නෙක විසිතුරු නිමැවුම් ගෙනෙන ‘ලාක්ෂා’

 ඡායාරූපය:

නෙක විසිතුරු නිමැවුම් ගෙනෙන ‘ලාක්ෂා’

ලාක්ෂා කර්මාන්තය එහෙමත් නැතිනම් ‘ලාකඩ කර්මාන්තය’ අතීතයේ ආසියාව මෙන්ම යුරෝපයේද ප්‍රචලිත නමුත් වර්තමානය වන විට එය ඉතිරිව ඇත්තේ ලංකාව, ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, ඉන්දියාව, මාලදිවයින සහ චීනය වැනි රටවල් අතලොස්සක පමණකි. ‘ලාක්ෂා’ යන වචනය සංස්කෘත භාෂාවෙන් පැවැත එන අතර එහි අරුත වන්නේ ලක්ෂයක් යන්නයි. කෘමි විශේෂයකින් ලබා ගන්නා ලාටු භාවිත කර කරන මේ ලාක්ෂා කර්මාන්තය පාරම්පරික හස්ත කර්මාන්ත ගණයට අයත් වේ. මෙවැනි පාරම්පරික කර්මාන්ත වියැකෙමින් පවතින වකවානුවක ලාක්ෂා කර්මාන්තයේ නියැලෙමින් ඒ තුළින් අලංකාර නිර්මාණ රැසක් කරන පුද්ගලයෙක් අපට හමු විය. ඔහු ජී.එච්. ශාන්ත කුමාර ධර්මසේනයි. වර්තමානයේ ලාක්ෂා කර්මාන්තය ප්‍රචලිත මාතලේ හපුවිට ගමේ පදිංචි හෙතෙම තුරුණු වියේ පටන් ලාක්ෂා කර්මාන්තය පුරුදු පුහුණු වී ඒ සඳහා තම ජීවිත කාලයෙන් අඩකටත් වඩා දිය කළ තැනැත්තෙකි. ලාක්ෂා කර්මාන්තය පිළිබඳව සහ ඒ තුළින් බිහිවන විසිතුරු නිර්මාණ ගැන කතාබහකට ශාන්ත කුමාර ධර්මසේන මහතා අපි එකතු කර ගත්තෙමු.

 ලාක්ෂා කර්මාන්තය ආශ්‍රයෙන් කරන මේ අලංකාර නිර්මාණ මොනවාද?

ලාක්ෂා කර්මාන්තය කියන්නේ පාරම්පරික කර්මාන්තයක්. මම ඒ ආශ්‍රයෙන් විවිධ නිර්මාණ කරනවා. නිවසට අවශ්‍ය කරන හැම උපකරණයක්ම, භාණ්ඩයක්ම ලාක්ෂා කර්මාන්තය ආශ්‍රයෙන් කරන්න පුළුවන්. ආභරණ පෙට්ටි, හැඳි වර්ග, අළු බඳුන්, බුලත් තට්ටු, වළලු, මල් බඳුන්, යතුරු රඳවන, බීරළු නොයෙක් විසිතුරු උපාංග මේ හැමදේම මම නිර්මාණය කරනවා.

 මේ පාරම්පරික කර්මාන්තයේ ඉතිහාසයේ වතගොත ගැන කතා කළොත්?

මේක සියවස් ගණනාවක් පැරණි කර්මාන්තයක්. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියත් අරගෙන ලංකාවට වැඩම කරද්දි දහඅට කුලයක ශිල්පීන් ආවා කියනවා. ඒ දහඅට කුලයේ ශිල්පීන් අතර ලාක්ෂාකරුවොත් හිටියා කියලා විශ්වාස කරනවා. ඒ කාලේ ඉඳන්ම ලංකාවේ ගම්මාන ආශ්‍රිතව ලාක්ෂා කර්මාන්තය තිබිලා තියෙනවා. මගේ ගම මාතලේ හපුවිට. අපේ ගම තමයි ලාක්ෂා කර්මාන්තයට ලංකාවෙන්ම ප්‍රසිද්ධ ගම. අපේ ගමේ පැරණි ලාක්ෂාකරුවන් ඉඳලා තියෙනවා. මේක පරම්පරාවලින් පැවැත එන කර්මාන්තයක් නිසා තවමත් අපේ ගම ඇතුළේ මේ කර්මාන්තය විනාශ නොවී ආරක්ෂා වෙලා තියෙනවා. කේ.ජී. රන්නයිදේ, පී.එච්. සේනාරත්න, පී.එච්. ආරියරත්න, පී.එච්. ඉන්ද්‍රරත්න, පී.එච්. උදයරත්න, ජී.එච්. ධර්මසේන මේ හැමෝම අපේ ගමේ හිටපු ලාක්ෂාකරුවෝ. මේ අය ලාක්ෂා ගුරු ශිල්පියෝ. අපිත් මේ කර්මාන්තය කරන්න යම් දැනුමක් ගත්තේ ඒ ලාක්ෂාකරුවන්ගෙන් තමයි.

 මේ නිර්මාණ කරන්න පටන් ගත්තේ කොයි කාලෙද?

මම 2000 වසරේදී මේ කර්මාන්තය පටන්ගත්තේ. එතකොට මම සාමාන්‍ය පෙළ විභාගය කරලා හිටියේ. අපේ ගමේ ජාතික ශිල්ප සභාවෙන් කරපු ගුරු ශිල්පී පංති තිබුණා. ඒ පංතිවලට මමත් සම්බන්ධ වෙලා පුහුණුවල ලබලා ලාක්ෂා කර්මාන්තය කරන්න පටන්ගත්තේ. මේක පටන්ගන්නකොට මම විතරයි හිටියේ. ඊට පස්සේ මගේ බිරිඳත් මට සහයෝගය ලබා දුන්නා. දැන් තවත් සේවකයෙක් ඉන්නවා. ඊට අමතරව අපි ස්වයං රැකියාවක් විදිහට නිවෙස්වල අඩු ආදායම්ලාභී ගෘහණියන්ට අමුද්‍රව්‍ය දීලා ගෙදරදීම මේ ලාක්ෂා කර්මාන්තය කරන්න අවස්ථාව දීලා තියෙන්නේ.

 මේ පාරම්පරික කර්මාන්තය කරන ක්‍රමවේදය ගැන පැහැදිලි කළොත්?

ඉස්සර ලාක්ෂා කර්මාන්තයටම වෙන් වුණු කෘමියෙක් හිටියා. ඒ කෘමියටත් කිව්වේ ලාක්ෂා කෘමියා කියලා. කැප්පෙටියා ගස්වල ඉන්න ලාක්ෂා කෘමියාගේ මලපහ අරගෙන ඒ ලාටු රැස් කරලා ලාක්ෂා කර්මාන්තය කරන්නේ. ඒත් දැන් ඒ කෘමියෝ වඳ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ඉන්දියාවේ ලාහෝර් නගරයෙන් කෘතිම ලාක්ෂා ඉටි ගෙන්නන්නේ. ඉස්සර නම් ලාක්ෂවලට පාට දැම්මේ ස්වභාවික ද්‍රව්‍ය අරගෙන. ගස්වල කොළ, පොතු, මල්, පස් වර්ග, මැටි වර්ග අරගෙන පොල්කටු අඟුරු දාලා ගින්දරත් එක්ක ලාක්ෂා උණු කරලා තමයි පාට දැම්මේ. ඒත් දැන් ඩයි වර්ග තියෙනවා. ඒවාත් ගෙන්වන්නේ ඉන්දියාවෙන්. දැන් හදන ලාක්ෂාත් උණු කරලා ඩයි වර්ග දාලා කිතුල් ලෑල්ලක් උඩ තියලා අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්නවා. මේ ලාක්ෂා ආලේප කරන්නේ ලී බඩුවලට විතරයි. ඒකට අවශ්‍ය ලී බඩු අපි කලින් සූදානම් කරලා තියෙනවා. ලී බඩු හදන්නෙත් මම තමයි. අවශ්‍ය හැඩයට ලීයෙන් කපාගෙන මට්ටම් කරලා වැලි කොළෙන් මදිනවා. දැන් ලාක්ෂා ගාන්න සූදානම්. අත් පට්ටලය කියන්නේ ලාක්ෂා අඳින උපකරණය. අත්පට්ටලෙන් ලී බඩුවල ගාන්න ලාක්ෂා මට්ටම් කරන්න ඕනේ. ඊටපස්සේ වෙවැල් ලීවලින් හරි පොල් මටළුවලින් හරි කපා ගන්න ඕනේ. තුන් වතාවක් විතර ලාක්ෂා ආලේප කරන්න ඕනේ. එතකොට කල්පැවැත්ම වැඩියි. ඉන්පස්සේ වැටකෙයියා කොළෙන් හරි රෙදි කෑල්ලකින් හරි ඔපදානවා. ඊට පස්සේ තමයි අවශ්‍ය විදිහට කැටයම් කපන්නේ.

 මේ තුළින් පරිසර හානියක් වෙන්නේ නැද්ද?

අපි ලී බඩු හදන්න ගන්නේ සපු, මැහෝගනී, ගංසූරිය වගේ ලී වර්ග. ලී ගන්න ගස් කැපුවාට කපන ගහක් ගානේ අනිවාර්යෙන්ම පැළයක් හිටවනවා. ඒක 2006 වසරේ විතර ඉඳන් කරන්නේ. දැන් අපි හිටවපු ගස් ගොඩක් හැදිලා තියෙනවා. ඒත් තවමත් අපි ඒක නතර කරලා නැහැ. ගස් කපන ගානේ තවත් පැළයක් හිටුවනවා.

 ලාක්ෂා කර්මාන්තය ආශ්‍රයෙන් කරන මේ විසිතුරු නිර්මාණවල විශේෂත්වය ගැනත් කතා කරමු?

මම නිතරම හදන්නේ කුඩා නිර්මාණ. අපේ ගමේ අනිත් අය මේ වගේ කුඩා නිර්මාණ හදන්නේ නැහැ. විශේෂයෙන් මේ නිර්මාණවලට සංචාරකයන් ආකර්ෂණය වෙනවා. තරමින් ලොකු භාණ්ඩවලට වැඩිය මේ නිර්මාණ ගෙනයන්න පහසු එක ඒකට හේතුවක්. මම දැන් අලුත් නිර්මාණ කරලා තියෙනවා සංචාරකයන්ටම. ලීවලින් පබළු හදලා ඒවාට ලාක්ෂා කරලා මාල හදලා තියෙනවා. ඒවාට සංචාරකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම අතේ පළඳින මුද්දකුත් ලාක්ෂාවලින්ම හදනවා.

 මේ නිර්මාණවල ආකෘතිය සහ මෝස්තර නිර්මාණය කරන්නේ කවුද?

මම තමයි මෝස්තර තීරණය කරන්නේ. ලාක්ෂා කරන පාරම්පරික මෝස්තර තියෙනවා. ඒවා දැන් ටිකක් වෙනස් වෙලා නව නිර්මාණ බිහි වෙලා. පාරම්පරික මෝස්තර වගේම නව නිර්මාණත් අපි මේ නිර්මාණවලට භාවිත කරනවා. ලී බඩුවල ආකෘතිය හදන්නේ කරන්නේ මම. ප්‍රමාණය, හැඩය හැම නිර්මාණයකම එක වගේ වෙන්න ඕනේ නිසා ටිකක් ඒ ගැන අවධානයෙන් කරන්නේ.

 ඔබේ නිර්මාණ සඳහා ලැබෙන පාරිභෝගික ප්‍රතිචාර කොහොමද?

ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මේ භාණ්ඩවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. අපි හදන හැම භාණ්ඩයක්ම පාහේ විකිණෙනවා. දැන් නම් ඉල්ලුමට හරියන සැපයුමක් ලබා ගන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙන්නේ. විශේෂයෙන් සංචාරකයන් අතර මේ නිර්මාණ ප්‍රසිද්ධයි. පාස්කු ඉරිදා සිදුවීමත් එක්ක මේ භාණ්ඩ අළෙවිය ටිකක් අඩුවෙලා තිබුණා. දැන් නැවත ඉල්ලුම වැඩි වෙලා මේ නිර්මාණ අළෙවි වෙනවා. ඒ වගේම නිතර සංචාරකයන් ගැවසෙන දකුණු පළාතේ හෝටල්වලින් මේ ලාක්ෂා නිර්මාණවලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

 තාක්ෂණයේ දියුණුවත් එක්ක යන්ත්‍රානුසාරයෙන් පහසුවෙන් භාණ්ඩ නිෂ්පාදනය වෙන ලෝකයක මේ වගේ හස්ත කර්මාන්ත සඳහා වෙළඳපොළ හදා ගන්නේ කොහොමද?

සෙරමික්, වීදුරු, ප්ලාස්ටික් වගේ විවිධ අමුද්‍රව්‍යවලින් ලෝකේ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒත් ලාක්ෂා කර්මාන්තය ඒ හැම දෙයකටම වඩා වෙනස්. ඒ නිසා කොයිතරම් භාණ්ඩ නිෂ්පාදනය වුණත් මේ නිර්මාණවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ලාක්ෂා නිර්මාණ ලේසියෙන් කරන්න බැහැ. වෙළෙඳපොළේ මේවා අනුකරණය කරලා කොයිතරම් දේවල් තිබුණත් මිනිස්සු කැමති ලාක්ෂා නිර්මාණවලට. මේක පාරම්පරික කර්මාන්තයක් නිසා මිනිස්සු අතර ප්‍රසිද්ධයි.

 මේ සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල සහාය ලැබෙනවාද?

කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව, හස්ත කර්මාන්ත මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, ලක්සල නිතරම අපිට උදව් කරනවා. ඒ වගේම පෞද්ගලික සමාගමක් වන ක්‍රිසලීස් ආයතනය සමඟ සම්බන්ධ වෙලා වැඩ කරනවා. කර්මාන්තයක් ලෙස මේක දියුණු කරගෙන තවත් රැකියා අවස්ථා රාශියක් බිහි කරන්න අපිට සහයෝගය ලබා දෙනවා.

මාතෘකා