යුක්තිය, අරගලය සහ ප්‍රේමය

 ඡායාරූපය:

යුක්තිය, අරගලය සහ ප්‍රේමය

එරත්න මුළු ගමම එක හඬින් පොලිසිය උසාවිය හා එක්ව සිදු කළ සාහසික ක්‍රියාවට විරුද්ධව පෙළ ගැසුණි. තීන්දුව දුන් නඩුකාරවරයා යනු නීතිය වෙනුවෙන් සාමය වෙනුවෙන් පෙනී සිටින තැනැත්තාය යන්න මුළු ගමටම බොරු වී හමාරය. විනිසුරුවරයා පොලීසිය කියන වචනය ඉහ මුදුනින් පිළිගන්නා අයකු බවට පත් ව තිබුණි. කළ හැක්කේ ඇපෑලක් දැමීමය. මුළු ගමම ඒ වෙනුවෙන් එකතු විය.

එකල කොල්වින් ආර්. ද සිල්වා යනු ඉතාම කීර්තිමත් නීතිඥවරයෙකි. එකල ඔහු ඉදිරිපත් වන නඩුවලදී නඩුකාරයන්ට නීතිය මතක් කරදෙන්නේද ඔහුය. ඔහු ඉදිරිපත් කළ තර්කවලට නඩුකාරයන් ගොලු වූ බවට ප්‍රචලිතය. ගම්මු ඔහු සොයා ගියහ. එකල ඔහු නඩුවකට ඉදිරිපත් වීම සඳහා අය කළ මුදල කිසිසේත් ම අඩු නො කිරීම ඔහුගේ ප්‍රතිපත්තිය විය. ඔහු නඩුවක් කතා කිරීමට රුපියල් තුන්දාහක් අය කරනු ලැබීය. ගම්මුන් සිදුව ඇති අසාධාරණය කොතෙක් පැවසුවද නීතිඥවරයා පවසා ඇත්තේ නොතාරිස් කෙනකු පවුලේ සිටිද්දී මුදල් ප්‍රශ්නයක් නො විය හැකි බවය. ගම්මුන් අදාළ මුදල ගෙවිය යුතුය. එම මුදල අදට සාපේක්ෂ ව බැලුව හොත් එය රුපියල් ලක්ෂ තිහ හතළිහක තරම් ප්‍රමාණයකි. අදාළ ඥාති නොතාරිස්වරයා මඟ හැරීය. ගැමියන් සතුව තිබූ කනකර ආභරණ උකස් කිරීමට හෝ විකුණා මුදල් සොයා ගැනීමට ඔවුන් උත්සුක වූයේ අජීවී වස්තුවලට වඩා මෙම සිද්ධවෙන්නට යන මහා අපරාධය නවතා ජීවිත හයක් බේරා ගැනීම වටිනා මහඟු පුණ්‍ය කර්මයක් නිසාවෙනි. ගම්මු එකා මෙන් එම මුදල සොයා නීතිඥවරයාට ලබා දුන්හ. නඩුව නැවත ඇසීමට තීන්දු විය. ප්‍රථමයෙන් ලබාදුන් තීන්දුව අවලංගු කෙරුණි. නඩුව අවිස්සාවේල්ල උසාවියෙන් කොළඹ අලුත්කඩේ මහාධිකරණයට යැවිණි. කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ රාජකාරිය එතැනින් අවසන් විය.

නඩුව එක දිගට දින දහයක් මහාධිකරණයේ විභාග කෙරුණි. උසාවියේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරුවන්ගේ සියලු ප්‍රකාශ ව්‍යාජ බව ඔප්පු විය. එමෙන්ම හිතාමතා ඉවත දමා තිබූ විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබූ සාක්ෂි නැවත කැඳවීය. හැරමිටිපාන පොලිස් සැරයන්වරයා අවසන් වන තෙක් සාක්ෂි කූඩුවේ සිට සත්‍යය ප්‍රකාශ කළේය. සය දෙනෙකුගෙන් යුත් ජූරි සභාවකින් තීන්දුව ප්‍රකාශ කෙරුණි. අවිස්සාවේල්ල උසාවියෙන් මරණ දණ්ඩනය නියම වූ සැවොම නිදොස් කොට නිවැරැදිකරුවන් බවට පත් කෙරුණු අතර, මෙම සය දෙනාට එරෙහිව ව්‍යාජ සාක්ෂි දීම හේතුවෙන් සාක්ෂි දුන් සියල්ලන්ටම මාස කිහිපය බැගින් බරපතළ වැඩ ඇති ව සිර දඬුවම් නියම විය. ගම්මු ජය ඝෝෂා මධ්‍යයේ ඔවුන් සය දෙනා ගමට රැගෙන ගියෝය. ගමේ වැඩි පිරිසක් තීන්දුව දෙන නඩු දිනයේ උසාවියට පැමිණ තිබුණ බැවින් එම ගමට යාම පෙරහරකට සමාන විය. ඔහු පෙරහරකින් ගමට ගියේය.

ඔහුට ගමේ විවේකයෙන් වැඩි දිනක් සිටීමට ඉඩ නො ලැබුණි. බලංගොඩ ඉඹුල්පෙ මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස පත්වීම ලැබී වසරක් පමණ සේවය කළේය. පසුව කුරුවිට මහා විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා ලෙස සේවයට ගියේ ය. එහෙත් ඔහු ඉගැන්වීමේ රැකියාවට ගියේ සිය බලාපොරොත්තුව ඉටු කරගැනීමේ චේතනාවෙනි. අහිංසක නිවැරැදිකරුවන් වෙනුවෙන් සමාජයට සේවය කළ හැක්කේ නීතිඥවරයකු වීමෙන් පමණක් බව ඔහු සිතුවේය. ඒ සඳහා ඉගෙනීමේ කටයුතුවලට අවශ්‍ය මුදල් සොයාගැනීම වෙනුවෙන් ඔහු රැකියාව කළේය. එහිදී ගුරු පුහුණුව සඳහා මහරගම ගුරු විදුහලට පැමිණීමට සිදු විය. ඔහු එහිදීද ක්‍රියාකාරීව සියලු බාහිර ක්‍රියාකාරකම් හා බෞද්ධ සංගමයේ වැඩවලදී මූලිකත්වය ගෙන කටයුතු කළේය. මුදියන්සේට මිරැන්ඩා හමුවූයේ එහිදීය.

ඔහුට ගැළපෙන පෙම්වතිය ලෙස ඔහු දුටුවේ මිරැන්ඩා හේමලතා නමැති ගිනි සිළුවය. ඇය ඒ වනවිට වෘත්තිය සටන්වල ක්‍රියාකාරිනියකි. ඔහු හදවතින් ප්‍රේම කරමින් ඇය හදවතින් අයිති කරගෙන කාලයක් ගත කළේය. අවසානයේ ඇගේ නිවසින් පැමිණි විරෝධාකල්ප හමුවේ මිතුරන් ලෙස ම දීර්ඝ කාලයක් ගත කිරීමට ඔවුනට සිදු විය. එම මිතුරුකම තුළ ඇගේ ප්‍රේමවන්තයා වූයේද ඔහුය. හදවතින් ඇයට ප්‍රේම කරන අතරතුර ඔහු සිය ඉලක්කය වෙනුවෙන් තම කාලය උපරිමයෙන් වැය කළේය. කාලය වේගයෙන් ගලා යනු දෙදෙනාටම නො තේරුණි.

1973දී ඔහු නීති විභාගය ඉහළින්ම සමත් වූයේ ය. එම ආරංචියට ඔහු ජීවත් වූ එරත්න ගමත් පෙම්වතියත් සතුටින් පිනා ගියේය. එම ආරංචියට මුළු එරත්න ගමම මඟුල් සිරි ගත්තේය. ඔහු ගමට පැමිණෙන දිනයේ මහා පෙරහරක් ගම්මු සංවිධානය කළෝය. එම පිළිගැනීමේ උත්සවය එරත්න

ශ්‍රී සුනන්දාරම විහාර භූමියේ මහත් හරසරින් පැවැත්වීය. කැවිලි පෙවිලි, සංග්‍රහ ගම්මුන් විසින් සංවිධානය කෙරිණි. ප්‍රධාන දේශනය ගමෙන් ප්‍රථම වතාවට නීතිඥ වෘත්තියට පිවිසි ගඟබඩ විදානලාගේ මුදියන්සේ විසින් පැවැත්විය.

ඔහුට සිදු වූ අත්දැකීම් මේ පොළෝතලේ කිසිවකුටත් සිදු නො වීමට තමා කටයුතු කරන බවත් තමා නීතිය හදාරා කෙදිනක හෝ නීතිඥයකු වීමට සිතාගත්තේ තමා ලද අත්දැකීම නිසා බවත් ඔහු ප්‍රකාශ කළේ පන්සල් භූමියේ ගම්මුන්ගේ අත්පොළසන් හඬ මැද්දේය. ගම්මු සතුටු කඳුළු හෙළුවෝය. තමන් පතන ඉලක්කය වෙත මනා කැපවීමකින් ගමන් කළ හොත් කිසි දිනක තමා පතන ඉලක්කය වරදින්නේ නැති වග ඔහු පැවසී ය. එම උත්සවයේ ප්‍රධාන අසුනක් මිරැන්ඩා හේමලතා වෙනුවෙන් වෙන් ව තිබිණි. ඇය සිටියේ උතුරා යන සතුටිනි.

මිරැන්ඩාගේ මව මේ වන විට ඇගේ විවාහය පමා වීම පිළිබඳ කනගාටු වූවද එල්බ සිටි මතයෙන් මිදෙන්නට තිබූ බලවත් අකැමැත්ත මතම සිටියාය. දැන් ඔහු නීතිඥවරයෙකි. මේ අතර කාලයේදී දිනක් ඇය විවාහ කර ගැනීමට කපුවෙකු විසින් ගෙන ආ මනමාලයකු පැමිණ තිබේ. ඔහු පැමිණි වාහනයේ අංකයත් වාහනයත් ඇයට හුරුපුරුදු ය. මෙය පුදුමාකාර අත්දැකීමකි. ඇය කොළඹ ගුරු වෘත්තියේ නියැලෙද්දී බස් නැවතුමක තනියෙන් සිටිනා මොහොතක එක්තරා වාහනයක් ඉදිරියෙන් නතර කර පිටුපසට පැමිණ තිබේ. ඇය ඔහු හඳුනන්නේ නැත. එහෙයින් වාහනය නතර කළ හේතුව ද ඇයට වැටහුණි. නැවත නැවතත් ඇය ඉදිරියෙන් වාහනය හරවාගෙන පැමිණ තිබේ. ඇය තනියෙන් සිටි බැවින් හොඳටම බිය වී තිබිණි. එහෙයින් ඇය එම අංකය මතක තබාගත්තාය. නිවසට පැමිණි මනාලයාට ඇගේ අකැමැත්ත ප්‍රකාශ කර ඇය කොළඹදී සිදු වූ සිදුවීම මවට පැහැදිලි කර තිබුණි. කිසිසේත්ම මෙවැනි වාහන ඇති මනාලයන් ගැන ඇය සමග කතා නොකරන ලෙස පවසමිනි.

කෙසේ නමුත් තම පෙම්වතා නීතිඥයකු වුවද තම මවගෙන් එල්ල වූ විරුද්ධත්වය වෙනස් කිරීමට තරම් ඇයට හැකි නොවීය. ඇය එල්බගෙන සිටි මතයේම සිටියාය. ඔහු නීති උපාධිය සමත් වී නීතිඥයකු වන තෙක් ඇගේ නිවසට නො ගියේය. ඔහු සමග විවාහයට මැණියන් අකැමැති වුව ද ඔහුගේ ඇසුරට ඇය විරුද්ධ නොවීම පුදුම සහගතය. ඔහු නිවසට පැමිණ ඇය හමු විය. මෑණියන්ට තිබූ ගැටලුව ප්‍රකාශ වූයේ ඉංග්‍රීසි පාසල් අධ්‍යාපනය ලබා නාගරිකව ජීවත් වූ ඇයට දුෂ්කර ග්‍රාමය ඔරොත්තු නො දෙතැයි යන හැඟීම්ය. කේන්දර ප්‍රශ්නය අවියක් ලෙස පෙන්වමින් තම දියණිය ඔහුගෙන් වෙන්කිරීම මෑනියන්ගේ අභිප්‍රාය විය. එය එසේ සිදු නො වුණි. දෙදෙනාම දැඩි මතයකට එළඹ තිබිණි. ඇගේ ගෙදර කැමැත්ත කිසි දිනක හිමි නො වනා වග ඔවුනට තේරුණි. මේ වන විට ඇගේ වයස තිස් අටකි. දිනෙන් දින රාජකාරි කටයුතුවලට ම තාරුණ්‍යය හා ජීවිතය ගෙවී යමින් තිබිණි. ඔහු ඇය අතහැරීමක් වත් ඇය ඔහු අතහැරීමක් වත් සිදු නො වන බව වටහා ගත් මවද උඹලට ඕන මඟුලක් කරගනිල්ලා යැයි පැවසුවාය. මේ වන විට දෙදෙනාටම දෙදෙනාගේ පවුල් බර පැටවී තිබිණි.

ඇගේ පියා දිවියෙන් සමු ගත්තේ 1970 ජනාවරි මස 10 වැනිදාය. පියාගේ මරණය පානදුරේ කුරුප්පුමුල්ලේ පිහිටි ඇගේ මහගෙදරදී ඉතා චාම් අන්දමින් සිදු කෙරිණි. එම සියලු බර පැන ඇය විසින් උහුලන ලදි. ඒ වන විට ඇගේ පවුලේ ආදායම් ලාභියකුට සිටියේ ඇය පමණි. මල්ලිලා තුන්දෙනාගෙන් එක් අයෙක් ගුරු වෘත්තියේ නියැලී සිටියේය. නංගිගේ උසස් අධ්‍යාපනයට වියදම් කළේ ඇයය. පියා මිය යන විට අක්කා විවාහ වී මාසයකි. ඇගේ පෙම්වතාට ද එවැනිම වගකීම් ගොන්නක් පැවරී තිබුණි. ඔහුගේ නැඟනිය පසුව ගුරු වෘත්තියට පිවිසියාය. දෙදෙනාගේ බර ටිකක් අඩු විය. දෙදෙනාම තම තමන්ගේ වගකීම් වලින් හෙම්බත් වී සිටියෝය. ඇගේ නැඟණිය 1970 ජුනි මාසයේදී විවාහ දිවියට පිවිසියාය. මේ වන විට මිරැන්ඩා බම්බලපිටියේ බෝඩිමක කාමරයක් ගෙන තනිව ජීවත් විය. ඇගේ මව අක්කා ළඟය. මේ වන විට මිරැන්ඩා වැඩ කළේ අධ්‍යාපන විෂයමාලා ඒකකයේය.

1976 දෙසැම්බර් 29 වන දින ඇගේ ජීවිතයේ තීරණාත්මක දිනයක් බවට පත් විය. ඇය බැලීමට නිතර පැමිණි පෙම්වතා හා විවාහ වීමේ තීරණාත්මක සාකච්ඡාව පැවැතියේ එදිනය. එහෙයින් විවාහ වූ දිනයටත් වැඩිය එම දිනය තීරණාත්මක විය. ඇගෙන් ස්ථිර වචනයක් ලැබෙන තෙක් ඔහු හා ඔහුගේ පවුලේ උදවිය බලා සිටියෝය.

“අපි මොකද කරන්නේ බඳිමු ද?”

“බඳිමු”

“ඕන නෑ”

“හරි උත්සව ඕන නෑ. දැන් අපි දෙන්න ළඟ තියෙන ගාණෙන් ජීවිතය පටන් ගනිමු. උත්සවවලට වියදම් කරන සල්ලිවලින් ජීවිතේ ගොඩනඟා ගමු.

“හරි මම රත්නපුරේට කියල එන්නම්”

ඔහු ගිය පසු ඇය කල්පනා කළා ය. ඒ සමගම ඇගේ නැගණිය හා නැගණියගේ සැමියා පැමිණියේ ඇගේ දුක සැප සොයා බැලීමට ය. ඇය ගත් තීරණය නැගණියට පැවසුවා ය.

“අපි ඉන්නව අක්ක එක්ක. අක්ක කිසි දේකට බය වෙන්න එපා. අපි දෙන්න ඉන්නව අක්ක එක්ක. ඕන දෙයක් අපිට කියන්න.”

ඔවුන් පිටත්ව ගිය පසු ඇගේ තනි වීම වෙනදාටත් වැඩියෙන් ඇයට දැනෙන්නට විය. මෑණියන් ගේ හිස මත ඇති හණමිටිය ඇය බිමින් තබනා වගක් පෙනෙන්නට නැත. ඇයට මෑණියන්ගේ ආශීර්වාදය රහිත ව විවාහ කටයුතු කිරීමට සිත් නො දේ. මේ 1976 දෙසැම්බර් 29 වන දින රාත්‍රිය යි. ඇය නිදි වර්ජිත ව මානසික යුද්ධයක පැටලී සිටියාය. ඇය සිය මාවතේ යා යුතුය. ඇයට සිය මාවත හැර වෙනත් මඟක් නො වීය. සාම්ප්‍රදායික සිතුම් පැතුම් ආකල්ප තුළම තම මෑණියන් එල්බ සිටීමේ පීඩනයෙන් ඇය උපරිමයෙන් වේදනා වින්දාය. ඇය දැක ඇති පිරිමින් හා සසඳද්දී තමාට ඔහු වන් පිරිමියකු කිසි දිනක හමු වී නැත. ඔහු හා කෙටි දිනක් හෝ ජීවත්වීම භාග්‍යයකි. වෙනත් මත පුස්සක් වී හමාරය. දැන් ඔහු රත්නපුර උසාවියේ නීතිඥවරයෙකි. ජීවිතය පුස් වචනයකට පාවා දිය නො හැකිය. මෑණියන්ගේ කඳුළු හමුවේ දිය වන හිතක් ඇති ඇය ඇගේ සිත ගල් කරගත්තා ය. එහෙත් පසුදා එළි වූයේද අවිනිශ්චිත හැඟීමෙනි.

ඇයට සිය මංගල ගමන වෙනුවෙන් ඇඳුම් ඇඟලා ගැනීමට සිත් නො දුන්නේ ඇගේ යටි සිතේ තම මවට ඇති ගෞරවය නිසා විය හැකි. එහෙයින් ඇය තම කාර්යාලයට යෑමට සූදානම් වූවාය.

1976 දෙසැම්බර් 30 වන දින තම කාර්යාලයට යන පරිදි මිරැන්ඩා සූදානම් වූවාය. යා යුතු ගමනාන්තය පිළිබඳ අවිනිශ්චිත හැඟීමෙන් ඇය පාරට බැස්සාය.

මතු සම්බන්ධයි

සටහන [අනුර දහනායක]

මාතෘකා