මැතිවරණය අබියස සමාජ මාධ්‍ය බලපෑම

 ඡායාරූපය:

මැතිවරණය අබියස සමාජ මාධ්‍ය බලපෑම

ජනාධිපතිවරණය සඳහා පවතින්නේ ඉතා සීමිත දින සංඛ්‍යාවකි. මේ වනවිට විවිධ පක්ෂ තම අපේක්ෂකයන්ගේ ප්‍රචාරණ ව්‍යාපාර ප්‍රධාන මාධ්‍ය ඔස්සේ සිදු කරයි මේ අතරවාරයේදී ජනාධිපතිවරණයේ ප්‍රචාරණ ව්‍යාපාර ප්‍රධාන මාධ්‍යයන්ගෙන් හැරුණුකොට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද මේ වන විට දියත් කිරීම මෙවර දක්නට ලැබෙන සුවිශේෂත්වයකි. එම නිසා සමාජ ජාලා තුළින් සම්ප්‍රේෂණය වන මතවාද ජන මතයට කොතෙක්දුරට බලපෑම් කරයිද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයන්ගෙන් මත විමසුමක් කළෙමු.

ස්වාභාවික ප්‍රචාරණය ඉක්මවූ කෘත්‍රිම ප්‍රචාරණයක් බවට පත් වෙලා

මනෝරම වීරසිංහ

සමාජ ජාලාවල බලපෑම ඡන්ද විමසීමකට කෙතරම් බලපාන්නේද යන්න ගැන අපට පූර්ව අවබෝධයක් තියෙනව 2015 ජනාධිපතිවරණය සහ මහමැතිවරණය දිහා බැලූවිට. මෙතුවක් කල් ජනමාධ්‍ය විසින් පාලනය කළ ප්‍රචාරණ ඒකාධිකාරය නව මාධ්‍ය විසින් නොසිතූ ලෙස ගිලගත් බව එවක ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන් පිළිගත්තා.

නමුත් වර්තමානයේ එය සීමාව ඉක්මවා යමින් කිසිදු වෘත්තීයමය බවකින් තොරව හුදෙක් අවලාද හා මඩ ප්‍රචාර මතම යැපෙන ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. එමෙන්ම අපේක්ෂකයන් විසින් ජනප්‍රිය ෆේස්බුක් පිටු, ප්‍රොෆයිල් මිලට ගැනීම තුළ ඇති වෙලා තියෙන්නේ ස්වාභාවික ප්‍රචාරණය ඉක්මවා ගොස් කෘත්‍රිම ප්‍රචාරණයක් බවට පත්වීම. ඒවා කියවන කිසි කෙනෙක්ට ඇත්ත නැත්ත තබා එම සිදුවීම් කිසිවක් ගැන හරියාකාර අවබෝධයක් ගන්නට හැකියාවක් නැතිවීම නිසා ඇතැම්විට එය විහිළුවක් බවට පත්ව තිබෙනවා. වඩා ප්‍රබුද්ධ මාධ්‍ය හැසිරීමක් ගැන අවබෝධයක් ඇති පිරිසවත් වෘත්තීයමයභාවයකින් හැසිරීමක් තුළ යම් ආදර්ශයක් සැපයිය හැකි වුවත් පරිශීලකයන්ගේ හැසිරීම් රටා අනුව ඒවා සියල්ල අයාලේ යන තත්ත්වයක් තමයි පේන්නේ. ඉතින් ඉදිරියේදී, සමාජජාල සතුව පැවැති බලය අනිසි ලෙස භාවිත කිරීම නිසා එහි අගය අවප්‍රමාණ වන්නටත් ඒ හරහා මෙතෙක් කල් සිදුවූ ඇතැම් සේවාවන් පවා අඩාල වෙන්නට මේ අද දවසේ පවත්නා රටාව හේතු වන්නත් පුළුවන්.

සමාජ මාධ්‍ය යනුු අපේක්ෂකයකුට මඟහැර යා නොහැකි වේදිකාවක්

චමීර ජීවන්ත

පෙර මැතිවරණ හා සැසඳීමේදී මෙම මැතිවරණය කෙරෙහි සමාජමාධ්‍යවල බලපෑම ඉතා ප්‍රබල බව දක්නට ලැබෙනවා. ලක්ෂ 65ක් වන සමාජ මාධ්‍ය පරිශීලක ප්‍රජාව, සමස්ත ඡන්ද දායකයන්ගේ දිශානතිය නිරූපණය කරන දර්ශකයක් වෙනවා පමණක් නෙමෙයි, සමහර ප්‍රජාවන් සඳහා (උදා. විකල්ප දේශපාලන බලවේග) අතථ්‍ය (virtual) වේදිකාවක් බවට පත්වන තරමට ප්‍රබල වෙලා තියෙනවා. සමහර විකල්ප බලවේග සිය මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පාහේ සමාජ මාධ්‍ය කෙරෙහි ඉලක්ක කර මෙහෙය වන අයුරු අපට පෙනෙනවා. තොරතුරු බෙදාහැරීමේ ප්‍රධාන අවකාශයක් බවට සමාජ මාධ්‍ය පත්වීමත් සමඟම, එමඟින් බෙදාහැරෙන පුවත්වල වලංගුතාව වැදගත් මාතෘකාවක් බවට පත්වෙයි. විශේෂයෙන්ම අසත්‍ය පුවත්, නොමඟ යවන පුවත්, අපහාස ආදියෙන් සත්‍ය සහ නිවැරදි තොරතුරු තෝරා බේරාගැනීම අද්‍යතන ඩිජිටල් යුගයේ සියලු පුරවැසියන් විසින් වර්ධනය කරගත යුතු කුසලතාවක් බවට පත්ව තියෙනවා. විශේෂයෙන්ම සමාජයේ උගත් බුද්ධිමත් යැයි සම්මත පුද්ගලයන් පවා සමාජ මාධ්‍යවල හුවමාරු වන අසත්‍ය පුවත් සහ උගුල් පුවත්වලට (parody) හසුවීම කණගාටුවක්. සමාජ මාධ්‍යවල වැදගත්ම කාර්යභාරය වන්නේ එක් එක් අපේක්ෂකයන් වෙන වෙනම ජනතාව අමතන සාම්ප්‍රදායික ක්‍රමය අබිබවා යමින්, සියලු අපේක්ෂකයන්ගේ පොරොන්දු-ප්‍රතිපත්ති එකම සංවාද අවකාශයක සංවාදයට සහ විවාදයට ගැනීමට අවස්ථාවක් සැපයීම. සාම්ප්‍රදායික මාධ්‍යවල, ප්‍රකාශය සහ ප්‍රතිචාරය අතර කාලය දින හෝ පැය ගණන්වලින් මැනෙද්දී, සමාජ මාධ්‍යවල එය මැනෙන්නේ පැය හෝ විනාඩි ගණන්වලිනි. මෙය ඡන්ද දායකයා වෙත ලැබෙන ප්‍රබල ආයුධයක් බව පැහැදිලියි. එහෙයින් සමාජ මාධ්‍ය යනු කිසිදු අපේක්ෂකයකුට මඟහැර යා නොහැකි ස්වර්ණමය වේදිකාවක් බවට පත් ව තිබේ.

content ගොඩක් සමාජ මාධ්‍යවලට පොම්ප වෙන ඡන්දයක්

ෂේන් ප්‍රියවික්‍රම

ජනාධිපතිවරණයට අන් කවරදාකටත් වඩා විශාල මුදලක් ඩිජිටල් ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කරන්න සෑම අපේක්ෂකයෙක්ම තීරණය කරලා තියනවා. ලංකාවේ ඩිජිටල් ප්‍රචාරණ ආයතන බොහෝමයක් මේ වෙලාවේ බලන්නේ නිර්මාණශීලීත්වය හරහා අපේක්ෂකයෝ දිනවන්න නෙමෙයි. හැකි තරම් පළකිරීම් මුදා හැරලා වෙළඳපොළ තුළ තමන්ගේ අපේක්ෂකයාව වැඩි වාර ගණනක් පෙන්වන්න හදන්නේ. එය සලකා බැලූ විට මේ මැතිවරණය වික්ටෝරියා ජලාශයේ වාන් ඇරියා වගේ content ගොඩක් සමාජ මාධ්‍යවලට පොම්ප වෙන ඡන්දයක්. අලුත් ඡන්ද සැලකිය යුතු පිරිසක් ඒ රැල්ලට ගහගෙන ගිහින් ඡන්ද පෙට්ටිවලට වැටෙයි. ඒ නිසා මම කියන්නේ නව පරපුරේ ඡන්ද සඳහා මෙවර සමාජජාල මාධ්‍යවල බලපෑම 2015ට වඩා ගොඩක් වෙනස්. 2015 සෝෂල් මීඩියාවල ඡන්දේ කළේ යමක් තේරුණ මහපොළව එක්ක හිටපු පරම්පරාවක්. අද මේක ඇතුළේ ඉන්නවා සෝෂල් මීඩියා ඇතුළෙන්ම වැඩිවියට පත්වුණ පරම්පරාවක්. ඒ පරම්පරාව මේ රැලිවල ගහන් ගිහින් කොහෙට වැටෙයිද කියලා මට බයයි.

සමාජ මාධ්‍ය මත දේශපාලන හස්ත ක්‍රියාත්මක වෙනවා

දසුන් වානගුරු

ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය ජාලාවල හැසිරීම කොතෙක් දුරට බලපෑම් කර ඇත්දැයි කිව හැකි හොදම උදාහරණය වන්නේ පසුගිය මාස දෙක තුළ ක්‍රියාකාරීව දේශපාලන මත දරමින් සිටි ෆේස්බුක් පිටු 1500කට අධික ප්‍රමාණයක්, ගිණුම් 450ට වැඩි ප්‍රමාණයක්, පෝස්ට් දහස් ගණනක් නැවත කිසිදු පැහැදිලි කිරීමකට ඉඩ නොතබා ඉවත් කර තිබිමෙන්මයි. එයින් පැහැදිලි ලෙසම කිව හැකි කාරණය ජනාධිපතිවරණයේදී මහජනයා තම දේශපාලන තීන්දු ගැනීමේදී සමාජ මාධ්‍යජාලවල ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගන්නා බව සියලු දේශපාලන කණ්ඩායම් තේරුම් අරන් තිබෙන බවයි. එම නිසා අදාළ සමාජ මාධ්‍ය සේවා සපයන ආයතන පවා හවුල් කරගනිමින් සමාජ මාධ්‍ය මර්දනය කිරීමට දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙන එක රහසක් නොවෙයි. උදාහරණයක් විදිහට බහුලව භාවිතවෙන ෆේස්බුක් සමාජ මාධ්‍ය ගතහොත් ඔවුන්ගේ දකුණු ආසියානු කලාපය භාර ඉන්දියානු ජාතික නියෝජිතයින් පිරිස මිට සති කිහිපයකට පෙර ලංකාවට පැමිණ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ මෙහෙයුම් කරමින් සිටින්නේ ඒ වෙනුවෙන්. තවදුරටත් ලංකාවේ ෆේස්බුක් වැනි නිදහස් මාධ්‍ය සමාජ අවකාශ ඔවුන්ගේ Community Standards තුලින් පමණක් නොව ඔවුන් විසින් යම් ව්‍යාපාරික මෙන්ම දේශපාලන උවමනා වෙනුවෙන් භාවිත කරන කණ්ඩායම් තුළින්ද පාලනය වන බව නොරහසක්. මර්දනය සිදුවන්නේ කුමන ආකාරයෙන් වුවද එහි අවසාන ප්‍රථිපලය වන්නේ පුරවැසියන්ගේ අයිතිය අහෝසි කිරීම බව අප අවබෝධ කරගත යුතුයි.

දේශපාලකයෝ සමාජ මාධ්‍යට වැය කරන මුදලින්ම එහි බලපෑම පැහැදිලියි

ෂෙනාල් ගුණසේකර

ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය කොතරම් බලපෑමක් කරනවාද කියන දේට හොඳම උදාහරණය අපි 2015 දී අත්දුටුවා. මේ මොහොතේ පවතින රජයට ඉන් පෙර තිබුණු පාලන තන්ත්‍රය පරාජය කරන්න ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ සමාජ ජාල වෙබ් අඩවි තුළින් ලැබුණු ප්‍රචාරණය. ඊජිප්තුවේ හොස්නි මුබාරක්ට 2011දී ජනාධිපති පදවිය පුදලා ගෙදර යන්න සිද්ධ වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වෙලා මුළු ඊජිප්තු ප්‍රජාවම ඔහුට විරුද්ධව පාරට බැස්ස නිසා. අනෙතුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමට නියමිත කරුණු වාරණයන්ට ලක්වුණත් සමාජ මාධ්‍ය හරහා සියල්ලන්ට අමු අමුවේ කරුණු දැනගන්න පුළුවන්. සමාජ මාධ්‍ය කියන්නේ වාරණයට ලක් කළත් මොනයම් හෝ වෙනත් ක්‍රමයක් ඔස්සේ ජනතාව අතර තොරතුරු සංසරණය කිරීමට සමත් ප්‍රබල මාධ්‍යයක්. වෙනදාට අපේක්ෂකයන්ගේ දෛනික රැස්වීම් සහ රැලි ගැන අපි දැනගන්නේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් හෝ පහුවදා පුවත්පතකින්. අදටත් ඒවා ප්‍රකාශය හෝ පළ වෙන්නේ අපේක්ෂකයන්ට පක්ෂව හෝ විරුද්ධව විවිධාකාර සංස්කරණයන්ට ලක් වීමෙන්. නමුත් සමාජ මාධ්‍ය ආගමනයත් සමඟ අපේක්ෂකයා වේදිකාවේදී අතක් ඉස්සුවත් ක්ෂණයකින් රටම දැනගන්නා තත්ත්වයක් ඇති වී තිබෙනවා. මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් වෙනදාට තාප්පයක අලවන පෝස්ටර් එක අද page එකේ, timeline එකේ post එකක් බවට, sponsored advertisement එකක් බවට පත්වෙලා. ඒවා වැඩි පරිශීලකයන් ප්‍රමාණයකට දිස්වෙන්න නම් ලක්ෂ ගණනින් මුදල් ගෙවිය යුතුයි අදාළ සමාජ ජාල වෙබ් අඩවිවලට. මේ දිනවල අපිට වදයක් වෙන තරමට එය අත්දකිමින් ඉන්නවා. ඉතිං සමාජ මාධ්‍ය ප්‍රබල බලපෑමක් නොකරනවා නම් දේශපාලනඥයෝ ඒ වෙනුවෙන් ලක්ෂ ගණන් මුදල් යොදවයිද යන්න අපි නැවත ප්‍රශ්න කළ යුතුයි.

සමාජ ජාලාවලින් ජනාධිපතිවරණයට බලපෑමක් වෙන්නේ නැහැ

අමන්දා අබේසූරිය

මගේ පෞද්ගලික අදහස නම් ජනාධිපතිවරණයට සමාජජාලාවන්ගෙන් බලපෑමක් නොවෙන තරම්. ලංකවේ බහුතරය, අවුරුදු 18ක් වෙන නව ඡන්දදායකයන් පවා "පාරම්පරිකව" ඡන්දය ලබාදෙන්නන්. ඔවුන් දැනටම තමන් ඡන්දය ප්‍රකාශ කරන්නා කවුදැයි තීරණය කර අවසන්. ෆේස්බුක් හෝ ට්විටර් හරහා සංසරණය වෙන පෝස්ට් එකකින් ඔවුන්ගේ ඡන්දය වෙනස් වන්නේ නැහැ. තමන්ගේ අපේක්ෂකයාට එරෙහි මතයන් මඩ ලෙසත්, විරුද්ධ අපේක්ෂකයාට එරෙහි මතයන් සත්‍යය ලෙසත් පිළිගන්නට බහුතරය කැමැතියි. සමාජජාලාවන්වල ඡන්ද කැම්පේන්වලින් තමන් තෝරාගත් අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කරන්නට ගත් තීරණය නිවැරදි බවට හෝ අනෙක් අපේක්ෂකයා ප්‍රතික්ෂේප කරන්නට ගත් තීරණය නිවැරදි බවට ස්වයං තහවුරුවක් සිදුවන්නේ. කෙසේ නමුත්, මැතිවරණය අලලා දුර්මතයන් පතුරුවන්නට වගේම, ඒවා බිඳ දමන්නටත් සමාජජාලාවන් භාවිතය පහසුවක්.

සංයමයෙන් භාවිත කළොත් ප්‍රතිඵල ලැබෙයි

දමිත් ඛේතක

21 වැනි සියවසේ දේශපාලනය පුරවැසියන්ගේ අභිමතයන්ට හීලෑ කරගන්න පුළුවන්, එක්තරා දුරකට සජීවීකරණ අත්දැකීමක් ලෙස අපට සමාජ මාධ්‍ය ජාලා හඳුනාගන්න පුළුවන්. පුරවැසියන්ගේ පුද්ගලික කැමැත්ත දක්වාම විමසා එය අනෙක් අයට දැනගන්න සලස්වන මෙබඳු තියුණු ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාවලින් ගොඩනැගෙන පොදු ජන අභිමතයේ ශක්තිය හමුවේ, දරදඬු පාලකයන්ටත් හිස නමා පසු බසින්නට සිදුවූ අවස්ථා අප මෑත ඉතිහාසයේ දැක තිබෙනවා. සමාජ ජාල වෙබ් අඩවි හරහා ජනතාව පුරවැසි මාධ්‍යකරණයේ නිරත වීම ඇරඹීමෙන් පසුව, තවදුරටත් දේශපාලනය කියන්නෙ ප්‍රධාන මාධ්‍ය හසුරුවන සමාජයේ උපරි ව්‍යුහය සතු දෙයක් නෙමෙයි. නමුත්, මෙහිදී තමන්ට ලැබෙන වේදිකාව පරිණතව හැසිරවීම තමන් සතු වගකීමක්. විශේෂයෙන්ම රටේ පළමු පුරවැසියා තේරීමේ අවස්ථාව ජනතාවට ලැබී තිබෙන මේ මොහොතේ, තම තමන් නියෝජනය කරන මතවාදයට වාසිදායක තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන්න සක්‍රීය දේශපාලනයේ නියුතු අයට අවස්ථාවක් ලැබෙන්නෙ, වැදගත්කමෙන් සහ සංයමයෙන් යුතුව ඒ අවස්ථාව භාවිත කළොත් පමණයි. මේ නිසාன පවතින පක්ෂ දේශපාලනය නියෝජනය කරමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල ක්‍රියාකාරීව සිටින අය, තමන්ගේ හැසිරීම ප්‍රියමනාප හැසිරීමක් ලෙස පවත්වා ගැනීම, මෙම ජනාධිපතිවරණයේදී පමණක් නොව, මින් ඔබ්බට තිබෙන සියලුම මැතිවරණ සඳහා ඔවුන් නියෝජනය කරන පාර්ශ්වල ජයග්‍රහණය කෙරෙහි සෘජුවම බලපාන බව මතක තබාගත යුතුයි. ශ්‍රී ලාංකික මැතිවරණ අවකාශය ශීලාචාර එකක් බවට පත්කිරීමේ පුරෝගාමීන් වෙන්න ඔවුන්ට හැකියි.

මෙවර ජනපතිවරණයට සමාජ මාධ්‍යවල බලපෑම වැඩියි

හම්සා හනීෆා

සමාජ ජාලා තුළින් 2015 ජනාධිපතිවරණයේදි ඇති කළ බලපෑමට වඩා 20 ගුණයකින් පමණ බලපෑමක් මෙවර ජනාධිපතිවරණයේ සමාජ මාධ්‍ය තුළින් එල්ල වෙනු ඇතැයි සිතනවා. එයට හේතුව මෙවර තරුණ ඡන්ද ලක්ෂ 10කින් වැඩිවී තිබීම. දැනටමත් මේ සමාජ මාධ්‍ය තුළ එක් එක් පුද්ගලයන් ඇති කර තිබෙන බලපෑම් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ වගේම ඒ හැසිරීම් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා තුළම විවිධ මත සංසරණය වෙනවා. මේ නිසා මැතිවරණ සතිය පැමිණෙද්දි මෙය සමහරවිට සමාජ මාධ්‍ය වාරණයක් දක්වාද දීර්ඝ වීමටද ඉඩකඩ පවතිනවා. නමුත් අවසානයේ අපි හැමෝම තේරුම් ගත යුතු එකම දේ නම් "දැන් අපිට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් මේ රටේ තිබෙන බව".

ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට සයිබර් ක්‍රියාකරුවන් කටයුතු කළ යුතුයි

අභීත එදිරිසිංහ

මම කැමතියි මේ කතාව සමාජ ජාලවලිනුත් එහාට ගොස් සමස්ත සයිබර් අවකාශය කරාම ගෙනියන්න. මිලියන 22කට ආසන්න ජනතාවක් ඉන්න රටේ මිලියන හයකට වඩා මඳක් වැඩි ජනතාවක් සයිබර් අවකාශය භාවිත කරනවා. 2015 ජනපතිවරණයේදී මේ සයිබර් අවකාශය දේශපාලනයට භාවිතා වීමේ ප්‍රවණතාවයක් අපට දක්නට ලැබුණා. ශ්‍රී ලාංකිකයින්ට නැවුම් අත්දැකීමක් වූ ඒ සයිබර් මැතිවරණ ප්‍රචාරණය ඉතා නොවැදගත් අශ්ලීල, පහත් මට්ටමේ ක්‍රියාවලියවක් වූ බවයි මගේ හැඟීම. කෙසේ වෙතත් එම ක්‍රියාවලිය තුලින් පැවති ආණ්ඩුව පරාජයට පත් කරන්නට සමත් වුණා. 2019 වනවිට දැන් දැවැන්ත සයිබර්වාසී මර්දනයක් ක්‍රියාත්මක කරන බව පෙනෙනවා. විපක්ෂය අදහස් දරන හිතවත් සමාජ ජාලා ගිණුම්, පිටු, කණ්ඩායම් සියල්ල දැවැන්ත මර්දනයකට පත් කරමින් තිබෙනවා. හාස්‍යයට මෙන්ම පිළිකුලට ලක්වන කරුණ වන්නේ මාධ්‍ය සදාචාරය, නිදහස ගැන පොරොන්දු මතින් බලයට පැමිණි ආණ්ඩුවක් පාලන බලය දරන කාලයක මෙලෙස නින්දිත ලෙස මර්දනයක් සිදුවීමයි. පක්ෂ දේශපාලනයට බිම් මට්ටමේ දේශපාලනයට තිබෙන තත්ත්වය උරුම කර නොදී, එය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට ක්‍රියා කිරීමට කටයුතු කිරීම, සාපේක්ෂව සාක්ෂරතාවකින් ඉහළ මට්ටමේ සිටින සයිබර් ක්‍රියාකරුවන් සිදු කළ යුතු ප්‍රමුඛ කාර්යයක් බව මගේ හැඟීමයි.

2015දී සමාජ මාධ්‍ය පිළිබඳව මිනිසුන්ගේ විශ්වසනීයත්වය අඩු වුණා

සොනාල ගුණවර්ධන

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 1/3 එකක් පමණ සමාජ මාධ්‍ය භාවිත කරන බැවින් ජනාධිපතිවරණයක දී ඔවුන් තීරණාත්මක සාධකයක් වීමේ සම්භාවිතාවය ඉහළ අගයක් ගනී. 2015 ජනාධිපතිවරණයේ දී බොරු සමාජගත කිරීම, ජාතිවාදය ඇවිස්සීම, ද්වේෂය පැතිරවීම ආදී කරුණු නිසා සමාජ මාධ්‍ය පිළිබඳව මිනිසුන්ගේ විශ්වසනීයත්වය අඩු වුවත් එය ඉදිරියටත් සමාජයට බලපෑමක් කළ හැකි මාධ්‍යයක් ලෙස වැජඹෙන බව අවිවාදයෙන් පිළිගත යුතුය. එම නිසාම ප්‍රධාන අපේක්ෂකයන් සමාජ මාධ්‍යයන් හරහා මැතිවරණ ප්‍රචාරණ කටයුතු විවිධාකාරයෙන් කරන බව පැහැදිලිය. දේශපාලනඥයන් හා ඔවුන්ගේ අධාරකරුවන් පක්ෂ ප්‍රතිපත්ති, ඉදිරි සැලසුම්, කලින් සිදුකළ සංවර්ධන වැඩසටහන් හා ප්‍රතිවාදීන් ගේ දුර්වලකම් ඉස්මතු කර පෙන්වීම උදෙසා සමාජ මාධ්‍ය වැඩිපුර භාවිතයේ යොදවයි. දේශපාලන කඳුවුරුවලට සෘජුව සම්බන්ධ නොවූවත් බොහෝ පුද්ගලයන් තමන්ගේ දේශපාලන මතය හා තමන් විශ්වාස කරන දේශපාලන පක්ෂයේ මතවාද සමාජගත කිරීමට සමාජ මාධ්‍යන් තුළ විවිධ නිර්මාණශීලී මෙන්ම අපහාසාත්මක, දේවේශය, වෛරය පතුරවන ක්‍රියාකාරකම් වල යෙදේ. එවැනි සමාජයට අහිතකර දේ සමාජ මාධ්‍ය තුළ වාරණය කිරිම හෝ ඉවත් කිරිම ගැටලුවක් නොමැති නමුත් මෑතක සිට ආණ්ඩු විරෝධී ආකල්ප දරන සාමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ගේ ගිණුම් අසාමාන්‍ය ලෙස ඉවත් කිරිමේ සැලසුමක් ක්‍රියාත්මක වෙන බව පැහැදිලිය. මම ද එහි අවාසනාවන්ත ගොදුරක් වූ බව මෙහි සඳහන් කළ යුතුමය. ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස වැනි කරුණු අවධාරණය කර බලයට පැමිණි ආණ්ඩුවක පාලන කාලයක් තුළ මෙවැනි ප්‍රතිචාරයක් ලැබීම පිළිකුල් සහගතය.

දැන් ව්‍යාජ පුවත්වලට ක්ෂණික පිළිතුරු ලැබෙනවා

අචල කුමාරසිරි

මම හිතන්නෙ අද වෙනකොට සමාජ මාධ්‍ය ජාලා කියන්නෙ මිනිස්සුන්ට ප්‍රවෘත්ති ගලාගෙන එන ප්‍රධාන මාධ්‍යයක්. සෑම පුද්ගලයෙක්ම තමන්ගෙ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති කර්තෘ කෙනෙක් විදියට සලකන්න පුළුවන්. ඒත් අද වෙනකොට සමාජ මාධ්‍ය ජාලාවලින් වැඩිපුරම කෙරෙන්නෙ මඩ ප්‍රචාරණය කරන එක. බහුතරයක් ප්‍රවෘත්ති සත්‍යයෙන් තොරයි. ඒ වුණත් මේකෙ තියෙන විශේෂත්වය තමයි ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය වුණු ගමන් ඒවාට පිළිතුරුත් ක්ෂණිකව ලැබෙනවා සමාජ මාධ්‍ය ජාලාවලදි.

මෙවර ජනාධිපතිවරණයේදි සමාජ මාධ්‍ය ජාලා විශාල බලපෑමක් කරනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලා මිනිසුන් විශාල ප්‍රමාණයකට දැනුවත් වීම් අදහස් දැක්වීම් වාද විවාදවලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපට පේන්න තියෙන දෙයක් තමයි රටේ වෙනත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවල නොලැබෙන ඉඩක් සමාජ මාධ්‍යවල අසීමාන්තිකව ලැබෙන නිසා එමගින් ජනාධිපතිවරණයේදී මිනිසුන්ගේ මත හැසිරවීම සම්බන්ධයෙන් විශාල බලපෑමක් වෙනවා කියන එක. කොහොම වුණත් සමාජ මාධ්‍ය ජාලා වල ඉන්නෙත් අපේ රටේ මිනිස්සුම තමයි. පරිගණක සාක්ෂරතාව ඉහළ රටක් වුණාට සමාජ මාධ්‍ය ජාලවලදි අසත්‍ය සංසරණය වෙනවා වැඩියි වගේම සමහර අසත්‍ය කිසිදු වග විභාගයකින් තොරව පිළිගැනීම ද මේ තුළ සිදු වෙනවා.

[නිර්මාණි බණ්ඩාරනායක]

News Order: 
1
මාතෘකා