‘නිල්ලග්ගම’ මහ වන මැද ලංකාවේ හොඳම බෝධිඝරය රකින මුතුබංඩා සොයා ගිය ගමන

 ඡායාරූපය:

‘නිල්ලග්ගම’ මහ වන මැද ලංකාවේ හොඳම බෝධිඝරය රකින මුතුබංඩා සොයා ගිය ගමන

මහ වන මැදින් මහේ වපුරන හේන් බිම් පසුකරමින් අපි ගමන කඩිනම් කිරීමට වෑයම් කළෙමු. එහෙත් එය පහසු නොවන්නේ වළගොඩැලි සපිරි මාවත ඊට බාධා ගෙනදෙන බැවිනි. මඳ වැහි වැටෙමින් තිබේ. හිරු සැඟවී ඇත. තව හෝරා තුනක් පමණ ගතවූ තන්හි රාත්‍රිය උදාවෙයි. ඊට මත්තෙන් ගමන අහවර කළ යුතුය. සමහර තැනෙක මාර්ගයේ වළවල් වැහි වතුර පිරී දිය කඩිති වී ඇත. ගොම්මනට මත්තෙන් ගාලට දක්වන මී හරක් රංචුද මේ මාවත අවුරයි. සවස් වෙත්ම අලි එළිබහින ආරංචිද මඟ හමුවන ගැමියන්ගෙන් ලැබෙයි. එහෙත් මේ කිසිවකට මා මනසේ පොදිකන ඕනෑකම සේදී නොයයි. එක් අතකින් මේ ගමන දුෂ්කරය. එහෙත් ඊට නොදෙවැනිව කිසියම් අපූර්වත්වයකින් මසිත වෙළී යයි. මේ වන විට මෙරට තුළ ශේෂව ඇති කලාත්මක බවින් අනූන බෝධිඝරය සේ සැලකෙන “නිල්ලග්ගම බෝධිඝරය” අපගේ ගමනාන්තයයි. බෝධිඝරය සියැසින් දැකීමත් විශේෂ අමුත්තකු මුණගැසීමත් අපගේ අරමුණ වී ඇත.

ගල්ගමුවෙන් නික්මුණු අප හෝරාවකට ආසන්න කාලයක් ගෙවා අවසන අරමුණ කරා පිවිසියෙමු. මෙරට පිහිටි විචිත්‍රවත්ම බෝධිඝරය හද්දා පිටිසර ගම්මැද්දක වන මායිම්ව මෙසේ හුදෙකලාව පිහිටාවි යැයි විශ්වාස කළ නොහැකි තරම්ය. නිල්ලග්ගම වැව පාමුල ගැමියන් වන අතු කඩා එල්ලූ විසල් කෝන් ගස් සෙවණක පහස ලබමින් බෝධිඝරය පිහිටා ඇත. වර්ෂ 1895දී මෙම බෝධිඝරයෙහි නටබුන් මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා සේ පිළිගැනෙන බ්‍රිතාන්‍ය ජාතික එච්.සී.පී. බෙල් මහතා විසින් සොයාගනු ලැබ ඇත. එහි තහවුරු කිරීමේ කටයුතු 1954 වර්ෂයේදී ලාංකේය ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස බුහුමන් ලබන සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ආරම්භ කර තිබේ. මෙම බෝධිඝරය මාලක දෙකකින් යුක්ත වන පරිදි නිමවා ඇත. සමස්ත බිත්තිය ගල් පුවරු භාවිතයෙන් සම්පූර්ණ කොට තිබේ. ඇතුළුවීම සඳහා නැ‍ඟෙනහිර හා බටහිර යන දිශා ඔස්සේ දොරටු නිර්මාණය කොට ඇත. ඇතුළත වූ මළුව සමචතුරස්‍රාකාර ස්වරූපයක් ගනියි. මීට අමතරව ගල් කණු කිහිපයක නටබුන් මෙම භූමියේ දැකගත හැකිවන අතර, වහලයක් රැඳවීම සඳහා ඒවා භාවිත කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඉතාමත් නිර්මාණාත්මක මූර්ති, කැටයම්වලින් යුක්ත නිල්ලග්ගම බෝධිඝරය ශිලා පුවරුවලින් ඉතා සැලසුම් සහගතව නිර්මාණය කර තිබීම එකල වූ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල නිපුණතාවය ප්‍රකාශ කරන්නකි.

1950 දශකය වන විට මහ වන මැද හුදෙකලා වී, වල් බිහිවී තිබූ මෙම බෝධිඝරය සොයා ගැනීමට මුල්වී ඇත්තේ මීට යාබද ගමක අයකු බව කිසිවකු වැඩිය නොදන්නා කතාවකි. ඔහු ‘පිංහාමි වනසිංහ’ නම් ගැමියෙකි. ඒ කතාව කියන්නට ඔහු අද ජීවතුන් අතර නැතිකම ලොකු පාඩුවකි. එහෙත් සියල්ල සියැසින් දුටුවා සේ කිවහැකි පිංහාමිගේ පුතු හැට දෙහැවිරිදි ‘මුතුබංඩා වනසිංහ’ මහතා සොයා අපි නිල්ලග්ගමට යාබද හෙට්ටිගම ගමට ගියෙමු.

“කොහොමද මාමා ජීවිතේ” මා වියපත්ව එහෙත් තවමත් ප්‍රියමනාප බවින් යුතු මුතුබංඩා වෙතින් ඇසීමි.

“මොනවද ඉතිං දුකසේ ඉන්නවා.” ඔහු කීය.

“දැන් බෝධිඝරේ බලාගන්නේ නැද්ද?” මා දිග කතාවකට මඟපාදන්නට වෑයම් කළෙමි.

“දැන් මට අමාරුයි. ඒ වැඩේ මං පුතාට ලෑස්ති කරලා දුන්නා.”

වසර විසිපහකට වැඩි කාලයක් පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂකයකු ලෙස නිල්ලග්ගම බෝධිඝරය බලාකියාගෙන ඇත්තේ මුතුබංඩා මහතාය. හරියටම කියතොත් 1992 වර්ෂයේ සිට ඉකුත් 2018 වර්ෂය තෙක්ම ඔහු එම කාර්ය අකුරටම ඉටුකොට ඇත. ඊට මත්තෙන් 1956 වසරේ සිට 1992 අවුරුද්ද දක්වාම මුතුබංඩාගේ පියා පිංහාමි ඒ වගකීම උසුලා තිබේ. දැන් ඒ බරට කරගසා ඇත්තේ මුතුබංඩා මාමාගේ පුතු ‘බණ්ඩාර වනසිංහ’ තරුණයාය. පෙර රජ දවසින් පසුව රූස්ස කැලයෙන් මැදිවූ බෝධිඝරය යළි සොයා ගැනීම ගැන මුතුබංඩා මාමා කරුණු කීවේ වයසට වියපත් නොවූ උද්යෝගයෙනි.

“අපේ තාත්තා හොඳ දඩයක්කාරයෙක්. දවසක් දඩයමේ යනකොට තාත්තා තමයි කැලෑ වැදිලා තිබ්බ මේ බෝධිඝරය දැකලා තියෙන්නේ. ගල් ගොඩක් වගේ තිබ්බට එතැන මොකක් හරි අමුත්තක් ඇති කියලා තාත්තට තේරිලා තියෙනවා. පස්සේ මේ ගැන අල්ලපු නිතලව ගමේ ලොකු ඉස්කෝලේ මහත්තයාට ගිහින් කියලා තියෙනවා. එයා ගම්පහ, විගොඩ පැත්තේ විජේසිංහ කියලා හොඳ උගත් මහත්තයෙක්. තාත්තා ඉස්කෝලේ මහත්තයාත් එක්ක ගිහිල්ලා බලලා තියෙනවා. එතැනදී තමයි ඉස්කෝලේ මහත්තයා තීරණය කරලා තියෙන්නේ මේ ගැන ඉහල නිලධාරියකුට කියන්න ඕන කියලා. අද ඔය ඉස්සරහා තියෙන කෝන්ගහ ඒ කාලෙත් තිබිලා තියෙනවා.”

“ඊට පස්සේ......?” මට ඉවසීමක් නෑ.

“ඉතිං ඉන්නකෝ මං කතාව කියනකල්.....” මුතුබංඩා මාමා නෝක්කාඩු වෙයි.

“වැඩි දවසක් යන්න කලින් අපේ තාත්තයි, ලොකු ඉස්කෝලේ මහත්තයායි ඒ කාලේ හිටපු පුරාවිද්‍ය කොමසාරිස් සෙනරත් පරණවිතාන මහත්තයා හොයාගෙන ගිහිල්ලා මේ ගැන විස්තරේ කියලා තියෙනවා. පස්සේ පරණවිතාන මහත්තයා ඇවිල්ලා බලලා තියෙනවා. එයාට තේරිලා තියෙනවා මෙතැන ලොකු වටිනාකමක් තියෙන තැනක් කියලා. ආපසු ගිහිල්ලා කට්ටියක් එක්ක ඇවිල්ලා තමයි මෙතැන කැනීම් කරන්න පටන් අරගෙන තියෙන්නේ. අපේ තාත්තා කිව්ව විදිහට ඊට පස්සේ තමයි

තැන් තැන්වල විසිරිලා ගොඩගැහිලා තිබ්බ ගල්ලෑලි ඔක්කොම අංක කරලා ගලවලා දොඹකර ගෙනැල්ලා අද මේ තියෙන විදිහට හයිකරලා තියෙන්නේ. ආන් එතැනදී තමයි මේකේ විස්තරේ තියෙන සෙල්ලිපිය හම්බ වුණා කියන්නේ. ඒ කාලෙම තමයි පොකුණක් වගේ තිබ්බ මේ වැව ලොකුවට හදලා තියෙන්නෙත්.”

නිල්ලග්ගම බෝධිඝරයේ බටහිර පැත්තේ වම්පසට බරව පිහිටා ඇති පිටත මණ්ඩපයේ පිට පැත්තේ අත්තිවාරම් ගලෙහි ලියා තිබෙන ශිලා ලේඛනයකි. මෙම ශිලා ලේඛනයට ඉහළින් ගල් වැටෙහි ඇත්රූප 10ක් නිර්මාණය කර තිබේ. එම ශිලා ලේඛනය මෙසේය.

“මොනරගල් බුද්මි මේ දස ඇතුන් කරවා මහා බෝගෙහි පිදු පිනෙන් මතු සසර අනුත්තර සම්මා සම්බුදු වෙම්වයි.”

මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ පැහැදිලි කිරීමට අනුව මෙහි සඳහන් වන අක්ෂර ක්‍රිස්තු වර්ෂ 8 - 9 යන සියවස්වලට අයත් සේ පිළිගැනේ. මේ අනුව බෝධිඝරය ඉදිකිරීම එම කාලයට අයත් සේ සැලකේ. බෝධිඝරයේ දොරටු මණ්ඩපයේ දෙපස වූ ඵලකයෙහි යටි පැත්ත හංස පේළියකින් අලංකාර කර තිබේ. දොරටුවේ පාමුල කැටයම් නැති සඳකඩපහණකි. ඒ සමඟම පියගැට පේළි දෙකකි. පියගැට දෙපැත්තේ කොරවක්ගල් දෙකක් වේ. මකර රූප කැටයම කොරවක් ගල්වල නෙළා ඇත. දොරටු මණ්ඩපය මුදුනත සමතලා වහලයක් පරිදි යටිපැත්ත ඉතා සුමට කරන ලද ගල් පුවරුවකින් ආවරණය කර තිබේ. උළුවස්සේ දාර සහ උඩ එළිපත ඉතා අලංකාර අන්දමට කැටයම් කර තිබේ. වටේට ගිනිසිලු රටාවකි. උළුවස්සේ ඉහළට නඟින කළස් කැටයම්ය. බෝධිඝරයේ මධ්‍ය මාලකය ඉතාමත් විසිතුරු ලෙස කැටයම් කර ඇත. ඊට ඉහළින් තීරුව මත සිංහ රූප පෙළකි.

මෙවැනි අලංකාර වූ මූර්ති කැටයම් සහිත බෝධිඝරයක් ලංකාවේ කිසිදු පුදබිමකින් හමු වී නැති බව කලා විචාරකයන් හා පුරාවිද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත. එනයින් නිල්ලග්ගම ගම්මැද්දේ අද මෙලෙස හුදකලා වී ඇත්තේ මෙරට විශිෂ්ටතම බෝධිඝරය වගට අවිශ්වාසයක් තිබිය නොහැකිය. එහෙත් අද ඒ සඳහා දී ඇති වටිනාකම හද කම්පාවට පත් කරවන්නකි. බෝධිඝරය වට කොට බැඳි වැටත් ගේට්ටුවත් අලි බිඳ දමා ඇත්තේ සෑහෙන කලකට ඉහතදීය. රාත්‍රියට මේ බිම අඳුරෙන් පිරී යයි. එහි විදුලි බුබුලක්, දෙකක් සවි කරන්නට කෙනෙක් නැත. වසර විසිපහකට වැඩි කලක් පවුලේ උරුමයක් සේ සලකා මේ බිම රකින මුතුබංඩා මාමා වයෝවෘද්ධව සිටියි. ඔහුත් නොහිටියේ නම් මේ බිම එකම පාළු පෙතක් වීමට ඉඩ තිබිණි.

අවසන ඔහුට කියන්නට ඇත්තේ දුක හිතෙන කතාවකි.

“මං අවුරුදු විසිපහක් තිස්සේ මෙතැන බලාගත්තට අවසානේ මට ලැබුණේ පිං විතරයි. වෙන ලැබුණු දෙයක් නෑ. මං අයින් වෙනකොට අවසාන කාලේ මට හම්බවුණේ දවසකට රුපියල් පනහයි. මාසෙටම රුපියල් එක්දාස් පන්සීයයි. දැන් මගේ පුතාට හම්බවෙන්නෙත් ඒ ගාණම තමයි. තාත්තා හිටපු කාලෙත් එක්ක බලනකොට අවුරුදු හැටකට වැඩිය අපි මෙතැන රැකබලාගෙන තියෙනවා. තාත්තත් නිකන්ම අයින් වුණේ. අවුරුදු විසිපහක් හිටපු මාව පුරාවිද්‍යා එකේ ස්ථිර කරයි කියලා බලන් හිටියා. ඒත් ඒක වුණේ නෑ. අඩුමගානේ පුතාටවත් එහෙම උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.”

නිල්ලග්ගමට පිවිසිය හැකි ප්‍රවේශ මාර්ග කිහිපයකි. ගල්ගමුව - ඇහැටුවැව මාර්ගයේ කිලෝමීටර් නවයක් පමණ ගිය පසු හමුවන ගල්ලෑව හන්දියෙන් වම් පසට විහිදෙන අතුරු මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ නිතලව ගමේ පාසල් හන්දිය දක්වා ගොස් එහි සිට වම් පසින් ඇති මාර්ගයේ කිලෝමීටර් පහමාරක් පමණ ගිය තැන්හි බෝධිඝරය දැකගත හැකිය. මෙය දුර වැඩිම මාර්ගය වේ. එහෙත් යම් පමණකට හෝ ගමන් පහසුවක් ඇත්තේ මේ මඟෙහි පමණකි. ගල්ගමුව - ඇහැටුවැව මාර්ගයේම මුණගැසෙන බුල්නෑව - හේන්වලගම පාර තවත් එකකි. අනෙක මේ ම‌ෙඟහිම හමුවෙන බිම්පොකුණ - හෙට්ටිගම මාර්ගය වේ. පුරාණ ගම්මැදි මැදින් වැටී ඇති මේ මාර්ග සියල්ලෙහිම ඇත්තේ එකම දෝෂයකි. පායන කාලේ දූවිල්ලෙන් පිරී යයි. මේ වැසි සමයේ පාරවල් දිය කඩිති වෙයි. අද නිල්ලග්ගම ගමට ඇත්තේ මේ බෝධිඝරය පමණක්මය. එය මේ වන විට ගැමියන් අතෑර ගිය පාළුවෙන් පාළුවට ගිය ගමකි.

සටහන [ඩබ්ලිව්. ප්‍රදීප්] තඹුත්තේගම විශේෂ

ඡායාරූප [මුතුබංඩා වනසිංහ]

News Order: 
1
මාතෘකා