කිතුලට පණ දෙන විසිතුරු නිමැවුම්

 ඡායාරූපය:

කිතුලට පණ දෙන විසිතුරු නිමැවුම්

ලංකාව යනු ස්වභාවිකත්වයෙන් අනූන සෞන්දර්යවත් වටපිටාවකින් හෙබි දූපතකි. එහෙයින් මෙරටට සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයක් හිමි වේ. ස්වභාවික පරිසරය ඒ ලෙසම ආරක්ෂා කර ගැනීමට වෑයම් කරන අතරේම ස්වභාවිකත්වය තුළින් නව නිර්මාණකරණය සඳහාද මෙරට වැසියන් වැඩි උනන්දුවක් දක්වයි. ඒ අතරින් ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රයෙන් කරන නිර්මාණවලට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. පරිසරයට හානි නොකර පරිසරයෙන් ලබා ගන්නා අමුද්‍රව්‍යවලින් අලංකාර නිර්මාණ රැසක් මේ වන විට වෙළෙඳපොළෙහි දකින්නට ඇත. ඒ අතරින් කිතුල් ලීයෙන් විවිධ විචිත්‍ර නිර්මාණ කරන තරුණයකු අපට මුණගැසුණි. ඔහු නමින්

කේ.ජී. නදීර රේණුක ය. ඔහු කිතුල් ලීය ආශ්‍රයෙන් විසිතුරු නිර්මාණ සේම නිවසට අවශ්‍ය අනෙකුත් ගෘහ උපකරණ නිර්මාණය කරයි. "අරටුව අත්කම්" නම් වූ ඔහුගේ ආයතනයෙන් මේ වන විට කිතුල් ලීය ආශ්‍රයෙන් කළ අලංකාර නිෂ්පාදන රැසක් නිර්මණය වෙමින් පවතී. මේ ඒ පිළිබඳව නදීර සමඟ අපි කතාබහ කළෙමු.

 කිතුල් ගසෙන් මොනවද මේ කරන විසිතුරු නිර්මාණ?

මේ නිර්මාණ කරන්නේ කිතුල් ගහේ අරටුව කොටසෙන්. ඕනෑම භාණ්ඩයක් අපි නිර්මාණය කරනවා. මුළුතැන්ගෙයි සිට විසිත්ත කාමරය දක්වාද ඉන් නොනැවතී ආලින්දය දක්වා සියලුම භාණ්ඩ අපි කිතුල් ගසේ අරටුවෙන් නිර්මාණය කරනවා. හැන්දේ සිට බුලත් හෙප්පුව දක්වා අපි නිර්මාණ කරනවා. විසිතුරු භාණ්ඩ, මුළුතැන්ගෙයි බහාලන, ලාම්පු ආවරණ ආදී නොයෙක් උපාංග වගේම බිමට අල්ලන ටයිල් පවා අපි කිතුල් ලීයෙන් නිර්මාණය කරනවා. මුළු ගෙදරක්ම කිතුල් ලීයෙන් නිර්මාණය කරන්න පුළුවන්.

 මේ නිර්මාණ කරන්න පටන්ගත්තේ කොහොමද?

මේ නිර්මාණ කරන්න පටන්ගත්තේ මගේ තාත්තා. එයාගේ නම කේ.ජී. සෝමචන්ද්‍ර. මීට වසර 30කට පමණ කලින් මගේ තාත්තා කළේ ලාක්ෂා කර්මාන්තය. මේ අතරවාරයේ මීට වසර 12කට කලින් අත්හදා බැලීමක් ලෙස තාත්තා කිතුල් ලීයෙන් ආභරණ පෙට්ටියක් නිර්මාණය කළා. ඒ නිෂ්පාදනයේ කිතුල් ලීයේ ස්වභාවික ගතිය ඒ විදිහටම රැකිලා තිබුණා. ඒ නිෂ්පාදනවලට හිතුවාට වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා ලාක්ෂා කරන එක නතර කරලා කිතුල් ලීයෙන් නිර්මාණ කරන්න පටන්ගත්තා. මමත් පාසල් කාලය අවසන් වුණාම තාත්තාට සහයෝගය දෙන්න මේ කර්මාන්තයට සම්බන්ධ වුණා. අලුත් නිර්මාණ අත්හදා බැලුවා. කෝප්ප, හැඳි, ගෑරුප්පු මගේ අත්හදා බැලීම්වල ප්‍රතිඵල. ඒ නිෂ්පාදන සඳහා ඉල්ලුම තව තවත් වැඩි වුණා. අලුත් නිර්මාණ අත්හදා බලන්න කාලය මදි මේ නිෂ්පාදනවලට තියෙන ඉල්ලුම නිසා. ඊට අමතරව දැන් අපි කිතුල් ලීයෙන් කරන නිර්මාණ සඳහා පොල් කටු භාවිත කරනවා. මගේ පවුලේ සාමාජිකයන්ට අමතරව තවත් පවුල් දෙකක් දැනට මේ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්නවා.

 නිර්මාණ කරන්න කිතුල් ලීය සකස් කර ගන්නේ කොහොමද?

මුලින්ම කිතුල් ලීය කුට්ටි කර ගන්නවා. ඉන්පසුව ලීය පදම් කර ගන්න ඕනේ. වතුරේ දාලා ලීය පදම් කර ගන්නේ. එතකොට ලීයේ ශක්තිමත් බව වැඩි වෙනවා. පසුව අපි නිර්මාණ සඳහා අවශ්‍ය ප්‍රමාණයට කෑලි වෙන් කර ගන්නවා. ලීය වේළලා අපිට අවශ්‍ය නිර්මාණය කර ගන්නේ ඉන් පසුවයි.

 කිතුල් ලී භාවිතය නිසා පරිසර හානියක් වෙන්නේ නැද්ද?

කිතුල් ලී ගන්න ගහක් කැපුවාම ඉන් කිසිම පරිසර හානියක් වෙන්නේ නැහැ. කිතුල් ගහ ඉපදිලා වසර 25ක් විතර පරණ වුණාම ගහේ මල් පීදෙන්න ගන්නවා. මල් පීදිලා අවසාන මලත් පීදුණාම කියනවා "ගහ මැරෙන්න කාලේ හරි." කියලා. අපි මේ නිර්මාණවලට ගන්නේ කිතුල් අරටුව. අරටුව නියමාකාරයට හැදෙන්නෙ ගහ මැරෙන්න ආසන්න වුණාම. ඉන්පසුව තමයි අපි කිතුල් ගස් කපන්නේ. ඒ නිසා ඉන් පරිසරයට වෙන හානිය අවමයි. ඒ වගේම අපි මේකෙන් පරිසරයට දෙයක් එකතු කරනවා. අපි කිතුල් ගහක් කැපුවොත් තවත් කිතුල් ගහක් හදනවා. "කිතුලට කිතුලක්" කියලා ඒ වැඩපිළිවෙළ නම් කරලා තියෙන්නේ. මාතලේ රත්තොට ප්‍රාදේශීය ලේකම්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා රජයට අයත් කැලෑ ඉඩමක කිතුල් ගස් හිටවන්න.

 මේ නිර්මාණවල පවතින විශේෂත්වය ගැන කතා කළොත්?

මේ නිර්මාණ කරන්නේ යන්ත්‍රවලින් නෙමෙයි අතින්. එක වගේ නිර්මාණ 100ක් ගත්තත් ඒ නිර්මාණ එක එක විදිහයි. අතින් කරන නිසා හැම නිර්මාණයක්ම එකිනෙකට වෙනස්. ඒ නිසා මේ හදන එක නිර්මාණයක් ලෝකෙටම එකයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ නිර්මාණවල පෞරාණික පාටක් තියෙනවා. ස්වභාවිකවම මේ ලීයේ කලාත්මක බවක් තියෙනවා. ඒ නිසා මේ නිර්මාණ කලාත්මකයි. ඒ වගේම වෙනත් ලීයකට වැඩිය කිතුල් ලීයේ කල්පැවැත්ම වැඩියි. ඒ නිසා මේ නිර්මාණත් දිගු කාලයක් පවතිනවා.

 කිතුල් ලීයෙන් කරන මේ නිෂ්පාදනවල ආකෘතිය සහ මෝස්තර නිර්මාණය කරන්නේ කවුද?

මගේ තාත්තා තවමත් මේ කර්මාන්තය කරනවා. එයා අලුත් නිර්මාණ අත්හදා බලනවා. ඊට අමතරව මම දැන් කාලෙට ගැළපෙන අලුත් අත්හදා බැලීම් කරනවා. අලුත් සංයෝජන කරනවා. එහෙම කරපු සංයෝජනයක් තමයි කිතුල් ලීයෙන් කරන නිර්මාණ සඳහා පොල්කටු එකතු කර ගැනීම. ඒ වර්ණ දෙකත් හොඳින් ගැලපෙන නිසා අපේ උත්සාහයන් සාර්ථක වෙලා තියෙනවා.

 කොහොමද මේ නිර්මාණ සඳහා ලැබෙන පාරිභෝගික ප්‍රතිචාර?

ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉල්ලුම අනුව සැපයුම කරන්න නොහැකි තත්ත්වයක් දැන් තියෙන්නේ. අපේ නිෂ්පාදන තවමත් එක් රාමුවක සීමිත සංඛ්‍යාවක් පවතින්නේ. ඒකට හේතුව නිෂ්පාදන ඉල්ලන තරමට ලබා දෙන්න අමාරු වීම. මේ නිර්මාණවලට සංචාරක ආකර්ෂණය වැඩියි. ඒ නිසා හෝටල්වලින් මේ නිර්මාණවලට ඉල්ලුම වැඩියි.

 ලංකාවේ ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රයෙන් කරන මේ වගේ නිර්මාණ ගැන පොදුවේ කතා කළොත්?

ලංකාවේ මේ වගේ නිෂ්පාදන ගොඩාක් කරනවා. පන්වලින්, උණ බටවලින්, බඩ ඉරිඟු පොතුවලින්, පොල් කටු ආදී දේශීය දේවල්වලින් නිර්මාණශීලී දේවල් කරන මිනිස්සු ඉන්නවා. ඒ සඳහා හොඳ වෙළෙඳපොළක් ලංකාවේ හැදිලා තියෙනවා. පරිසර හිතකාමී නිර්මාණාත්මක නිෂ්පාදන වෙළඳපොළට එනවා වගේම ලංකාවේ මිනිස්සුන්ගේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා. දැන් පාරිභෝගිකයන් ප්ලාස්ටික් භාවිතයෙන් තොර වෙලා මේ වගේ නිෂ්පාදනවලට ආකර්ෂණය වෙන්න පටන් අරගෙන තියෙනවා.

 තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකයේ යන්ත්‍රානුසාරයෙන්, පහසුවෙන් වෙනත් අමුද්‍රව්‍ය භාවිතයෙන් මේ නිෂ්පාදන කරද්දී මේ වගේ නිර්මාණවලට වෙළෙඳපොළ හදා ගන්නේ කොහොමද?

දැන් මිනිස්සු ප්ලාස්ටික් භාවිතය අවම කරලා තියෙන්නේ. ගොඩක් අය සෞඛ්‍යාරක්ෂිත බව ගැන හිතනවා. ඒ නිසා මේ වගේ දේශීය නිෂ්පාදනවලට පාරිභෝගිකයා ආකර්ෂණය වෙන බවක් පේනවා. ඒ නිසා හොඳ වෙ‍ෙළඳපොළකුත් හැදිලා තියෙනවා. ඒ වගේම මේ නිෂ්පාදනවලට යන වියදම සහ ව්‍යාපාරය සඳහා සුළු ලාභයක් තියාගෙන අපි මේ භාණ්ඩවල මිල නියම කරන්නේ. ලංකාවේ තියෙන වෙ‍ෙළඳපොළත් එක්ක 50%ක්ම තාමත් නිෂ්පාදනවලට හුරු වෙලා නැහැ. ඒත් මේ නිෂ්පාදනවලට කැමති 50% මිල අධික නිසා මේවාට නැඹුරු වෙන්නේ නැහැ. ඒත් අපි මිල අඩු කරලා පාරිභෝගිකයාට දරාගත හැකි සාධාරණ මිලකට මේ නිෂ්පාදන අලෙවි කරනවා.

 මේ කර්මාන්තය සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික අංශවලින් සහයෝගය ලැබිලා තියෙනවද?

ලක්සල හරහා තමයි අපි මේ භාණ්ඩ විකුණන්නේ. ලක්සලෙන් සාධාරණ මිලකට මේ භාණ්ඩ මිලදී ගන්නවා. ඒ වගේම British Council ආයතනය හරහා අපිට විශාල දැනුමක් ලැබුණා ව්‍යවසායකයෙක් සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන. ඉදිරියේදී අපිට මූල්‍යාධාරත් ලැබීමට නියමිතයි.

මේ නිෂ්පාදන කරන විට පැන නඟින ගැටලු මොනවද?

දැනට නම් අමුද්‍රව්‍ය ගැටලුවක් නැහැ. නමුත් සේවක ගැටලුවක් තියෙනවා. මේ නිෂ්පාදන කරන්න සේවකයන් පුහුණු කර ගැනීමේ අපහසුතාවක් තියෙනවා. මේ කර්මාන්තයේදී පවතින ප්‍රධාන ගැටලුව තමයි මේ වගේ නිෂ්පාදන වෙනත් රටවලින් ආනයනය කරලා අඩු මිලට දැන් ලංකාවේ වෙළෙඳපොළේ තියෙනවා. විදේශ රටවල මේ නිෂ්පාදන කරන්නේ යන්ත්‍රානුසාරයෙන්. නමුත් අපි මේ නිෂ්පාදන කරන්නේ අතින්. විදේශයන්ගෙන් මේ නිෂ්පාදන ආනයනය කිරීම තමයි තියෙන ලොකුම ගැටලුව. මේ කර්මාන්තයට විතරක් නෙමෙයි අනෙක් කර්මාන්තවලටත් මේ ගැටලුව තියෙනවා.

 ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

ඉදිරියේදී මම මේ ආයතනයේ සේවක පිරිස වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට ඉල්ලුමට අනුව භාණ්ඩ සපයන්න පුළුවන්. ඒ වගේම පින්නවල අලි අනාථාගාරයේ දවසකට කිතුල් ගස් 15ක් විතර දිනපතා කපනවා අලින්ට. හැමදාම කඳ කපලා ඔවුන් අරටුව ඉතිරි කරනවා. මේ නිෂ්පාදන සඳහා මම ඒ අරටුව ඉදිරියේදී ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කාන්තාවන්ට නිවසේදීම කිතුල් ලීයෙන් කරන්න පුළුවන් නිර්මාණ හඳුන්වා දීලා මේ ආයතනය හරහා රැකියා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

 

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා