එදා ගමේ ගැහැනුන්ගේ කියුම් කෙරුම්

 ඡායාරූපය:

එදා ගමේ ගැහැනුන්ගේ කියුම් කෙරුම්

අද මෙන් වෙනස්වීම්වලට බඳුන් නොවූ නාගරික සිරිත් විරිත් හා අරුමෝසම්වලින් බැහැර වූ අපේ ගම් බිම් අතීතයේදී වඩා සුන්දරය. හැඩවැඩය. සිත් නළවනසුලුය. ගැමි ළඳ එදා ගම් පියසට සම්පතකි. ඔවුන්ගේ කියුම් කෙරුම් මෙන්ම ඔවුන් වටා ගෙතී ඇති කතිකාවන්ද සොඳුරුය. එදා අපේ ගම්මානයන්හි විසූ ඇතැම් ගැමි ගැහැනු පිළිබඳ විත්ති රඳවාගනු වස් තතු දන්නන්ගේ මතක ගබඩාවන්හි ඉඩකඩ අදටත් වෙන්ව ඇත. ඔවුන්ගේ ජීවන තතු, අත මිට සරු කරගත් සැටි ආදී කරුණු ඔස්සේ අපමණ රසයක් රැඳී ඇති වග ඒ පිළිබඳව වගවිත්ති සොයා බැලීමෙන් පැහැදිලි වෙයි.

කහට ඇරීම

විවිධ වෘත්තීන්හි යෙදුණු ගැමි ගැහැනු එකල අපගේ ගම්මානයන්හි විසූහ. සතියකට හෝ දෙකකට වරක් අපගේ නිවසට පැමිණෙන රෙදි නැන්දා එවැනි ගැහැනියකි. අද මෙන් රෙදි සෝදන යන්ත්‍ර භාවිත නොවූ එකල තදින් කුණු කහට පැල්ලම් වැටුණු රෙදි සේදීමට රෙදි නැන්දාගේ සහාය අවැසිම විය. අපගේ කහට වැටුණු පාසල් සුදු ඇඳුම් ආදිය අම්මා රෙදි නැන්දා ලවා සෝදා ගන්නීය. සෙනසුරාදා හෝ ඉරිදා උදය වරුවේ අපේ ගෙදරට පැමිණෙන රෙදි නැන්දා ගමේ සෙසු ගෙවල්වලින්ද එකතු කර ගත් රෙදි පොට්ටනියක් කොට බැඳ හිස මත තබා නික්ම යන්නීය. මේ රෙදි එකතු කරන විට ඒවා මාරු නොවන සේ යම් ලකුණක් යෙදීම ඇගේ පිළිවෙළයි. බෙල්ලන පාසල ඉදිරිපසින් දිවෙන බටයාගොඩ පාරේ දියවාන පාසල අසල එකල මේ රෙදි තොටු පිහිටා තිබිණ. ඇගේ පිරිසුදු කිරීම්වලින් පසු අපේ ඇඳුම් අපට ලැබෙන්නේ සතියකට පමණ පසුවය. ඒවායේ වූ කුණු කිලිටි අතුරුදන්ව දීප්තිමත් සුදු පැහැය පමණක්ම ඉතිරිව ඇත.

කෝඳුරු කැවුම්

ලිසි ආච්චිත් සොපි ආච්චිත් එකල අප නිවසට ආ ගිය ගැමි ගැහැනුන් දෙදෙනෙකි. ඔවුන් විශේෂයෙන් අපට සහාය වන්නේ සිංහල අවුරුදු සමයේදීය. සිංහල අවුරුද්දට මත්තෙන් කැවුම්, කොකිස්, අතිරස වැනි කැවිලි වර්ග සෑදීමට මොවුන් දෙදෙනා අපට උදවු වේ. අද මෙන් හාල් පිටි කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිත නොවූ එකල අවුරුදු මේසයට කැවිලි සෑදීමට මේ අයගේ උදවු උපකාර බොහෝ ගම්මුන්ට අවැසි විය. "ලබන සතියෙ කැවුම් ටිකක් උයන්න මම හිතන් ඉන්නෙ. ලිසි අක්කට ඉවරයක් තියෙනවා නං මේ පැත්තට ගොඩවෙලා යමු." අම්මා තම අදහස ලිසි ආච්චිට පවසන්නීය. නියමිත දිනයේදී හාල් දියේ දමා දර පොල්කොළ ආදියද අම්මා සූදානම් කර ගනී. ලිසි ආච්චිත් සොපා ආච්චිත් උදෑසන අපේ නිවසට පැමිණෙති. දියේ ලූ සහල් පිටි බවට පත්වන්නේ අම්මාගේද සහාය ඇතිවය. ලිසි ආච්චිත් සොපි ආච්චිත් දෙමෝලෙන් පිටි කොටති. එක් මෝල් ගසක් ඉහළට එසැවෙන විට අනෙක වංගෙඩියට එල්ල වෙයි. මෙලෙස දෙදෙනාම එක්ව පිටි කෙටීමෙන් ඔවුනට දැනෙන වෙහෙස අඩුය. පසුව කැවුම් අතිරස හෝ කොකිස් සඳහා අවැසි සේ පිටි සකසා ගැනීම සිදු වේ. මුළුතැන්ගෙයි ඉදිවෙන තාවකාලික ළිපක් මත තැබූ තෙල් වළඳක කැවුම්, කොකිස් සහ අතිරස හිනැහෙන්නේ ඉන්පසුවය. කැවුම් පිස අවසානයේ එක් කැවුමක් කෝඳුරු කැවුම සේ වෙන්කර මුළුතැන්ගෙයි යම් තැනක ගැටගැසීම ලිසි ආච්චිගේත් සොපි ආච්චිගේත් සිරිතයි.

දාංගලේ තරම

එකල අපේ ගම් බිම්වල පැවැති කවි මඩු ගැමි සිත් රසයෙන් කුල්මත් කරන අවස්ථාවකි. මේ සඳහා ඉදිරිපත් වන්නේ සම්මානලාභී කවියන් නොව, හතරපදය මනාව ගැළපිය හැකි ඊට උපන් ප්‍රතිභාවෙන් යුතු ගැමියන්ය. දිනක් මේ කවි මඩුවක වස්තු බීජය වූයේ ස්ත්‍රියයි. ඈට දුවන්නට පනින්නට උචිතද අනුචිතද යන්න මෙහිලා සාකච්ඡාවට බඳුන් විය. එකල ගැමි කෙල්ලන්ට දාංගලය හොඳ වැඩක් නොවනා වග වැඩිහිටියන්ගේ පිළිගැනීම විය. ඊට මුල් වූ කාරණාව කිමැයි විමසුවද එය එළිපිට කියන පුරුද්දක් එකල අපේ ගම්වල නොවීය."උඹලට දැනේවි ඔය දාංගලේ තරම කවද හරි දීගෙක ගිය දවසට." යනුවෙන් වැඩිහිටි ගැහැනියක් මේ පැනයට පිළිතුරු දෙමින් පවසන්නීය. මේ කරුණ පිළිබඳව පැවැති පෙර සඳහන් කවි මඩුවේදී එක් ගැමියකු කියූ කවක් අදටත් මතකයේ ඇත.

"විකුණන්නට තිබෙන කඩයක අතිරේක

ගැහැනිය බිඳෙන වීදුරුවක් වැනි දේක

එය බිඳුනොතින් විකුණන්නට බැහැ ඒක

ඒකයි ඉතිරියට දඟලන්නට නාක "

යනු එකී සිව්පදයයි.

අවුට් කැට් ෆයිටිං

තවත් ගැමි ගැහැනියකගේ කියුම්කෙරුම් වරෙක රසවත්ය. හාස්‍ය දනවනසුලුය. එකල අපේ ගමේ සිටි ගැහැනියක් විදෙස්ගතව ගෘහ සේවිකාවක ලෙස කටයුතු කර යළි පැමිණියාය. රැකියා සඳහා විදෙස්ගත වූ ගැහැනු එකල අපේ ගම්වල විරල වූහ.

යළි ගමට පැමිණි මේ කාන්තාව අරාබි උරුවට අනුගත වූ එකියක සේ කටයුතු කළාය. ඇඳුම පැලඳුම පවා අරාබි ගැහැනියක සේය. තමා ඉංග්‍රීසි දන්නා එකියක යැයි හැඟවීමට කතාබහේදී ඉංග්‍රීසි වචනයක්, දෙකක් එක්කර ගත්තාය. දිනක් ඇගේ නිවසට පිටතින් පැමිණි හොර බළලෙක් ගෙදර සිටින පූසා සපා කෑවේය. මෙය සිදු වන අවස්ථාවේ ඇගේ නිවස ඉදිරිපස ගමේ ගැටව් දෙතුන්දෙනෙක්ම වූහ. සිය ඉංග්‍රීසි දැනුම පෙන්වීමට මෙය කදිම අවස්ථාවකැයි සිතූ ඇය සිදුවීම විස්තර කෙළේ "අවුට් කැට් ෆයිටිං" එකක් ලෙසය. අවුට් කැට් නම් නිවසට පිටතින් පැමිණි හොර බළලාය. ෆයිටිං එක සේ හැඳින්වූයේ බළල් පොරයයි. ඇගේ මේ විස්තර කිරීම කොලු නඩයේ සිටි උන් ගම පුරා කීවෝය. එදා සිට හොර බළලකු තම නිවසට පැමිණ අඳෝනා කරන විට සිදුවීම දන්නා ඇගේ නිවස අසල සිටින අසල්වාසියන් “අවුට් කැට් ෆයිටිං" එකක් සේ හඬගා පවසන්නේ කතා නායිකාවට ඇසෙනා පරිදිය. එමෙන්ම පෙර කී කොලු නඩය ඇසුරු කළ පාසල් ගුරෙක් එකල මේ ගැහැනියගේ නිවස අසල විසීය. දිනක් මේ ගැහැනියගේ නිවස අසලදී බසයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටිණ. අනතුරට පත්වූවන්ට පිහිට වීමට පැමිණි පිරිස අතර පෙර කී ගැහැනියත් ගුරාත් ගමේ සෙසු පිරිසකුත් වූහ. ගැහැනියගේ තරම දන්නා ගුරා, "කාර් ඊස් කමිං දැට් සයිඩ්, බස් ඊස් කමිං දිස් සයිඩ්. බෝත් ආ හුටස්." යනුවෙන් සිදුවීම විස්තර කළේය. ඒ ඇසූවන්ගේ උසුළු විසුළුවලට මත්තෙන් කතා නායිකාව එතැනින් ලිස්සා හෙමින් සීරුවේ පල්ලම් බැස්සාය.

නිල දරුවන්ගේ කුසුම

කාලයත් සමඟ අපේ ගම්බිම්වල වූ සුන්දරත්වයත් නිස්කලංක බවත් ක්ෂය වන්නට විය. විවිධ විපරීත සිරිත් විරිත් සහ පුරුදු මේ ගම් දනව්වල පැතිර යෑම ඊට හේතු විය. අනූව දශකයේ අග භාගයේ පමණ මේ ගම් දනව්වල හොර අරක්කු පෙරීමේ කටයුතු ගජරාමෙටම සිදු කෙරිණ. ගම කෙලවරින් ගලනා ඇළ ආශ්‍රිතව හොර අරක්කු පෙරීමේ කටයුතු සිදු කෙරුණේ කාටත් හොර රහසේ නීතියේ ඇසට වැලි ගසමිනි.

පෙරනා ලද හොර අරක්කු විකිණීම සඳහා ගැහැනියක යොදා ගැනීමට පෙරන්නෝ කටයුතු කළහ. මේ කටයුත්තට තෝරා ගැනුණේ තරමක කට හැකර ගැහැනියක වන පොඩි අක්කාය. ඈ රබර් වතු ආශ්‍රිතව සැඟවී අරක්කු අලෙවි කිරීම ඇරඹුවාය. ඈ සිටිනා ඉසව්ව තක්කෙටම දැන ගන්නා ගනුදෙනුකරුවෝ සෑම සැන්දෑවකදීම ඈ සොයා ගියහ. වැඩි කලක් යෑමට මත්තෙන් මේ සිදුවීම පොලිසියේ කන්වලට ගියේය. එනමුත් පොඩි අක්කාට ඔත්තු සපයනවුන් අතර කාකි සූට්කාරයන්ද විය. කෙලෙස හෝ දිනක් මේ හොර අරක්කු පොළ වැටලීම සඳහා නීතිය කරවන නිලදරුවෝ පැමිණියහ. ඒ වග ඔත්තුකාරයන් මඟින් පොඩි අක්කාගේ කන වැකී තිබිණි. හොර අරක්කු පිරවූ බැරලය ගොඩපර ගාලක සැඟවූ පොඩි අක්කා හනිකට පල්ලම් බැස්සාය. ඒ එන අතරමඟදී රබර් වත්තෙන් ගොටුකොළ මිටක් කඩා ගැනීමටද අමතක නොකළාය. දැන් ඇය පලා නෙළන උපාසිකාවකි. ඈතින් එන නුපුරුදු නොහඳුනන මහතැන් දෙපළ පොඩි අක්කාගේ ඇස ගැටිණ. නමුත් වෙනසක් නොපෙන්නාම ඈ සිය කටයුත්තේ නියැළෙමින් ඉදිරියට පැමිණියාය.

අවසානයේ මේ නුපුරුදු දෙදෙනාත් පොඩි අක්කත් එකිනෙකා මුණගැසිණ. තමන් කවුරුන්දැයි හඳුන්වා දුන් නිලදරුවෝ හොර අරක්කු පිළිබඳව පොඩි අක්කාගෙන් විමසූහ. එවැන්නක් පිළිබඳව තමන් නොදන්නා වගත් පලා නෙළීමට ඕවිටට ගිය වගත් ඇගේ පිළිතුර විය. නමුත් ඉන් සෑහීමට පත් නොවූ නිලදරුවෝ පොඩි අක්කා රඳවාගෙන ප්‍රශ්න කළහ. අවසානයේ නිල දරුවන් දෙදෙනාගෙන් එකකු පොඩි අක්කාගේ අත තම නාසය අසලට ගෙන ඉව කර බැලුවේ ඇගේ අතින් හොර අරක්කු ගඳක් වහනය වේදැයි පිරික්සීමටය. නමුත් එවැන්නක්ද සොයා ගැනීමට නිල දරුවෝ අසමත් වූහ. මේ සියල්ල මෙතෙක් වේලා බලා සිටි පොඩි අක්කා "ආව මේතන මගෙ අත ඉඹින්න" යනුවෙන් පවසමින් නිලදරුවා තමන්ට නොසන්ඩාලකමක් කරන්නට සැරසුණු වග මවා පා සැර පරුෂව සිය කටහඬ අවදි කළාය. පිරික්සුම අහවරව නිලදරුවෝ ලිස්සා ගියහ.

ගැහැනුන් වටා ගෙතුණු ඕපාදූප, කයිකතන්දරවල හිඟයක් එදා මෙන්ම අද සමාජයටද නොමැත. නමුත් එදා ගැමි සමාජයේ විසූ ගැමි ගැහැනු පිළිබඳව වංහුං සොයා බැලුවහොත් ඒවා කතා රසයෙන් පොහොසත්ය. චිත්තරූප දනවනසුලුය. නමුත් නොනවතින ජීවන අරගලය හමුවේ ඒ සොඳුරු ගැහැනිය මතක පොතේ පිටු අතරට වී අපෙන් වහං වී හමාරය.

සටහන [දුමින්ද ජයවර්ධන]

මාතෘකා