එතකොට තාරා ඔයාගේ ළමයෙක් නෙමේ..?

 ඡායාරූපය:

එතකොට තාරා ඔයාගේ ළමයෙක් නෙමේ..?

දිදුලන ඔපයක් නැතත් හෙන්දිරික්කා මල් යාය හැන්දෑවේ සම්ප්‍රාප්තිය නිහඬව කියාපායි. සුළඟේ වියළි බව මැකී යයි. හිරුද මඳින් මඳ නිවී යන බව ඇඟටපතට දැනෙන්නේ කෙමෙන් සිහිලැල් වන ඒ සුළං පොද හේතුකොට ගෙනය.

තුන් වරුවක් ගෙවී යන තෙක්ම මිනිබිරිය පරිස්සම් කර ගැන්ම ලෙහෙසි පහසු කාරියක් නොවීය. තෙල් හා පුළුටු තහංචියෙන් තාරකා මෙන්ම යසෝමැණිකාද හෙම්බත් වූවා නිසැකය.

"තුන් වරුවක් යනකං පරිස්සම් නූණොත් කොරපු සාත්තුවෙන් වැඩක් නෑ බං. අදටත් කාපන්කෝ හොදියි බතුයි. මං හෙට උඹට කටට රහට උයලා දෙන්නන්කෝ වැව් කරවලයි පිදුරු බිම්මලුයි දෙල් වෑන්ජනේකුයි. බඩ පැළෙන්න කන්ඩ බැරුවයෑ."

කෙල්ලට ඒ පොරොන්දුවෙන් සනසන්නට නුපුළුවන. හෙට කොහොම වෙතත් අද දිය හොද්දයි බතුයි ගිල දැමීම මොනතරම් අමාරුද?

බඩසා කොතෙක් ඇතත් බත්පත දුටු කෙනෙහි කෑදරකම දුරින් දුරුව යයි.

"මීට හොඳයි මාරයා එක්ක ගියානං." යි කියන්නට පවා ඇය නොපැකිළුණාය.

"මොනවා...? මොනවා?"

යසෝමැණිකා විමතියද කෝපයද නොඅඩුව පෑවේ මදහසිනි. හඬ උස් වූ තරමට ඇගේ කෝපයේ දිග පළල කොතෙක් දැයි තාරකාට කිරා මැන ගන්නට පිළිවන.

"හොඳටම තරහා ඇවිල්ලා..." යි ඇය කොඳුලේ දෙකන රිදවන තරමට මිත්තණියගේ හඬ උස් වූ බැවිනි.

පූරුවේ ආත්ම හතක්ද ඉදිරි ආත්මයද ගැන ඉතා හොඳින් දන්නා දඹේවටනේ උන්දෑ නම් කියන්නේ කාගම උන්දෑ ගිය ආත්මයේ ඝණ්ටාර පූජා කළ බවය.

"කට ඔච්චර සද්ද ඒකයි. කනට නෑහෙන්න කෙඳිරි ගාන උන් ගිය ආත්මයේ ඝණ්ටාර පූජා කරලා නෑ. කොච්චර ඔට්ටු වුණත් කනට ඇහෙන්න කතා කොරගන්ඩ බැරි ඒකයි." යි පහදා දෙන්නට දඹේවටන උන්දා පැයක් දෙපැයක් වුව ගත කරයි. ඒ සා කාලයක් ඒ හෙළිදරව්වට විඩංගු වන්නේ කමකට නැති කෙල්ලගේ ප්‍රශ්න පත්තරයේ දිග පළල නිසාය.

"එහෙනම් කිරි අම්මේ කෑදැත්තාත් ගිය ආත්මයේ ඝණ්ටාර පූජා කරලාද ඔච්චර හයියෙන් කෑගහන්නේ?"

මේ සා බරසාර කතාවකට පවකින් පෙළන පක්ෂියෙකු ඈඳා ගැනීම පිළිබඳව දඹේවටන උන්දෑගේ කිසිදු මනාපයක් නැත්තේය.

"බල්ලො බුරද්දිත් කන් දෙක රිදෙනවානේ. බල්ලොත් ගිය ආත්මයේ ඝණ්ටාර පූජා කරලාද කිරි අම්මේ?"

දොඩම් ගෙඩි දෙකක් තරමට උස නැති කෙල්ලට රිදෙන්නට පහරක් ගසා පැත්තකට දමන්නට තරම් කෝපය බලවත් වුවද ලොකු මැණිකා ටොක්කකින් සෑහීමකට පත් වෙයි.

"ඌයි..."

තාරකා හිස් මුදුන අතගාමින් වේදනාව විදහාපායි.

"ඔය ඇයිය හුයිය නවත්තපං තාරා.. උඹේ වැඩේම කොච්චරවත් ඇයි මොකද කොහොමද කියලා අහන එකමනේ. අපිත් ඔය පැටි වයසේ හිටියානේ. අනේ අපි කවදාවත් අහලා නෑ ඇයි මොකද කියලා. ඒකට මේකි. ඒකිගේ කටේ තියෙන්නෙම ඇයිය හුයිය තමයි."

උදේ හවස මල් පූජා කරන දඹේවටන උන්දෑගේ ටොක්කත් බැණුමත් කඳුළු වැස්සක් වස්සන්නට සමත් වෙයි. අන්තිමේදී කඳුළුත් හොටුත් උන්දෑගේ චීත්තයේම උල උලා කෙල්ල උන්දෑ එක්කම හුරතල් වෙයි. එහෙත් මේ හැන්දෑවේ එහෙව් එකිය හුරතල් කරන්නට කාගම කිරි අම්මා මනාප නැත.

"තව එක සැරයක් ඔය නම කියනවා මගේ කනට ඇහුණොත් මං උඹේ කට පුච්චනවා තාරා ගිනිපෙලෙල්ලක් ඇන්න..." යි උන්දෑ බිහිසුණු ලෙස තර්ජනය කළාය.

"කෝ... කොයි නමද?"

මුන්දෑ මේ සා කුපිත කරවන්නට තරම් භයානක නම සිහි කර ගන්න අපොහොසත් වූ කෙල්ල තතනමින් වුව ඇසුවාය.

"ඇයි දැන් උඹ කිව්වේ. කොයි වෙලාවෙත් මතක් කොරන්ඩම වටිනා නමක්නේ ඒක. රෑ දවල් නැතුව උබ ඒකම මතුරනවා. මට අප්පිරියා වෙලා තියෙන්නේ ඕං."

"ම මැතිරුවේ නෑනේ කිරි අම්මේ."

මැතිරිල්ලක් ගැන කියූ හැටියේ තාරකා උඩ පැන්නාය.

"දළ කඩියෙක්වත් කෑවාද?"

යසෝමැණිකා කෙල්ලගේ තට්ටම ගැන කරදර වූවාය. ඕනෑම එකියක ඔයාකාර උඩ පනින්නේ දළ කඩියකු තට්ටම සපා කෑ කල බව ඇය සිතයි. ඒ කුඩා කට්ට කළු කඩියා සපා කෑ විට දැවිල්ල ඉවසා ගත නොහැක. උඩ පනින්නට නොව, හිස හැරුණු අත දිව යන්නට පවා පිළිවන.

"ඔව්. ඔව්. නෑ. නෑ...." යි කී කෙල්ල මිදුලට පැන්නාය. ඉනික්බිති සුළඟේ පාව යන වරා මලක් මෙන් ඈතට ඈතට පාව ගියාය.

"තාරා.. තාරා.. ළමයෝ කොහෙද දුවන්නේ?"

යසෝමැණිකා බෙරිහන් දුන්නද පළක් නොවීය.

"මටත් පුළුවනැයි ඒකි පස්සෙ යන්න. කඟවේනා වගේ ඒකි දිව්වාට මං කොහෙ දුවන්නද වාත කැක්කුම් කෙළවරක් නෑ...." යි මැසිවිලි නඟමින් ඇය හිත හදා ගත්තාය.

"කළු පුතාට පණිවිඩයක් යවන්ඩ ඕනෑ මේකි එක්කාන යන්ඩ කියලා. අනේ අප්පේ මට බැරුවා මේකි එක්ක ඔට්ටු වෙන්න. කියන දේ අහන එකියක් නම් බැරියයි."

ඒ සිතිවිල්ල ඇයට සහනයක්ම විය. එහෙත් කෙල්ලට සහනයක් දැනුණේ කළු කොල්ලා දැක ගැනීමෙන් පසුවය. ඔහු ඒ ත්‍රිකෝණාකාර බිම්කඩ මධ්‍යයෙහි දිවුල් ගහ මුල හිඳගෙන සිටියේය.

හීන් සුළඟේ නැළැවෙමින් සර සර ගාන ගොයම දැක දැක උසට උසේ හිටගෙන ඉන්න දිවුල් ගහ මනමාලියකට වඩා ලස්සනය. ගමක කොලු කෙල්ලන්ට ඇති තරම් කන්නට බොන්නට ගෙඩි දරන දිවුල් ගහ මනාලියකට වඩා ආඩම්බර පාටය. කෙල්ල දුටු හැටියේ කොල්ලා නැඟී සිටියේය. දිවුල් ගහක් යට හිඳගෙන හිඳීම පොල් ගහක් යට හිඳ ගැනීම තරම් මාරාන්තික නොවූවද අනුවණකමකි. නොහික්මුණු සුළඟ කිනම් මොහොතක ගෙඩියක් නටුවෙන් ඇඳ බිම හෙළනු ඇත්දැයි කිව නොහැකි බැවිනි. අනෙක් අතට කදිමට ඉදී ඇති නම් ගෙඩියකට බිම පතිත වන්නට කවර උපකාරයක් හෝ වුවමනා නොවේ. ඉඳුණු ගෙඩියේ බරින් නිදහස් වීමට දිවුල් ගස වගබලා ගනී. එය කවරකු හෝ පළා නොකන්නේ නම් ඇතුළත රසවත් මදය පිටතට නොගත්තේ නම් පැවැත්ම සීමා වන බව දන්නවා මෙනි. දිවුල් ගහේ ප්‍රාර්ථනය තවත් දිවුල් ගහක් මිස අනෙකක් නොවේ.

සූරතිස්ස දිවුල් ගෙඩි දෙකක් දිගු කළේ එල්ලා ගත් මුහුණෙනි.

"මට අමතක වුණා."

දිවුල් අහුලන්නට එන බවට දුන් පොරොන්දුව තාරකාට මතක තිබුණා නම් තමා පුදුම. අමතක වීම ඇගේ ලොකුම දුර්වලකම බව කියන්නේ ඇගේම ආදරබර තාත්තාය.

“කොච්චි පැළ ටිකට වතුර දැම්මද?”

කොච්චි පැළ පමණක් නොව තිබ්බටු හා කෙසෙල් පැළ ගොන්නක්ද තාරකාට හිමිය. ඇගේ එළවළු කොරටුවට සාත්තු සප්පයාම් කළ යුත්තේ ඇයමය. රෝගී තත්ත්වයක් හටගත් විට අත් බෙහෙත් කරන්නටද ඇය දනියි. අළු දිය කොට ඉසින්නට, දාස්පෙතියා වටා හානිකර කෘමීන්ගෙන් වගාව බේරා ගන්නට ඇයට කියා දුන්නේ ජයසුන්දරය.

“අකුරක්, ඉලක්කමක් ඉගෙන ගන්ඩ කිසි උවමනාවක් නැති එකේ කැත්තේ උදැල්ලේ වැඩපල පුරුදු කරන එක හොඳයි.” තිලකා කියන්නේ අවඥාවෙන් මුව කොන ඇද කරමිනි.

“පොතේ පතේ වැඩ වගේම අනිත් වැඩත් ළමයි ඉගෙනගන්ඩ ඕනෑ. ඔය බතක් හොද්දක් ලිප තියා ගන්ඩත් ටිකක් කියා දෙන්ඩ වෙලාවක ළමයට”

“අප්පේ...පොල් ගෙඩියක් ගාවා ගන්ඩත් නව වැඳුං වඳින්ඩෝනෑ... මේ කියන දේ මේ මතක නෑ. පොල් බෑය හිරමනේ. ළමයා නෑ අහල ගං හතක. බැලින්නං කුරුල්ලෙක්, කූඹියෙක් පස්සේ වැටීගෙන.”

අමතක වීම කියන කාරණාවේදී නම් තාත්තා අම්මා සමඟ එකඟ වෙයි.

“රටේ තියෙන තරමක් මනස්ගාතවලින් ඔලුගෙඩිය පිරිලා. ඉතිං අමතක වෙන එක අහන්ඩත් දෙයක්ද?” යි හේතු කාරණාද ඔහුම ගෙනහැර පායි.

“තමුන්නේ වයසේ ළමයෙක් එක්ක ආස්සරයක් ඇත්තෙම නෑනේ. නාකි ගෑනුයි මිනිස්සුයි එක්කනේ කොච්චරවත් කතා බතාව..” යි සිතමින් ඔහු පසුතැවෙයි. ඒ කාරණයේදී නම් ඔහු දෝෂාරෝපණය කරන්නේ බිරින්දෑටය.

“ඔයා තාරාට ඔය ළමයි දෙන්නා ළඟට කිට්ටු වෙන්ඩවත් දෙන්නේ නෑනේ. ඒ ළමයි එක්ක එකට වැටීගෙන ඉන්නවා නං තාරා ඔය නාකි ගෑනු මිනිස්සු පස්සේ වැටීගෙන යන එකක් නෑ.”

“අනේ මේ පිං සිද්ධ වෙයි, මට මගේ ළමයි දෙන්නා මට ඕන විදිහට හදාගන්ඩ දෙන්ඩ..”

“එතකොට තාරා ඔයාගේ ළමයෙක් නෙමේ....?”

“මයේ ළමයෙක් කියලා මට දැනෙන්නේ නෑ ජයේ. ඒ ළමයා බඩට ආදා ඉඳන් මම වින්ඳේ ලේසි දුකක් නෙමේ. නැති කර ගන්නේ කොහොමද කියලා හිතුවා මිසක ආදරෙන් හිතුවේ නෑ කිසිම වෙලාවක. නැති කර ගන්ඩ කියලත් මොනවද මම නොකෙරුවේ..? මොන තරං දේවල් කෑවද බීවද..වෛරක්කාරියක් වගේ එල්ලිලාම හිටියා මට වද දිදී..”

අවිවාහක තරුණියක ගැබ් ගැනීම මහා අපරාධයක් සේ සලකන වටපිටාවක ඒ ගැබට හේතු පාදක වූ පිරිමියාට දඬුවමක් නැත්තේ මන්දැයි ඔහු කකියන හදවතින් කල්පනා කළේය. පෙම්වතිය හැර දමා පළා යන්නට තැත් කළ පෙම්වතාට වෛර කරනවා වෙනුවට කලලයට වෛර කිරීම වටහා ගන්නට ඔහු යත්න දැරුවේය.

මතු සම්බන්ධයි

 

මාතෘකා