අවසන් අවස්ථාව ගැන ජප කිරීම

 ඡායාරූපය:

අවසන් අවස්ථාව ගැන ජප කිරීම

ශ්‍රී ලංකාවේ අට වැනි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් බැඳ නාම යෝජනා බාර දී අවසන්ය. ඇප මුදල් බැඳ නාම යෝජනා බාර නොදුන් කිහිප දෙනෙක්ද වෙත්. සමහරු ලොප් වීමේ හේතු පැහැදිලි නැත. එක් අපේක්ෂකයකු තමා රැවටීම නිසා ඉවත්වන්නට සිදුවූ බවට ඇප මුදල් බැන්ද අයෙක් චෝදනා කරයි. තවත් අයකුට සිදුවූයේ හුංගාගේ කාරිය කරන්නටය. දෙපිලක් බෙදී කරන ක්‍රීඩාවලදී එක් පිලකට එක් සාමාජිකයකු සදි වූවා යැයි සිතමු. එවිට නාමික ක්‍රීඩකයකු වශයෙන් හුංගකු තබනු ලැබේ. ඒ පිලේ එක් අයකු දැවී ගිය විට දැවී ගියා යැයි නොසලකා තවත් අවස්ථාවක් ලැබේ. හුංගා යනු නාමමාත්‍රික ක්‍රීඩකයෙකි. මෙවර ජනාධිපතිවරණයට ඇප මුදල් බැඳ නාම යෝජනා බාර නොදුන් එක් අයකුට සිදුවූයේ අනෙකා ඒම විශ්වාස නැති හෙයින් නාවොත් ඉදිරිපත් වීමය. එහෙත් ඔහු ආවේය. හුංගා කැපුණේය. මෙවර ජනාධිපතිවරණයේ එක් විශේෂත්වයක් වනුයේ නඩු හබවලට පැටලී සිටින අයකුටද අපේක්ෂකත්වය හිමිවීමය. මේ අනුව අනාගතයේදී එක්කෝ ඔහු ජනාධිපති පුටුවේය. නැතිනම් පරාජිත කණ්ඩායමේය. මේ සියල්ල නාට්‍ය ජවනිකා වැන්න. එහෙත් මෙය නාට්‍යයක් නොවේ. එසේ පෙනෙන්නේ දේශපාලනය විකාරරූපී රංගණයක් බවට පත්කරගත් දේශපාලකයන් නිසාය.

දේශප්‍රේමය කෙළින් කිරීම

මේ ජනාධිපතිවරණය රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව හැටියට ඇතැම් පාර්ශ්ව මතුරනු ඇසේ. මැතිවරණ ඉතිහාසයේ අවසන් අවස්ථා ගණනාවක් පසුකර ඇති ඡන්දදායකයන් හට නම් මේ මැතිරීම නරනාටකයකි. විශේෂයෙන්ම දේශපාලන පාර්ශ්වවලට වඩා ආගමික පාර්ශ්ව මෙහිදී කැපී පෙනේ. තම ශාස්තෘෘවරුන්ගේ දේශනා අනුව හරි මඟ යෑම හා ගිහියන්ට ඒ මඟ වටහා දීම ගැන වගේ වගක් නොසිතන ඔවුහු රට හැදීම සඳහා දේශපාලන උපදෙස් දෙති. නොදන්නා ආර්ථිකයක් ගැන කතා කරති. රට බෙදීම හා ඇමෙරිකන් අතපෙවීම ගැනද ඉන්දියන් හා චීන ඇඟිලි ගැසීම් ගැනද දෙසා බාති. උන්වහන්සේලාගෙන් අහන්නැතිව කිසිවක් කරන්නේ නැතැයි කියන ගොන් වහන්සේලාද කටින් බතල සිටුවති. ආගමික සංස්ථාවෙහි සහ දේශපාලන සංස්ථාවෙහි කාර්යභාරය හා වගකීම වෙන් කොට හඳුනා නොගෙන රටම අච්චාරුවක් කරති. මේ අවසාන අවස්ථාව යැයි සටන්පාඨය කෙළින් කරමින් සිටින බොරු දේශප්‍රේමීන්ගේ අතීත පැටිකිරිය බැලූ විට කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහිමිකර ඒකාධිපතියකුගේ යකඩ සපත්තුවට මුළු රටේම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමූ දේශපාලන අවස්ථාවාදීන් පිරිසක් බව පෙනේ. රාජ්‍ය දේපළ කොල්ලකෑම, මාධ්‍ය මර්දනය, විරුද්ධවාදීන් ඝාතනය සහ පහරදීම යනාදී කරුණු අතින් බැලූ විට ඔවුන්ට ඒ සඳහා ඉඩක් ලැබෙන අවසන් අවස්ථාව හැටියට හැඳින්වීමෙහි නම් වරදක් නෙපෙනේ.

රට මුළුමනින්ම ඒකාධිපතතිත්වයට යටවීමේ අවසන් අවස්ථාව නම් මීට වසර කිහිපයකට පෙර අවසන් විය. එක්කෝ කල් තැබිණ.

19 කණපිට ගැසීම

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපතිත්වවට පාර කපා තිබිණි. එය වෙනස් වූයේ 19 වැනි සංශෝධනයෙනි. අධිකරණය, රාජ්‍ය සේවය, මැතිවරණ ක්‍රමය දේශපාලන ඇඟිලිගැසීම්වලින් ඉවත් කරමින් මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ පරිසරයක් ඇති වූයේ 19 වැනි සංශෝධන නිසාය. අගවිනිසුරු ප්‍රමුඛ අධිකරණය විධායකයේ බලපෑම්වලට යටත් කරන්නට දැරූ උත්සාහයත් ඒ බලපෑම්වලට යටත් නොවීම නිසා අගවිනිසුරුවරියගෙන් කෲර ලෙස පළිගත් අයුරුත් දැනගැනීමට කැමති අය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ලියූ "උත්තරීතර" පොත කියවීම සුදුසුය. 18 යළි ගෙනෙනවා යැයි දැන් දැන් මතුරන උදවියගේ අරමුණ පැහැදිලිය.

මේ අනුව ජනාධිපතිවරණය අභිමුව අවසන් අවස්ථාව අහිමිවීම ගැන විලාප නඟන්නන්ගේ හදවත්වල ඇත්තේ සැබෑ දේශප්‍රේමයක් හෝ ජනතාව ගැන ආදරයක් නොව තමන්ට නිසිනින්දේ නැවතත් පරණ සෙල්ලම් ටික දමන්නට ලැබෙන අවස්ථාව පිළිබඳ විචිකිච්චාවක් හා තමන් කර ඇති අපරාධවලට හිරේ විලංගුවේ වැටීමෙන් බේරීමට ඇති එකම අවස්ථාව පිළිබඳ කැක්කුමකි. ඔවුන් රට සහ මහජනතාව ලෙස අදහස් කර ඇත්තේ තම පවුලය. එහි සාමාජිකයන් හා නෑදෑ ගජමිතුරු සමාගමයි.

සදාචාරය, නීතිය හා ආගම

අවසන් අවස්ථාව ජප කරන ඇතැම් ආගමික පාර්ශ්ව අසවලාට ඡන්දය දෙන්නැයි මහජනයාට පවසන්නේ තම ආගමික මධ්‍යස්ථානයෙහි සිටිමිනි. බැතිමතුන් ආගමික මධ්‍යස්ථානවලට පැමිණෙන්නේ තම විමුක්තිදායකයාණන්ගේ මඟ යමින් ජීවිතය යහමඟට ගැනීමේ උපදෙස් ලබා ගැනීමටය. එහෙත් පූජකවරු එය අමතක කර අහවලාට ඡන්දය දෙන්නැයි කියති. නාමයෝජනා බාරදීමෙන් පසුවද එවැනි සිදුවීම් වාර්තා වන බව පෙනේ. මෙය මැතිවරණ නීති අමුඅමුවේ උල්ලංඝනය කිරීමකි. මෙය 1981 අංක 15 දරන ජනාධිපතිවරයා පත්කර ගැනීම පිළිබඳ පනත (2019 ජුනි මස 01 වැනි දින දක්වාවූ සංශෝධන ඇතුළත්ව] අනුව මෙය දඬුවම් ලැබිය හැකි වරදකි. එහි 78[2] යටතේ මෙසේ දැක්වේ.

"යම් තෝරා පත්කර ගැනීමක් නාම යෝජනා කිරීමේ දිනයෙන් ආරම්භව ඒ තෝරාපත් කර ගැනීමේ ඡන්දය විමසීමේ දිනයට ඉක්බිතිවම එන දිනයෙහි අවසන් වන කාලය තුළ යම් විටකදී;

[අ]ඒ තෝරා පත් කර ගැනීමේ ප්‍රතිඵලය කෙරේ බලපෑමේ කාර්යය සඳහා හෝ ඒ තෝරා පත්කර ගැනීමේදී යම් අපේක්ෂකයකුට ඡන්දය දෙන ලෙස හෝ ඡන්දය දීමෙන් වළකින ලෙස යම් ඡන්ද හිමියකු පෙලඹවීමේ කාර්යය සඳහා යම් ආගමික රැස්වීමකදී යම් වචන පවසන ; නැතහොත්

[ආ]ඒ කාර්යය සඳහා යම් ආගමික රැස්වීමකදී යම් අත් පත්‍රිකාවක්, ප්‍රදර්ශන පත්‍රයක්, දැන්වීම් කොළයක්, චිත්‍රයක්, දැන්වීමක්, ප්‍රේක්ෂකයකුගේ ඡායාරූපයක්, සලකුණක්, ලකුණක්, කොඩියක් හෝ පතාකයක් බෙදාහරින, ප්‍රදර්ශනය කරන; නැතහාත්

[ඇ]ඒ තෝරා පත්කර ගැනීමේදී යම් අපේක්ෂකයකු තෝරා පත්කර ගැනීමේ ඉඩකඩ වැඩි දියුණු කිරීමේ කාර්යය සඳහා වන්දනා ස්ථානයක මහජන රැස්වීමක් පවත්වන හෝ පැවැත්වීමට සලස්වන සෑම තැනැත්තකුම අයුතු බලපෑමේ වරදට වරදකරු විය යුතුය."

නාම යෝජනා බාර දීමෙන් පසුව මෙවැනි වැරදි කරන පුද්ගලයන් සහ අදාළ ස්ථාන පිළිබඳ සවිඥානික වෙමින් මැතිවරණ නිලධාරීන් හට ඒ පිළිබඳ තොරතුරු ලබාදීම ඡන්දදායකයාගේද වගකීම වේ. යම් ආගමක පූජකවරයාගේ දේශපාලන අදහස්වලට වෙනස් දක්වන පුද්ගලයන් හට ආගමික ලබ්ධිය අනුව වෙනස්කම් කිරීමද වරදක් බව මේ පනතෙහිම තුන්වැනි වගන්තියෙහි දැක්වේ.

චැනල් සහ කටවල්

ඇතැම් ආගමික නාලිකා මේ දිනවල හැසිරෙන්නේ තම ශාස්තෘවරයාටත් වඩා දේශපාලකයා හිස් මුදුනේ තබා ගැනීමෙනි. ඇතැම් ධර්ම දේශනා පවත්වනු ලබන්නේ නීතිඥවරුන් හෝ ගණිතාචාර්යවරුන් විසිනි. ඔවුන්ගේ බණෙහි තේමාව රට බෙදීමේ අනතුරයි; ඇ‍ෙමරිකන් ආක්‍රමණයයි.

මීට ටික කලකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්දියාවෙන් මෙරටට දුන් සුවසැරිය ගිලන් රථ සේවාවට පහර දුන්නේය. ඇමෙරිකන් හා ඉන්දියන් අධිරාජ්‍ය විරෝධය නැතිව නින්ද නොයන පචවංශලාද හෙදියන්ගේ කරපිටින් ගොස් සෞඛ්‍ය සේවය සමතලා කරන භික්ෂු පාර්ශ්වය ඇතුළු පිරිසක්ද සුවසැරියට පහර දුන්හ. අන්තිමේදී සුවසැරිය ගිලන්රථ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථනාවල රඳවා තැබීමට සිදුවිය. පසුගිය දිනෙක සුවසැරියට බැට දුන් භික්ෂුවකට හෘදයාබාධයක් ඇති විය. පොඩිනම සුවසැරිය කැඳවූහ. ලොකුනම ගිලන් රථයෙන් වැඩම කොට දිවි බේරාගත්හ.

"ඕක තමා සුවසැරිය"

පොඩි නම මතක් කළහ.

ලොකු නමට කටඋත්තර නැති විය.

මෙකී නොකී බොහෝ පාර්ශ්ව ලංකාවේ ස්වාධීනත්වයට අත නොතබනු යැයි උදේ හවා බණට කියමින් රට බෙරා ගැනීමේ අවසන් අවස්ථාව ළඟ එන බව කියති; රට බේරාගන්නා දිව්‍ය පුත්‍රයාගේ නමද සඳහන් කරති. දිව්‍ය පුත්‍රයාගේ නියෝගයෙන් එලොව යවන ලද අය ගැන තවම දුක්වන එම පවුල්වල සාමාජිකයන්ට කුමක් සිතෙනු ඇතිද? ඒ නිසා අවසන් අවස්ථාව කුමක්දැයි සිහිබුද්ධියෙන් තෝරා බේරා ගැනීම රටවැසියන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳ බව කිව යුතුය.

ආගමික ගැටුම්වල වාසිය

අවසන් අවස්ථාව සිංහල ජාතිය වඳ කිරීමෙන් බේරා ගැනීම ලෙසටද අරුත් ගන්වයි. ඒ සඳහා ඉතා සැලසුම්සහගතව මුස්ලිම් විරෝධයක් සිංහල සමාජයෙහි ඇති කිරීමට යත්න දැරිණ. සීසර් කිරීමේ මුවාවෙන් සිංහල දරුවන් වඳ කළේ යැයි වෛද්‍ය සාෆිට එල්ල කළ විරෝධය එහි එක් පියවරක් පමණි. එහෙත් පරීක්ෂණවලින් එය ඔප්පු නොවීය. මුල් චෝදනාවට සමාන ප්‍රසිද්ධියක් එයට නොලැබිණ. එනිසා සමාජගත වූ වඳ භීතිකාව තුරන් නොවීය. සාෆි නාඩගමෙහි ප්‍රධාන නළු හිමිනම ඊළඟ පියවර තබමින් තම අරමුණ ජයගැනීමේ පාර්ශ්වයට එක්විය. දැන් එම නාඩගමේ අධ්‍යක්ෂ, නිෂ්පාදක සහ සෙසු ශිල්පීන් පැහැදිලිය. ඡන්ද පොදිය සූදානම්වෙමින් පවතින බව ඔවුහු දනිති. ජනාධිපතිවරණයට පෙර වෙනස් මුහුණුවරකින් විවිධ ජාතීන් අතර සැකය හා භීතිය ඇති කිරීමේ උත්සාහයන් දියත් විය හැකිය. ඒ පිළිබඳ අවදියෙන් පසුවීම රටවැසියන්ගේ වගකීමය. පාදඩයන්ගේ අවසන් ගැළවීම ඇත්තේ දේශප්‍රේමය තුළ බව නැවත සිහිපත් කිරීම උචිතය. සැමුවෙල් ජොන්සන් කීවත් ලියෝ ටෝල්ස්ටෝයි කීවත් කතාව ඇත්තය.

[තිඹිරියාගම බණ්ඩාර]

 

මාතෘකා