ජීවිතය එහෙම තමයි!

 ඡායාරූපය:

ජීවිතය එහෙම තමයි!

 

අද සඳුදා දවසක්. අද සේවා පියසට රාජකාරි කරගන්න එන පිරිස වැඩියි. බොහෝ දෙනෙක් එන්නේ ග්‍රාම නිලධාරිතුමා හමුවෙන්න. සාමාන්‍යයෙන් වසමක පොදු වැඩ කටයුතු සමස්තයක් වශයෙන් කෙරෙන්නේ ග්‍රාම නිලධාරිතුමා අතින්. ඡන්ද හිමි නාමලේඛනය සැකසීමේ සිට හැඳුනුම්පත් පිළිබඳ ගැටලු දක්වා දේ ඔහු අතින් කෙරෙන්නෙ. අපි හතර දෙනාට ‐ සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී සහකාර (කෘ.ප.නි.ස.), සමෘද්ධි නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී ‐ පැවරෙන්නේ නිශ්චිත රාජකාරියි. නිදසුනකට පාරක් අලුත්වැඩියාව, පාලමක් දැමීම ආදී ග්‍රාම සංවර්ධන කටයුතු සියල්ල බාරව ඇත්තේ මට. මගේ අත්සන නොමැතිව කිසිදු කොන්ත්‍රාත්කරුවකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මුදල් අනුමත වෙන්නෙ නැහැ. අනෙක් අතට සමෘද්ධි සහනාධාර ලබාදීම සමෘද්ධි නිලධාරිනිය අතින් කෙරෙන අතර ගැබිනි මවුවරුන්ගේ හා අලුත උපන් දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ කටයුතු පවුල් සෞඛ්‍ය නිලධාරීතුමිය අතින් කෙරෙනවා. ඇත්ත වශයෙන් රටක ගුණාත්මක සංවර්ධනයේ මූලිකාංග තමයි මේ. නොඑසේව අධිවේගී මාර්ග, නගර පුරවර ඉදිකිරීමම නෙවෙයි.

“මිස්, තේ එකක් බොමු.”

විනීතා මා ඇමතුවේ රාජකාරි මේසයේ මා වැඩ කරමින් සිටින අතරේ. සාමාන්‍යයෙන් විනීතාගේ තේ කෝප්පය එන්නේ උදේ දහයට. අද එය කලින්ම ඇවිත්.

“දහයට කරන්ට් යනවලු මිස්.”

විනීතා අවට සාධක කෙරේ අවදියෙන් සිටින කෙනෙක්. ඒ අතින් අපට වඩා ඈ අතින් සේවයක් වෙනවා නේදැයි මට හිතුණා. තවමත් එළියේ ඝෝෂාව. එන්න එන්නම ඝෝෂාව වැඩි වනු මිසක් අඩු වෙන්නෙ නෑ.

“අද මිඩ් වයිෆ් මිස් ගාවටත් බර කිරන්න බබාලා ගෙනල්ලනේ.”

මා එළියට අවධානය යොමු කරනු දුටු විනීතා කියා සිටියා. ඈ බබාලගේ බර කිරන්න ළමයි ගෙනැත් කියනකොට මට මතක් වුණේ මගේ පුංචි පුතා. මගේ පොඩිම පුතා තවම බර කිරන වයසේ දරුවෙක්. ඇත්තම කීවොත් වෙන අම්මලාට වගේ මාසයක් ගානේ පවුල් සෞඛ්‍ය නිලධාරිතුමිය ළඟට දරුවා රැගෙන බර කිරන්න යන්න මට විදිහක් නැහැ. මොකද ඇය බර කිරන්න එන වෙලාවට මම රැකියාවට ගිහින්. ඇත්තටම එය මතක් වෙද්දි රැකියාවට යන අම්මලාගේ දරුවන් ගැන මට ඇති වුණේ වේදනාවක්.

මා කල්පනාවේ නිමග්න වන අතර විනීතා තේ බන්දේසිය මගේ මේසය පසෙ‍ක තබා එළියට ගියා. පැය අටේ රජයේ නිලධාරීන් නිසාමද මන්දා, දවසින් දවස අපට එන ප්‍රශ්න හරිම කටුක යැයි මට එවේලේ හැඟුණා. ඔව්. සමහර ප්‍රශ්න විසඳන්න හිතන්නත් අමාරුයි. සමහර ප්‍රශ්න ආර්ථිකය හදාගත්තොත් විසඳිය හැකියි. ඒත් ආර්ථිකය හදාගන්න යද්දි තවත් ප්‍රශ්නවල පැටලෙනවා. එතකොට ඒ ප්‍රශ්න විසඳන එක කලින්ටත් වඩා අමාරුයි. කේෂ්ත්‍ර නිලධාරිනියක විදියට වැඩ කරද්දි සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නත් රජයේ නිලධාරීන් වන අපගේ ප්‍රශ්නත් අතර වෙනස මට හොඳට පැහැදිලි වෙනවා. ඒත් අවසානයේ බැලුවාම අපි ඔක්කොම විඳවන්නේ එකම විදියට.

තේ කොප්පය බී පීරිසි තට්ටුව නැවත බන්දේසිය මත තැබූ මම කාර්යාල කාමරයෙන් එළියට පැමිණියා. දෙයියනේ! සේවා පියසේ බිම පටන් මිනිස්සු වාඩි වෙලා. පිරිසක් ග්‍රාම නිලධාරී මහතාගේ කාමරය ඉදිරිපස පෝලිමක රැස්කද්දි පිරිසක් පවුල් සෞඛ්‍ය නිලධාරිතුමියගේ කාමරය ඉදිරිපස පෝලිමක තෙරපෙනවා. ඇතැමුන් හිරුරැසින් හිස මුවා කරගන්න බෑග් මලු හිසට තබාගෙන. මට මතක් වුණේ ලීල් ගුණසේකර මහතාගේ ‘පෙත්සම’ නවකතාවේ දර්ශනයක්. ඇත්තටම මෙසේ වී ඇත්තේ අපේ රාජ්‍ය පරිපාලනයේ අඩුලුහුඬුකම් නිසාද? නැත්නම් මිනිස්සු සියලු දේ රජයට අත පාම ලබාගැනීමට යෑම නිසාද?

“මිස්?”

මට පසෙකින් ඇසුණේ හුරුපුරුදු කටහඬක්. හැරී බැලූ විට මා දුටුවේ ශ්‍රියාලතා. මා වසමේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලට යද්දි මගේ තනි නොතනියට එන එක කාන්තාවක් ඇය.

“මොකද ශ්‍රියාලතා මේ පැත්තේ?”

මම ඇගෙන් විමසුවා.

“මිස්, මං ආවේ මිස්ට පණිවිඩයක් කියලා යන්න.”

ඈ පැවසූ කරුණ මා තුළ ඇති කළේ කුතුහලයක්. මම ඇය මගේ රාජකාරි කාමරයට කැටුව ගියා.

“මිස්, මම අද රෑට ලංකාවෙන් යනවා.”

ඈ කීවේ පුටුවේ වාඩි වෙන්නත් කලින්. ඈ කියූ දේ මට සිතාගත හැකියි. ආර්ථික අපහසුතා ඇති හුඟක් දෙනා ගෘහසේවයට පිටරට යෑම අප වසමේ සාමාන්‍ය සිද්ධියක්. ඒත් ඇයට මේ බව මා හට දැන්වීමට සිතීම ඇගේ දයාබරත්වයේ සංකේතයක් නෙවෙයිද?

“ඉතින් ඔයා කොහේද යන්නේ?”

“සයිප්‍රස්වලට මිස්. මම අවුරුදු ගාණක් එහේ වැඩ කරලනේ ආවේ. මගේ පුතාත් ගිය මාසේ බැන්දා. මට වෙන දරුවොත් නෑනේ.”

ශ්‍රියාලතා ශක්තිමත් ගැහැනියක් බව මා දන්නවා. ඇගේ සැමියා මියගොස් ඇත්තේ ඇයට පුතා ඉපදී මාස කිහිපයකින් බව වරක් ඈ මා සමඟ කියා තිබෙනවා. එසේ නම් ඇය තමන්ගේ ඉදිරි ජීවිතය සැලසුම් කර අවසන්. ඒත් මට ඇයට කියන්න දෙයක් තිබුණා.

“ඔයා යන්නෙ ඇයි කියල මට තේරෙනවා. ඒත් තමන්ගේ රටට වඩා පිටරට හොඳයි කියල ඔයාට විශ්වාසද?”

“මං එච්චර හිතන්නෙ නෑ මිස්. මම හම්බකරපු සල්ලිවලින් පුතාට ගේ හදලා දුන්නා. එයාට උගන්නන්න වියදම් කළා. දැන් මගේ අතේ ලොකුවට සල්ලි නැහැ. දරුවා නම් මට යන්න එපා කියනවා. ඒ වුණාට මිස් මට තවම හම්බ කරන්න පුළුවන්.”

ශ්‍රියාලතා කියූ දේට මං පිළිතුරු දෙන්න ගියේ නෑ. ඇයට සුබපැතුවා විතරයි. ඈ මගෙන් සමුගෙන පිටව ගිය පසු මට හැඟුණේ එකම දෙයයි. ජීවිතය එහෙම තමයි.

මාතෘකා