පත්තර මුදලාලි කිව්වම නොදන්න කෙනෙක් නෑ

 ඡායාරූපය:

පත්තර මුදලාලි කිව්වම නොදන්න කෙනෙක් නෑ

වලහන්දූව ප්‍රදේශයේ පිහිටි “මාදොල ස්ටෝර්ස්” උඩුගම පාරේ ලොකු කුඩා කවුරුත් දන්නා වෙළෙඳ ආයතනයකි. එහි වත්මන් හිමිකරු වන්නේ වන්නිආරච්චි කන්කානම්ගේ ධර්මදාස මහතායි. නමුත් ඔහුට සියලු දෙනාම ආමන්ත්‍රණය කරන්නේ පත්තර මුදලාලි යනුවෙනි.

නමට සරිලන අයුරින්ම ධර්මදාස මහතාට පත්තර පිළිබඳව රසවත් අතීතයක්ද තිබේ. 60 දශකයේදී ගාල්ලේ යුනිවර්සල් ආයතනය හා සම්බන්ධ වී දිනමිණ පුවත්පත් 05කින් ඇරැඹි පුවත්පත් ජීවිතය හා සබැඳි මිහිරි මතකයන් ඔහු අප හා බෙදා ගත්තේ මේ අයුරිනි.

මෙවර “රැස” පත්තර ලෑල්ල වෙන්වන්නේ වලහන්දූවේ පත්තර මුදලාලි වෙනුවෙනි.

ව්‍යාපාරයේ ආරම්භය ගැන කතා කළොත්?

1961 ජුනි 08 වැනිදා තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. මට අවුරුදු 22යි. මම පාසල් ගියේ අට වැනි පන්තියට. ඊට පස්සේ මේ පත්තර රස්සාවට තිබුණු අසාව වැඩිකම නිසාම මේ ක්ෂේත්‍රය තොර ගත්තා. මගේ පියාගෙන් ඉල්ල ගත්ත රුපියල් 300යෙන් මම කඩකාමරයක් බද්ධට අරගෙන තමයි ආරම්භ කරන්නේ. ඒකට මම මුලින්ම මාස්පතා රුපියල් 60 ගාණේ ගෙව්වේ. උප අලෙවි නියෝජිත ආයතනයක් හැටියට පටන් ගත්තේ. පත්තර රස්සාවට තිබුණු ආසාව නිසාම ගාල්ල ටවුමේ යුනිවර්සල් ආයතනයට ගිහින් දිනමිණ පත්තර 05 ගාණේ ගෙනල්ලා විකුණුවා. ඒ කාලේ පත්තරේ සත 15යි.

ඔය විදිහට කරගෙන යද්දී මට කිව්වා ලේක්හවුස් ඒජන්සියක් ගන්න නම් සති 07ක මුදල් 1750ක් බඳින්න ඕනේ කියලා. කොහොම හරි අන්තිමේදී මම ලේක්හවුස් ඒජන්සිය අරගත්තා. දැනට අවුරුදු 57ක් වෙනවා මම මේ ව්‍යාපාරයට ඇවිල්ලා.

දැනට විශාල ව්‍යාපාරයක් ලෙසින් කරගෙන යන්න මට උපකාර කරන අය අතර මගේ බිරිය සුමනාවති සුබසිංහ ඒ වගේම තේෂලා, තරිනි යන දූවරුන් ඉන්නවා.

ඔබ ආයතනයේ අලෙවි කරන පුවත්පත් මොනවාද?

ලේක්හවුස් ආයතනයේ සෑම පත්තරයක්ම වගේ අලෙවි කරනවා. අනෙකුත් පත්තරත් අපි විකුණනවා.

ඔබ ඒජන්සිය හරහා ආවරණය වන ප්‍රදේශ මොනවාද ?

ගාලු නගර සීමාවේ අක්මීමණ මැතිවරණ කොට්ඨාසය. දික්ඇළ, උඩුගම පාරේ කොට්ටව දක්වාත් අපේ ඒජන්සිය හරහා ආවරණය වෙනවා. තව නිරන්තරයෙන් පුවත්පත් ගන්නා ආයතනත් තියෙනවා. ඒ අතර අක්මීමණ ප්‍රාදේශීය සභාව, මහජන පුස්තකාලය, අක්මීමණ ප්‍රාදේශීය සභාව, කුරුඳුවත්ත පුස්තකාලය, මානවිල උපනන්ද මධ්‍ය මහා විද්‍යාලයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඩී.එස්.අයි. ආයතනයට ඒ වගේම ජනාධිපති බාලිකා විද්‍යාලයට පත්තර ගන්නවා.

උප අලෙවි නියෝජිතයන් කී දෙනෙක් විතර ඉන්නවාද? බයිසිකල්වලිනුත් පත්තර බෙදාහැරීම් කරනවද?

උප අලෙවි නියෝජිතයෝ 15ක් විතර මා යටතේ සේවය කරනවා. ඒ වගේම බයිසිකල්වලින් එක් අයකුත්, මොටර්සයිකල්වලින් තිදෙනකුත් ත්‍රිරෝද රථයෙන් එක් අයකුත් පත්තර අරන් යනවා.

ඒ අය පිළිබඳ පොඩි මතක් කිරීමක් කළොත්?

උප අලෙවි නියෝජිතයෝ 15 අතර සංහිඳ පොත්හල, භාෂිණි කොමිනිකේෂන්, අරලිය පොත්හල, කුසුම්සිරි ස්ටෝර්ස්, සමන්මල් කොමිනිකේෂන්, ඩේවිඩ් වෙළෙඳසල, පින්නදූව තිසර ෂූ පැලස් තමයි මතක හැටියට උප අලෙවි ආයතන වෙන්නේ.

බයිසිකලෙන් පත්තර අලෙවිකරන්නන් අතර ආරියදාස, සුනිල් කුමාරජීව,චන්ද්‍රපාල, ‍සෝමසිරි කියන අය මතක් කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනෑ ත්‍රිරෝද රථයෙන් පුවත්පත් ගෙන යන සංජීවව. ඔහු මේ ව්‍යාපාරයේදී අපට අමතක කළ නොහැකි පුද්ගලයෙක්.

මේ ආපු ගමන්මඟේ අමතක නොවන සිදුවීම් එහෙම ඇති නේද?

1988 ජේ.වී.පී. කාලේ පත්තර විකුණන අය මරණවා කිව්වා. ඒ පාර අපි පත්තර පොලිසියට බාර දුන්නා. හැබැයි ඒ කාලේ පත්තර විකුණන් නැතුව නම් හිටියම නෑ.

තව දෙයක් තමයි 1973 මාර්තු 13 උප අලෙවි නියෝජිත ආයතනයක්ව තිබුණු මාදොල ඒජන්සිය නමින් සම්පූර්ණම හිමි වුණා. එදා නම් මට අමතක වෙන්නෙම නෑ. තවත් දෙයක් තියෙනවා 1973 අප්‍රේල් ඩඩ්ලි මහත්තයාගේ මරණය වෙලේ මට පත්තර අවේ නෑ. මම පස්සේ ගාලු නගරයට ගිහින් මාතරට යවන්න ලෑස්ති කරලා තිබුණු පත්තර මිටි 04ක් අරගෙන ඇවිත් විකුණුවා. ඒ අවස්ථාවේ මට ලේක්හවුස් ආයතනයෙන් ස්තූති කළා එක්ක.

වැඩිපුර අලෙවි වෙන පත්තර මොනවාද?

මේ දවස්වල වැඩිපුර අලෙවි වෙන පත්තරය නම් තරුණි. "රැස" පුවත්පතටත් ලැබෙන ප්‍රතිචාර හොඳයි. හැබැයි මට එන පත්තර ඔක්කොම වගේ අලෙවිත් වෙනවා. සිකුරාදාට දිනමිණ 80ත් 90ත් අතර යනවා.

“රැස”ත් එන ඔක්කොම යනවා. රිටර්න් නම් අපි යවන්නේම නැති තරම්.

පැරණිම පුවත්පත් ඒජන්සියකට හිමිකම් කියන ලේක්හවුස් ආයතනය පිළිබඳව ඔබගේ අදහස කොහොමද?

ලේක්හවුස් එක කියන්නේ ඉතින් පැරණිම ආයතනයක්. අපි ඉස්සර නම් කියන්නේ දිනමිණ කන්තෝරුව කියලා. මගේ වයස 80ක් වෙනවා. තවමත් ආයතනයට එදා වගේම ආදරෙයි.

අනාගත බලාපොරොත්තු එහෙම ඇති නේද?

ලොකු ලොකු බලාපොරොත්තු නම් නෑ. ඉදිරියටත් මේ ව්‍යාපාරයම කරගෙන යන්න මගේ පුතාලා දෙන්නාට බාර දෙන එක තමයි බලාපොරොත්තුව. ඒයාලා ගෙනුත් මම ඉල්ලීමක් කරනවා බාර දීලා දිගටම ව්‍යාපාරය කරගෙන යන්න කියලා.

මාතෘකා