කල්ලඩි පාලම පාමුල සිංදු කියන මාළුවෝ

 ඡායාරූපය:

කල්ලඩි පාලම පාමුල සිංදු කියන මාළුවෝ

නමින් මඩකළපුව ලෙස නම් ලැබූවද එහි මඩ ඇති බවක් නම් දිස්වන්නේම නැත. බැලූ බැලූ අත දිස්වන්නේ නීල වර්ණයෙන් බබලන ජල තලයත් එයට මායිම් වන හරිත තීරයත් පමණි. කළපුව හරහා හමා එන මඳ නලට මුහුණ දෙමින් විසල් කළපුව හරහා විහිදුණු අඩි නවසිය හතළිස් හයක් දිගැති කාල වර්ණ යකඩ පාලම නිහඬව බලා සිටී. මඩකළපු නගරය කාත්තාන්කුඩිය දෙසට යා කරමින් A4 අක්කරපත්තු - මඩකළපුව මාර්ගයේ කල්ලඩි ප්‍රදේශයේ පිහිටි මෙම පැරණි යකඩ පාලම මිනිස් හැකියාවත් සොබා දහමත් එකට එක්කළ සුන්දර නිර්මාණයකි. ලංකාවේ පිහිටි දිගම යකඩ පාලම ලෙස සැලකෙන වර්ෂ 1924දී ඉදිකර අවසන් වූ මෙම යකඩ පාලම බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එවකට ලංකාව පාලනය කළ බ්‍රිත්‍යානය ආණ්ඩුකාරයාගේ බිරිඳගේ නමින් ලේඩි මැනින් (Lady Manning Bridge) යනුවෙන් නම් කළ බව සඳහන් වේ. නමුත් මඩකළපුව කල්ලඩි ප්‍රදේශයේ පිහිටි මෙම සුන්දර පාලම ලොව පුරා ප්‍රසිද්ධ වූයේ කල්ලඩි පාලම නමිනි. නිල් පැහැයෙන් දිස්වන කරදිය කළපුව මැදින් විහිදෙන සම්පූර්ණයෙන්ම යකඩින් නිර්මාණය වූ කල්ලඩි පාලම මෙම පරිසර පද්ධතියට අපූර්ව චමත්කාරයක් ගෙන එන අතර මඩකළපුවට පැමිණෙන සංචාරකයක්ගේ ප්‍රකට නැවතුමක් ලෙස ජනප්‍රියතාවක් හිමි කරගෙන තිබේ.

අතීතයේ සිටම කල්ලඩි පාලම ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ එහි සුන්දරත්වය නිසාම නොවේ. මෙම පාලම පාමුල සිංදු කියන මාලුන් සිටින්නේ යැයි පවතින විශ්වාසය නිසාය. මඩකළපුව හඳුන්වන්නේ ගී ගයන මාළුන්ගේ පාරාදීසය යනුවෙනි. ඊට හේතුවී ඇත්තේද ගී ගයන මාළුවන් මෙම කලපුවේ වාසය කරන්නේ යැයි පවතින විශ්වාසයයි. නවසිය හැටේ දශකයේදී මෙහි විසූ ෆ්රෑන්ක් ලෑන් පියතුමා විසින් කල්ලඩි පාලම යට කිසියම් මිහිරි රාවයක් නඟමින් පිහිනූ මාලු රෑනක නාදය පටිගත කොට එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයෙන් ප්‍රචාරය කළ බව සඳහන් වන අතර ඒ මඟින් මඩකළපුවේ සිංදු කියන මාළුන් පිළිබඳ ජනතා අවධානය යොමු වී තිබේ. සඳ පායන රාත්‍රියන්හි කල්ලඩි පාලම අසල මාළුන්ගේ ගීත ඇසෙන බව වාර්තා වන අතර සී.එස්. කුලතිලක මහතා ඔහුගේ ජන සංගීත පර්යේෂණ යටතේද මෙහි මාළු රැනක නාදය පටිගත කොට ගුවන් විදුලියෙන් විකාශය කළ බව සඳහන් වේ. නමුත් කල්ලඩි පාලම යට සුන්දර කළපු දියේ පිහිනමින් ගී නාද නැංවූ මත්ස්‍යයන් ගැන වර්තමානයේ අසන්නට ලැබෙන්නේ පුරාවෘත්තයක් පමණි. එහෙත් එය අදටත් මඩකළපුවේ අනන‍යතාව බවට පත්වී ඇති අතර මඩකළපුව හා ආශ්‍රිත ප්‍රදේශයන්හි බොහෝ ස්ථානවල මත්ස්‍යයන්ගේ සංකේත දක්නට ලැබේ. මෙම සිංදු කියන මාළුන් පිළිබඳ සත්ත්ව විද්‍යාඥයන්ගේ මතය වන්නේ යම් හඬ රටාවක් නිකුත් කළ හැකි මත්ස්‍ය රංවු මෙම කළපුවෙහි වසන්නට ඇති බවත් ඔවුන්ගේ හඬ ගී හඬක් ලෙස මිනිසුන් වටහා ගන්නට ඇති බවත්ය.

මෙම කල්ලඩි පාලම හරහා පොතුවිල් දෙසට දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේදී යෝජනාවක්ද අතීතයේ පැවති බව සඳහන්වේ. බස් හා දුම්රිය එක්වර ගමන් කළ හැකි පැරණි මනම්පිටිය පාලමද කල්ලඩි පාලමේ ආකෘතිය හා බොහෝ සේ සමාන වන අතර මෙම පාලම දුම්රිය මාර්ගය සඳහාත් යොදා ගැනීමට හැකිවන අයුරින් සැලසුම් කරන්නට ඇති බව සලකයි. මඩකළපුව දක්වා දුම්රිය ගමන් කිරීම වර්ෂ 1928 ආරම්භ වූ අතර මෙම පාලම ඉදිකිරීම ඇරඹෙන්නේ 1921දීය. කලක් අභිමානයෙන් වැජඹුණු කල්ලඩි පාලම තවදුරටත් ගමනාගමන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවූ බැවින් කළපුව හරහා නව පාලමක් ඉදිකිරීමට යෝජනා වූ අතර පැරණි යකඩ පාලමට අනෙක් පසින් අඩි හතළිස් හයක් පළල සහ අඩි නවසිය හතළිස් හයක් දිග නව කල්ලඩි පාලම ඉදිකර 2013 මාර්තු මාසයේදී මහජනතාව සඳහා විවෘත කරන ලදී. අතීත කල්ලඩි පාලම සම්පූර්ණයෙන්ම යකඩින් නිමකර තිබුණද ඒ සමගාමීවම ඉදිකළ නව කල්ලඩි පාලම කොන්ක්‍රීට් නිර්මාණයකි. නව පාලම නිසා පැරණි පාලමෙහි සුන්දරත්වයට තරමක් හානි සිදුවුවද මෙහි පරිසරය ක්‍රමයෙන් එයට අනුගත වෙමින් සිටී.

ඉර බැස යන සැන්දෑවක මෙම පාලම අසලට පැමිණියහොත් හුදකලා වූ පැරණි පාලම මත සිට අලුත් පාලම මතින් ගමන් ගන්නා වූ වාහන සහ මිනිස්සු යන දෙස බලමින් රාත්‍රිය උදාවන තුරුම එහි චමත්කාරය විඳිය හැකිය. කළපුවේ ජලය කල්ලඩි පාලමේ යකඩ කණුවල වදිමින් අපූර්ව හඬක් නිකුත් කරයි. කළපු දිය සෙලවෙන විට මතුවන ජල රැළි යකඩ පාලමෙහි වදින සිහින් ගීතවත් ස්වරය හැරුණුවිට ඇසෙන්නේ නව පාලම මතින් වේගයෙන් ඇදෙන වාහනයක හඬ පමණි. එසේ නම් සිංදු කියන මාළුවෝ? සිංදු කියූ මාළුන්ගේ අතීත රහස් සඟවා ගනිමින් කල්ලඩි පාලම නිසොල්මනේ සිටී. කළු පාලමේ යකඩ අතරින් කලපුවට වැටන සඳකැන් මිනිස් නිර්මාණයන් සොබාදහම සමඟ එක්වූ විට ඇතිවන සුන්දරත්වයට කදිම සාක්ෂියක් සපයමින් සිටී.

[අසිරු වේදිත කරුණාරත්න]

------------

පිනි සළුව යටින් මහ ඇල්ලට යමු

දිය ඇලි පිළිබඳව වගතුග සොයා යාමත් ඒවායේ නම් ගම් විත්ති, ඒ හා බැඳි ජනශ්‍රැතිය පිළිබඳවත් තොරතුරු සෙවීම ආනන්දනීයය. මේ දිය ඇලි සොයා යන චාරිකාව මා ඇරඹුවේ මීට දශක දෙකකට ඔබ්බෙනි. බදුරලිය මොරපිටියේ මහ ඇල්ල සොයා යන ගමනේදී මාගේ ගමන් සගයා වූයේ පාපැදියකි.

අහසෙන් වැටෙන වැහි ඇට පොළවේ ගොඩනඟන්නේ අමුතු ආදර කතාවකි. එසේ වැටෙන සෑම වැහි බිදුවක්ම පොළවට වැටෙමින් මුමුණන තාලය තක්කිට තරිකිට යන තාලයට අනුගතව ඇති සැටියකි.මේ ආසිරි මල් වැස්ස යටින් මම මොරපිටිය වෙත ළඟා වීමි. මා පිළිගන්නට මොරපිටියේ ගැමියකු වන පියසේන මාමා මඟට පැමිණ සිටිනා සැටි දැකීමෙන් එතෙක් ඔහු පැමිණේදැයි යන දෙගිඩියාවෙන් පැමිණි මගේ කුකුස දුරු විය. මොරපිටිය අලුත් මාවතේ ගම්මානය මැදින් පැමිණි අපි කෙමෙන් නිවෙස්වලින් තොර වනගත ඉසව්වකට ළඟාවීමු. එතැන් සිට ඉදිරියට පාපැදියෙන් යාම උගහටය. ගමේ අවසන් ඉසව්වේ වූ නිවසෙහි පා පැදිය නවතා දැමූ අපි ගෙවත්තේ මායිම අසලින් ඇරඹෙන අඩි පාර ඔස්සේ ගමන ඇරඹුවෙමු. ගමන ඇරඹුමත් සමගඟ"කූඩැලි ගුළි" පිළිබඳව මාගේ මතකයට නැගිණ.

මා ඉදිරියෙන් කපු රාල කෙනකු රැගෙන යන තරමේ කුඩයක් ඉහළා ගෙන යන පියසේන මාමාගේ ගමන ඉක්මන්ය. විනාඩි දෙක තුනක් යන විට මගේ දෙපාවල අයිතිය කූඩැල්ලන් සතු විය. කූඩැල්ලන් කඩා දැමීම පිණිස මම නැවතුණෙමි. මට සිදුවී ඇති අකරතැබ්බය දුටු පියසේන මාමාගේ කට කොනකට සිනහවක් නැඟෙන සැටි මම දුටුවෙමි."ඔතන ඉඳලා කූඩැල්ලො කඩලා ඔය වැඩේ කවදාවත් ඉවර කරන්න වෙන්නෙ නෑ. අන්න අර ගල් පතුර උඩට ගොඩවෙලා කඩාදාන්න"පියසේන මාමාගේ දැනමුතුකමට අනුව මම අසල වූ ගල් පතුර මතට ගොඩවීමි. එක් දිනකදී මගේ දෙපා මත එතරම් කූඩැල්ලන් එල්ලී ඇති වෙනත් අවස්ථාවක් මේ මොහොතේදී හෝ මා මතකයට නොනැඟේ. අඩි පාර හමාර කළ අපි දොළ පාරට පිවිසුණෙමු.

ඈත කඳු නිම්න ඔස්සේ ගලා එන දහර නුබ ගැබින් නිදහස්ව මහී කාන්තාව වෙත ගලා එන සෙනෙහසේ ක්ෂීර ධාරවක් බඳුය. මේ සෙනෙහැති ක්ෂීර ධාරාව අප දෙපා සිපගත්තේ අපමණ සෙනෙහසකින් යුතුවය. දෙපා තුළින් ඇතුළු වූ සිසිල් ලේ දහරාවක් සේ දිය දහරේ සිසිලස මගේ හද බඳුන වෙත ගලා යන සැටි මම මොහොතක් අත් වින්දෙමි. මෙතෙක් ඒ දෙපාවල වූ කිලිටි සියල්ල සේදී ගොසිණි. මිහිකත නම් වූ අම්මා ඇගේම දරුවන් වූ අප හද බඳුනේ වන කැත කුණු සොදා හරිනා සෙයකි. මම ගලා යන දිය දහර වෙත නෙත් යොමු කළෙමි. නොදන්නා ඉසව්වකින් ගලා එන මේ ක්ෂීර දහරාව මිහිතලය පහළ වූ දා සිට කොතෙක් කාලයක් මෙසේ ගලා යන්නට ඇතිද?

විනාඩි දහයක පමණ ගමනකින් පසු අප මහ ඇල්ල වෙත පැමිණියෙමු. ඈත හරිත නිම්නය ඔස්සේ ගලා එන දිය දහර ශෛලමය තොල්ලකින් පහළට ගලා හැලී ඇල්ලට ජීවය සපයයි. මෙම දිය ඇල්ල කළුතර දිස්ත්‍රික්කයේ ඇති දිය ඇලි අතරින් වඩා වැඩි උසකින් යුතු දිය ඇල්ලක් නොවේ. නමුත් මහ ඇල්ලේ වන සුවිශේෂීත්වයන් වන්නේ එය වසර පුරාම සක්‍රීයව තිබීමත් ගලා එන මුළු දිය දහරම දිය ඇල්ල සේ ගලා හැලීමත් යන සාධකයන්ය.

මහ ඇල්ල යන නාමය ජනශ්‍රැතියේ අපූර්ව හැඩ හුරුකම් විදහා දක්වයි. යමකට නම් පට බැඳීමේදී එකී වස්තුවේ ප්‍රමුඛතම ස්වරූපය හෝ අංගය ඉස්මතු කර ගැනීමටත් එහි ජීව ගුණය නොනැසෙනා සේ ඉදිරිපත් කිරීමටත් එදා ගැමියෝ රුසියෝ වූහ. මෙම දිය දහර දෙල්විටිය දොළ සේ හඳුන්වන ඔවුහු දිය ඇල්ල දෙල්විටිය ඇල්ල සේ නම් නොකරති. මෙම ඇල්ල අසලම වන තවත් කුඩා ඇල්ලකි. ඊට බාල ඇල්ල සේ ගැමියෝ වහරති. මේ මහ ඇල්ල බාල ඇල්ලට වඩා රුවෙනුත් ගුණෙනුත් පොහොසත්ය. ඒ නිසා ගැමියෝ ඊට මහ ඇල්ල සේ නම් තැබූහ. ඒ නාමකරණය තුළින් එදා ගැමි ජන ජීවිතය කෙතරම් තදින් පරිසරය හා අවියෝජනීයව බැඳී තිබිණි දැයි පැහැදිලි වෙයි. නමුත් ඒ සොබාදම් මිනිසුන්ගේ නූතන පරපුර මෙකී සොඳුරු උරුමයන්ගෙන් ඈත්ව යෑම කනගාටුවට කරුණකි.

දෙල්විටිය දොළ යන නාමය සමඟ බැඳී ඇත්තේ පරිසර පද්ධතියේම වන තවත් ශාකයකි. සිංහල දෙල් මෙම දිය දහර වටා වන වනබිමෙහි වඩා හොඳින් ව්‍යාප්තව ඇති ශාකයකි. එහි ඵලය ගැමියන්ට රස ගුණ සහිත අහරකි. මෙම ශාක දොළ ඉවුරේ වඩාත් පැතිරී තිබීම මුල් කර ගනිමින් දිය දහර "දෙල්විටිය දොළ" සේ නම් ලබා ඇත.

මහ ඇල්ල ගලා හැලීමෙන් පසු නිමවෙන තටාකය වඩා විශාල නොවන්නකි. මේ දිගින් අඩු තටාකයේ මොහොතකට ලැගුම් ගන්නා දිය දහර යළි සිය සුපුරුදු රිද්මයට අනුගතවම ගල් කුළු මත මල් පුබුදමින් සිය ගමනේ ඉම සොයා බාධක මැදින් ගලා යයි.

"ඒ කාලෙ අපි මේකෙ ඉස්සෝ අල්ලන්න එනවා. පොල් ඉරටු දෙකකුයි උලුප්පපු පොල් කෑල්ලකුයි ගෙනාවම හොද්දකට ඉස්සො අල්ලන්න මහ වෙලාවක් යන්නෙ නෑ." පියසේන මාමා සිය මතක ගබඩාවේ වන වස්තූන් කරලියට ගෙන එයි. "මේ වගේ වතුර වැඩි කාලෙට නම් ඒ වැඩෙ අමාරුයි. මේ කාලෙට තංගුසේකින් යොතක් දෙකක් හදාගෙන ආවොත් හොරපොලයෙක්, ආඳෙක් වරදින්නෙ නෑ." මගේ විමසුම් හමුවේ පියසේන මාමා දොඩමළු වෙයි. එමෙන්ම ඇතැම් රාත්‍රීන්වලදී මසුන් බෑම පිණිසත් සතකු දඩයම් කිරීමටත් වන වැදුණු අවස්ථා මේ ගැමි මතක ගබඩාවන්හි කොතෙකුත් නිදන්ව ඇත. ඔවුන්ගේම වදනින් ඒ අත්දැකීම් ඔවුන් පවසන්නේ "මේ දෙවියන්ගේ අඩවියේ පර පණ නසන්ට ඇවිල්ල වෙච්චි විලම්බෑසි නම් අනන්තයි"යනුවෙනි. මහ ඇල්ලත් ඒ වටා වන මේ සොබා සොඳුරු බවත් කෑදර මිනිසුන්ගේ නෙත නොගැටෙනා තුරු ඒවා මතු පරපුරේ උරුමයන් සේ ආරක්ෂා වනු ඇත. නමුත් මේ තෙත් වන බිම් ඉතා වේගයෙන් එළි පෙහෙළි වීම හමුවේ මේ සියලු සොබා උරුමයන්ගේ හෙට දවස අවිනිශ්චිතය.

සටහන [දුමින්ද ජයවර්ධන]

මාතෘකා