Smart ද?

 ඡායාරූපය:

Smart ද?

දැන් හැම කෙනෙක් ළඟම smart phone තියෙනවා. මේකෙන් කරන්න බැරි දෙයක් නැති තරම්. ෆෝන් එකෙන් වැඩිපුරම කරන දේ තමයි selfie ගහන එක. සමහරු ෆෝන් ගන්න ගියාම ඉස්සෙල්ලම අහන්නෙත් “මේකෙන් selfie ගන්න ලේසිද?” කියලා. තව ගොඩාක් ගැහැනු ළමයි කණ්ණාඩි වෙනුවට පාවිච්චි කරන්නෙත් smart phone එක. Front camera on කරලා කොණ්ඩේ හදා ගන්න, ලිප්ස්ටික් ගාන අය ඕනෑ තරම් පාරේ දකින්න පුළුවන්.

ඒ කොහොම වුණත් මම ඔබට හිතන්න ප්‍රශ්නයක් අහන්නම්. අතේ තියෙන ෆෝන් එක smart වුණාට මිනිස්සුන්ගේ ජීවිත smart වෙලා තියෙනවද? මිනිස්සු attitudesවලින් smartද? කියන ප්‍රශ්නය මම ඔබගෙන් අහනවා.

අනුන්ගේ දේවල් හොයන, තව එකෙක්ගේ පෞද්ගලිකත්වය හොයලා ආතල් ගන්න තැනක ඉන්නාතුරු අපිට කාටවත් smart වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තම තමන් තනිවම කල්පනා කරන්න බලන්න වටිනා දෙයක්.

මේ සමාජය අනෙකාගේ යට ඇඳුම ගැන හොයන තැනට වැටිලා තියෙන්නේ. ඒත් අතේ තියෙන්නේ smart phones. සිතුවිලිවලින් තාම ගල් ගුහාවල. මිනිස්සුන්ට නිදහසේ ඇඳුමක් අඳින්න බෑ. තමන් කැමති කෙනෙක් කසාද බඳින්න බෑ. කසාද නොබැඳ සහකරුවෙක් හෝ සහකාරියක් එක්ක එකට ජීවත් වෙන්න බෑ. කොටින්ම පාරේ තොටේ බැහැලා යන්න නෑ. smart phones මානාගෙන ඉන්නවා. ඕක හදලා තියෙන්නේ අනෙකාගේ පෞද්ගලිකත්වට බාධා කරන්න නෙවෙයි. තමන්ගේ පහසුවට.

අනුන්ගේ පින්තූර හොරෙන් ගැනීම කොතරම් ශිෂ්ට සම්පන්නද? අනුන්ව හොරෙන් වීඩියෝ කිරීම කොතරම් ශිෂ්ට සම්පන්නද? ඒ විදිහට හොරෙන් පින්තූර හරි වීඩියෝ කිරීම හරි නිවැරදි වෙන්නේ කොහොමද? හරියට ශිෂ්ට සම්පන්න වෙලා නැති සමාජයකට smart phone එක කියන්නේ භයානක ආයුධයක්. හරියට වඳුරට දැලි පිහිය අහු වුණා වගේ. Smart phone එකකින් ජීවිත නැති කරන්න පවා පුළුවන්. ඒ නිසා පරිස්සමින්.

කාලෙකට ඉස්සර පෙර සෞදි අරාබියේ පුදුම වැඩක් වුණා. තමන්ගේ ස්වාමිපුරුෂයා ගෙදර මෙහෙකාරිය එක්ක ලිංගිකව හැසිරුණු අවස්ථාවක් එක කාන්තාවක් හොරෙන් වීඩියෝ කළා. ඒ වීඩියෝ එක අන්තර්ජාලයේ ජනප්‍රිය වුණා. මේ වීඩියෝ එක අරං අධිකරණය හමුවට ගිය අර කාන්තාවට වුණේ මොකක්ද? ඇය වරදකාරිය වුණා. මොකක්ද චෝදනාව? අනවසරයෙන් තවත් පුද්ගලයෙක් වීඩියෝගත කරමින් ඒ පුද්ගලයාගේ නිදහසට බාධා කිරීම.

Smart phones තියෙන්නේ selfie ගන්නයි වීඩියෝ කරන්නයි facebook ගිහින් අනුන්ගේ ඕපදූප හොයන්නයි විතරක් නෙවෙයි. Smart phone එකෙන් internet එකට log වුණා නම් මුළු ලෝකයම තමන්ගේ අතේ තියෙන ඒ පුංචි උපකරණයෙන් දකින්න පුළුවන් කියලා වැටහෙයි. ඒකෙන් මොන තරම් නම් අලුත් දේවල් දකින්න පුළුවන්ද කියලා වැටහෙයි. ජීවිතේ smart කර ගන්න මොන තරම් දැනුම කන්දක් එකතු කර ගන්න පුළුවන්ද කියලා තේරෙයි. තව කෙනකුට කරදරයක් නොවී ජීවත් වෙන්න පුළුවන් වුණොත් අන්න එතැන smartකම තියෙනවා කියලත් තේරුම් ගන්න පුළුවන් වෙයි.

මාතෘකා