පත්‍ර කලාවේ නිහඬ විප්ලවවාදියා

 ඡායාරූපය:

පත්‍ර කලාවේ නිහඬ විප්ලවවාදියා

ඩී.එෆ්. කාරියකරවන, එඩ්මන්ඩ් රණසිංහ වැනි පුවත්පත් කලාවේදීනට ඔහු තුළ අවසාන මොහොත දක්වාම අප්‍රමාණ ගෞරවාරදයක් විය. එහිදී ඔහුට විචක්ෂණශීලීව ඔවුන් දෙස බැලීමට නොහැකි විය. එදා අංකුර පුවත්පත් කලාවේදීන් වූ අපට මෙරිල් පෙරේරා ජ්‍යෙෂ්ඨයා බලපෑවේ ඔහු නිහඬව විදහා පෑ ඔහුට ඔහුගේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් විසරණය වූ වියත් ලේඛන සම්ප්‍රදායය. ගුරු ගෞරවයය. දැනුමට හිස නැමීමේ නිහතමානීකමය. අවවාද, උපදෙස්වලට වඩා ක්‍රියාවෙන් කළ යුත්ත - නොකළ යුත්ත පෙන්වීමේ ගුණයය - අද පුවත්පත් කලාවේදීන්ට නොලැබී ඇත්තේ මේ ආභාසයික පුහුණුවය.

ඉකුත් දා අපෙන් සමුගත් මෙරිල් පෙරේරා පුවත්පත් කලාවේදියා පිළිබඳව ලියන මේ සටහන කොතැනින් ඇරඹිය යුතු වේදැයි මට සිතාගත නොහේ. පැරණි ‘දිවයින’ සගයන් ඔහු ගැන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ තැබූ සටහන් ඇරඹී තිබුණේ ඔහුගේ නිහතමානීත්වය මතු කිරීමෙනි. කලට වේලාවට වැඩ කළ ඔහුගේ දිනචර්යාව කියා පාමිනි. ඔහුගේ වෙනස් ශීර්ෂපාඨ හා පිටු නිර්මාණ කලාව ගැන සඳහන් කිරීමෙනි. ඒ සියලු දේ ඇත්තය. එහෙත් ඔහු සමඟ එකම කන්තෝරුවේ විසිදෙවසක කාලයක් ගෙවූ ඒ යුගය සිහි නඟද්දී මට ඔහු මතකයට නැඟෙන්නේ හැමදාම එක ගෙදර සිටි පවුලේ වැඩිමහල් සාමාජිකයකු ලෙසය. වැඩිමහල් සොහොයුරන් බාල සොහොයුරනට බලපාන්නේ ඔවුන් දෙන දැනමුතුකම්වලට වඩා ඔවුන් නිහඬව කරන කියන දෙයිනි. ඔහුද අපට බලපෑවේ එසේය.

මෙරිල් පෙරේරා (මෙරිල් අයියා) කිසිවකුගෙන් කිසිවක් විමසූයේ නැත. ඔහු කවදා හෝ මගෙන් කිසිවක් විමසූයේ නම් ඒ, කොළඹ ඔහු එවක සිටි ගුණසිංහපුරයේ සිදු වූ සමාජ විරෝධී ක්‍රියා ගැන ලියන්නැයි කළ ඉල්ලීම පමණි. ඔහු එය මගෙන් ඉල්ලා සිටියේ එවක මා ‘දිවයින’ පුවත්පතට සේන්දු වූයේ කොළඹ අධිවේගී ජීවන ප්‍රවාහයට නොපෙනෙන සමාජ ප්‍රශ්න ලියමින් නිසාය. සැබැවින්ම එදා තරුණ පුවත්පත් කලාවේදීන් වූ අප වෙත මෙරිල් පෙරේරා ජ්‍යෙෂ්ඨයා අනියමින් කළ බලපෑම විශාලය.

මෙරිල් පෙරේරා පුවත්පත් කලාව අරඹන්නේ 1965 වසරේ ලේක්හවුසියෙනි. ‘65 වසර වන විට ඔහු අවුරුදු 19ක නව යොවුන් තරුණයෙකි. මේ වූකලී මෙරට පුවත්පත් කලාවට (වෙසෙසින් ලේක්හවුසියට) තරුණයන් අවතීර්ණ වූ අවධියකි. දයාසේන ගුණසිංහ, සුනිල් මාධව ප්‍රේමතිලක, විමල් දිසානායක (අද මහාචාර්ය), මුදිත කාරියකරවන ආදීන්ද ඒ තරුණ කණ්ඩායමේ සිටියහ. ඔවුන් අතර සිටි නව යොවුන් තරුණයා මෙරිල්ය. එහෙත් ඔහු ආරම්භයේදී ජනතා පුවත්පතේ ප්‍රාදේශීය වාර්තාකරුවෙකි. එවක ජනතාවේ ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූයේ ඩී.එෆ්. කාරියකරවනය. සිංහල පුවත්පත් කලාවේ කවර දුර්වලතා පැවතියත් - ඔවුන් කලාව, සාහිත්‍යය කවර ලෙස හඳුනාගෙන පැවතියත් - මෙවක ඔවුනට බලපෑ කිසියම් මහා සම්ප්‍රදායක් විය. එනම් ලියන දේ භාෂාත්මක වශයෙන් නිවැරදි විය යුතු බවත් එහි හරයාත්මක කිසිවක් ගැබ් යුතු බවත්ය. මෙවැනි සම්ප්‍රදායක් එදා ඇති වීමට බලපෑ කරුණු කිහිපයක් විය. ඉන් ප්‍රමුඛ වූයේ සිංහල පුවත්පත ප්‍රවීණ සාහිත්‍යධරයන්ගේ මූලිකත්වයෙන් ඇරඹීමය. කොග්ගල බටුවන්තුඩාවේ පඬිතුමා, මුනිදාස කුමාරතුංග, ඩබ්ලිව්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, හේමපාල මුනිදාස වැන්නෝ සැබැවින්ම ප්‍රවීණ සාහිත්‍යධරයෝද වූහ. ලේක්හවුස් සිංහල පුවත්පත් ඇරඹෙද්දී මොවුන්ගේ මේ වියත් භාෂා සම්ප්‍රදාය හා සාහිත්‍යමය ආභාසය එම පුවත්පත්වලට එකලා බලපාන්නට විය. අනෙක් අතට ලේක්හවුස් පුවත්පත්වල කතුධුරයන්ට පත් වූයේ එක්කෝ මුනිදාස කුමාරතුංගගේ හෙළ හවුලේ අනුගාමිකයන්ය. නැත්නම් පැරණි භාෂා සම්ප්‍රදායෙන් හා නව ප්‍රබන්ධ කලාවෙන් ආභාසය ලැබූවන්ය. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, මීමන ප්‍රේමතිලක, බෙනඩික්ට් දොඩම්පෙගම, ඩී.එෆ්. කාරියකරවන, විමලසිරි පෙරේරා, ශ්‍රීලාල් ලියනගේ, ලක්ෂ්මන් වික්‍රමසිංහ ආදීන් දෙස බැලූ විට ඒ බව පෙනේ. රසඥතාවක් නැති දේශපාලන හෙංචයියන්ට එදා පුවත්පත් කලාව තුළ ඉඩ අවකාශයක් නොතිබිණි. ඉදින් මේ සියලු කාරණා මුලින් ජනතාවේදීද අනතුරුව දිනමිණ කන්තෝරුවේදීද මෙරිල් පෙරේරා වෙත කා වැදුණි. කෙතරම් කා වැදුණේද යත් ඩී.එෆ්. කාරියකරවන, එඩ්මන්ඩ් රණසිංහ වැනි පුවත්පත් කලාවේදීනට ඔහු තුළ අවසාන මොහොත දක්වාම අප්‍රමාණ ගෞරවයක් විය - වරක් කාරියකරවන මහතා මා අසාධාරණ විවේචනයකට හසු කර ‘දිවයින’ ට ලියූ වේලේ ඔහු එකලාම ගත්තේ කාරියකරවන මහතාගේ පැත්තය. සිදු වූ දේහි සැබෑව විමසීමට හෝ ඔහු විචක්ෂණශීලී නොවීය. ඒ, ඔහුගේ ගුරු භක්තියය. කෙසේ හෝ එදා අංකුර පුවත්පත් කලාවේදීන් වූ අපට මෙරිල් පෙරේරා ජ්‍යෙෂ්ඨයා බලපෑවේ ඔහු නිහඬව විදහා පෑ ඔහුට ඔහුගේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් විසරණය වූ වියත් ලේඛන සම්ප්‍රදායය. ගුරු ගෞරවයය. දැනුමට හිස නැමීමේ නිහතමානීකමය. අවවාද, උපදෙස්වලට වඩා ක්‍රියාවෙන් කළ යුත්ත - නොකළ යුත්ත පෙන්වීමේ ගුණය ඔහු උගත්තේ ඔහුගේ පෙර පරපුරිනි - අද පුවත්පත් කලාවේදීන්ට නොලැබී ඇත්තේ මේ ආභාසයික පුහුණුවය.

මෙරිල් පෙරේරා ගැන ඕනෑම කෙනෙකුට නොපැකිලව කිව හැකි දේ නම් ඔහු වෙනස් කෙනෙකු බවය. ඒ වෙනස් බව ඔහු ප්‍රවේණිකවම උරුම කරගෙන ආවෙක් විය. ඒ ප්‍රවේණික උරුමයට කිසිවකුට ගැරහිය නොහැකිය. ඇතැමුන් කියන්නේ ඒ ප්‍රවේණික ගැටලුව නොවී නම් ඔහු මෙරට මහා පුවත්පත් කලාවේදියකු වීමට තිබූ බවය. එහෙත් ඒ එසේ පැවසිය හැකිද? මා සිතන්නේ ඔහුගේ සියලු පුවත්පත් කලා දක්ෂතා, දුර්වලතා කලඑළි දකින්නේ ඔහුගේ වෙනස් බව නිසාය. ඔහු දක්ෂ ශීර්ෂ පාඨ දමන්නකු බව පැහැදිලිය. රන්ජන් පරණවිතාන ක්‍රීඩා මාධ්‍ය සගයා ඔහුගේ සිරස්තල කුසලතාව විස්තර කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනූ වේලේ ඔහු දැමූ සිරස්තලය “ටේලර් සාප්පුව ගිනි ගනී” යන්න බවය. එහි ටේලර් යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා වූ මාර්ක් ටේලර්ය. ඒ අනුව ටේලර් සාප්පුව යනු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමය. ඕස්ට්‍රේලියාව එදා අපේ ක්‍රිකට්වලට වැඩිම නිගරු කළ, කරදර කළ කණ්ඩායමය. එනයින් “ටේලර් සාප්පුව ගිනි ගනී” යන්න ඔවුනට කළ සරදමක් විය. ඊටත් එහි විනෝදයක් නොමැතිද? සැබැවින්ම එදා දිවයින මුල් පිටුවේ ප්‍රධාන පුවතේත් සෙසු පුවත්වලත් සිරස්තල හරිම අමුතු විය. ඉහත සිරසේ මෙන් ඇතැම් සිරස්තල කියවා අවසනත් අප තුළ වින්දනයක් ඇති කළේය. සිනහවක් ඇති කළේය. එසේම ඇතැම් සිරස්තල අදහස් කරන දේ ආපිට කැරකුණු අවස්ථාද විය. ඒ සියල්ල එසේ වූයේ මෙරිල් පෙරේරාගේ වෙනස් බව නිසාය.

ඇත්ත වශයෙන් මේ වෙනස් බව ඔහුගේ සිනමා විචාරවලදීද දැකගත හැකි විය. එහෙත් මට හැඟෙන ලෙස ඔහු එහිදී අසාර්ථක විය. ඒ, ඔහුට සාහිත්‍යය, කලාව කෙරේ විදග්ධ රසඥතාවක් නොතිබුණු බැවිනි. කලා විචාරකයකු වීම බාග රසඥතාවක් ඇති අයකුට කළ නොහැකිය. බාග රසිකයකු ඒ කළහොත් විසිළුවට ලක් වන්නේ විචාරකයාය. එහෙත් එහිදීද ඔහු මතු කරන ආලෝචනා (Insights) සාමාන්‍ය විචාරකයකුට මතු කිරීමට අපහසු තරම් විය. ඔහු සාමාන්‍ය රූප රාමුවක අසාමාන්‍ය දේ දුටුවේය. ඔහු විචාරකයකු ලෙස අසාර්ථක වුවත් මෙරට පුවත්පත් සිනමා විචාරය අවිච්චින්නව පවත්වාගෙන යෑමට දායක වූවෙකු බව කිව යුතුය.

මෙරිල් පෙරේරා දක්ෂ පිටු නිර්මාණකරුවකු බව කවුරුත් කියයි. එහෙත් මා දකින ලෙස ඒ පිටු පාඨක මනස භාව සන්තර්පණයට වඩා කළේ භාව ප්‍රකෝපනයය. එහි ආ ‘රිවර්ස්’ අකුරු, රතු, කළු, කහ තද වර්ණ පාඨක මනස නොසන්සුන් කරන්නක් විය. එහෙත් ඒවා විශාල ගැටලුවක් නොවූයේ එදා පුවත් බැලූ විට ඉන් ඉල්ලා සිටියේද එවැනි නොසන්සුන්තාවක් නිසාය. නිදසුනකට කොළඹ නගරයේ බෝම්බ පිට බෝම්බ පුපුරන විට, ඉන් සිය ගණන් සාමාන්‍ය ජනයා මියැදෙන විට ඊට භාව සංසුන් වන වර්ණ යෙදිය නොහැකිය. එදා දේශපාලන කලබැගෑනිද කළු පැච්වලින් නොතොරව ඉදිරිපත් කළ නොහැකිය. එසේ බැලූ විට ඔහුගේ ‘රිවර්ස්’ අකුරු, වර්ණ රටා පැවති තත්ත්වය තුළ අවශ්‍ය දෙයක් සහ වෙනස් දෙයක් විය.

මෙරට වර්තමාන පුවත්පත් සාහිත්‍ය අතිරේක මේ සා සුලබව පවත්වා ගැනීමටද මෙරිල් පෙරේරා පිටිවහල් වූ බව කිව යුතුය. ඇත්ත වශයෙන් මා ‘දිවයිනට’ පැමිණි කාලයේ සාහිත්‍ය අතිරේකයක් කියා කිසිවක් එහි නොතිබිණි. ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ පිටුවක, දෙකක සාහිත්‍යය ගැන කථා කළත් එහි ප්‍රධාන කතුවරයා ඒ පිටු සංස්කරණය කිරීමේ වගකීම කිසිවකුට දුන්නේ නැත. දුන්නත් එහි පළ වූයේ ඔහුට වුවමනා අසාහිත්යික දේය. විශ්ව සාහිත්‍යය ගැන හෝ තත් කාලීන සාහිත්‍ය පරිසරය ගැන පුවත්පතින් සංවාද කරනවාට ඔහු විරුද්ධ විය. ඔහුට පැවතියේ ඔහුම ඔසොවන සාහිත්‍යකරුවන්, කලාකරුවන් කාණ්ඩයක් පමණි. මෙනිසා මා හට ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ සාහිත්‍යය ගැන ලිවීමට තිබූ ඉඩ අවකාශය ඉතා ස්වල්ප විය. එහෙත් මෙවැනි තත්ත්වයක් තුළ මෙරිල් පෙරේරා ‘දිවයින’ දිනපතා පුවත්පතේ එතෙක් තනි පිටුවක පළ වූ සාහිත්‍ය අතිරේකය පිටු දෙකක් කර එය සංස්කරණය කිරීමේ වගකීම මා හට පැවරුවේය. එම අතිරේකය ‘සරසවි උයන’ ය. ‘දිවයින’ දේශපාලන හෙංචයියන්ගේ රජ දහනක් වී පැවති කාලයේ, කිසිවෙකු සාහිත්‍යයට ඉඩක් විවර නොකළ කාලයේ මෙරිල් පෙරේරා එහි සාහිත්‍ය අතිරේකයක් ඇරඹීමට මා හට දිරි දුනි. නිසැකවම ‘දිවයිනෙන්’ මා ඉවත් වී ‘රිවිරට’ බැඳුණු විටද අනතුරුව ලේක්හවුසියට බැඳුණු විටද අප වෙත එහි සාහිත්‍යය සඳහා දොර කවුළු හැර ගැනීමට ඉඩ විවර වූයේ එදා මෙරිල් පෙරේරා මා හට ලබාදුන් ඉඩ අවකාශය තුළය. සාර්ථක සාහිත්‍ය අතිරේකයක් පවත්වා ගත හැකි බව ඒ ඔස්සේ සනාථ කර තිබූ නිසාය. මෙරිල් පෙරේරා නිහඬ විප්ලවකාරයකු යැයි මා කියන්නේ මේ තුළය.

කවුරුත් කියූ ලෙස ඔහු නිහතමානී පුවත්පත් කලාවේදියෙකි. අද ෆේස්බුක් මාධ්‍ය ඔස්තාද්ලාට මෙරිල් පෙරේරා වැන්නන් ඇස ගැසුණේ නම් ඔවුන් බොහෝ දේ උගනු ඇත. ඇතැම් විට කිසිවක් නූගනුද ඇත. එහෙත් මෙරට අනාගත පුවත්පත් කලාවට, පුවත්පත් සාහිත්‍ය අතිරේකවලට ඔහු ඉතිරි කර ගිය දෑ බොහෝය. ඒ දෑ කිසිවකු නොදනිතත් වතුරේ පාවෙන තෙල් කඳක් සේ ඉතිරිව පවතිනු ඇත. වෙසෙසින් කිසිවකු සංස්කරණය කරන පිටුවකට අනවශ්‍ය ඇඟිලි නොගසා ඒ පවත්වා ගැනීමට ඔහු දුන් දිරිය මෙහිදී සඳහන් කළ යුතුමය. ඔහු යටතේ සාහිත්‍ය අතිරේකය සංස්කරණය කළ මා හට කිසිදා ඔහුගෙන් බලපෑමක් වූයේ නැත. අඩු තරමින් ඔහු ලියූ ලිපියක් පවා අතිරේකයට ඔහු මට ලබා දුන්නේ මේක හොඳ නම් දාන්න කියාය.

පුවත්පත් කලාවේ කිසිවකු දෙවරක් මුණගැසිය නොහැකිය. මා ‘දිවයින’ හැර ගියේ මීට දස වසකට පෙරදීය. වසර අටකින් අනතුරුව මට එම මිතුරන් බැහැදැකීමට යළි එහි යෑමට සිදු වූ අවස්ථාවක් විය. එහෙත් එදා මා එහි දුටුවේ පරණ ‘දිවයින’ නොවේ. පරණ පුවත්පත් සගයන් සිටියද එහි පරණ මිතුරන් සිටියේ නැත. අපට එහි පරණ ජීවිතය යළි උදා කරගත නොහැකි විය. මෙරිල් පෙරේරා මට දෙවන ගමනේදීවත් ‘දිවයිනේදී’ මුණ නොගැසිණි. ඔහුගේ ප්‍රධාන කතු කාමරය එදා කඩා බිඳ දමා ඒ වෙනුවට තනි විසල් කාමරයක් එහි ඉදි කර තිබුණි. මට මහත් සාංකාවක් දැනුණි. උපාලි ප්‍රධාන ගේට්ටුවෙන් බැහැර වෙද්දී මට හැඟුණේ එක් දෙයකි. සත්තකින්ම අප දෙවරක් මුණගැසෙන්නේ නැත.

[රවීන්ද්‍ර විජේවර්ධන]

මාතෘකා