මැතිවරණ සමයේ ජනමාධ්‍ය හා පුරවැසි හැසිරීම කෙසේ විය යුතුද?

 ඡායාරූපය:

මැතිවරණ සමයේ ජනමාධ්‍ය හා පුරවැසි හැසිරීම කෙසේ විය යුතුද?

දේශපාලනඥයන්ව ප්‍රශ්න කරන්න

 

රෝහණ හෙට්ටිආරච්චි

පැෆ්රල් සංවිධානය

පුරවැසියා වෙත නිවැරදි තොරතුරු ගෙන යෑම මාධ්‍යයේ වගකීමයි. නමුත් බොහෝ මාධ්‍ය තම තමන්ගේ දේශපාලන මතය ඒ හරහා ගෙන යනවා. ඔවුන් කරන්නේ ප්‍රධාන දේශපාලන කඳවුරුවල හිටගෙන තමන්ගෙ මත සමාජගත කරන එක. දේශපාලනඥයන් ප්‍රශ්න කිරීම ඔවුන්ගේ වගකීම. මාධ්‍ය කරන්නෙ දේශපාලනඥයන් ආරක්ෂා කරන එක. මොන වැරැද්දක් කළත් ඒවා ප්‍රමෝට් කරන්නෙ නෑ. තමන් පක්ෂපාතීත්වය දක්වන අපේක්ෂකයන්ට ස්කෝර් කරන්න පුළුවන් විදියට තමයි ප්‍රශ්න කරන්නෙ. පෞද්ගලික මාධ්‍ය හෝ වේවා රජයේ හෝ වේවා මිනිස්සුන්ට මහජන නියෝජිතයන් නිරාවරණය කිරීමයි මාධ්‍ය විසින් කළ යුත්තේ. ඒ වගේම පුරවැසියා තේරුම්ගත යුතුයි මේ රටේ දේශපාලන ක්‍රියාකාරීත්වය කුමක්ද කියන දේ. කඳවුරු දේශපාලනය එක්ක මැතිවරණ කාලයේ පුරවැසියා තම ප්‍රචණ්ඩකාරීත්වය මුදාහරිනවා නම් නීතිමය රාමුවෙන් පිට පනිනවා නම් ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි. ඒ වගේම පබ්ලික් ඩිමාන්ඩ් එක අත්‍යවශ්‍යයි. මාධ්‍ය වුණත් දේශපාලනය වුණත් හැසිරෙන්නෙ පුරවැසියාගේ අවශ්‍යතාව මත. මහජනයාගෙ ඉල්ලුම කුණු රසය නම් දෙගොල්ලොම දෙන්නෙ ඒක නම් ඒ නිසා තමයි රූපවාහිනී නාලිකා වුණත් ඒවට යොමු වෙන්නෙ. ඡන්දදායකයාගේ පැත්තෙන් මහජන ඉල්ලුම හැදෙනවා නම් මාධ්‍ය සදාචාරය රැකගත හැකියි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය, දේශපාලකයන් වගේම පුරවැසියා යන පාර්ශ්ව තුනම වගකිව යුතුයි.

වෙනසක් කළ හැකි බව ඉඟියකින් යවන්න

 

ආචාර්ය හරිනි අමරසූරිය

මාධ්‍ය මේ වෙලාවෙදි ස්වාධීනව හා අපක්ෂපාතීව කටයුතු කළ යුතුයි. සියලුම ප්‍රධාන අපේක්ෂකයන්ට සම අවස්ථාව හා කාලය දිය යුතුයි. ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරවලට ස්වාධීනව අවස්ථාව ලබා දිය යුතුයි.

පොදුවේ පුරවැසියා තමාගේ ඡන්දය පාවිච්චි කරන්නෙ මොකටද යන්න අවබෝධ කරගත යුතුයි. අපේක්ෂකයාගේ ප්‍රතිපත්තිමය තීරණ මොනවාද? ඔවුන් වටේ ඉන්නේ කවුද? යන්න සලකා බැලීම පුරවැසියාගේ වගකීමක්. වෙනසක් කිරීමට නොහැකි වුණත් වෙනසක් කළ හැකි බව ඉඟියකින් යැවිය යුතුයි මේ මොහොතේ. මේක පුරවැසියාට බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න තියෙන අවස්ථාවක්.

අපේක්ෂකයන්ට සමාන අවකාශයක්

 

ආචාර්ය ටියුඩර් වීරසිංහ

මැතිවරණ සමයක් කියන්නෙ ජාතික වශයෙන් වැදගත් වන සිද්ධියක්. රටක බලය බොහෝවිට මාරුවන සංසිද්ධියක්. එවැනි සංසිද්ධිවලින් රටේ සමාජ බලවේග විශාල ලෙස සක්‍රිය වෙනවා. සාමාන්‍ය තත්ත්වයට වඩා ජනතාවගේ උනන්දුව හා ක්‍රියාකාරීත්වය අතර වෙනසක් ඇති වෙනවා. සමාජ සංහතික මාධ්‍යයන් වුණත් ජනමතය සකස් කරන ස්වරූපයක් ගන්නවා. පැහැදිලිවම අපේක්ෂකයන්ට පක්ෂව හෝ විපක්ෂව යම්කිසි ස්ථාවරයක සිට තොරතුරු ඉදිරිපත් කිරීම ආරම්භ වෙනවා. රටේ සාමය හා නීතිය ආරක්ෂා කර ගන්නා ආයතන ඇතුළු සියලුම තත්ත්වයන් හා ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. මේ සියල්ල රටේ සාමාන්‍ය සමාජ සදාචාරයට බලපාන්න පුළුවන්. මැතිවරණ ක්‍රියාවලියකදි රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් තීරණාත්මක අරගලයක ඉන්නෙ. අපේක්ෂකයන් අතින් පොදු ප්‍රමිතීන් හා සදාචාරීය ප්‍රතිමානයන් උල්ලංඝනය වෙන්න පුළුවන්. තරගකාරීත්වය නිසා ඇතිවන මෙවැනි දේ සමාජයේ පොදු සදාචාරයට බලපානවා. එයාලගෙ අපේක්ෂකයා දිනවීම සඳහා අපේ රටවල ජනතාව ක්‍රියාත්මක වීම සාමාන්‍ය දෙයක්. මාධ්‍ය තමයි ප්‍රතිපත්ති සහ අපේක්ෂක අදහස් මහජනතාව වෙත ගෙන යන්නෙ. ඔවුන් අපක්ෂපාතී වෙන්නෙ නෑ. අපේක්ෂකයන් හා මාධ්‍ය සෘජු හෝ වක්‍රව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අනුව මාධ්‍ය අතර පවා තම අපේක්ෂකයන් ඉදිරියට ගෙන ඒම සඳහා තරගකාරීත්වයක් ඇති වෙනවා. දෘෂ්ටිමය වශයෙන් ඔවුන් මතවාද ගොඩනඟනවා. මෙතනදි මාධ්‍ය සදාචාරයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. මැතිවරණ සමයකදී සමස්තයක් විදියට මාධ්‍ය, සමාජ හා දේශපාලන සදාචාරය බිඳ වැටීමේ ප්‍රවණතාවක් පොදුවේ ලෝකයේ දක්නට ලැබෙනවා. මේවා අවම කර ගැනීමට විධිවිධාන අත්‍යවශ්‍යයි. ඡන්දදායකයාගේ පැත්තෙනුත් අපේක්ෂකයාගේ පැත්තෙනුත් ඒ සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව වැනි රාජ්‍ය ආයතන ක්‍රියාත්මක විය යුතුයි.

මාධ්‍ය මඟින් ප්‍රකාශ කරන දේවල් පෞද්ගලික ස්වරූපයක් ගන්නා නිසා ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ආරක්ෂා වන ආකාරයට අපේක්ෂකයන්ට සමාන අවකාශයන් තිබිය යුතුයි. අපේ රටේ ඒවට ප්‍රතිපාදන අඩුයි. අපේක්ෂකයන් වෙනුවෙන් වියදම් දරන්නෙ කවුද? පෙනී සිටින්නේ කුමන මාධ්‍යායතනයද? උදවු කරන පුද්ගලයන් කවුද? මේ සාධක මහජනතාවට ඉදිරිපත් කළ යුතුයි. අපේ රටේ අසාමාන්‍ය තත්ත්වයන් යටතේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නෙ. ඒවා අවම කරගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිමානයක් යොදා ගත යුතුයි. ඒ වගේම යුරෝපීය රටවල අත්දැකීම් අරගන්න එක අත්‍යවශ්‍යයි.

වහල් දේශපාලන සංස්කෘතිය එපා

 

මහාචාර්ය ආරියරත්න ඇතුගල

පළවෙනි කාරණය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් නෑ. අතිශය නොදියුණු ආක්‍රමණශීලී පාලකයන්ගේ අමනෝනඥ වැඩවලින් සමන්විත ක්‍රමයක් මේක. ඒ සඳහා පුරවැසියා දීර්ඝකාලීනව අහුවෙලා ඉන්නෙ. පුරවැසියා එක විදිහකට වහලුන් වෙලා; ලෝකය ගැන නොදන්නා, මැතිවරණයක් ගැන නොදන්නා, ඡන්ද අයිතිය කුමක්දැයි නොදන්නා පිරිසක් බවට පත්වෙලා. එහෙම පරිසරයක කරන්න ඕන මූලිකම දේ තමයි ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රම විමසා බැලිය හැකි අධ්‍යාපන පරිසරයක් ඇති කිරීම. මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න කවුරුවත් නෑ. පාසලේ පොදු අධ්‍යාපන ක්‍රමය තුළ මේ කතාබහ ඇති කළ යුතුයි.

දෙවැනි කාරණය ජනයා වහලුන් බවට පත්කර ගන්නා දේශපාලන සංස්කෘතිය ඉවත් කළ යුතුයි. නමුත් මේකට උදවු දෙන බවක් පේන්න නැහැ. රැලි පැවැත්වීම තමයි මින් ප්‍රධාන වන්නේ. හැමෝම රැලි පවත්වන එක අහිතකරයි. ලෝකයේ ඔය ආකාරයට රැලි පවත්වන්නේ නැහැ. ප්‍රධාන රැලි කිහිපයක් පමණයි තියෙන්නෙ. නමුත් මේ රටේ හැමතැනකම රැලි පවත්වමින් සෙනඟ අදිමින් කන්න බොන්න දෙමින් කරන විකාරරූපී දේ පොදුවේ සියලු දෙනා නැවැත්විය යුතුයි. අවුරුදු ගණනාවක් පුරා තමගේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් මාධ්‍යවලින් කියන්න බැරිව ඡන්දය කට උඩට ගිහින් කියන එක සදාචාරය හා ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ගැළපෙන්නෙ නැහැ. ඒවා විධිමත් කතා නෙවෙයි. අවසාන මොහොතේ මිනිස්සුන්ගෙ ඔළුවලට යන්නෙ ව්‍යාජ හා රැවටිලි සහගත කතා ගොඩක්.

තුන්වැනි කාරණය මාධ්‍ය සම්බන්ධයෙන් කතා කළොත් මිනිහකුට මාධ්‍යයට ඇවිත් යමක් කියන්න පුළුවන් කියන මිථ්‍යාව ක්‍රමවත් කළ යුතුයි. නොදැනුවත් සහ ජාවාරම්කාර මිනිස්සු ඇවිත් මත පළ කරනවා මාධ්‍යවල. මේවා විනයක් ඇතුව සිදුවිය යුතු කාරණා. විශේෂයෙන් පෝස්ටර් සංස්කෘතිය විනාශ කර දැමීම කළ යුතුමයි. ගිය ආණ්ඩුව මෙවැනි ක්‍රියා විනාශ කරනවා කියලා තමයි බලයට පත් වුණේ. එතනදි මම දකින නරකම දේ තමයි ජේවීපීයේ සමහර දේශපාලන චරිත වේදිකාවල නැඟලම කියනවා 'ඔව් අපි තාප්පවල පෝස්ටර් ගහනවා' කියන එක. අද තරුණ පරම්පරාව පෝස්ටර් ගහපු තාප්ප වෙනුවට ඒවායේ චිත්‍ර අඳිනවා. ඒකට ප්‍රතිවිරුද්ධව නේද මේ දේශපාලඥයො මෙහෙම කියන්නෙ? එහෙම කියන්නෙ මැතිවරණ සදාචාරයක් ගැන නොදැන නෙවෙයිනෙ. ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම තමයි එකම පරමාර්ථය. විකල්ප දේශපාලන සංස්කෘතියක් තමයි මෙහෙම කෑගහන්නෙ. ඒ නිසා මේ කලවම් වෙච්ච මතවාද තියෙන ව්‍යාජ දේශපාලනික චරිත තමයි මේවා පවත්වාගෙන යන්නෙ. ඒවට ඥානය දෙන්නෙ කොහොමද කියන්න මම දන්නෙ නෑ.

 

රට ගොඩගන්න අපක්ෂපාතී වෙන්න

 

කථිකාචාර්ය ජයලාල් රෝහණ

ලංකාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ගොඩයි. මේ හැමතැනම විධායක නිලධාරියාගේ සිට කාටත් පුද්ගල දේශපාලනයක් තියෙනවා. නමුත් අපි ජනමාධ්‍ය තුළ පුද්ගල දේශපාලනය හුවා නොදක්වා හැමටම අනුග්‍රහය දැක්වීම කළ යුතුයි. මේ අවස්ථාවේ රට ගොඩනඟන්න නම් අපක්ෂපාතීත්වයෙන් කටයුතු කළ යුතුයි. මං ඉල්ලා සිටිනවා හැකිතාක් දුරට සමබර වෙන්න කියලා. ශ්‍රී ලංකාවේ පුරවැසියා විශේෂයිනෙ. 'අපේ මිනිහා' සංකල්පය තමා තියෙන්නෙ. බුරියානියට, බෝතලේට ඕනෑම දෙයක් කරන්න පුළුවන්නෙ. මේ තත්ත්වය නතර කරලා තමාගේ දරුවො ගැන හිතන්න, අනිත් දරුවො ගැන හිතන්න කියලා ඉල්ලනවා.

 

දිනන කෙනා තීරණය කරන්නේ මාධ්‍ය

 

ඕෂල හේරත්

මාධ්‍ය සදාචාරයක් ඇත්තෙම නෑ. කවුද දිනන්නෙ කියන එක මාධ්‍යවලින් තීරණය කරලා ඉවරයි. දවසක ප්‍රවෘත්තිවල පක්ෂවලට දෙන කාල ප්‍රමාණයෙන් ඒක තේරෙනවා. මාධ්‍ය පක්ෂග්‍රාහී. සුළු සුළු මාධ්‍යවල අපක්ෂපාතී බවක් පේන්න තියෙනවා. නමුත් ප්‍රධානම හා ජනප්‍රියම මාධ්‍ය එකක්වත් ස්වාධීන නෑ. ඒක පරිපාලනය කර ගැනීමේදී මැතිවරණ කොමිසමත් අසාර්ථකයි. ඒ ඩැමේජ් එක ටික කාලයක් ගිහින් හදන්න බෑ.

පුරවැසියන්ගේ මතය දකින්න ලැබෙන්නෙ ෆේස්බුක් ට්විටර් වගේ සමාජ මාධ්‍ය ජාලා හරහා. ඔවුන්ගේ අදහස් ප්‍රසිද්ධියේ පළ වෙන්නෙ නෑ. තමන්ගෙ පක්ෂ දේශපාලනය අනුව තමයි තීරණය ගන්නෙ. විකල්පය වැඩක් නෑ. මැතිවරණ කොමිෂන් සභාවෙන් තීන්දු කරලා තියෙනවා මැතිවරණ ප්‍රචාරණය සඳහා යුද්ධය පාවිච්චි කරන්න බැරි බව. නමුත් ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායකගෙ ප්‍රචාරණ කටයුතු සිද්ධ වෙන්නෙ ඔහුගේ යුනිෆෝම් එක සමඟ. එවැනි තීන්දු ගත්තට ඒවා ක්‍රියාත්මක කරන්නෙ අතළොස්සක් පමණයි. මැද ඉඳන් කතා කරන්නේ පොඩි පිරිසක්. නමුත් එයාලටත් ප්‍රහාර එල්ල වෙනවා.

මැතිවරණ නීතිරීතිවලට අත තියන්න එපා

 

කථිකාචාර්ය චින්තක රණසිංහ

මැතිවරණ සමයකදී සිදුවිය යුත්තේ තම තමාගේ ප්‍රචාරක කටයුතු ගෙන යෑම සඳහා ගන්නා වූ පුළුල් ක්‍රියාමාර්ගයන් රටේ ජාතික ප්‍රතිපත්ති හා මාධ්‍ය සදාචාරයත් අතර කිසිදු ප්‍රතිවිරෝධතාවක් ඇති නොවන සේ කටයුතු කිරීමයි. එහිදී වඩාත් වැදගත් වන්නේ නීතිරීති හා පුද්ගල සදාචාරය පිළිබඳ කාරණයයි. 2015දී ලංකාව නවීන රාජ්‍යයක් ලෙස පරිවර්තනය වීමේ යම් මූලික ලක්ෂණ පළ කර ඇති අතර එය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේද යන්න මේ මොහොතේ දැඩි ලෙස තීරණය කළ යුතුව ඇත. මේ සඳහා රටේ ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, දේශපාලනඥයන් හා නිලධාරීන් තම මූලික වගකීම ඉටුකළ යුත්තේ මැතිවරණ නීතිරීතිවලට සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇතිවන කිසිදු දෙයකට කිසිදු ආකාරයකින් අත නොතැබීමෙනි. එසේම සියලුම ආගමික නායකයන් දැනට තම අනුශාසනා උපයෝගීකර ගනිමින් ආගමේ නාමයෙන් කෙරෙන ප්‍රචාරණ කටයුතු නැවැත්වීමට සදාචාර සම්පන්න වියයුතුයි. ඒ සඳහා නීතිරීති පෙන්වා දීමටද රටේ නීතියට හැකියාවක් පැවතිය යුතුයි. එසේම පුරවැසියාගේ පැත්තෙන්ද මාධ්‍යවේදියාගේ පැත්තෙන්ද පූර්ණ නීතිගරුක අවංකභාවයක් නිර්මාණය විය යුතු අතර පවතින සම්මත නීතියට උඩින් කිසිම දෙයක් නොතිබිය යුතුයි. නීතිය පරම ශ්‍රේෂ්ඨ බලවේගයක් ලෙස සලකා කටයුතු කළ යුතුය.

රටට ගැළපෙන නායකයකු තෝරගන්න

 

ලලිතසිරි ගුණරුවන්

මාධ්‍ය සත්‍ය වාර්තා කළ යුතුයි. පුරවැසියාගේ යුතුකම වන්නේ ඡන්ද භාවිතයේදී කලබල නොකර රටට ගැළපෙන නායකයෙක් තෝරා ගැනීමයි.

[සසංකා විතානගේ]

මාතෘකා