් විශ්වකර්ම දෙවියන්ට පුදපූජා පවත්වනවා. විශ්වකර්ම කියන්නේ ලෝක පාලක දෙවියන්ට රත්‍රන් ආභරණ හදපු කෙනා කියලා එයාලා විශ්වාස කරනවා. ගාල්ලේ හිටියා විශිෂ්ට නිර්මාණ කරපු කර්මාන්තකරුවෝ. කන්දවත්තේ වයි. බී. එල්. සිල්වා, ඇතිලිගොඩ වයි. බී. ඒ. සිල්වා, එම්. ඩබ්. එස්. සිල්වා, කන්දවත්තේ ඒ. බී. ඩී. සිල්වා කියන අය බොහොම ප්‍රසිද්ධ නිර්මාණකරුවෝ. 1950 දශකයේදී එයාලා ජාතික සම්මාන පවා දිනුවා.

මගේ පර්යේෂණයකදී මට හමුවුණා කැස්බෑ පොතුවලින් හදපු ආභරණ වර්ග 70කට වැඩි ගණනක්. මට හමුවුණු පැරණිම නිර්මාණය වුණේ 1947දී කරපු ෂූ හෝර්නර් (සපත්තු අඩි ඇලවීමට ගන්න උපකරණයක්) එකක්. ඒ බොහෝ උපකරණවල VOC ලකුණ තියෙනවා. ඒක ලන්දේසි ලකුණක්. බොහෝ විට මේ උපකරණ භාවිත කළේ තම තමන්ගේ ප්‍රභූත්වය පෙන්වන්න. ඒ නිසා විශාල මුදලකට මේවා අලෙවි වුණා. ඒ නිසා කර්මාන්තය නවත්වන්න කර්මාන්තකරුවෝ කැමති වුණේ නැහැ. ඒත් කැස්බෑවන්ගේ ශීඝ්‍ර වඳවීමක් මේකෙන් සිදු වුණා. ඒකට හේතුව කැස්බෑ පොතු ගන්න අල්ලගන්නේ ගැහැනු සතුන් වීම නිසා. මොකද බිත්තර දාන්න ගොඩට එන සතුන්නේ අල්ලගන්න වෙන්නේ. හොඳම දේ තමයි ප්ලිනී කියන ඉතිහාසඥයා කියලා තියෙනවා සමහර මාළු විකුණන්නන්ගේ ගෙවල්වල උළු වෙනුවට දාලා තියෙන්නේ කැස්බෑ කටුව කියලා. එතකොට හිතාගන්න පුළුවන් නේද මොනතරම් විනාශයක් වෙලාද කියලා?”

ඔහු පැවසූ පරිද්දෙන් පෙරිප්ලස් නමැති ඉතිහාසඥයාගේ සටහනක සඳහන් වන්නේ 2වැනි ශතවර්ෂය වන විට ලංකාවෙහි පොතු කැස්බෑවන් ශීඝ්‍ර ලෙස වඳ වූ බවත් 19 වැනි ශතවර්ෂය වන විට මෙහි සිටින කර්මාන්තකරුවන් මාලදිවයිනෙන් පවා කැස්බෑ පොතු ගෙන්වාගෙන ඇති බවත්ය.

“1843දී බෙනට් සහ 1852දී කෙලාර්ට් කියන පුද්ගලයෝ දෙන්නා මේ කැස්බෑ ව්‍යාපාර ගැන සටහන් එකතු කරනවා. එයාලා කියලා තිබුණා මාලදිවයිනෙන් වගේම මැලේසියාවෙනුත් ලංකාවට කැස්බෑ පොතු ගෙනත් තියෙනවා කියලා. දාර කැස්බෑවා ඇන්ටාක්ටිකාවල ඉඳලා ලොකු පීනුමක් දානවා. එයාලා ලෝකෙ වටේම යනවා. ඒත් අපේ ලංකාවේ වටේ ඉන්න බොහෝ කැස්බෑවෝ එකම ප්‍රදේශයක ඉන්නේ. මොකද එයාලට පුරුදු වුණු කෑම සහ උෂ්ණත්වය නිසා වෙනත් තැනකට යන්නේ නැහැ. එයාලා හුස්ම ගන්නේ පෙණහලුවලින්. ඒ නිසා වතුර නැතිව කීප දවසක් එයාලට ඉන්න පුළුවන්. මාස්ට් හා පිරිස 2006දී ලොකු සංගණනයක් කළා පොතු කැස්බෑවා ගැන. එයාලා හොයාගත්තා මෙයාලා සියයට 95ක්ම වඳවෙලා කියලා. ශ්‍රී ලංකාවෙන් වගේම ඉන්දියාව, මැඩගස්කරය, සීෂෙල්ස් දූපත්වලිනුත් එයාලා වඳවෙන්න ප්‍රධානම හේතුව මේ කැස්බෑ පොතු ජාවාරම.”

අපි ආහාර ගෙන අවසන් වනතුරු ඔහු පැවසුවේ කැස්බෑ ජාවාරම පිළිබඳවය. ඉන්පසු ඒ රමණීය පරිසරයට යෑමට අපි පිටත් වුණෙමු. හන්තානෙහි සුළං මේ තරම් සිසිලසක් ගෙන දෙන බවක් මීට පෙර මා අත්විඳ නොතිබිණි. එයනම් කදිම පාරාදීසයකි. ඔහුට ලබන සතියෙහි විශේෂ නම්බුනාමයක් ලැබෙන බව ඔහු මට පැවසුවේ ඒ අතරමඟදීය. ඒ කුමක්ද යන්න සහ තවත් විස්තර ලබන සතියෙහි කතා කරමු.

අනිවාර්යයෙන් සටහන් කරන්නයැයි ඔහු පැවසූ දෙයක් ලියන්නට අමතක විය. කැස්බෑවුන් ගැන කතාබහ ඔළුව බර කළ නිසා නැවත එය හරිගස්සන්නට ලිපියේ ඉහළට යෑමට නොසිතේ. ඒ කොටස මෙතැනම ලියා තබමි.

“කැස්බෑපොතු නිර්මාණ නැරඹීම සඳහා ඉඩ ලබා දුන් කොළඹ හා ගාල්ල ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ නන්දා වික්‍රමසිංහ මහතාටත්, ගාල්ලෙහි සිටි කැස්බෑ පොතු ව්‍යාපාරික ඒ. බී. ඩබ්. සිල්වා මහතාටත් මම ස්තුති කරනවා කියලා ලියන්න.”

[නදී මානික්කගේ]

මාතෘකා