සම්මාන සඳහා ලිවීම ඉතා හොඳ දෙයක් ඒත් මට ඒක අදාළ වෙන්නෙ නෑ

 ඡායාරූපය:

සම්මාන සඳහා ලිවීම ඉතා හොඳ දෙයක් ඒත් මට ඒක අදාළ වෙන්නෙ නෑ

විරාජිනී තෙන්නකෝන්

විරාජිනී තෙන්නකෝන් “මකරානන්දය” නමැති සිය පළමුවෙනි නවකතාවෙන්ම සම්මාන ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් වූ ලේඛිකාවකි. මේ ඇයගේ නවකතාව සහ නිර්මාණ ජීවිතය පිළිබඳව කළ පිළිසඳරකි.

 පළමුවෙනි නවකතාවෙන්ම ලැබුණු සාධනීය ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නෙ?

කියවපු අයගෙන් ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණා. මකරානන්දය කෘතිය පාඨකයා අතරට වැඩි වශයෙන් ගියේ සම්මාන ලැබීමත් එක්ක වුණාට මම පොත ප්‍රසිද්ධ කළේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී. දැන් ගොඩක් දෙනා අතර පොත ප්‍රසිද්ධයි. නමුත් ඊට කලින් ඉඳන් මගේ හිතවතුන් පොත කියවලා ඒ අයගෙන් හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ කියන්නේ ගොඩක් ධන අගය කිරීම තමයි මුල ඉඳන්ම ලැබුණේ. අඩුපාඩුත් කියන අය ඉන්නවා, මෙහෙම වුණා නම් හොඳයි කියලා. ඒවා තමා වැඩියෙන්ම මට වැදගත් වෙන්නේ.

 නවකතාවට පාදක වුණේ ඔබේ අත්දැකීමක්ද?

ඕනෑම ලේඛකයෙක් මම හිතන විදියට නවකතාවකට ප්‍රස්තුතයක් හොයාගන්නේ එක්කෝ ඒක තමාගේ අත්දැකීමකින් වෙන්න පුළුවන් නැත්නම් වෙන කෙනෙකුගෙන් අහලා දැනගන්න දෙයක් වෙන්න පුළුවන්, එහෙමත් නැතිනම් අතීතයේ වෙච්ච යම්කිසි දෙයක් වෙන්න පුළුවන්. මකරානන්දයට කෘතියට මූලික වෙච්ච ප්‍රස්තුතය ගැන කිව්වොත් ඒක මම ලබපු අත්දැකීමක්. “දැනට අවුරුදු කිහිපයකට පෙර මම පෞද්ගලික කටයුත්තක් සඳහා ත්‍රිකුණාමලය එරක්කණ්ඩි සිංහල විද්‍යාලයට ගියාම සුවිශේෂ පිරිමි දරුවෙක් මම දැක්කා. වම් කනේ කරාබුවක් පැළඳ සිටියා ඔහු. ඒ ගැන ඒ පාසලේ විදුහල්පතිතුමාගේ අහලා ඒ කුඩා දරුවා හා වටා ගෙතිච්ච කතාවක් තමයි මකරානන්දය කෘතිය ලිවීමට පාදක වුණේ. ඉන්පසුව ඒ ඔස්සේ මට ලැබුණ අත්දැකීම් සහ මගේ වයසට මම ලබලා තියෙන අත්දැකීම්, අහලා දැනගත්ත දේවල් , කියවලා තියෙන දේවල් ඒ හැමදේම අරමුණු කරගෙන ප්‍රස්තුතය වටා මේ කතාව ගොඩනැගුවා.

 මෙම කෘතියට පාදක වූ චරිත, ප්‍රදේශ පිළිබඳව කොපමණ කාලයක් අධ්‍යයනය කළාද?

ඇත්තටම නවකතාව පටන් ගන්න කලින් ඉඳලා මට ඒකට සූදානම් වෙන්න තමයි ලොකු කාලයක් ගියේ. කතාව ආරම්භ කරන්න අවශ්‍ය කරන උපකරණ, අඩුම කුඩුම ටික හොයාගන්න තමයි මට කාලයක් වැය වුණේ. ලියනවා නම් මම පුරුද්දක් විදියට යම්කිසි දෙයක් එකතු කරගන්නවා. අඩුම තරමේ සියයට 80ක් වක් වත් එකතු කරගත්තම තමයි, මම ලියන්න පටන් ගන්නේ. මොකද මම හරියට හිතනවා මගේ කතාවේ පළවෙනි වාක්‍යය වෙන්න ඕනෑ මොකක්ද අවසාන වාක්‍ය වෙන්න ඕනෑ මොකද්ද කියලා. මේකටත් ඒ විදියටම වුණා. මම දන්නවා මම හිතන වපසරිය ඇතුළේ මොන මොන දේවල්ද එකතු කරගන්න ඕනෑ කියලා සහ මම අධ්‍යයනය කළ යුත්තේ කියලා. මම හොයලා බලන්න ඕනේ මොනවද කියලත් මම දන්නවා. මම හිතනවා ආයුධ සන්නද්ධව වාඩි වුණාම ඒක කරන්න ලෙසයි කියලා. ඉතිං මම එක අධ්‍යයනයට වැඩි කාලයක් යොදවනවා. පොත ලියන්න අවුරුද්දකුත් මාස ගණනක් ගත වුණා. අධ්‍යයනයන් සඳහා මම කොහොමත් මාස 04කට වැඩි කාලයක් අරගත්තා. ලියාගෙන යන අතරතුරත් සමහර දේවල් ගැන අධ්‍යයනයේ යෙදුණා.

 මකරානන්ද නවකතාවට උපභාෂාව යොදාගන්නකොට ව්‍යවහාරික භාෂාව එක්ක මිශ්‍ර කර ගත්තේ කොහොමද?

මගේ පොතේ උපභාෂා යොදාගන්නකොට ගොඩක්ම මම සැලකිලිමත් වුණේ නැහැ. දැන් අනුරාධපුර, තඹුත්තේගම වගේ පැත්තක භාෂාව 1930 ගණන්වල කොහොම වෙන්න ඇත්ද? කියන ඒ සිතුවිල්ලක මම හිටියේ නැහැ. මොකද මට හිතුණා ඒකට සමහර විට ශබ්දකෝෂයක් පාවිච්චි කරන්න වෙයි, එතකොට මගේ පොත පාඨකයාට නීරස වෙයි කියලා. ඒකේදී ගොඩක්ම පරිස්සම් වුණා. පොදුවේ ගැමි භාෂාව කියන එක මේ පොතේ පළවෙනි සහ දෙවෙනි කොටස් දෙකේ යොදාගත්තා. නමුත් තුන්වෙනි කොටසේදී එකහෙළාම භාෂාව මම වෙනස් කරා. කොළඹ සමාජයට එනකොට මම කොළඹ සමාජයට ගැළපෙන විදියට වෙනස් කළා. දැන් චරිතයෙන් චරිතයට ඒ චරිතවල වයස් අනුව චරිතය ජීවත් වෙන විදිය අනුව භාෂාව වෙනස් කළා.

මකරානන්දය වෙනුවෙන් ලැබුණු සම්මාන තුන ගැන කිව්වොත්?

2019 වසරේ හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයත්, එම වසරේම විද්‍යෝදය සාහිත්‍ය සම්මානයත්, 2019 ගොඩගේ සම්මාන උලෙළේදී වසරේ හොඳම නවක නිර්මාණ දායකත්වය සම්මානයත් ලෙස මට සම්මාන තුනක් හිමි වුණා. මගේ ප්‍රථම කෘතියෙන්ම එතරම් දුරක් එන්න ලැබීම ලොකු සතුටක්. මගේ කෘතිය ගැන මම සෑහීමකට පත්ව හිටියා. ඒත් මෙතරම් සම්මාන ප්‍රමාණයක් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් මම හිතනවා සම්මානය ගැන මීට වැඩිය කියන්න බැහැ. එක සාපේක්ෂ දෙයක්. ඒ සම්මාන තුනට මම හිතනවා මගේ පොත තුළින් මම යම්කිසි සාධාරණයක් කරලා ඇති.

නවකතා ලියන්නේ සම්මාන බලාගෙනමයි කියන චෝදනව සමාජයේ තිබෙනවා. එක ගැන ඔබ දරන අදහස?

මේක කොහොමත් මගේ පළවෙනි කෘතිය නිසා ඒක මට නම් අදාළ නැහැ. එහෙම ලියන සමහරු ඉන්නවා. එකත් එක එක්කෙනාගේ හිතන විදිය අනුව රුචි අරුචිකම් අනුව තමයි. ඒවාට වැට බඳින්න අපිට බැහැ. ඒවා එයාලගේ පෞද්ගලික කැමැත්ත වෙන්න පුළුවන්. කෙනෙක් කියනවා නම්, ඔව් මම ලියන්නේ සම්මානය සඳහා තමයි කියලා කොහොමද අපි විරුද්ධ වෙන්නේ? ඇයි අපි විරුද්ධ වෙන්නේ? එක ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වය. මම හිතනවා සම්මාන වෙනුවෙන් ලියනවා නම් එක ඉතාමත් හොඳයි. එතකොට තමයි හොඳම නිර්මාණයක් ලේඛකයා අතින් බිහි වෙන්නේ. හොඳ කෘතිවල අඩුවක් ඇති මේ කාලයේදී එහෙම කෘති ලියනවා නම් ඒක ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්. මොකද සම්මානයක් කියන එක ආවට ගියාට දෙන්නේ නැහැනේ. ඒකට ප්‍රමිතියක් තියෙනවා නේ. ඒ ප්‍රමිතියට ලියනවා කියන්නෙම හොඳ නිර්මාණ බිහි වෙනවා කියන එක.

 ඔබට නවකතා ක්ෂේත්‍රයේ සිත්ගත් නවකතාකරුවෝ ඇති. ඒ ඇය ගැන කිව්වොත්?

විශේෂයෙන්ම සුනේත්‍රා රාජකරුණා මහත්මිය. එතුමියගේ පොත්වලින් තමයි අපි ලියන්න පෙළඹුණේ. අනුලා ද සිල්වා, සුමිත්‍රා රාහුබද්ධ, කැත්ලින් ජයවර්ධන, ලියනගේ අමරකීර්ති, ඔහු ඉතාමත් සූක්ෂ්ම විදියට භාෂාව හසුරුවනවා. ප්‍රභාත් ජයසිංහ, නිශ්ශංක විජේමාන්න, කමල් පෙරේරා වගේ අය. කවිය ගත්තම වෙනම අය ඉන්නවා. මම කවිය ප්‍රගුණ කරලා නැති වුණත් මම ඉතාමත් හොඳ පාඨකයෙක් කවියේ. ඉන්දියාවේ නම් අරුන්දතී රෝයි, කුශ්වාන් සිං. ඉන්දියාවෙ‍ෙකතා කලාව අට නෑකම් කියනවා.

 මේ වන තෙක් කියවා ඇති නවකතාවල ශෛලීන් ඔබ දකින්නේ කොහොමද?

ස්වතන්ත්‍ර නවකතා ගොඩක් බිහි වෙනවා අද. එක එක ආකෘතීන් අනුව බිහි වෙනවා. මම ගොඩක් කියවන කෙනෙක්. මගේ පළවෙනි පොත ප්‍රමාද වෙන්නත් හේතුව තමයි මම ලේඛකයෙක් විදියට එන්න කලින් හොඳ පාඨකයෙක්. තාමත් එහෙමයි. ලේඛකයෙක් වුණාම අනිත් අයගේ නිර්මාණවලින් ප්‍රතිපෝෂණය වෙන්න ඕනෑ කියන එක මම තරයේම විශ්වාස කරන දෙයක්. ඒ කියවනකොට විවිධ භාෂා රටා හමු වෙනවා. වර්තමානයේදී භාෂාවන් සහ භාෂාවේ විවධ අත්හදා බැලීම් කරනවා දැනට. අලුතින් බිහිවන ලේඛකයන් සහ ජ්‍යෙෂ්ඨ ලේඛකයන් අත්හදා බැලීම් කරනවා. මම හිතනවා එක තමයි සිද්ධ වෙන්න ඕනේ කියලා.

 පරිවර්තන කෘතිවල භාෂා ශෛලීන් ඔබ දකින්නේ කොහොමද?

පරිවර්තනවලදී ඒ තත්ත්වය වෙනස්. අපේ රටේ සමහර පරිවර්තන කෘති ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මුල් කෘතිය කියෙව්වාම ඒකට මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා හිතෙනවා. ඒකට සාධාරණයක් ඉෂ්ට කරලා නැහැ.

 විශ්ව සාහිත්‍යයත් එක්ක ගත්තාම අපේ රටේ සාහිත්‍ය ගැන ඔබ දරන අදහස?

අපි තවත් අපේ නවකතා සහ කෙටිකතා සහ කවිය කියන දේ දියුණු කරන්න ඕනෑ. අපි ඉදිරියට ගෙනියන්න ඕනෑ ටිකක් නෙවෙයි හොඳටම. විශ්ව සාහිත්‍ය එක්ක ගත්තම අපි අන්තර්ජාතික වෙන්න ඕනෑ. අපේ රටේ විතරක් පැළවෙන බීජ නෙවෙයි අපේ බීජය අරගෙන ගිහිල්ලා වෙන රටක පැළකරන්න පුළුවන්කම ලැබෙන්න ඕනෑ. ඉතිං එකේදී මම ලොකුම දුර්වලකම දකින්නේ අපේ ස්වතන්ත්‍ර නවකතා තවම පරිවර්තනය වෙන්නේ නැහැ භාෂාවන්වලට. එක නොවෙන්න හේතුව තමයි අපි මේ දූපතක කොටු වෙලා අපේ දූපතේ අපි විඳින ආගමික, සමාජ, සංස්කෘතික ඒ විස්සෝපයන් ටික විතරයි අපි කියන්නේ. එක වෙන රටකට පොදු නැහැ. එයාලට මේක ඉංග්‍රීසියෙන් කියෙව්වොත් තෙරුම් ගන්න බැරි වෙනවා. නමුත් අපි යුද්ධය හා සාමය කියවනකොට අපේ පොතක් විදියට හිතාගෙන කියවන්නේ. මොකද ඒ අත්දැකීම අපිට පොදුයි. ඇත්තටම අපි අපේ පොදු අත්දැකීම් තමයි ලේඛන කලාවට පාවිච්චි කරන්න ඕනේ. මගේ ඊළඟ නිර්මාණයකදී වුණත් මම බොහොම සැලකිලිමත් වෙනවා ඒ ගැන.

 අලුත් කෘතියක් එළිදක්වන්න හිතන් ඉන්නේ කොයි කාලේ වගේද?

තව ගොඩක් කල් යයි. හදිස්සියේම නම් කෙරෙන්නේ නැහැ. අධ්‍යයනයක් කෙරෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් කාලයක් බලාගෙන ඉන්නවා. හුස්මක් එහෙම අරගෙන තමයි ඉතිං ඊළඟ නිර්මාණයට යන්නේ.

සාකච්ඡා කළේ [තියේෂා ද සිල්වා]

News Order: 
5
මාතෘකා