ආදර්ශ ගම්මාන සීයක් ජනගත කරමින් අපද්‍රව්‍ය ධනයක් කරලීමට කථිකා කළ 2019 ලෝක ජනාවාස දිනය

 ඡායාරූපය:

ආදර්ශ ගම්මාන සීයක් ජනගත කරමින් අපද්‍රව්‍ය ධනයක් කරලීමට කථිකා කළ 2019 ලෝක ජනාවාස දිනය

2019 වසරේ ලෝක ජනාවාස දිනය පසුගිය ඔක්තෝබර් මස 07 සඳුදා දිනට යෙදුණි. මෙවර ලෝක ජනාවාස දින තේමාව වූයේ ‘නව්‍යකරණ ක්‍රියාදාමයක් තුළින් අපද්‍රව්‍ය ධනයක් කරගනිමු’ යන්නයි. එකී තේමාව පෙරදැරිකොට ලොව සියලු රටවල් සමඟින් ශ්‍රී ලංකාව ලෝක ජනාවාස දින සැමරුම පෙර වර්ෂවලදී මෙන් මෙවරද උත්කර්ෂවත් අයුරින් සිදුකරනු ලැබීය.

ලෝක ජනාවාස දින ක්‍රියාකාරිත්වය වසර 33ක ඉතිහාසයකට හිමිකම් කියයි. 1985 වසරේ බටහිර ඉන්දියානු කොදෙව් දූපතක් වන ජැමෙයිකානු රාජ්‍යයේ කිංස්ටන් නුවර පැවති එක්සත් ජාතින්ගේ මානව ජනාවාස කොමිසමේ වාර්ෂික සැසි වාරයේදී එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරය දැරූ ආර් ප්‍රේමදාස මැතිතුමන් ජගත් මානව ජනාවාස සංවිධානය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුකූලව 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස ප්‍රථම සඳු දින ලෝක ජනාවාස දිනය සැමරේ. එම යෝජනාව ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කළ එම සංවිධානය, එදා සහ අද ලොව සියලු රටවලට ආදර්ශයක් ගෙනදෙමින් එම ජගත් ජනාවාස වැඩපිළිවෙළ වඩාත් අර්ථාන්විත හා ඵලදායි අයුරින් නිවාස හා ජනාවාසකරණයේ නියුතු ප්‍රතිලාභී ජනතාව වෙත ප්‍රතිලාභ හිමිවන ආකාරයෙන් ක්‍රියාවට නංවනු ලැබීය.

ඝන අපද්‍රව්‍ය විධිමත් කළමනාකරණයක් තුළින් ධනයක් බවට පත් කිරීම තේමාකොට සැමරූ මෙවර ලෝක ජනාවාස දිනය එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ ශ්‍රී ලාංකික දේශීය නියෝජනය හිමිවන නිවාස හා ඉදිකිරීම් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා එකී ක්‍රියාකාරි දායකත්ව ආයතනය වන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දීප ව්‍යාප්තව පුළුල් ජාතික ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළක් ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ක්‍රියාවට නංවනු ලැබීය.

ලෝක ජනාවාස දිනය ආරම්භක කාල පරිච්ඡේදය තුළ ජනාවාස දිනයට පෙර සතිය ශ්‍රී ලංකාව තුළ ජනාවාස සංවර්ධන සතියක් ලෙසින් ප්‍රකාශයට පත්විය. මෙම වසරේදී රාජ්‍ය අනුමැතිය මත ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ද්විත්ව සති සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. එම වැඩපිළිවෙළේ මූලික අරමුණ වූයේ වර්තමානයේ ක්‍රියාත්මක ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව අංගම්පුර්ණ ලෙසින් නිර්මාණය වූ ආදර්ශ ගම්මාන සමූහයක් නිවාස ප්‍රතිලාභීන්ගේ අයිතියට පත්කරලීමයි. එම ක්‍රියාවලිය වඩාත් අර්ථ ගන්වමින් දිවයින පුරා නව ආදර්ශ ගම්මාන සීයක් නිවාස ප්‍රතිලාභීන්ගේ අයිතියට පත්කරලීම ගතවූ ජනාවාස ද්විත්ව සතිය (සැප් 27 - ඔක් 06 ) තුළ සිදුවිය.

මෙවන් වූ නව ආදර්ශ ගම්මාන මෙතෙක් ජනතා අයිතියට පත්වූයේ නිවාස හා ජනාවාස විෂය ක්ෂේත්‍රය පිළිබඳ වගකීම් දැරූ අමාත්‍යවරයා සහ සෙසු දේශපාලන නායකත්වයේ සහභාගිත්වයෙනි. එසේ වුවද රටේ පවත්නා මැතිවරණ ක්‍රියාදාමයට අනුගත වෙමින් මැතිවරණ නීතිරිති උල්ලංඝනය නොකරමින් මේ සියලු ආදර්ශ ගම්මාන නිවාස ප්‍රතිලාභීන් සහ එම කාර්යයයට දායක වූ ප්‍රතිලාභීන් සමඟින් ජනතා අයිතියට පත්කිරීම මෙම වැඩපිළිවෙළේ ක්‍රියාකාරිත්වයේ ඇති විශේෂත්වයි.

සෑම වර්ෂයකම ලෝක ජනාවාස දිනය ජාතික උත්සව ස්වරූපයකින් සංවිධානය වූ අතර මෙවර ලෝක ජනාවාස දිනය යෙදුණු ඔක්තෝබර් මස 07 වැනි දින ජාතික උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ‘අපේගම’ සංකීර්ණයේදී පැවැත්විණි. විධිමත් සංවිධානගත ක්‍රියාදාමය යටතේ නිලධාරි ආරාධිතයන් හා ලෝක ජනාවාස දින පැවති විවිධ තරග වෙතින් ජයග්‍රහණ හිමිකරගත් පාසල් දැරු දැරියන්ගේ සහභාගිත්වයෙන් මෙම ජාතික උත්සවය පවත්වන ලදි.

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ලෝක ජනාවාස දින ජාතික උත්සවය පැවැත්වුණු අතර එම සමාරම්භය සිදුවූයේ මෙවර ලෝක ජනාවාස දින තේමාව මුල්කොට දීප ව්‍යාප්තව පැවති චිත්‍ර නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය විවෘත කරමිනි. මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ නිර්මාණ තුළින් පාසල් දරු දැරියන් නිවාස හා ජනාවාසකරණයේ ඇති වැදගත්කම සහ එම ක්‍රියාවලියේ ක්‍රියාකාරිත්වය පිළිබිඹු කර තිබූ අතර එහිදී වඩාත් වැදගත් වූයේ මෙවර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් තේමාකොටගත් නව්‍යකරණ ක්‍රියාදාමයක් තුළින් ‘අපද්‍රව්‍ය ධනයක් කරගනිමු’ යන තේමාව යටතේ විවිධ වූ වයස් සීමාවන්ගේ සිසු සිසුවියන්ගේ නිර්මාණ තුළින් අර්ථ ගැන්වූ ආකාරයයි.

මෙයට අමතරව ඝන අපද්‍රව්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය සහ වෙනත් නිෂ්පාදන සකස් කරගන්නා ආකාරය පිළිබඳ වඩාත් ඵලදායි ප්‍රදර්ශනයක්ද මෙහිදී ඉදිරිපත් කර තිබිණි. මෙම උත්සවයේ සමාරම්ක දෙසුම නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා විසින් පවත්වන ලදි. මෙහිදී අදහස් දැක්වූ බර්නාඩ් වසන්ත මහතා,

“2019 වසරේ අප ලෝක ජනාවාස දිනය සමරනු ලබන්නේ 33 වරටයි. දශක තුනක ජනාවාස දින සැමරුමට නිරන්තරයෙන්ම පුරෝගාමි වූයේ ශ්‍රී ලංකාවයි. එයට මූලික හේතුව එම අදහස ලොවට ගෙන ඒමට පෙරගමන්කරු වූයේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් වීමයි. එදා සිට මේ දක්වා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සෑම වර්ෂයකම වඩාත් ඵලදායි අයුරින් දීප ව්‍යාප්තව ලෝක ජනාවාස දින සැමරුම සිදුකරනු ලැබුවා.

“මෙම වසරේ ලෝක ජනාවාස දිනය තේමාකොට ඇත්තේ වඩාත් තත්කාලීන තේමාවකි. නව්‍යකරණ ප්‍රවේශයකින් අපද්‍රව්‍ය ධනයක් කරලීම මෙවර ලෝක ජනාවාස දින තේමාව වන අතර ලොව සෙසු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද බලවත් අභියෝගයක් වී ඇති අපද්‍රව්‍ය විධිමත්ව කළමනාකරණය සහ එය නිෂ්පාදන ක්‍රියාවලියකට යොමුකර එහි සැබෑ මූල්‍යමය වටිනාකමක් ඇතිකරලීම සමාජ අවශ්‍යතාවයයි. එම කාර්යයදාමයට මුල්තැනක් ලබාදීමත් එහි ඇති වැදගත්කම සමස්ත ශ්‍රී ලාංකේය ජන සමාජයටම යොමුකිරීමට හැකිවීමත් මෙවර ජනාවාස දිනයේදී අප ළඟාකරගත් සුවිශේෂි ජයග්‍රහණයයි” පැවසීය.

ලෝක ජනාවාස දින ජාතික උත්සවයේ තේමා දෙසුම පැවැත්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා අදහස් දක්වමින් පැවසුවේ,

“ලෝක ජනාවාස දින වැඩපිළිවෙළ තුළින් නව සාහිත්‍යයක්, නව කලා සංස්කෘතියක් ජනගත කිරිමට හැකියාව ලැබිණි. එයට දායක වූයේ අනාගත සමාජයේ හිමිකරුවන් වන පාසල් දරු දැරියන්ය. ලෝක ජනාවාස දින වැඩපිළිවෙළ ආරම්භක අවස්ථාවේ සිට ජනාවාස දින වාර්ෂික තේමාවන් මුල්කොට චිත්‍ර හා රචනා මෙන්ම නාට්‍ය හා ඡායාරූප වැනි ක්‍රියාකාරකම් තුළින් මෙම පාසල් සිසු සිසුවියන් එම ජනාවාස දින තේමාවන් පිළිබඳ සිය මතය සමාජගත කරනු ලැබුවා. ඒ තුළින් ඔවුන් වඩවඩාත් විධිමත්ව නිර්මාණයකරණයට යොමුවීම මෙන්ම එම විෂය පථය පිළිබඳ සිය අදහස් වඩාත් අර්ථාන්විතව සමාජගත කිරීමද සිදුකළා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

එක්සත්ජාතින්ගේ මානව ජනාවාස කොමිසමේ ශ්‍රී ලංකා කාර්යාලයේ උපදේශිකා තනුජා ධර්මසේන මහත්මිය එක්සත් ජාතින්ගේ මානව ජනාවාස කොමිසම වෙනුවෙන් අදහස් දැක්වීම සිදුකළ අතර, උත්සව නිමාවේදී දීප ව්‍යාප්ත ලෝක ජනාවාස දින පාසල් චිත්‍ර හා රචනා තරඟයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග,තිළිනහා සහතිකපත් ප්‍රදානය සිදුවිය.

ගතවු දශකතුනක ගමන්මගක යමින් 2019 වසරේ ලෝක ජනාවාසදින සැමරුම සිදුවිය. ගතවු සැම වසරකදීම ජනාවාස දින සැමරුමතුළින් උත්සාහ ගනු ලැබුවේ වඩ වඩාත් නිවාස හා ජනාවාසකරණයට ප්‍රතිලාභීන් නිලධාරින් හා සෙසු පාර්ශව යොමුකරගැනීමයි. සෑම වර්ෂයකදීම මෙමවැඩපිලිවෙලේ වර්ධණීයතත්ත්වයට මෙය හේතුවක් විය. මෙවර ලෝක ජනාවාස දින තේමාව අවශ්‍යයෙන්ම සමාගත කළයුතු වැදගත්වූ පණිවිඩයකි. එහි ඵලදායි තත්ත්වය පිළිබඳ අප පසුවිපරම් කළයුත්තේ මෙවර ජනාවාස දිනයනිමිතෙන් ආරම්භවු හා ක්‍රියාත්මකවන සංවර්ධන කාර්යයන් දෙස ඉදිරි දැක්මකිනි.

 [යූ. ජී. තිලකරත්න]

මාතෘකා