කොලෙස්ටරෝල් පාලනය  කරන හැටි

 ඡායාරූපය:

කොලෙස්ටරෝල් පාලනය  කරන හැටි

දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් යන මේ වචන තුන අද සමාජයේ බහුලව ඇසෙන වචන තුනක්. මේවා බෝ නොවන රෝග යටතට අයත් වන අතර වර්තමානයේ සුලබ රෝගයන්. කොලෙස්ටරෝල් යනු ලිපිඩමය ඇලෙනසුලු ඇල්කොහොල් විශේෂයක්. මෙය සතුන්ගේ පටක හා රුධිර ප්ලාස්මාවේ අඩංගුයි. එය ක්ෂීරපායීන්ගේ සෛල තුළ අඩංගු වැදගත් අංගයක්. සෛල ප්ලාස්මයේ පාරගම්‍යතාවය හා තරලතාව පවත්වා ගැනීමට මෙය උපකාරී වෙනවා. මේවා ශරීරයට අත්‍යවශ්‍ය වුවද අධික කොලෙස්ටරෝල් මට්ටම ශරීරයට අහිතකර බව ඔබ දැන ගත යුතුයි.

නමුත් පාලනයකින් යුතුව ආහාර ගතහොත් ඔබට මේ රෝගයෙන් මිදීමට හැකියි. මෙම අවදානමට ලක්වූ බොහෝදෙනා තත්ත්වය භයානක වන තුරුම තමන් රෝගියෙකු බව දන්නේ නැත. මන්දයත් මෙහිදී පිටතට දිස්වන ලක්ෂණ එතරම් ප්‍රබල නොවීමයි. ව්‍යායාමයේ නොයෙදීම, දහවල නිදා ගැනීම, සෙම වඩවන ආහාර වැඩිපුර ගැනීම, පැණි රස ආහාර අධික ලෙස ගැනීම මඟින් මේදය වඩවයි. එමෙන්ම ආහාරමය හේතු, විහරණමය හේතු, මානසික හේතු, ජානමය හේතු හා අන්‍ය හේතු - දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුකම, ඇතැම් වකුගඩු හා අක්මා රෝග, දුම්පානය, මද්‍යසාර ආදී කාරණාද මෙම තත්ත්වය ඇතිවීමට හේතුවනවා. මේ හේතුවෙන් ඔබේ සිරුර තුළ මේද ධාතුව රැස්ව ස්‍රෝතස් මාර්ග අවරෝධ වනවා. එමඟින් මෙම කොලෙස්ටරෝල් තත්ත්වය ඇතිවන අතර මෙම තත්ත්වයේ සිටින රෝගියෙක් තුළින් පහල වන ලක්ෂණ කිහිපයක් තිබෙනවා.

එහි බාහිර ලක්ෂණ ලෙස කුඩා දුරක් ඇවිද්දත් ඇතිවන මහන්සිය, අධික පිපාසය, නිදිමත, අධික බඩගින්න, සාමාන්‍ය ප්‍රමාණයට වඩා දහදිය ගැලීම, දහදිය ගඳකින් යුක්ත වීම, ලිංගික ක්‍රියාවන් අවම වීම, වැලමිට, පිටිඅල්ල, දණහිස්, ඇස් යට කහ පැහැ ලප කැලැල් මතුවීම, වරින් වර ඇගෙහි තැනින් තැන හිරි වැටීම, ඇසේ කළු ඉගිරියාව වටා සුදුපැහැ රවුමක් ඇතිවීම, ඇගේ තැනින් තැන මේද ගැටිති (තෙල්ගෙඩි) ඒම, එසේම හෘදයේ සිට වම් අත දෙසට ගමන් කරන්නා වූ වේදනාව ආදියයි.

අභ්‍යන්තර ලක්ෂණ ලෙස අක්මාව හා ප්ලීහාව විශාල වීම, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ආඝාත තත්ත්වය දැක්විය හැකියි. රෝගයේ මුල් මට්ටම්වලදී මෙන්ම අවධානම් මට්ටමකදී වුවද ආයුර්වේද ප්‍රතිකාර මඟින් මෙම රෝගය සුවපත් කිරීමේ හැකියාව තිබෙනවා. මෙහිදී ප්‍රතිකාරය රෝග නිදානයට මිස රෝග ලක්ෂණයන්ට නොවේ. තවද ප්‍රතිකාර පද්ධතිය නිමා වන තුරු ක්‍රමානුකූලව ව්‍යායාමවල යෙදීම, ආහාර පාලනය කිරීම හා නිසිපරිදි ඖෂධ භාවිතය කළ යුතුයි.

දීර්ඝකාලීනව ව්‍යායාමවල යෙදීම කොලෙස්ටරෝල් පාලනයට ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම ශරීරයෙහි පවතින මාංශපේශීන්ගෙන් වැඩි ප්‍රමාණයක් ක්‍රියා කරන්නාවූ ව්‍යායාමවල යෙදීම මෙහිදී වැදගත් වනවා. ඒ සඳහා ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම ආදිය ඉතා යෝග්‍ය වනවා. අවම වශයෙන් සතියකට දින තුනක්වත් පැය භාගයක් බැගින් හෝ ඊට වඩා වැඩි වේලාවක් ව්‍යායාමයේ යෙදීම හිතකර වනවා. ඇවිදීම හෝ දිවීම සිදු කරන්නේ නම් පැය භාගයක් තුළ කිලෝමීටර් තුනක්වත් ඇවිදීම හෝ දිවීම කළ යුතුයි. මේ ව්‍යායාමය මඟින් HDL වැනි හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන අතර අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහළ දමයි.

කොලෙස්ටරෝල් මට්ටම වැඩි සෑම අයෙකුම අනිවාර්යයෙන්ම ආහාර පාලනය කළ යුතුයි. මේදය අධික සත්ත්ව ආහාර (ගවමස්, ඌරුමස්, එළුමස්, ඉස්සෝ, කකුළුවෝ) මී කිරි, කිරි, යෝගට්, චීස්, බටර්, මාගරින්, බිත්තර, එළඟිතෙල් ආදියෙන්ද වැළකිය යුතුයි. තවද සත්ත්ව නොවන ආහාර වන පොල්තෙල්, ෆාම් තෙල්, ඔලිව් තෙල්, කැනෝලා තෙල් සහ රටකජු සහ කජු නිසාද ශරීරගත මේදය ඉහළ යයි. තවද සෝස්, සොසේජස්, එළවළු තෙල් ආදියද හිතකර නොවේ.

කොලෙස්ටරෝල් රෝගීන්ට හිතකර ආහාර ලෙස නිවුඩු හාල් හෝ තැම්බූ හාල්වලින් පිසූ බත්, අලුත් එළවළු හා පලතුරු, පලා වර්ග, කුඩා මාළු, මේද රහිත කිරි, කුරහන් පිටි සහිත ආහාර, සූරියකාන්ත තෙල්, පරළු පාන් යෝග්‍ය වනවා. එමෙන්ම ආහාර පිසීමේදී කරපිංචා, ගොරකා, කුරුඳු පොතු ආදිය යොදා ගැනීමෙන් රුධිර නාල ගත මේද කොටස් දිය කළ හැකියි. සුදු ලූනු, රතු ලූනු, උළුහාල්, කොත්තමල්ලි ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන අතර කලින් සකසා තබන ලද වියළාගත් කරපිංචා නැටි හා කොළ කුඩු කර පෙරා බීමට හැකියි. ඒ වගේම දිනපතා පැය දෙකක්වත් මුළු ශරීරයටම හොඳින් දහදිය දමන කය වෙහෙසවන වැඩක යෙදීමත් දුම්පානයෙන් හා මත්පැන් භාවිතයෙන් තොරවීමත් කොලෙස්ටරෝල් අවධානම අඩුකර ගැනීමට වැදගත් වන බවද කිව හැකියි.

ඒ වගේම අනිවාර්යයෙන්ම ඖෂධ ගැනීම වෛද්‍ය නිර්දේශය මත පමණක් කළ යුතුයි. තවද ඖෂධ නවතා දැමීමද වෛද්‍ය නිර්දේශය මතම කළ යුතුයි. එනිසා රෝගය වැලඳීමට පෙර හෝ රෝගය වැලඳී ඇති බව දැනගත් දා සිට නිසි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වනවා. එමඟින් මෙම කොලෙස්ටරෝල් මට්ටම නිසි පරිදි පාලනය කර ගත හැකියි.

වෛද්‍ය [ආර්. චන්ද්‍රිකා රාජපක්ෂ]

මනෝඋපදේශිකා

ශ්‍රී ලංකා වෘත්තීය මනෝඋපදේශකයන්ගේ සංගමය

ශ්‍රී ලංකා පදනම් ආයතනය

News Order: 
5
මාතෘකා